ගිහි දිවියට බලපාන සාධක | Page 3 | සිළුමිණ

ගිහි දිවියට බලපාන සාධක

අද අප සාකච්ජා කරන්නේ නජීරතී සූත්‍රය පිළිබඳ ව යි. මේ සූත්‍රය සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ දෙවිකෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. බුදුන් වහන්සේ මේ ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලින් මේ සුත්‍රය යුක්තයි. කින්සු ධීරතී කුමක් දිරයිද; බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නය ට පිළිතුරු දුන්නා, රූපං ජීරති මච්ඡානං. උන්වහන්සේ වදාළා සත්ත්වයන්ගේ රූපය දිරයි. රූපය කියන්නේ කුමක්ද කියලා අපි හැමෝම දන්නවා; රූපය කියලා කියන්නේ ශරීරය. ශරීරය හට ගත්දින පටන් ම ටිකින් ටික වර්ධනය වෙනවා. ශරීරය වර්ධනය වනවා කියන්නෙම දිරනවා කියන එකයි. තත්පර වලින් දිනවලින් සතිවලින් මාසවලින් අවුරුදුවලින් වයසට යනවා කියන එකයි. දිරීම ප්‍රකට වන්නේ මූලික අවස්ථාවේ නොවෙයි; දිරීම ප්‍රකට වන්නේ කාලයක් ගියාට පසුවයි. දිරීම ප්‍රකට වුණාට පස්සේ අපේ ශරීරයේ නොයෙක් ලක්ෂණ දක්නට ලැබෙනවා. දත්, නියපොතු කැඩෙනවා; කෙස්, ලෝම කූප පැසීමට පටන් ගන්නවා; හම රැලි වැටෙන්නට පටන් ගන්නවා; හමෙ ලප කැලැල් දකින්නට පටන් ගන්නවා; ආයුෂ පිරිහෙන්න පටන් ගන්නවා; ටිකින් ටික ශරීරය වකුටු වෙනවා; කලක් යන විට සැරයටියෙන් යන එන සැරියටියක් පිහිට කරගත් කෙනෙක් බවට පත් වෙනවා. තව කාලයක් යන විට ඇඳ මත නිදාගෙන සිටින ඇඳ ම පිහිටකරගෙන සිටින කෙනෙක් බවට පත් වෙනවා. එැතනිනුත් මේ දිරීම නතර වන්නේ නැහැ. මරණයට පත් වුණාම ශරීරයට ඖෂධ වර්ග එක් කළේ නැතිනම් දවස් දෙකක් තුනක් යන විට ඉදිමිලා නිල්වෙනවා, සිදුරුවලින් ඔජාව පිටවෙනවා, තවදුරටත් දිරනකොට මස් දිය වෙනවා, ලේ තැවැරුණු නහර වැල්වලින් වෙළුණු ඇටසැකිල්ලක් බවට පත්වෙනවා. තවත් දිරනකොට ලේ ටිකත් වියළිලා ඇටසැකිල්ලත් නහර වැල් ටිකත් ඉතුරු වෙනවා; තව දිරනවිට නහරත් වියළිල ගිහිල්ලා ඇටසැකිල්ල පමණක් ඉතුරු වෙනවා. තැන් තැනවලින් විහිදුණු ඇටසැකිල්ලත් කලකින් දිරලා යනවා. බතින් බුලතින් ඇඳුමින් පැලඳුමින් සෙන්ට් පවුඩර් ගල්වමින් තියෙන මේ ශරිරය මේ ආකාරයට දිරායන බව සැම කෙනෙක් නුවණින් විමසා බැලිය යුතුයි. මේ පිළිබඳ ව නුවණින් විමසා බැලීම, ශරීරය පිළිබඳ ඇති දැඩි ඇල්ම දුරුකරගන්නට හේතු වෙනවා. ඒ තුළින් තමන්ගේ ජීවිතය සරල ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්. දෙවි කෙනා අහන ලද අනෙත් ප්‍රශ්නයට බුදුන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා; නාම ගොත්ථං නජීරති... එ් කියන්නේ නාමය සහ ගෝත්‍රය නොදිරයි; මෙය වැඩියෙන් ම ගැළපෙන්නේ අතීතයේ වැඩ සිටින ලද බුදුරජාණන් වහන්සේලාට. අතීතයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ නම් බුදු රජාණන් වහන්සේලාගේ ගෝත්‍රය දිරීමට පත්වන්නෙ නැහැ. අතීතයේ වැඩ සිටි දෙවිවරුන් සම්බන්ධයෙන් අදටත් අපි ඉතාමත් ගෞරවයෙන් කතාබහ කරනවා. අපේ සමාජය තුළ වුවත් අටවිසි බුදුරජුන් පිළිබඳ ව සහ උන්වහන්සේලා පැවැත්වෙන පුජා පිළිබඳ ව කතා කෙරෙනවා. ඒවගේම සත් බුදුවරුන් පිළිබඳව කතා කරනවා.

