කප්පම් අයිතියට කා කොටා ගන්නා හංවැල්ල පාතාලය | Page 4 | සිළුමිණ

කප්පම් අයිතියට කා කොටා ගන්නා හංවැල්ල පාතාලය

ඉකුත් දිනවල හංවැල්ල පොලිස් වසම සහ ඒ අවට පෙදෙස් කිහිපයකම මිනී මරාගැනීම්, කප්පම් ගැනීම්, මිනිසුන් බියවැද්දීම් වාර්තා විය. රටක් ලෙස තිගැස්මකට ලක් විය යුතු ආකාරයට හංවැල්ල ප්‍රදේශය තුළ පාතාල සාමාජිකයෝ සක්‍රීයව සිටියහ. මේ පසුබිමේ දී මේ ප්‍රදේශවාසී ඇතැමෙකු නිවෙස් පමණක් නොව ප්‍රදේශය ද හැරදා ගිය බවක් වාර්තා විණි.

මේ තත්ත්වය මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී එම්. ආර්. ලතිෆ් ගේ මෙහෙයවීමෙන් යුත් සංවිධානාත්මක අපරාධ නිවාරණයටම කැප වී සිටින විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය දිවා රෑ නොබලා මෙහෙයුම් මාලාවක් ක්‍රියාත්මක කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස තත්ත්වය පාලනය වී ඇත. අපරාධකරුවන් 20කට ආසන්න පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 23 වැනි දා සහ 24 වැනි දා එලෙස කප්පම් ගැනීම්වලට ඍජුවම සම්බන්ධ වූ හංවැල්ලේ ඇඹුල්ගම වෙසෙන සිසිර කුමාර හෙවත් බූලා හෙවත් කාක්කා නමැති අපරාධකාරයෙකු කඩු කිහිපයක් සමඟ ද, අනුර සේනාරත්න හෙවත් මහතුන් (24) ජීවන්ත සම්පත් හෙවත් චූටික්කා (39), සහ අකලංක නිර්මාල් හෙවත් බන්ටි (26) යන තිදෙනාද විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ හංවැල්ල අවටින් කප්පම් ගැනීම් අතුගා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙමිනි.

මීට මාස හයකට පමණ පෙර දලු ලා වැඩෙන්නට වූ හංවැල්ල අවට භීෂණයට මූලිකම හේතුව පාතාල සාමාජිකයන් අතර ඇති වී තිබෙන බල අරගලයකි. අහිංසක ජනයාගෙන් කප්පම් එකතු කරන අපරාධකාරයන් කණ්ඩායම්වලට බෙදී, සීමා නිර්ණය කොට කප්පම් ගැනීම් එම පෙදෙස්වල පසුගිය කාලයේම සිදු විණි. එසේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවාට අමතරව කඩුවෙල, හංවැල්ල පෙදෙස්වල පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවලට මෑන් පවර් ක්‍රමයට සේවක සැපයීම් මඟන් ද මේ කප්පම්කරුවෝ ලක්ෂ ගණනින් මුදල් උපයා ගත්හ.

මේ සියලු කප්පම්ගැනීම් වත්මනෙහි සිදු කරන්නේ කළුතර, එතනමඩල දී පසුගිය වසරේ පෙබරවාරි 27 වැනි දා බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය කඩුවෙල දැඩිගමුවේ විසූ අරුණ උදයශාන්ත පතිරණ හෙවත් සමයංගේ ගෝලයන් විසිනි. සමයං ජීවත්ව සිටිය දී ඔහු විසින් සිය ගෝලයන් ලවා මේ සියලුම පෙදෙස්වල කප්පම් ගැනීම් සිදු කෙරුණේ ඔහුගේ තනි බලය පතුරුවමිනි. සමයංගේ මරණයෙන් පසුව එම පෙදෙස්වල ජනයා සැනසුම් සුසුම් හෙළුවේ තම සේසත සූරා කන අපරාධකාරයන්ගෙන් එල්ල වන තාඩන-පීඩන අවසන් වේ යැයි සිතමිනි.

එහෙත් සමයංගේ ගෝලයන් වූ මාඹුලගේ මෙලන් දිනෙත් හෙවත් ඌරු ජුවා, ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා සහ ගොත අසංක යන තිදෙනා මේ වන විට එම පෙදෙස්වල සීමා නිර්ණ කොට කප්පම් ගැනීම් සිදු කරයි. එසේ වර්තමානයේ එම පෙදෙස්වල කප්පම් ගැනීම්වලට නායකත්වය දෙන අපරාධකාරයන් මෑතක දී කරළියට පැමිණි කාලකණ්ණින් ලෙස ආරක්ෂක අංශ හඳුන්වයි.

