
මීට වසර 14කට පෙර අපේ රටේ 39000 දෙනකුට ජීවිත අහිමි කළ සුනාමිය නිසා අපේ රටේ වෙරළබඩ ප්‍රදේශවලින් සියයට 75කට පමණ විශාල අලාභ හානි සිදුවිය.
අපේ රටේ සිදුවූ ලොකුම ස්වාභාවික ආපදාව වූ ඒ දිනයේ අපත් සිටියේ ඒ ආපදාවට ලක්වුණු යාල ජාතික වනෝද්‍යානයේ ගිනිකොන දිග ප්‍රදේශයේය.
එදින යාල ජාතික වනෝද්‍යානයේ පැවැති පාරිසරික මාධ්‍ය වැඩමුළුවකට එක්වීමට මමත්, ආරෝග්‍යා පුවත්පතේ ගාමිණී සුසන්තත් විදුසරේ අමල් උඩවත්තත් එහි ගොස් සිටියහ. රත්නපුරය උඩවලව හරහා එහි යනවිට අපට ආරංචි වුණේ රට වටේම මුහුද ගොඩගලන බවයි. නමුත් එය සුනාමියක් බවක් ද එයින් රටේ දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ බවක් ද අපි නොදැන සිටියෙමු.
යාල වනෝද්‍යානයට ගිය අපට එහි යාල සෆාරි හෝටලය හා පටලන්ගල වනජීවී බංගලාව ප්‍රදේශය පුරා දැකගන්නට ලැබුණේ විදේශීය සංචාරකයන්ගේ මෘත ශරීරයන්ය. ගෘහභාණ්ඩ රෙදිපිළි ඇතුළු එදිනෙදා පරිභෝජනය කරන දේවල්ය. මාගේ ජීවිතයේ මා දුටු ඉතාම කනගාටුදායක දසුන ලෙස හැඳින්විය හැකි ඒ දර්ශනය වන උයන ඇතුළට යන්න යන්න තවත් භයානක වූ බව අපට මතකය. ඒ මොහොතේ අප සමඟ සිටි ගාමිණී සුසන්ත මේ කනගාටුදායක දර්ශනය වහාම ඡායාරූප ගත කළේ මේ තොරතුරු ලේක්හවුස් පුවත්පත් මඟින් පළ කිරීමට එහි සිටි එකම ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමිනි.
සරලව කීවොත් එදා අපි යාල වන උයනේ දුටුවේ හද කකියවන සුලු යකුන් නැටූ පිටියක් මෙන් දසුනකි. එහි තිබුණු යාල සෆාරි හෝටලයත් පටලන්ගල වනජීවී බංගලාවත් සුනාමිය නිසා බිමට සමතලා වී තිබිණි. එය අදහාගන්නටත් බැරිය. එහි හා ඒ අසල සිටි එතෙර සංචාරකයන් 200කට අධික ගණනක් ජීවිතක්ෂයට පත්වී ඔවුන්ගේ සිරුරු යාල වන උයන පුරා විසිරී තිබිණි. ඔවුන්ගේ පෞද්ගලික රෙදිපිළි, බඩු බාහිරාදිය ද එසේ වන උයනේ ගස්වල අතුවල පවා විසිරී තිබිණි. ඒ අනුව ආ සුනාමියේ ජල පහර අඩි 10 - 15ක් උසට පැමිණ ඇති බව ඒ මඟින් පෙන්නුම් කරයි.
මේ අතර අප දුටුවේ කෝටි ගණන් වටිනා සංචාරක පිරිස් ප්‍රවාහනය කරන වෑන් රථ හා මෝටර් රථ ගණනාවක් යාල කලපුව දෙසට ගොස් එහි ගිලී ඇති බවයි. හෝටලයේ තිබූ නවීන මෝටර් රථ සමහරක් තිබුණේ වන උයනේ මහකැලයේ පඳුරු මතය. සුනාමිය නිසා ඒවා හත් අට වතාවක් පෙරළි පෙරළී එම ස්ථානයට තල්ලුවී ආ බව පෙන්නුම් කෙරිණි.
මේ සියලු කනගාටුදායක හා පුදුම එළවන සුලු දසුන් අපට ගෙන ආවේ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට අසන්නට දකින්නට ලැබුණු සුනාමියේ දරුණු බවයි; ප්‍රබල බවයි.
වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වැනි දින පෙරවරු 9.30 ට පමණ සුනාමි තත්ත්වය ඇති වූයේ ශ්‍රී ලංකාවට කි.මී. 2500ක් පමණ නැඟෙනහිරින් පිහිටි සුමාත්‍රා දිවයිනට කි.මී. 200ක් බටහිර මුහුදේ කිලෝ මීටර් 10කට ඇති වූ භූමි කම්පාවකිනි. මෙය රිච්ටර් මාපකයේ ඒකක 9.3ක් සලකුණු කර ඇත. මෙම භූමි කම්පාව මෙතෙක් ලොව වාර්තා වූ දෙවැනි විශාලම භූමිකම්පාව වන අතරම මෙතෙක් ලොව ඇතිවූ භූමි කම්පා අතරින් ඒ සිදුවීමකින් වැඩිම ජීවිත හා දේපළ හානි සිදුවූ විශාලම ස්වාභාවික ආපදාවද විය. මින් ඉන්දීය සාගරයේ පිහිටි රටවල් 11ක ජීවිත ලක්ෂ 3ක් අහිමි විය. මෙය ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයෙන් 3/4කට බලපෑ අතර එය ඉතා දැඩිව නැගෙනහිරට හා දකුණු වෙරළ තීරයට බලපෑවේය. මෙහිදී සුනාමි රළ මඟින් ඇති කරුණු ලැබූ ජල ප්‍රවාහය මීටර් 50 සිට කි.මී. 2ක් අතර පරාසයක් තුළ එක් එක් ප්‍රදේශයන්හි විහිදිණි.
මේ මඟින් විනාශ වූ ශ්‍රී ලාංකික ජීවිත සංඛ්‍යාව 39000ක් වූ අතර තවත් ජීවිත බොහොමයක් අනතුරට පත්ව, මිනිසුන් 4100ක් අතුරුදහන්ව තිබිණි. දිස්ත්‍රික්ක 13ක නිවාස 63472ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර නිවාස 41600ක් අර්ධ වශයෙන් විනාශ විය.
වෙරළබඩ ප්‍රදේශවල පිහිටි බොහෝ යටිතල පහසුකම් සුනාමිය නිසා විනාශ විය. මේ අතර දුම්රිය හා මහාමාර්ග, විදුලිය, ජලය, දුරකථන, ආරෝග්‍ය ශාලා යනාදිය ප්‍රධාන වේ. බොහෝසැපැයුම් මාර්ග හා ගොඩනැඟිලි සහමුලින්ම විනාශ විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සුනාමි නිසා විශාල හානියක් ඇතිවූ අතර ආර්ථික සංවර්ධන වේගය 0.5%කින් අඩුවිය. මෙය මුල්‍යමය වශයෙන් ගත්විට ඇමෙරිකානු ඩොලර් මිලියන 900ත් 930ත් අතර ප්‍රමාණයක් වෙතැයි තක්සේරු කොට තිබේ. ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දුන් ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්ත මේ අතර ප්‍රධාන වේ. ධීවරයින් 90,000ක් අස්ථානගත විය. සංචාරක කර්මාන්තය රැකියා අවස්ථා 100,000ක් පමණ ඍජු හා වක්‍ර ලෙස බලපෑමට ලක්විය. වගා කළ හැකි ඉඩම් හෙක්ටයාර් 3500ක් පමණ කුඹුරු, පලතුරු හා එළවළු වගාබිම් විනාශ විය. වගා ඉඩම්ව ලට මුහුදු ජලය කාන්දුවීම නිසා ඒවා වගාවට නුසුදුසු ඉඩම් බවට පත්විය.
ශ්‍රී ලංකාවේ වෙරළ පරිසරය කෙරෙහි ද සුනාමිය දැඩි බලපෑමක් ඇති කළේය. මේ අතරින් කොරල්, කඩොලාන, වැලි වැටි, කලපු හා වෙරළබඩ වෘක්ෂලතා යනාදි පරිසර පද්ධතීන් ප්‍රධාන වේ. නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි බොහොමයක් වැලි වැටි හානියට පත්වූ අතර හම්බන්තොට ප්‍රදේශයේ වැලි වැටියද දැඩි බලපෑමකට ලක්විය. ලවණ වගුරු බිම් හා දකුණු පළාතේ බොහෝ වෙරළබඩ ජලාශ හා කලපු සුනාමි රළ දහරා මඟින් රැගෙන ආ ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ගොඩවිය.