එපමණකින් නොනැවතී අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයක් පතා පාරමී පුරණ කාලයේ පන් ලක්ෂ දොළොස්දහස් විසිහත් නමක් බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගත් බව පැහැදිලි වෙනවා. හැබැයි නියත විවරණ ලබාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා විසිහතර නමක් පමණයි. ඒ හැරුණු විට අග්‍ර ශාවකයන් වහන්සේලාගේ චරිත අසූමහ ශ්‍රාවකයන්ගෙ චරිත අදටත් සමාජය තුළ පවතිනවා. අපි වුවත් මරණයට පත් වීමෙන් ශරීරය පස්වලට දිරලා ගියාට හොඳ දේ කළොත් ඒ හොඳ ටික කාලයක් හරි පවතිනවා. සැම කෙනෙක් ම මරණයට පත්වන නිසා මැරුණ දවසට කතා කරන්න පුළුවන් හොඳ දේ ඇති කෙනෙක් බවට පත්විය යුතුයි.

ස්වාමීනි වැරදි මාර්ගය යනු කුමක්ද? බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා රාගය වැරදි මාර්ග යැයි කියනු ලැබේ. රාගය යනු කුමක්ද කියලා අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඇලීමට කියනු ලබන නමක් රූප කෙරෙහි ඇලිම රූප රාගයයි. ශබ්ද කෙරෙහි ඇති ඇලීම ශබ්ද රාගයයි. සුවඳ වර්ග වලට ඇති රාගය ගන්ධ රාගය ආහාර වර්ගවලට ඇති ඇලීම රස රාගයයි. ස්පර්ශයට ඇති ඇලීම ඵොට්ඨබ්භ රාගයයි. සිතුවිලිවලට ඇති රාගය ධම්ම රාගයයි. මේ රාගයට ඇති ඇලීම නිසාමයි මිනිසුන් වැරදි මාර්ගයට යොමු වෙන්නේ. රාගය නිසා සමහර කෙනෙක් දුරාචාරයන්ට යොමු වෙනවා. මෙලොව ජීවිතයට ම අවාසනාවන්ත තත්ත්වයට පත් වෙනවා; ඒ වැරදි මාවත් වලට යොමු වෙනවා; මිනිසුන් අතර නින්දාවට පත් වෙනවා; චරිත ඝාතනය වන අවස්ථා කොතෙකුත් තිබෙනවා. මරණින් මතු නිරයට යන්නට, එසේ නොමැති නම් තිරිසන් අපායේ උපත ලබන්නට ලෝකයේ උපත ලැබීමට පත් වෙනවා; රාගය මුල් වී කරන අකුසල නිසා සිදුවනවා.

සැම කෙනෙක්ගේ ම සිත්හි මේ සිතුවිලි තිබෙනවා. එසේ වුවත් තමන්ගේ හැඟිම් සදාචාර ඉක්මවන්නේ නැතුව පරිහරණය කරන්නට කල්පනා කළ යුතුයි.

කුසල ධර්මයට අැති ඇලීම කුමක්ද යන්නය බුදු රජණන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා. ලෝභය කුසල ධර්මයන්ට ඇති උවදුරයි. අපිට පිනක් දහමක් කරගන්නට ඇති බාධකය ලෝභය හා තණ්හාවයි. ඕනෑම කෙනකුට තේරුම්ගන්න පුළුවන් අපේ හිත් තුළ තිබෙන කුසල ධර්මක් තමයි පරිත්‍යාගශීලි බව. මේ පරිත්‍යාගශීලි භාවය තිබෙන බාධකය සිත තුළ පවතින ලෝභයයි. අධික ලෝභය ඇති තැනැත්තා තමනුත් හරියට ආහාර පාන අනුභව කරන්නේ නැහැ;හොඳ අැදුම් පැළඳුම් අදින්නේ නැහැ, විතරක් නොවෙයි තමන් යටගේ සිටින අයට දෙමාපියන්ට, ස්වාමියාට, භාර්යාවට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට හරියට කන්නට අඳින්නට දෙන්නේ වත් නැහැ. එක දවසක් වත් සිල් සමාදන් වන්නට යන්නේ නැහැ. එදා දවසේ පවා ගෙදර කෙරෙහි ඇල්මෙන් දරුදැරියන් මිලමුදල් පිළිබඳ ඇල්මෙන් වෙනදා වගේම ඒ වෙනුවෙන් කැප වෙලා ඒ දේවල් සුරක්ෂිත කරමින් ඒවා දියුණු කරමින් කටයුතු කරනවා. සමථ විදර්ශනා වැඩීමට ඇති ලොකුම බාධකය මේ ලෝභය බව සම්බුද්ධ දේශනාවේ සදහන් වනවා.

