
“සිංහලයෙන් මේ තාක් මේ යුගයේ බුදුරජුන් පිළිබඳ වැ පළ වූ පොත් අතුරෙහි “බුදු හාමුදුරුවෝ” පොතට වඩා උසස් රසවත් පොතක් තවම මා අතට නම් නොආයේ ය. බුද්ධ චරිතය හෙළිකිරීම් වශයෙන් ගිය සිය වසෙහිත් මේ සිය වසෙහිත් මේ වනතුරු පළ කැරුණු (සිංහල) බුද්ධ වංශය, ඥෙයාර්ථදීපනිය, ජිනරාජ වංශය ආදි බොහෝ පොත් ඇත. මේ බුද්ධ චරිත රැසයුවන් අතර මම ද එකෙකිමි. එහෙත් ඒ අප හැම දෙනා ම මේ තාක් ලියා පළ කැරැවූ හැම බුද්ධ චරිතයක් ම අබිබවා පණ්ඩිත ගණේගම සරණංකර නායක ස්ථවිරතුමන් රැසසූ “බුදුහාමුදුරුවෝ” ඉහළ පෙත්තට නැඟ වැජඹෙයි. බුද්ධ චරිත ග්‍රන්ථාවලියෙහි ප්‍රථම (හෙවත් ඉහළ ම) අංකයට එය හිමි ය.”
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් මේ අගය කර ඇත්තේ ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක, බද්දේගම ශ්‍රී රත්නසාර පරිවේණාධිපති පූජ්‍ය පණ්ඩිත ගණේගම සරණංකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත “බුදුහාමුදුරුවෝ” නම් කෘතිය ගැන ය. 1973 වර්ෂයේ පළ වූ විශිෂ්ට කෘතියක් ලෙස සාහිත්‍ය රාජ්‍ය සම්මානයෙන් මේ කෘතිය පුද ලැබුවේ ය. “සිංහල රචනාරත්නය, බෞද්ධ මහාධිරාජ අශෝක හා සෙල්ලිපි, බී.සී. ලෝ ගේ බුද්ධඝෝෂ (අනුවාද), ප්‍රිය රන්ජන්ගේ ජනප්‍රිය රචනා, ආනන්ද හාමුදුරුවෝ, ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, යසෝදරාව, බුද්ධ මාර්ගය (අනුවාද), රාජා භවතු ධම්මිකො, සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරයා දුටුගැමුණු” ආදී ග්‍රන්ථ නාහිමියන් අතින් රචනා වී ඇත.
1983 වසරේ ජුනි මාසයේ දිනක මා ‘නවයුගය’ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට අභාවප්‍රාප්ත සෝමවීර සේනානායක, රංජිත් අමරකීර්ති පලිහපිටිය හා කැමරා ශිල්පී මුදිත කාරියකරවන සමඟ බද්දේගම දුටුගැමුණු මහා විහාරස්ථානයේ (හැඩි දෙමළ කන්දේ පුරාණ විහාරස්ථානය) නාහිමියන්ගේ කුටියට ගිය දිනය අදත් සිහිපත් වෙයි. එදා මා මුලින් ම විමසුවේ ඔබ වහන්සේට “බුදුහාමුදුරුවෝ” පොත ලිවීමට පසුබිම සකස් වූයේ කෙසේ ද? කියා ය.
“ඒ කාලයේ ‘බුදුසරණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ පියසේන නිශ්ශංක මහතා. මම ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. නිශ්ශංක මහත්තයා මට ආරාධනා කළා “ඔබ වහන්සේ ‘බුදුසරණ’ ට කාටත් තේරුම් ගත හැකි විදිහේ ලිපි පෙළක් ලියන්න. ඉගෙනීමට අවශ්‍ය දේ ලබා ගැනීමට සෑහෙන මුදලක් මම ලබා දෙන්නම්” කියලා. “බුදුහාමුදුරුවෝ” ගැන මම ලිපි පෙළක් ලියන්න පටන් ගත්තේ ඔය විදිහට. නොයෙකුත් ශාසනික, සාමාජික හා අධ්‍යාපනික කටයුතුවල යෙදෙන අතරම ඉඩ ලැබුණු විටෙක ම ත්‍රිපිටක පෙළ කියවා බුදුහාමුදුරුවන් පිළිබඳ මාතෘකාවලට ගැළපෙන කරුණු එක් තැන් කර මා රචනා ලිව්වා. සූත්‍ර, විනය, පිටක ආදි යළිත් කියැවීමෙන් බුදුහාමුදුරුවෝ ගැන මට ඇති වූ ආදරය හා ගෞරවය පෙරට වඩා සිය ගුණයකින් වැඩි වුණා.
සරණංකාර හාමුදුරුවන් බුදුන්වහන්සේ ගැන තිබෙන අපරිමිත ආදරය, සෙනෙහස ගැන එදා පුන පුනා අගය කළහ.
