සැබෑ නත්තල සම­රනු රිසි මිනි­සුන් වෙතයි... | සිළුමිණ

සැබෑ නත්තල සම­රනු රිසි මිනි­සුන් වෙතයි...

නත්තලේ අසි­රිය හද­ව­තින් පම­ණක් භුක්ති­විඳ සතුටු වන අව්‍යාජ කතෝ­ලි­ක­යන් පිරි­ස­කගේ ගලා­ගෙන යන භක්තිය දුටු­වෙමු. ඒ පුත්ත­ල­ම­දීය.

ජුසේ­වාස් මුනි­ඳුන් වසර 400කට පෙර පුත්ත­ලම නගර මධ්‍යයේ වැඩ සිට ඇත. උන්ව­හ­න්සේගේ සම්ප්‍රා­ප්තිය සලකුණු කිරී­මත් උන්ව­හන්සේ කෙරෙහි කතෝ­ලික බැති­ම­තුන් සතුවූ විශ්වා­ස­යත් යන කරුණු පදම් කර­ගෙන දැනට වසර 30 පමණ පෙර පුත්ත­ලම, සීමා­වෙ­ල්ලිය ප්‍රදේ­ශ­යේදී සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තා­නගේ එක­මු­තු­වෙන් පොල් අතු සෙවිලි කර­මින් කුඩා පල්ලි­යක් ආරම්භ විය. ඒ අති උතුම් ජුසේ­වාස් මුනිඳුන්ගේ නමිනි. එම දේව­ස්ථා­නය එවක සිට මේ දක්වා ප්‍රදේ­ශයේ කතෝ­ලික බැති­ම­තුන්ගේ විශේෂ වන්ද­නා­වට පාත්‍ර විය.

බැති­මත්හු එම දෙවොල පිළි­බඳ විශේෂ විශ්වාසයක් තබති. දේව කරු­ණාව ලබා­ගෙන දරු­ඵල අපේ­ක්ෂා­වෙන් මෙතැ­නට එන බැති­මත්හු බොහෝය. විවිධ දුක් කම්ක­ටො­ලු­ව­ලින් පීඩා විඳින මිනිස්සු මෙතැ­නට විත් ඒ දුක් ගංගා මුදා හරිති. එහෙත් දෙවොලේ සශ්‍රීක දැකුම් නැත.

දෙවොල පිහිටා ඇත්තේ අඩු අදා­යම් ලාභි පවුල් 60කින් පමණ සම­න්විත සීමා­වෙ­ල්ලිය නම් ගම්මා­න­යේය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාති­කයෝ මේ ගමේ වෙසෙති. ගම්මා­නයේ බහු­ත­ර­යක් කතෝ­ලික බැති­ම­ත්හුය. ගම් වැසි­යන්ගේ ප්‍රධාන ජීව­නෝ­පාය කෘෂි­ක­ර්මා­න්තය ආශ්‍රිත දෛනික කුලී වැඩය. ලැබෙන සොච්චම් මුද­ලින් දිවි ගැට ගහ ගැනීම මිස ඔවුන්ට වෙන අදා­ය­මක් නැත.

මේ දුගී මිනිස්සු තමන්ගේ පොල් අතු දේව­ස්ථා­නය වෙනු­වට ස්ථිර ගොඩ­නැ­ගි­ල්ලක් සහිත දේව­ස්ථා­න­යක් ගොඩ­නඟා ගැනී­මට දිවා රෑ නැතිව වෙහෙ­සුණු ආකා­රය සම්බ­න්ධව සංවේදී කතා­වක් තිබේ. මේ වන විට එම උත්සාහ මල්ඵල දරා ඇත. ඔවුහු දහ­ඩිය කඳුළු උතුරා යන භක්ති­යෙන් දිය­කොට තැනූ ඒ උතුම් දේව­ස්ථා­නය අබි­යස වී හිඳිමු. ඒ දුගී මිනි­ස්සුන්ගේ හද­ව­ත්වල දෙවියෝ වැඩ­උන්හ.

