
* කළුකඩ මුදලාලිලා ගැන 1977ට දැනුම් දෙන්න
* වැටලීම් 959ක් නඩු 857ක්
* සති දෙකක් තුළ රුපියල් ලක්ෂ 38ක් දඩ ලෙස රජයට
එළඹෙන නත්තල් හා නව අවුරුදු උත්සව සමය වෙනුවෙන් විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත.
කූට හා වංචනික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරකම් නිසා පාරිභෝගික ජනතාවට වෙළෙඳ පොළේදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සහ ඇතිවිය හැකි ගැටලු මඟ හැර වීම මේ වැඩපිළිවෙළේ අරමුණයි. මේ වනවිටත් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු විමර්ශන නිලධාරීන්ගේ දායකත්වය ලැබී තිබේ.
උත්සව සමයට සමගාමීව ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම්, ගෘහ උපකරණ, විදුලි උපකරණ වැනි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව වැඩි වශයෙන් පෙලඹෙන අතර ලාභය පමණක් පරමාර්ථ කරගත් අවස්ථාවාදී, කූට, වංචනික, වෙළෙඳුන් විවිධ උපක්‍රම භාවිත කර එකී පාරිභෝගික ජනතාව සූරා කෑමට ලක් කරන බව අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිරීක්ෂණය කර තිබේ.
මෙවැනි උත්සව කාලවලදී වට්ටම් තොග අවසන් කිරීමේ දීමනා ආදී විවිධ නම්වලින් මෙන් ම කල් ඉකුත් වූ හා භාවිතයට නුසුදුසු භාණ්ඩ රැසක් වෙළෙඳපොළට පැමිණෙන අතර, එවැනි දෑ පිළිබඳ ව දැඩි ව සොයා බලමින් නීතිය තදින් ම ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිය විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් දෙසැම්බර් 01 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉතා සාර්ථක වැටලීම් 959ක් සිදු කර ඉන් සිද්ධි 857 කට ම විරුද්ධ ව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
එහිදී රුපියල් තිස් හත් ලක්ෂ හැට එක් දහසක මුදලක් ද දඩ ලෙස රජයට අයකර දීමට ඔවුන්ට හැකියාව ලැබුණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් උත්සව සමය තුළ ක්‍රියාත්මක කර ඇති මෙම විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳව ‘සිළුමිණ’ කළ විමසුමකදී කරුණු අනාවරණය කළ එ් අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ සෑම වසරක ම විශේෂ උත්සව අවස්ථාවන්ට සමගාමීව තම අධිකාරිය මේ පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති බවයි.
ඒ අනුව මේ කාලවකවානුව තුළ ද එ් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, එහිදී කරුණු රැසක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස සිය විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, ඔහු පැහැදිලි කළේ ය.
මේ උපදෙස්වලට අනුව සෑම දිස්ත්‍රික්කයකම ඇති ප්‍රධාන තොග අලෙවිසල් හා ගබඩා පරීක්ෂා කිරීම ද සහිතව වැටලීම් සිදු කළ යුතු අතර එලෙස තොග ගබඩා සහ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම මඟින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරන ලද යම් යම් භාණ්ඩ වෙළෙඳ පොළට පැමිණීම වළක්වා තිබේ. තවද සිල්ලර වෙළෙඳසල් වැටලීම් සඳහා ද විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, උත්සව සමයේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදු කරන ඇඳුම් පැලඳුම්, රසකැවිලි, කුළු බඩු, විදුලි උපකරණ හා අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් ව සිය විමර්ශන කටයුතු සිදු කරන ලෙස අධිකාරියේ සියලු විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලැබී ඇත.
එපමණක් නොව ජංගම වෙළෙඳුන් සහ සේල් වැනි වෙළෙඳ ක්‍රියාකාරකම් සම්බන්ධව ද විශේෂ අධීක්ෂණයක් සිදු කෙරෙන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තැබීම, භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම ආදී දෑ සම්බන්ධ ව ද මේ වැඩපිළිවෙළ තුළ ප්රමුඛත්වයක් දක්වා ඇත. අදාළ භාණ්ඩ හා සේවා නියමිත මිලට වෙළෙඳසල් තුළ විකිණීම සිදුවෙන්නේ දැයි යන්න පිළිබඳ ව මෙහිදී විමර්ශන සිදු කෙරේ.
තවද භාණ්ඩ මිල සඳහන් කර ප්‍රදර්ශනය කර විකිණීමෙන් පාරිභෝගික අයිතීන් වඩ වඩාත් සුරක්ෂිත කිරීමටත් එලෙස මිල ප්‍රදර්ශනය නොකර එකී භාණ්ඩ හා සේවා අලෙවි කරනු ලබන වෙළෙඳසල් සඳහා නීතිය තදින් ම ක්‍රියාත්මක කිරීමටත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ උත්සව සමය තුළ විශේෂ අවධානයක් යොමු කරන අැත. එම භාණ්ඩ හා සේවා පාරිභෝගික ජනතාව වෙත සැපයීමේදී විධිමත් බිල්පත් නිකුත් කිරීම මඟින් විධිමත් වෙළෙඳාමක් සිදුවන බවට විමසිලිමත් වීම හා ඒ හා සම්බන්ධ වැටලීම් සිදු කිරීම ද අධිකාරියේ විමර්ශන නිලධාරීන් මඟින් සිදු කෙරෙන අතර පාරිභෝගිකයන් නොමඟ යවන සුලු වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. මේ අතර මෙවැනි උත්සව සමයන්හිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නම භාවිත කරමින් එහි විමර්ශන නිලධාරීන් ලෙස පෙනී සිටින ඇතැම් කූට ජාවාරම්කරුවන් හා කණ්ඩායම් සුලබ වන බැවින් එවැනි වංචා වලට හසු නොවන ලෙස සමස්ත වෙළෙඳ ප්‍රජාවම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද මේ අධිකාරිය මඟින් මේ වනවිටත් සිදුකර තිබේ.
තවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උත්සව සමය තුළ විවිධ වර්ගයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ වෙළෙඳ පොළ අධ්‍යයනයක් සිදුකර හොඳ අවබෝධයකින් යුතුව මෙම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මේ විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළින් වෙළෙඳ පොළ විධිමත් කිරීම, පාරිභෝගිකයන් හට සිදුවන දුෂ්කරතා මඟහැරවීම සහ පාරිභෝගික සූරාකෑම් අවම කිරීමට ද කටයුතු යොදා ඇති අතර, උත්සව සමය නිමවන තුරුම සති අන්ත හා නිවාඩු දිනවල ද වැටලීම් සිදු කිරීමට ඔවුන් කටයුතු යොදා තිබේ.