සිදු කළ අපරාධයක් නිසා 2016 වසරේ දී පොලිසියට බාරවූ ඌරු ජුවා වර්තමානයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට දුරකථන ඔස්සේ සියලු 'සෙල්ලම්' දමමින් සිටී. ගොත අසංක ද බන්ධනාගාරයේ සිට සිය ගෝලයන් ලවා කප්පම් එකතු කොට බන්ධනාගාරයටම ගෙන්වා ගන්නා බවට සැල වේ. බන්ධනාගාරයේ සිට අපරාධකාරයන් කප්පම් ගැනීම්වලට සිදු කරන දුරකථන භාවිතයට එරෙහිව බන්ධනාගාරයෙන් කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම කප්පම් කල්ලිවලට මහත් සහනයක් වී තිබෙන බව අපරාධ මැඬීමට කැප වී සිටින සියලු ආරක්ෂක අංශවලින් එල්ල වන චෝදනාවකි.

සමයං සිටි සමයේ ඔහුගේ ප්‍රධානතම ගෝලයකු වූ යුද හමුදාවෙන් පලා ගිය අයෙකු වන ඉන්ද්‍රා ද කලක් බන්ධනාගාරගතව මේ වන විට ඇප මත නිදහස් වී සිටින අයෙකි. එලෙස ඉන්ද්‍රා බන්ධනාගාරගතව තිබුණේ සමයං සිටි සමයේ පිටරට වෙසෙන අයකු විසින් සමයංට දුන් කොන්ත්‍රාත්තුවක් මත 2016 නොවැම්බර් මස මහනුවර අංකුඹුරේ විසූ මොහොමඩ් රූෆි නමැති තරුණයා ඝාතනය කිරීම හේතුවෙනි. එම ඝාතනයෙන් පසුව ඉඳුනිල් අංකුඹුරේ ඉන්ද්‍රා ලෙස ප්‍රකට වූයේය.

කප්පම් පොරය

හංවැල්ලේ මෑතක දී ඇතිවූ ප්‍රචණ්ඩකාරි තත්ත්වයට මූලික ලෙසම බලපෑවේ ඉන්ද්‍රා සහ ඌරු ජුවා අතර කලෙක සිට පාතාල බලය තහවුරු කරගැනීම සඳහා ක්‍රියාත්මකව ඇති බල පොරයකි. එය ඇති වන්නේ හංවැල්ල ඇතුළු කඩුවෙල පෙදෙස්වල අහිංසක ජනයාගෙන් කප්පම් ගැනීම මුල් කරගෙන ය. එම පෙදෙස්වල ඇතැම් ව්‍යාපාරිකයන්ට සිදු වී තිබෙන්නේ ඌරු ජුවා සහ ඉන්ද්‍රා යන දෙදෙනාටම මාරුවෙන් මාරුවට කප්පම් දීමටය. ඇතැමෙක් ඌරු ජුවාට කප්පම් නොදීමට ඉන්ද්‍රාගේ සහාය පතති.

මේ අතර කාලයේ දී හංවැල්ලේ වැලි ව්‍යාපාරයක් කරගෙන ගිය වැලි රාජු නමැත්තාගෙන් කප්පම් ඉල්ලා තිබුණේ ඌරු ජුවාගේ ගෝලයෝය. එහෙත් ඔහු ඌරු ජුවාගේ පිරිසට කප්පම් නොදීමට වැලි රාජු වග බලාගත් අතර වැලි රාජුගේ ගෝලයන් ඌරු ජුවාගේ ගෝලයන්ට පහර දී පලවා හැර තිබිණි. එලෙස තම ගෝලයන්ට පහරදීමට වැලි රාජුට ශක්තියක් ලැබුණේ ඉන්ද්‍රා නිසා බව ඌරු ජුවා දැනගෙන තිබිණි. එම ගැටුමත් සමඟ හංවැල්ල හේන්පිට පිහිටි සුඛෝපභෝගී නිවෙස අතහැර පලා යෑමට වැලි රාජුට සිදු විණි. ඒ අතර කාලයේ දී දිනක් ඌරු ජුවාගේ ගෝලයන් අට දෙනෙකු යතුරුපැදි තුනකින් පැමිණ වැලි රාජුගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කොට ගිනිතබා තිබුණේ මැදියම් රැයේ දීය. එම අපරාධයට පැමිණි සැකකරුවන් සියලු දෙනා සහ අපරාධය සිදු කරන ආකාරය නිවෙසේ සීසීටීවී දසුන්වල සටහන් වී තිබිණි.