සුනාමි ව්‍යසනය නිසා විශාල ජීවිත හා දේපළ හානියක් සිදුවිය. සාමාජික බලපෑම වැඩිවීමට මෙය ප්‍රධාන ම හේතුවක් විය. බොහොමයක් පවුල්වල කුඩා ළමයි හා දෙමාපියන් සුනාමියට ගොදුරු වූ බැවින් පවුල්වල එතෙක් පැවැති සමබරතාව ගිලිහීම විශාල බලපෑමක් විය. තවද, ස්ව උත්සාහයෙන් ජීවිකාව කරගෙන ගියවුන් හට එතෙක් ආත්ම විශ්වාසයෙන් ජීවිකාව කරගෙන ගිය ජීවිකාවන් වෙනුවට නව ආදායම් මාර්ග හා ජීවන රටාවන්ට නැඹුරු වීමට සිදුවීම නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය.
සුනාමි යන වචනය ජනවහරට ලැබී ඇත්තේ ජපන් බසිනි. වරාය රළ දහරා යන්න මෙයි තේරුමයි. මුහුද ගොඩගැලීම පිළිබඳව ඉතිහාසයේදී සඳහන්ව තිබුණද, 2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාවේ ජීවිත 40,000ක් පමණ නැති කරමින් ඇතිවූ සුනාමිය තෙක්, එය අප රටට බලපාන ස්වභාවික ආපදාවක් බවට දැනුවත් භාවයක් නොතිබිණි. සුනාමිය ඇතිවීම හෝ එහි පැතිරීම කෙරෙහි කිසිදු බලපෑමක් අපට ඇති කළ නොහැකි වුවද, සැලැසුම් සහගතව කටයුතු කළහොත් ඉන් සිදුවිය හැකි බලපෑම අවම කළ හැකිය. සුනාමි තත්ත්වයක් නැවත ඇති වුවහොත් ඉන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි අවමය කර ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීමත් ආයතන ශක්තිමත් කිරීමත් ඉතා වැදගත් වේ. මේ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයන් හා නව සංනිවේදනයේ හා තාක්ෂණයෙන් ලැබෙන අත්දැකීම් උපයෝගී කරගත හැකි බව හා විද්‍යාඥයෝ හා කාලගුණ විද්‍යාඥයෝ පවසති.
පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා උපදේශක මහාචාර්ය කපිල දහනායක මහතා පවසන පරිදි සුනාමිය යනු මුහුදු පත්ලේ සිදුවන භූමි කම්පාවක්, මුහුදු පතුලේ සිදුවන තල දෝලනය වීමක්, මුහුදු පත්ලේ හෝ මුහුද මතුපිට සිදුවන නාය යැමක්, මුහුදු පතුලේ සිදුවන ගිනි කඳු පිපිරීමක්, අභ්‍යවකාශ වස්තුවක් ජලය මතට පතිත වීමක්, සාගර මාධ්‍යයේ කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීමක් හේතුකොට ගෙන විශාල ප්‍රමාණයේ සාගර ජලරළ ඉතා වේගයෙන් විස්ථාපනය වීම හේතුවෙන් ඇති කරනු ලබන මුහුදු රළ මාලාවකටය. මේ රළ වැඩිපුර ඉහළයන්නේ මේ භූමිකම්පාව නිසා සුනාමි සිරස්ව ගැටීම නිසාය.
ගැඹුරු මුහුදේදී සුනාමි රළෙහි උස කුඩා විය හැකිය. නමුත් මෙය ගොඩබිම දෙසට ඇදෙන විට ගැඹුර අඩුවත්ම රළෙහි උස වැඩිවී වේගය ද අඩුවේ. මෙය දළ වශයෙන් ගැඹුරු මුහුදේදී උස මීටර් 3 - 10ත් අතර පමණ වූවත් ගොඩබිමට ආසන්න වන විට උස මීටර් 10 - 30ත් අතර ප්‍රමාණයක් දක්වා විය හැකිය.