බුදුරජාණන් වහන්සේගෙන් දිව්‍ය පුත්‍රයා නැවතත් ප්‍රශ්න කරනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දිවා රෑ දෙකේ ගෙවෙන්නේ කුමක්ද? දිව්‍ය පුත්‍රය දිවා රෑ දෙකෙහිදී ආයුෂ ගෙවීමට පත්වෙනවා. ආයුෂ කියන්නේ අපිට ජීවත් වෙන්නට තියෙන කාලය. එය තීරණය වෙන්නේ අපේ උපතත් සමඟයි. අපේ උපතත් සමඟ තීරණය වෙනවා, අපි ජීවත්වන්නේ කොතරම් කාලයක්ද කියලා.

ඒ නියමිත ආයුෂ ටිකින් ටික ගෙවීමට පත්වෙනවා, දිවා රෑ දෙකෙහිදී ම දන්නෙම නැතුව, ළමා කාලය තරුණ කාලය මහලු කාලය ගෙවිලා යනවා යනුවෙන් දේශනා කළා.

බ්‍රහ්ම චරියාවට ඇති මලකඩ කුමක්ද කියලා දේව පුත්‍රයා ප්‍රශ්න කළා, තථාගයන්වහන්සේ දේ්ශනා කළා බ්‍රහ්ම චරියාවට ඇති මලකඩ ස්ත්‍රියයි කියලා.

කාන්තාවට බ්‍රහ්ම චරියාවට ඇති මලකඩ පුරුෂයාමයි. පුරුෂයාගේ සිත ස්ත්‍රියගේ රූපයට කිදා බැස ගන්නවා; ස්ත්‍රියගේ ශබ්ධය තුළ කිඳා බැස ගන්නවා; ස්ත්‍රියගේ ගන්ධය තුළ, ඇගේ ආහාර පානවල ඇති රසය තුළ, ඒවගේම ස්පර්ශය තුළ, සිතුවිලි තුළ, කිඳා බැස ගන්නවා. එසේ කිඳා බැසගත්තාට පසුව ඔහුට තේරෙන්නේ ස්ත්‍රිය තමයි ප්‍රධානම සතුට කියලා. මව්පියන් පෙනෙන්නෙත් යක්ෂයන් ප්‍රේතයන් වගේ. තමන්ගේ සතුට ප්‍රීතිය නැතිකරන්නට ආව සතුරන් ලෙසයි ඒ අය පෙනෙන්නේ. කාන්තාවන්ගේ සිත පුරුෂයාගේ සිත තුළ කිදා බැස ගන්නවා; පුරුෂයාගේ ස්පර්ශයට පුරුෂයා සම්බන්ධ සිතුවිලි වලට කිඳා බැසගන්නවා. මේ වෙලාවට ස්ත්‍රියත් සිතන්නේ මේ කිඳා බැසගත් පුරෂ රූපය තමන්ගේ ආත්මය කියලා. තමන්ගේ මව්පියන් පෙනෙන්නේ ත් තමන්ගේ සැනසිල්ලට සතුටට විරුද්ධ වන යක්ෂාධීන් ලෙසයි. නමුත් හොඳින් තේරුම් ගන්නට ඕන මව්පියන්ගේ වටිනාකම. බාහිරින් හමු වු කෙනෙක් නිසා කිසිම දවසක මවුපියන් පිඩාකාරී. කරදරකාරී බාධාකාරී පිරිසක් ලෙස හඳුන්වන්නට නරකයි. මවුපියන්ගේ අකමැත්ත ඇතිව විවාහ දිවියට එළැඹෙන්න එපා. මවුපියන් සමඟ සාකච්ජා කරලා යුග දිවියට පිවිසිය යුතුයි. මෙතැනදී බ්‍රහ්ම චරියාවට ස්වාමීන් වහන්සේලාගේ පවා ස්ත්‍රිය මලකඩක් වන අවස්ථා තියනවා. සමහර අවස්ථාවලදි පැවිදි ජීවිතයෙන් සමුගැනිමට සිදුවන්නෙත් ස්ත්‍රිය කෙරෙහි ඇති ඇලීමයි. ඒවගේ ම ගිහි ජීවිතයක් ගත කරන සත්පුරුෂයාට තමන්ගේ ගිහි දිවියට බාධාකරන මලකඩක් බවට ස්ත්‍රිය හේතු වෙනවා. ඒවගේම ගිහි ජිවිතයක් ගතකරන කාන්තාවටත් පුරුෂයා මලකඩක් වන අවස්ථා තියනවා.

එක්තායං සජ්ජතේ පජා කියලා බුදුන් දේශනා කළා. එ් කියන්නේ ස්ත්‍රිය පුරුෂයා කෙරෙහිත්, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහිත් ඇලෙනවා කියලා දේශනා කර තියෙනවා.

දේව පුත්‍රයා තව ප්‍රශ්නයක් අසනවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස දිය නැති නෑම කියලා කියන්නේ කුමක්ද කියලා. දිය නැති නෑම කියලා කියන්නේ වතුරින් නාන කතාවක් ගැන නොවෙයි. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා, තාපස විර්ය බඹසර වීර්යෙන් යුතුව නිවන් මාර්ගයෙන් ගමන් කිරීමෙන් දිය නැතුවම සිත පිරිසිදු කරගත හැකි බවයි.

Comments