එලෙස දෙපිරිස අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ඌරු ජුවා ගෝලයන්ට කීවේ කෙසේ හෝ ඉන්ද්‍රාව ඝාතනය කරන ලෙසය. එහෙත් ඉන්ද්‍රා සොයාගැනීමට නොහැකි වූ තැන ඌරු ජුවා පවසා තිබුණේ ඉන්ද්‍රාගේ බල්ලෙකු හෝ ඝාතනය කරන ලෙසිනි. ඌරු ජුවාගේ කීමට එකඟ වූ ඔහුගේ ගෝලයන් පසුගිය ඔක්තෝබර් 28 වැනි දා සවස 5.30ට පමණ හංවැල්ල පොලිස් වසමේ ජල්තර පාසල් ක්‍රීඩා පිටියේ අත්පන්දු ක්‍රීඩා කරමින් සිටි තාරක මධුසංඛ නමැති 22 හැවිරිදි තරුණයා ඝාතනය කෙරුණේ අමානුෂික ලෙසිනි. පාතාල ක්‍රියාවන්ට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවූ තාරක, වැලි රාජුගේ වැලි කපන බැකෝ යන්ත්‍රයේ රියැදුරා ලෙස සේවය කළ පුද්ගලයාය. තාරකව ඝාතනය කොට තිබුණේ ඉන්ද්‍රාගෙන් මෙන්ම වැලි රාජුගෙන් පළිගැනීමට හංවැල්ල ඇඹුල්ගම ත්‍රීවිල් රථ රියැදුරෙකු ලෙස කටයුතු කළ ගොට්ටා ඇතුළු පිරිසකි.

එම ඝාතනයත් සමඟ හංවැල්ලේ නොසන්සුන්කාරි වාතාවරණය මැඬලීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ද එක් වූයේ බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතය. ඒ අනුව එම ඝාතනයේ සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සමත් වූයේය.

අත්අඩංගුවට ගැනුණු ඝාතකයන් පවසා තිබුණේ ඌරු ජුවා කලෙක සිටම ඉන්ද්‍රාව ඝාතනය කිරීමට සොයන බවත්, ඊට හේතුව දෙදෙනා අතර ප්‍රදේශයේ පාතාල නායකත්වයට තිබෙන ආරවුලක් බවය. එම නිසා ඉන්ද්‍රා සොයාගැනීමට නොහැකි වූ තැන ඌරු ජූවා පවසා තිබුණේ තාරක හෝ ඝාතනය කරන ලෙසය.

එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස ඉන්ද්‍රා ඇතුළු පිරිස එදිනම රාත්‍රී 9.30ට පමණ ඌරු ජුවාගේ සුවච කීකරු ගෝලයෙකු ලෙස කප්පම් ගැනීම් මෙහෙයවූ හංවැල්ලේම ව්‍යාපාරික කටයුතුවල නිරත වූ 38 හැවිරිදි ජීවන් කුමාර නමැත්තා කපා-කොටා ඝාතනය කළේ හංවැල්ලේ ඇඹුල්ගම හංදියේ පිහිටි ඔහුට අයත් කරී ලීෆ් නමැති හෝටලය තුළ දීය.

එම ඝාතනය සිදු කිරීමත් සමඟ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා ඇතුළු උපුල් කිත්සිරි බණ්ඩාර, දිල්ෂාන් මදුරංග, නදීක සංජය මොරායස්, සුරේෂ් රුවන්ත, සුභාෂ් මදුෂාන් සහ හර්ෂණ විමුක්ති යන හත්දෙනා හංවැල්ල පොලිසියට බාර වූහ.

ඒ අතරේ ජීවන්ගේ භූමිදාන කටයුතු සිදු කළ පසුගිය නොවැම්බර් දෙවැනි දා හංවැල්ලේ ඇඹුල්ගම හංදියේ සියලුම කඩසාප්පු වසා ත්‍රිවිල් රථ ගාල ද වසා දමා ශෝක ප්‍රකාශ කරන ලෙස ඌරු ජුවා බන්ධනාගාරයේ සිට නියෝග කොට තිබුණේ එම හන්දියේම යතුරුපැදි අලුත්වැඩියා කරන තැනැත්තෙකුටයි. ඔහුගේ කීමෙන් කඩ සාප්පු වසා දැමීමට යන වග සැලවුණු පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වී ඌරු ජුවාගේ නියෝග වළකාලීමට සමත් වූයේ යතුරුපැදි අලුත්වැඩියාකරු ද අත්අඩංගුවට ගනිමිනි.

