
ලංකාවේ පාසල් සිසුහු 6000ක් පමණ දුම්වැටි පානයට ඇබ්බැහි වි ඇතැයි www.tobacco atlats.org වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ වූයේ අන්තර්ජාතික සමීක්ෂණයකින් කරන ලද තොරතුරු ඇතුළත් කරමිනි. මේ කරුණ ලංකා වාසි ජනතාවට දැඩි කණගාටුදායක පුවතක් වනවා සේම සිය පණ සේ ආදරය, රැකවරණය ලබා දෙමින් සිටින දරුවන් ගැන දෙවරක් නොව තෙවරක් සිතා බලන්නට ඇස් ඇරෙන පුවතක් ද වන්නේ ය. පසුගිය වසරේ කරන ලද මේ අන්තර්ජාතික සමීක්ෂණයට අනුව පාසල් යන වයසේ පසුවන අවුරුදු 10ත් අවුරුදු 14ත් අතරේ පසුවන මේ දරු පිරිස දුම්වැටි පානයට හා දුම්කොළ නිෂ්පාදනයට ඇබ්බැහි වෙද්දි රටේ අවුරුදු 15ට වැඩි පිරිසෙන් 1725000ක පිරිසක් ද මේ ව්‍යසනයට ගොදුරු වි ඇත්තේය. මෙසේ අවුරුදු 15ට වැඩි පිරිසෙන් කොටසක් ද වන්නේ පාසල් දරුවන් හා උසස් අධ්‍යාපනය ලබන පිරිසක්ද වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙය රටේත් තමන්ගේත් අභාග්‍ය වන අතර රටේ ඉදිරි අනාගත අභියෝග ජය ගැන්මේ බලවත් තර්ජනයක් ද වන්නේ ය. වයස අවුරුදු 10-14 අතර වයසේ පසුවන මේ දරුවන් අතරින් සියයට 0.45ක් එනම් 3700ක් පිරිමි ළමයින් සෑම දිනකට දුම්වැටි පානයට ඇබ්බැහි වි ඇති අතර සියයට 0.32ක් එනම් 2600ක් ගැහැණු පාසල් දරුවන් දුම්වැටි පානයට ඇබ්බැහි වි ඇති බව පෙන්වා දී ඇත. මෙය රටකට එල්ලවි ඇති බලවත් තර්ජනයක් වනවා සේම අනාගතය වෙනුවෙන් රට මුහුණ දි ඇති බලවත් තර්ජනයක් බවද දෙවනුවත් කිව යුත්තේ ය.
මෙවන් තත්ත්වයක් මත ලංකාවේ පාසල් සිසුන්ගේ අනාගතය හමුවේ ඇත්තේ නොවිසඳෙන ගැටලු සමූහයකි. එයින් ප්‍රධාන වන්නේ මේ දරුවන් වැලඳ ගත් මත්පැන් හා දුම්වැටි ව්‍යසනයයි. මින් අධ්‍යාපනය ලබන වයසේ පසුවන මේ දරුවන්ගේ අධ්‍යපන කටයුතු අඳුරු වලාවකින් වටවි ඇත්තේ ය. ලංකාවේ පාසල් දරුවන් මුහුණ දි ඇති මේ බලවත් ව්‍යසනය පිළිබඳ ව මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද පුළුල් පර්යේෂණයක් සිදු කර ඇත. Global Youth Tobacco Survey (GYTS) නම් වු ලංකාවේ පාසල් 30ක් පදනම් කරගනිමින් සිදු කළ මේ සමීක්ෂණ වාර්තාවට අනුව ලංකාවේ පාසල් දරුවන්ගෙන් සියයට 5.7ක් සිය ජීවිතයේ එක් වරක් හෝ සිගරට පානය කළ බව සඳහන් කර ඇත්තේය. පාසල් දරුවන්ගෙන් සියයට 3.7ක් පර්යේෂණය සිදුකරන අවසන් දින 30න් එක් දිනක් හෝ සිගරට් පානය කළ බව සොයා ගෙන ඇත. මේ පිරිසෙන් සියයට 10.4ක් දුම්වැටි සපයා ගෙන ඇත්තේ යහළුවන්ගෙන් වන අතර සමීක්ෂණයෙන් හෙළි වි ඇත්තේ තවත් සියයට 14.8 දෙනෙක් දුම්වැටි පානයට ඇබ්බැහි වි ඇත්තේද යහළුවන්ගෙන් බවයි. මේ සමීක්ෂණයට යොදා ගත් පිරිසෙන් සියයට 20.5 දෙනෙක් දුම්වැටි සපයා ගෙන ඇත්තේ තමන්ගේ නිවසට ආසන්න කඩයකිනි. මෙයින් සියයට 15.3කගේ සිසුන්ගේ පවුලේ අය දුම්වැටි පානය කිරීම හේතුවෙන් දරුවන්ද මේ නරක පුරුද්දට එනම් දුම්වැටි පානයට ඇබ්බැහි වි ඇති බව සොයා ගෙන ඇත. එසේ දුම්වැටි පානයට ඇබ්බැහි වු පාසල් සිසුන්ගෙන් සියයට 78.9ක් දෙනා පන්ති කාමරයේ දුම්වැටි පානයට නුසුදුසු බව තේරුම් ගෙන ඇති අතර සියයට 76.9ක් දෙනාට මේ නරක පුරුද්ද නැවැත්වීමේ අවශ්‍යතාව පවතින බව ද වාර්තා වෙයි. මේ සියලු කරුණු කාරණා වලින් හෙළි වන්නේ රටේ දරුවන්ගේ අනාගත ඉරණම හමුවේ ඇති අර්බුදයයි.