නමුත් තරංග ආයාමයේ වෙනසක් ඇති නොවේ. මෙය දළ වශයෙන් දිගින් කි.මී. 100 - 700 තරම් විය හැකිය. මෙවන් රළ දහරාවක් හෝ එවැනි රළ දහරාවන් දහයක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් දළ වශයෙන් වේගය පැයට කි.මී. 450ක් හෝ 800ක් පමණ වේගයෙන් වෙරළේ වැදී විසිරීමක් සිදු වේ. පසුගිය සුනාමියෙන් ශ්‍රී ලංකාවේ වෙරළට පැමිණි රළ දහරාවන‍්ගේ වේගය පැයට කි.මී. 100 - 350 අතර වැඩි වූ බව තහවුරුව තිබේ.
සුනාමි රළ, සාගරය හා ගොඩබිම අතර ඇතිවන සුළං බලපෑම නිසා ඇති කරුණු ලබන සාමාන්‍ය රළට වඩා වෙනස්ය. සාමාන්‍ය රළ අර්ධ වක්‍රකාර ස්වරූපයක් ගන්නා අතර තරංග ආයාමය මීටර් 3 - 16ක් තරම් දුරකින් වේ. නමුත් සුනාමි රළ සිරස් බැම්මක මුහුණත ආකාරයෙන් තරංග ආයාමය කි.මී. 100 - 1000ත් අතර යුක්ත වේ.
සුනාමිය ඇතිවීමට පෙර වෙරළ තීරයේ ඊටම ආවේනික අස්වාභාවික තත්ත්වයන් දක්නට ලැබීම සුනාමි ඇති වීමේ පෙරනිමිති ලෙස දැක්විය හැකිය. සුනාමියක් ඇතිවීමට පෙර වෙරළ ආසන්නයේ බොහෝ අමුතු සිදුවීම් ඇතිවේ.
සුනාමි අපි කේන්ද්‍රයේ සාගර ජලතලය එකවිට ඉහළ නැඟීම නිසා ජලය ඒකරාශී වීමක් සිදුවේ. එම නිසා ගොඩබිමට ආසන්න සාගර ජල මට්ටම ක්ෂණික පහළ බැසීමක් ඇතිවිය හැකිය. නමුත් එය ඉතා වේගයෙන් වෙනස් වන තත්ත්වයක් බවද අවබෝධ කරගත යුතු වේ. වෙරළ තීරයෙන් අස්වාභාවික ලෙස මසුන් ගොඩබිමට ආසන්න වීමට හෝ සාගර ජීවීන්ගේ හැසිරීමේ වෙනස්කමක් හෝ කැලඹීමක් ඇතිවිය හැකිය. වෙරළට ආසන්නයේ ජීවත්වන බල්ලන්, කුරුල්ලන්, උරගයන් වැනි සතුන් ගොඩබිම සතුන් කැලඹීමකට පත්විය හැකිය.
ස්වාභාවික සංසිද්ධීන් නිරීක්ෂණය කිරීම තුළින් පෙරදිග රටවල් සුනාමි ව්‍යසනය කල්තබා හඳුනා ගැනීමට උත්සහ දරමින් සිටී. මේ සඳහා සත්වයින් ගේ ස්වභාවය හා හැසිරීම් අවදානයට ලක්කෙරේ. පොළොව අභ්‍යන්තරයේ වෙසෙන සමහර කෘමීන් හා පණු වර්ග පොළොව අභ්‍යන්තරයේ සිදුවන මෙවැනි වෙනස්වීම් වලට සංවේදී වේ. තවද, ගොඩබිම වෙසෙන සිවුපා සතුන්, කුරුල්ලන් හා මුහුදේ සිටින මාළු විශේෂ පවා මෙවැනි සිදුවීම්වලට සංවේදී අස්වාභාවික හැසිරීම් රටාවක් පෙන්නුම් කරයි.