මේ මිනි­සුන් එදා වේල යන්ත­මින් සරි කර­ගත් අයය. කුලි­යක් මලි­යක් කර­මින් උප­යා­ගන්නා සොච්චම සිය දේව­ස්ථා­නය ගොඩ­නැ­ගීම සඳහා පීදී­මට තරම් ඔවහු සිතින් පොහො­සත්ය. කුලී කිරීම දින­කට මග­හැර දෙවි­යන් ශ්‍රමය මේ සද්කා­ර්යය වෙනු­වෙන් පිදී­මට තරම් ඔවුන්ගේ සිත් බැති­මත්ය. මේ දිරි­මත් මිනි­සුන් මෙන්ම බෙන­ඩි­කානු නිකායේ ජූඩ් පිය­තු­මන්, ශාන්ත පිය­තු­මන් ඇතුළු තවත් පිය­තු­මන්ලා මේ දේව­ස්ථා­නය වත්මන් තත්ත්ව­යට ගෙන ඒමට විශාල පරි­ශ්‍ර­ම­යක් දරා තිබිණි.

එහෙත් දේව­ස්ථා­නය වටා තව­මත් දක්නට ඇත්තේ දරි­ද්‍ර­තාවේ දුක්බර ලකු­ණුය. මෙතැ­නට දෙවි­යන්ගේ පිහිට පතා එන සිය­යක් බැති­ම­තුන්ගේ දෑසට පෙනී නොපෙනී ගොස් ඇති ඒ අඩු­පාඩු බොහෝය. දහම් පාසල් ළම­යින් සඳහා ඉගෙ­නුම් කට­යුතු සිදු කිරී­මට ප්‍රමා­ණ­වත් ගොඩ­නැ­ගි­ල්ලක් නැත. දරු­වන් දහම් අධ්‍යා­ප­නය ලබන්නේ ගස් යට පැදුරු කඩ­මාලු එළා­ගෙ­නය. දහම් පාස­ලට ඇඳු­මක් නැත. මේ අස­රණ දරු දැරියෝ ගෙද­රට ඇඳ­ගෙන සිටින ඇඳු­මෙන් සැරසී පල්ලි­යට පැමිණ සිටි­යහ. පසෙක කුඩා­වට ආරම්භ කර ඇති පෙර පාස­ලකි. දේව­ස්ථා­න­යට ජල පහ­සු­කම් නැත. උග්‍ර පානිය ජල ප්‍රශ්න­යට දේශ­පා­ලන අධි­කා­රිය විසින් ලබා දී තිබූ බලා­පො­රොත්තු ආණ්ඩු පෙර­ළිත් සමඟ වෙනස් වීම දැන් මොවුන්ට හුරු­පු­රු­දුය.

සැබෑ නත්තල මෙවැනි මිනි­සුන් සමඟ ජීවි­තය බෙදා­ගැ­නී­මය. ආදර හා මනු­ෂ්‍ය­ත්වය බෙදා­ගැ­නී­මය. මේ රටේ සංවේදී මිනි­සුන් කොතෙ­කුත් සිටින බව අපගේ විශ්වා­සය ය. ඔවුන් මේ මිනි­සුන්ගේ ජීවිත නත්තල් සතු­ටින් පුර­වනු ඇති බව අපේ හැඟී­මය.

මීසම භාර කෙන­ඩික් පිය­තු­මන් පවසා සිටියේ මෙවැ­න්නකි.

“මගෙ මීස­මට අයත් දේව­ස්ථාන 11 පිහි­ටලා තියෙ­නවා. ඒ දේව­ස්ථාන අත­රින් ඉතාම දුෂ්ක­රම දේව­ස්ථා­නය තමයි මේ ජුසේ­වාස් දේව­ස්ථා­නය. අන්ත අස­රණ දුප්පත් ජන­තා­වක් සිටින ගම්මා­න­යක් මේ ගම්මා­නය. අවු­රුදු ගානක් මේ දේව­ස්ථා­නය ඉදි කර ගන්න මේ ජන­තාව පුදු­මා­කාර දුකක් විඳලා තියෙන්නෙ. ඒ විත­රක් නෙමෙයි අපේ පිය­තු­මන්ලා, කන්‍යා සොහො­යු­රි­යන් දැඩි වෙහෙ­සක් දරලා තියෙ­නවා. අද වෙද්දි යම්තාක් දුරට දෙවි­යන් වහ­න්සේගේ ආශි­ර්වා­ද­යෙන් මේ දේව­ස්ථා­නය ඉදි කර­වා­ගැ­නීම හැකි­යාව ලැබිලා තියෙ­නවා. ඒ වෙනු­වෙන් සමස්ත ජන­තා­වගේ සිත් තුළ සතු­ටක් තියෙ­නවා. නමුත් අඩු­පාඩු තියන දේව­ස්ථා­න­යක් තමයි මේ දේව­ස්ථා­නය. අපට විශා­ලම අඩුව තමා උග්‍ර පානිය ජල හිඟය. ගොඩ­නැ­ගි­ලි­වල අඩුව. මේ සිය­ල්ලම අංග සම්පූර්ණ කර ගන්න අප සතුව වත්කම් නෑ.