එහෙත් වර්තමානයේ පාසල් දරු පරපුර මේ ව්‍යසනයෙන් බේරා ගැනීමේ කටයුතු වේගවත් කළ යුත්තේ මේ වන විට දුම්වැටියෙන් එහා ගිය බොහෝ දේ වර්තමානයේ පාසල් තුළට ඇතුළු වීම හේතුවෙනි. දුම්වැටියෙන් දුම්වැටි ඉරීම යල්පැන යෑම මෙන්ම තරුණ පරපුර ඉක්මන් වින්දනයක් අපේක්ෂා කිරීම හේතුවෙන් දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වර්තමානයේ මේ දරුවන්ව වේගයෙන් ගොඳුරු කර හමාර ය. මේ අර්බුදයේදි නාගරික හෝ ග්‍රාමිය පාසල් යනුවෙන් භේදයක් නැත. එසේම ජනප්‍රිය හෝ ජනප්‍රිය නොවන පාසල් කියා භේදයක් නොමැත. සෑම පාසලක ම අඩු වැඩි තරමින් හෝ වෙනස් මුහුණුවරින් මේ මත්ද්‍රව්‍ය දරුවන් ගිලගනිමින් පවතියි. දෙමවුපියන්ට හෝ එසේත් නැතිනම් ගුරු විදුහල්පතිවරුන්ට පවා නොහැඟෙන ආකාරයෙන් ඉතා සූක්ෂ්ම ලෙස පාසල් මිතුරු කණ්ඩායම් හරහා හෝ නැතිනම් පාසලට බාහිර පුද්ගලයන් හරහා විවිධ මනෝභාව දරුවන් තුළ ඇති කරමින් මේ ව්‍යසනය වේගයෙන් පැතිර යන්නේ ය.
තරුණ පාසල් සිසුන්ගේ වචනයෙන් පවසතොත් ‘ෆන්‘ එකක් ගැනිමට මෙවැනි දේට ඔවුහු පෙලඹීමේ ඉඩකඩ වැඩි ය. ‘ මේවා ලබා ගතහොත් කිසිදු මහන්සියක් ඇඟට නොදැනෙන බව ද මොවුනතර විස්වාසයක් පවතියි. පහසුවෙන් පාඩම් කළ හැකියි, නැතිනම් පහසුවෙන් මතක තබා ගත හැකියි, මේවා අරගත්තොත් පාඩම් කරලා, පන්ති ගිහිල්ලා මහන්සිය නිවා ගන්න, ඇඟපත කූල් වෙන්න පුළුවන් යනුවෙන් වු විවිධ මතිමතාන්තර ඔත්සේ මෙවා පිළිබඳ විවිධ අදහස් දරුවන්ගේ ඔළු තුළට ඇතුළු වි ඇත. එසේම ඇතුළු කරමින් ද පවතියි. නමුත් මිතුරු සමාජ හා බාහිර සමාජයෙන් පැතිර යන මෙවැනි මතවාද තවත් දරු පිරිසක් මෙයට ඇබ්බැහි කර වීමට හොඳටම ප්‍රමාණවත් ය. නමුත් කණගාටුවට කරුණ නම් දරුවන් මේ ව්‍යසනයට ගොදුරුව ඇති බව බොහෝ දෙමවුපියන් නොදැන සිටීමයි.