විද්‍යාත්මක ප්‍රවේශයන්ගේ දියුණුවත් සමඟ බටහිර දියුණු රටවල් විසින් නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් සුනාමි තත්ත්වයන් ඇතිවන භූ කලාප හා කාලය කල්තියා හඳුනාගැනීමට හැකිව තිබේ. මෙය බොහෝදුරට නිවැරදි හා විද්‍යාත්මක ප්‍රවේශයක් බැවින් බොහෝදෙනා මෙම ප්‍රවේශය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන සියුම් සන්නිවේදන උපක්‍රම නිසා මෙවැනි තොරතුරු ඉතා ඉක්මණින් අදාළ රටවලට හා ප්‍රදේශවලට දැන්වීමට හැකි බැවින් නව තාක්ෂණික ක්‍රමවේදයන්ගේ හා කලාප කරා දැන්වීම පහසුවක්ව තිබේ. ඉන්දියන් සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මෙයට කදිම උදාහරණයක් බව මහාචාර්ය කපිල දහනායක පවසයි.
ලෝකයේ දැනට සිදුවී ඇති භූමි කම්පා හා සුනාමි සිද්ධි වාර්තාවලට අනුව වැඩිම සුනාමි සිද්ධීන් වාර්තා වන්නේ පැසිපික් සාගරයෙන් හා ඉන්දීය සාගරයෙන් ය. මෙයට හේතුව සුනාමි තත්ත්වයක් ඇති කිරීම සඳහා හේතුවන ආකාරයේ තල මායිම් මෙම කලාපය තුළ පිහිටා තිබීමයි. තල දෙකක් එකිනෙකට ගැටී එක් තලයක් තවත් තලයක් යටින් කිඳා බැසීම හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව බොහෝවිට තිබේ. මේ ආකාරයේ තල පිහිටීමක් ඉන්දීය සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ දක්නට ලැබේ.
එදා අපට ආ සුනාමිය අපට විශාල හානියක් සිදු කළත් ඒ සුනාමිය නිසා අපට ලැබුණු වාසි රැසක් ද තිබේ.
ඒ අනුව අපට ලැබුණු විශාලතම වාසිය සුනාමිය නිසා අපට නව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් හා නව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ලබාගත හැකි වීම බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
“අපේ රටට සුනාමි ආපදා පිළිබඳව පූර්ව දැනුම්වත් කිරීමේ සුනාමි කුලුනු 77ක් පිහිටුවා තිබෙනවා. සුනාමි අවදානම පිළිබඳව පෙර සූදානම් පුහුණුවද පෙරහුරු ද දිස්ත්‍රික්ක 25ටම ලබා දුන්නා.,, කොඩිප්පිලි මහතා පවසයි.
සුනාමි ආපදා අප රටට ඉදිරියටත් පැමිණීමට ඉඩ ඇති ස්වාභාවික විපත්තියකි. ඒ අනුව අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දැනුම්වත් විය යුතුය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසන පරිදි ලංකාවට දකුණු දෙසින් කිලෝ මීටර් 300 - 400 අතර ප්‍රදේශයේ අලුතින් ඇතිවී ඇති භූ පැල්මක් නිසා ඒ ප්‍රදේශයේ භූමිකම්පා බහුල ප්‍රදේශයක් බවට පත්ව ඇත. එය සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දකුණු දිශා ප්‍රදේශයේ තිබෙන ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය දෙකට පැලී බෙදී වෙන්වීමේ ප්‍රවණතාවක් දැනට වසර ගණනාවකට පෙර ආරම්භ වී තිබීම නිසයි. ඒ පැල්ම දැන් විශාල වෙමින් තිබෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. ඒ නිසා ඒ පැල්ම ඇති ප්‍රදේශයේ භූ ගර්භය ඉතා අස්ථායී වී ඇත. මේ භූතැටිය වෙන්වන භූ පැල්ම අප රටට කිලෝමීටර් 300ක් දුරින් තිබෙන නිසා ඒ ප්‍රදේශයේ සිදුවන භූමිකම්පා ෙහ්තුවෙන් සුනාමි ආපදා ඇති වුවහොත් ඒවා අපේ රටට ද අහිතකර බලපෑම් ඇති කිරීමට ඉඩ ඇත. ඒ අනුව නැඟෙනහිර ඉන්දියානු කලාපයේ සුමාත්‍රා දූපත් අවට ප්‍රදේශය ද මේ කලාපයට ළංව පිහිටා ඇති නිසා සුනාමි තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ ඇත. ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටීමට හා විශේෂයෙන් සුනාමි තොරතුරු මධ්‍යස්ථානවල අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබඳ අවධානය යොමු කිරීමට අප කටයුතු කළේය.