ඒ නිසා අප මෙතැ­නින් නතර වෙලා සිටි­නවා. අප විශ්වාස කර­නවා දෙවි­යන් වහ­න්සේගේ දේව ආශි­ර්වා­ද­යෙන් අපට කවදා හෝ අපේ අඩු­පාඩු සපුරා ගන්න අව­ස්ථාව උදා­වෙයි කියලා. ආගම් භේද­ය­කින් තොරව මේ දේව­ස්ථා­න­යයේ අඩු­පාඩු සපුරා ගන්න දායක වන්නාවූ සියලු දෙනාට දෙවින් වහ­න්සේගේ ආශි­ර්වා­දය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර­නවා.

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සු­කදී ගම්වැසි ජේ.ඒ.ලිලී මාග්‍ර­රට් කියා සිටියේ මෙවැ­න්නකි.

මට දැන් අවු­රුදු 70ක් පමණ වෙනවා. මේ පල්ලිය හදලා දැනට අවු­රුදු 30ක් විතර ඇති. අපි බොහොම දුප්පත්. අපි ගොඩක් මහ­න්සි­වෙලා ඔළු­වෙන් වැලි තාච්චි අැදලා මේ පල්ලිය හදා ගත්තෙ. ඒදා පොල් අතු පල්ලිය තියෙද්දි අපේ එකම අර­මුණ වුනේ කවදා හෝ ගලෙන් පල්ලි­යක් බැද ගන්න ඕනෙ කියලා. ඒ හීනය දැන් සැබෑ වුණා. එක ගැන අපිට ආඩ­ම්බ­රයි. නමුත් අපිත් කැම­තියි අංග සම්පූර්ණ පල්ලි­යක් අපට හදා ගන්න. අපේ පල්ලි­යට අවශ්‍ය යටි­තල පහ­සු­කම් ටික හදලා දෙන­වා­ නම් ඒ දෙවි­යන් වහන්සේ වෙනු­වෙන් කර­න්නාවූ දේව­මෙ­‍ෙහ­යක් ලෙසයි අපි දකින්නේ.

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සු­කදී ගම්වාසී පී. කමලා පවසා සිටියේ මෙවැ­න්නකි.

“අපේ දරුවො ඉගෙන ගත්තෙ මේ පල්ලි­යෙන්. අද අපේ දරු­වන්ගේ දරු­වොත් මේ පල්ලි­යට යනවා. මේ පල්ලි­යට ලොකු ඉති­හා­ස­යක් තියෙ­නවා. හාස්කම් ගොඩක් තියෙන පුත්ත­ලමේ එකම පල්ලිය මේ පල්ලිය. අපිට මේ අඩු­පාඩු සම්පූර්ණ කර­ගන්න ගොඩාක් අප­හ­සුයි. ඒ නිසා අපි කාගෙන් හරි ඉල්ලන්නෙ අපේ මේ පල්ලියෙ තියෙන අඩු­පාඩු හදලා අපේ ළම­යින්ගේ අනා­ග­තය යහ­පත් කර­ගන්න උදව් වෙන්න කියලා.

එම්.ඒ. නිලන්ත ද කතා­වට එක්වූ­යේය. ඔහු පවසා සිටියේ මෙවැ­න්නකි.

විශාල දුෂ්ක­රතා ප්‍රමා­ණ­යක් මැද මේ ගෙවන ජීවි­තය හරිම කටු­කයි. මම වෘත්තියෙන් පෙද­රේ­රු­වෙක්. මම මගේ ශ්‍රමය ගොඩක් මේ සඳහා වැය කරලා තියෙ­නවා. මේ පල්ලි­යට අවශ්‍ය කරන යටි­තල පහ­සු­කම් සියල්ල සම්පූර්ණ කරලා දෙන්න පුළුවන් නම් ඒ දෙවි­යන් වහන්සේ වෙනු­වෙන් කරන දේව මෙහෙ­ය­ව­රක්.

සැබෑ නත්තල සම­රනු රිසි මිනි­සුන් මේ අස­ර­ණ­යන් සමඟ අත්වැල් බැඳ­ගනු ඇත.

සේයාරූ - වනාතවිල්ලුව සමූහ
ප්‍රියංකර කළුපහණ

Comments