“වර්තමානයේ දරුවන් තුළ ඇති අලුත් ම ප්‍රවණතාව තමයි දුම්කොළ අශ්‍රිත වෙනත් නිෂ්පාදන. මේවගේ දේවල් වලින් සකස් කළ විවිධ දේවල් දරුවන් කටේ හපයක් මෙන් තියාගෙන ඉන්නවා. මේවා ගුළියක් ලෙස හෝ හපයක් ලෙස හෝ පෙති වර්ගයක් ලෙස හෝ ස්ටිකර් වැනි ඇලවුම් වර්ගයක් ලෙස භාවිත කරනවා. සමහරු මේවා පුවක් දුම්කොළ බුලත් වගේ දේවල එක්ක ගංජාත් භාවිත කරනවා. මේවා අද වේගයෙන් පාසල්දරුවන් අතරේ භාවිත වන නිසා හැකි ඉක්මනින් මීට විසඳුම් ලබා දිය යුතුයි. අපි දන්නවා අන්තරායකර මත්ද්‍රව්‍ය වන හෙරොයින්, කොකේන්වලට ගොදුරු වු අය මේවාට ඇබ්බැහි වෙලා තියෙන්නේ පාසල් වියේදි. පොඩි පොඩි ඇබ්බැහි විම් තමයි පසු කාලයේදි මෙවැනි අන්තරායකර මත්ද්‍රව්‍ය මට්ටම දක්වා යන්නේ. අද ගමේ පාසල් වලටත්, නගරයේ පාසල්වලටත් මේ ව්‍යසනය ගොසින් හමාරයි. ගමේ පාසල්වල දරුවෝ භාවිත කරන්නේ ඔවුන් විසින් ම සකස් කර ගත් විනාශකාරි දේවල්. එහෙත් නගරයේ පාසල් දරුවන් භාවිත කරන්නේ විදේශයන්ගෙන් ගෙන්වන මත්කාරක ද්‍රව්‍ය. මෙය පෙත්තක්, පැණි බිමක් හෝ ටොෆියක් විය හැකියි. මේ නිසා මෙවැනි දේ නැවැත්වීම පහසු කාරණයක් නෙමෙයි. නමුත් අප මෙය කෙසේ හෝ කළ යුතු වන්නේ අපේ දරුවන් මේ ව්‍යසනයෙන් බේරා ගත යුතු නිසයි. මේ නිසා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය දැන් මේ කර්තව්‍ය වෙනුවෙන් මැදිහත් වී අවසානයි. මේ කටයුත්තට අපි අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක් ව සියලු ම පාසල් දරුවන් මේ ව්‍යසනයෙන් බේරා ගන්නට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා..... “ඒ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි ය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ‘මතට එරෙහිව පාසලින් ජවයක්‘ යනුවෙන් වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ආරම්භ කර ඇත්තේ ඒ නිසා ය. එය ලබන ජනවාරි මස 21 සිට 25 අතර සතිය තුළ ලංකාවේ පාසල් සියල්ල ආවරණය කරමින් සජීවී ව ක්‍රියාත්මක කිරීමට නියමිත ය. නමුත් මේ කර්තව්‍ය පාසල් ප්‍රධානීන්ට පමණක් හෝ එසේත් නැතිනම් ජනාධිපති කාර්ය සාධක බලකායට පමණක් හෝ එසේත් නැතිනම් අධ්‍යාපන අමාත්‍යාංශයට පමණක් හෝ එසේත් නොමැතිනම් දෙමවුපියන්ට පමණක් තනිව හෝ කළ නොහැකි කටයුත්තකි. ගහ බැන දරුවන්ට හිරිහැර කරමින් හෝ එසේත් නැතිනම් තෙවකකුගේ පාසල් ගමන අඩාළ කරමින් නීති විලංගු දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. මේ වන විට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මේ කටයුත්තේදි පාසලේ ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ඇතුළත් ‘මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් උපදේශන සංග්‍රහයක්‘ ලබාදී ඇත්තේ ය. මේ උපදේශන සංග්‍රහයේ විස්තර වන්නේ ඔබේ පාසල මත්ද්‍රව්‍ය උවදුරෙන් කෙසේ බේරා ගත යුතුද යන්නයි. පාසලේ මෙවැනි ප්‍රශ්නයකට ලක්වු දරුවකු වෙත් නම් ඒ දරුවාව පාසලින් අස් නොකර පාසලේ ම රඳවා ගනිමින් පුනරුත්තාපනය කරන අයුරු මෙහි විස්තර කර ඇත්තේ ය. මේ කටයුතු පහසු කිරීම වස් පාසල සුරැකීමේ කමිටු පිහිටුවිමක් කරන අතර මෙයට දෙමවුපිය, සිසු, ගුරුවරු, පොලිස්, පාසල් වෑන් රථ රියදුරන් මෙන්ම ආදි සිසුන්ගේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිත ය. පුරා සතියක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සත්කාර්යයට අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මෙන්ම පොලීසිය මෙන්ම ජනමාධ්‍ය හා නීතිය සම්බන්ධ පුද්ගලයන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂිත අතර පාසල් දරුවන් මේ ව්‍යසනයෙන් බේරා ගැනීමට අවශ්‍ය පසුබිම පාසලේ පවත්වා ගැනීමට අපේක්ෂිත ය.
සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ සමාජ ව්‍යසනය සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවන අතර මේ ව්‍යසනය පිටුපස බොහෝ වු කරුණු රැසක් පාදක වී ඇති බවයි. මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය ස්ථානීය පරීක්ෂණවලින් ද පෙන්වා දී ඇත්තේ බහුතරයක් දුම්වැටි පානයේ ආරම්භය පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 16ත් 20ත් අතර බවයි. එනම් මේ ඇබ්බැහි වීමේ ආරම්භය පාසල් යන වයසේදි සිදු වන බවයි. මෙයිනුත් වැඩි ම පිරිසක් ඊට ගොදුරු ව ඇත්තේ යහළුවන් සමඟ එක්වීමෙනි. තමන් ජීවත් වන පවුල් පසුබිම මෙන්ම නිවසේ වැඩිහිටි අයගේ අනුකරණයන්ට දරුවන් ලක්වීම වැනි භයානක කරුණු කාරණා හේතුවෙන් මෙසේ දරුවන් දුම්වැටියට හුරු වී ඇත.
දුම්වැටියෙන් එහා ගිය දුම්වැටි අශ්‍රිත නිෂ්පාදන බහුතරයක් විවිධ නිෂ්පාදන නාම ඔස්සේ සම වයස් අතර බෙහෙවින් ප්‍රචලිත වෙමින් පවතියි. මේ ව්‍යසනය හමුවේ පාසලින් ඉටුවිය යුතු කර්තව්‍ය බොහෝ ය. මල් වැනි දරුවන් රවටමින් මේ ව්‍යසනය පැතිර යන්නට ආධාර කරන්නෝ ද මේ විෂම සමාජයේ බොහෝ වෙති. එක් දරුවකු ගොදුරු වීම තවත් දරුවකුගේ ගොදුරකට හේතුවක් වේ. එසේ මේ ව්‍යසනයට ගොදුරු වු එක් දරුවකු හෝ යම් පාසලක සිටී නම් එය ම මේ විනාශකාරි තත්ත්ව ඇතිවීමට හේතු කාරණාවක් වන්නේ ය.
මේ නිසා පාසල් ප්‍රධානීන් මෙන්ම දරුවන්ද ගුරුවරුන් ද මේ පිළිබඳ දැනුම්වත් වි අවධියෙන් සිටීමට කාලය පැමිණ ඇත්තේ ය. බාහිර සමාජය ද මේ පිළිබඳ ව අවධියෙන් සිටිමට කාලය පැමිණ ඇත්තේ ය. ඔබේ දරුවා ඒ පාසලේ නැතැයි සිතා යම් යම් සිදුවීමක් දකිමින් ඇහැ කන පියා ගෙන සිටින්නට ඔබට ඉඩක් නැත. අද වෙෙනකකුගේ දරුවකු මේ භයානක මාරයාට ගොදුරු වුවද හෙට ගොදුර ඔබේ ම දරුවා විය හැකිය. මේ නිසා දුම්වැටියෙන් එහා ගිය අන්තරායකර ඖෂධ දක්වා යන්නට පෙර මේ මල් වැනි දරුවන් සුරැකීම සැමගේ වගකීම වන්නේ ය.