පොලිසිය නිදි

එම ඝාතන ද්විත්වයත් සමඟ ඌරු ජුවාගේ කල්ලිය සහ ඉන්ද්‍රාගේ කල්ලිය අතර ගැටුම් කිහිපයක්ම පසුගිය දිනවල සිදු විණි.

ජීවන්ගේ සහෝදරයා විසින් ඉන්ද්‍රාගේ කිහිප දෙනෙකුට සහ නිවෙස්වලටද පහර දීමක් සිදු කර තිබූ බවටද වාර්තා වේ. එසේම තාරක ඝාතනය වූ මොහොතේ ඔහුව රෝහල කරා රැගෙන ගිය මෝටර් රථය පැදවූ තැනැත්තාට ද පහර දී තිබිණි.

එලෙස හංවැල්ල පොලිස් වසමේ සිදුවූ කප්පම් ගැනීම්, බිය වැද්දීම් නිසා පවුල් කීපයක්ම පසුගිය දිනවල නිවෙස් අත්හැර ගොස් තිබුණේ ව්‍යාපාර ද අතරමඟ නවතා දමමිනි. මහා පරිමාණ කුකුළු ගොවිපොළක් වන නියුරෝ කුකුළු ගොවිපොළ පවත්වාගෙන ගිය බෝධි නමැත්තා ද ගොවිපොළ වසා දමා පලා ගොස් තිබුණේ එකසිය හැටහත් දෙනෙකුගේ ජීවනෝපායට ද මඟක් අහිමි කරමිනි.

කප්පම්කරුවන්ගේ අණසකට හංවැල්ල ප්‍රදේශය නතු වෙද්දී හංවැල්ල පොලිසිය නිදා සිටින වගක් පවසමින් එම පෙදෙස්වල ජනයා පොලිසිය සම්බන්ධව දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන බවක් පෙනේ. එහෙත් හංවැල්ල පොලිස් ස්ථානාධිපති බන්දුල ජයසිංහ පවසන්නේ, තත්ත්වය සියල්ල සමනය වී ඇති බවත්, ගම්බිම් හැර ගිය පවුල් කීපය ද නැවත පැමිණ සිටින බවය. නියුරෝ කුකුළු ගොවිපොළ හිමිකරු පසුගිය දිනවල විදේශගතව සිට පැමිණ සිටින බවක් ද ස්ථානාධිපතිවරයා කීවේය.

එහෙත් හංවැල්ලේ උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට ගිය මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙකු පැවැසූවේ, ගම්බිම් හැර ගිය පිරිස නිවෙස්වලට පැමිණියත් ව්‍යාපාර හෝ කිසිවක් තවමත් සිදු නොකරන බවය. මේ වන විට අපරාධකාරයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, තත්ත්වය පාලනය කිරීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශනය ඒකකය දිගින් දිගටම මෙහෙයුම් සිදු කරන බවත්ය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු අපට මෙසේ කීවේය. “ඇති වී තිබෙන තත්ත්වය මේ වන විට පාලනය කර තිබෙන්නෙ. එහෙත් ජනතාවගෙන් ලැබෙන සහාය මදි. කප්පම් ඉල්ලුවා නම් ඒ විස්තර අපට කියන්න ඕනේ. සමහර අය කප්පම්කරුවන් නිවෙසට යනවටත් වඩා අපේ නිලධාරීන් යන කොට බයවෙලා හැංගෙනවා. අපි ඉල්ලන්නෙ සියලු තොරතුරු අපට කියන එක... රහස්‍යව තොරතුරු දෙන්න... එහෙම වුණොත් තමයි අපිට පහසු වෙන්නෙ..“ හංවැල්ලේ ගැටලුකාරි වාතාවරණය නියපොත්තෙන් කැඩීමට තියෙද්දී පොරවෙන් කැපීමට ඉඩ නොතබා වගකිවයුතු සියලු පාර්ශ්ව වගකීම නොපිරිහෙළා ඉටුකළ යුතුය.

Comments