ෙම් සමඟම අපේ රටට සුනාමියක් ආවොත් ඒ පිළිබඳව රට පුරා ඇති සුනාමි කුළුණු හා සෙලියුලර් දුරකථන ඔස්සේ ඒ ප්‍රදේශවල ජනතාවට ක්ෂණිකව දැනුම් දීමේ වැඩපිළිවෙළක් ද රජය දැන් ක්‍රියාවට නංවා තිබේ. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අංක 117 දුරකථනය මඟින් වැඩි විස්තර ලබාගත හැකි ය.
ඊට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, සිංගප්පූරුව හා මාලදිවයින යන රටවල් ඒකාබද්ධව දැන් ඉන්දියන් සාගර සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය ක්‍රියාත්මක වෙයි. එමඟින් ද මේ ප්‍රදේශයේ සිදුවන භූමිකම්පා පිළිබඳව ඒවා සිදුවී විනාඩි 10ක් 15ක් ඇතුළත ඒ බව අපට දැනගත හැකිය. ඒ පිළිබඳ වැඩි විස්තර ක්ෂණිකව මෙරට ආරක්ෂක හමුදා හා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති මඟින් ජනතාවට ලබාදීමට කටයුතු කරනු ලැබේ.
සුනාමියෙන් වන හානි අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග රැසකි. ඒ අනුව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධති ඉදිකිරීම, පොදු සුනාමි ආරක්ෂක මධ්‍යස්ථාන ඉදිකිරීම, වෙරළබඩ ඉදිකිරීම් සිදුකිරීමේ දී සුනාමියට ඔරොත්තු දෙන ඉදිකිරීම් සඳහා ධෛර්යවත් කිරීම හා වෙරළබඩ දුර්වල හා අනාරක්ෂිත ස්ථාන ආරක්ෂිත ජීව වැටි හා ගල්වැටි මඟින් ශක්තිමත් කිරීම මේ යටතේ සිදු කළ හැකිය. ඊට අමතරව වෙරළ කලාපයේ හරිත තීරයක් ඇති කිරීම හා වෙරළබඩ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම ද වෙරළ ආරක්ෂිත කලාපයේ කෙරෙන ඉදිකිරීම් පාලනය ද කළ හැකිය.
මීට අමතරව සුනාමි හා භූමිකම්පා පිළිබඳව පාසල් විෂය මාලාවලට ද කරුණු ඇතුළත් කර සිසු පරපුර දැනුම්වත් කිරීම කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා පෙන්වා දෙයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ආඥා පනත අනුව වෙරළේ ඇති ස්ථිර තුරුලතා තීරුවේ සිට ගොඩබිම දෙසට මීටර් 300ක් දක්වා වූ ප්‍රදේශයේ කරන සියලු ඉදිකිරීම් සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතුය.
ඒ අනුව රටේ වෙරළේ විවිධ ප්‍රදේශවල හා පාරිසරික සංවේදී කලාපවල ස්ථිර තුරුලතා තීරුවේ සිට ගොඩබිමට දෙසට යම් දුරක් ගොඩනැඟිලි ඉදිකිරීම තහනම් ප්‍රදේශ ලෙස ගැසට් කර ඇත. ඒ අනුව කටයුතු කිරීම ජනතාවගේ හා පළාත් පාලන ආයතනවල යුතුකමකි. එය සුනාමියක් ආවොත් ආරක්ෂාවට සුදුසු වැඩපිළිවෙළකි.
මේ අනුව අප 2014 වූ සුනාමිය පිළිබඳ මතකය දුක්ඛදායක හා අමිහිරි වුවත් එය අමතක නොකළ යුතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව, එදා සුනාමියෙන් අපට ලැබුණු අමිහිරි පාඩම් අපේ රට ස්වාභාවික අපදාවලින් අවම රටක් කිරීමට මෙන්ම එම ආපදාවලින් අපේ රටේ ජනතාව සුරැකීමට සුවිශේෂ අත්වැලක් සපයන බැවිනි.