“අප අදහන අපේ ශාස්තෘවරයා බුදුහාමුදුරුවෝ ඉතාමත් හොඳ කෙනෙක්. ඊටත් වඩා හොඳ කෙනෙක් ඇත්තේම නැතැයි බෞද්ධයන් වූ අප හැම සිතාගෙන අවසන්. උන්වහන්සේ ගැන අපට කිසිම සැකයක් නැහැ. පරම්පරාගතව එන මේ අපේ තීරණය නිසාත්, අප උපතින් බෞද්ධයන් වීම නිසාත් බෞද්ධයන්ගෙන් ඉතාම වැඩි පිරිසක් බුදුන්වහන්සේ ගැන හරි හැටි දන්නේ නැහැ. අපි උදේ හවස බුදුන් වඳිනවා. නව අරහාදි බුදු ගුණ සඳහන් ගාථා කියනවා. එහෙත් ත්‍රිපිටකයෙන් පෙනෙන බුදුහාමුදුරුවෝ අපේ විහාරයේ වැඩ සිටින බුදුහාමුදුරුවන්ට වඩා වෙනස්. අපේ විහාරයේ වැඩ සිටින්නේ අචේතනික බුදු කෙනෙක්; බුදුරුවක්. ජීවමාන සචේතනික බුදුන්වහන්සේ දැක හැක්කේ ත්‍රිපිටකයෙන්. උන්වහන්සේ කතා කරන හැටි, බණ කියන හැටි ප්‍රශ්න විසඳන හැටි, පිළිපදින හැටි, පිඬු සිඟා වඩින හැටි, සැතපෙන හැටි, එක මොහොතක් අපතේ නොයවා සේවයෙහි යෙදෙන හැටි, මහන්සියක් නොතකා පා ගමනින් සැතපුම් සිය ගණන් ගම් නියම් ගම්වල චාරිකාවේ හැසිරෙන හැටි, ගස් යට, ගල් උඩ, පුණ්‍යාගාරවල තනිවම වාඩි වී සිටින හැටි ආදී උන්වහන්සේගේ සිතුම් - පැතුම් ජීවමාන ස්වරූපයෙන් දැක ගැනීමට හා දැන ගැනීමට නම් ත්‍රිපිටකය කිව යුතුමයි. එය කියවන්න කියවන්න අපේ බුදු හාමුදුරුවන් ගැන වඩ වඩාත් ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. භක්තියක් ඇති වෙනවා.”
උන්වහන්සේ අපට එදා විස්තර කළහ.
උන්වහන්සේගේ ගිහි නම සැමී කාරියවසම් උළුවිටිය ගමගේ ය. 1908 ඔක්තෝබර් 23 වෙනිදා උපන් සැමීගේ පියාගේ නම අන්ද්‍රියස් කාරියවසම් ය. ඔහුගේ රැකියාව ගොවිතැන ය. මව කර්ලිනා විජේතිලක ය. පවුලේ දරුවන් නව දෙනාගෙන් වැඩිමලා සැමී ය.
“ගණේගම සරණංකර හාමුදුරුවෝ” නමින් ග්‍රන්ථයක් ලියූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සඳහන් කර ඇති ආකාරයට සැමී මූලික අධ්‍යාපනය ලැබුවේ හැඩි දෙමළ කන්ද පන්සල ඉදිරිපිට පැවැති බෞද්ධ මිශ්‍ර පාඨශාලා වෙනි. ඔහු සමඟ ඇල්බට් එදිරිසිංහ ද එකම පන්තියෙහි උගත්තේ ය. දෙදෙනාම එහි අටවැන්න සමත්ව ගණේගම ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළු වූහ. එය මුදල් ගෙවිය යුතු ඉංග්‍රීසි පාසලකි. සැමී පැවිදි බිමට පත්ව මහ යතිවරයකු බවට පත් වූ අතර ඇල්බට් එදිරිසිංහ ගාල්ලේ මහින්ද විද්‍යාලයට ඇතුළත්ව ප්‍රකට ව්‍යාපාරිකයකු හා බෞද්ධ නායකයකු වී පසුව යතිවරයෙක් ද වූහ.
ගාල්ලේ දුටුගැමුණු විහාරස්ථානයේදී සරණංකර නායක හිමියන් පැවිදි බිමට පත් වූ හැටි අපට විස්තර කළේ ඉමහත් සතුටකිනි.
“විද්‍යෝදය පරිවේණාධිපති කහවේ රතනසාර නාහිමියන්ට අපේ පවුලෙන් කෙනෙක් මහණ කරවා ගැනීමට ඕනෑ වුණා. මාව යි ඒ සඳහා තෝරා ගත්තේ. 1924 මම ම මහණ වුණා. මගේ මුත්තා ගණේගම උපනන්ද හිමි. හික්කඩුවේ නායක හිමියන්ගේ ගෝල නමක්. මම කිතුලම්පිටියේ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගෙන විද්‍යෝදය පිරිවෙනට ගියා. මේ කාලයේ මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉංග්‍රීසි පන්තියට බැඳුණා. යුනිවර්සිටි කොලීජියේදී සිංහල, පාලි, සංස්කෘත ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට පස්සේ මම මහබෝධි සංගමයේ මාර්ගයෙන් කල්කටා විශ්වවිද්‍යාලයට ගියා. ඒ අතර ශාන්ති නිකේතනයටත් ගියා. ශාන්ති නිකේතනයේ පරිසරයෙන් මම වශී වුණා; නොයෙක් රටවල ඇවිද්දා. 1956 මහාචාර්ය මලලසේකර මහතාගේ ආරාධනයක් පරිදි රත්මලානේ භික්ෂු ආයතනයේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කථිකාචාර්ය පදවියේ හිටියා. ඉන්පසු බද්දේගම රතනසාර පිරිවෙනේ ගුරුවරයකු හැටියට කටයුතු කළා. මේ කාලයේදියි මා “මහා අධිරාජ්‍ය අශෝක හා සෙල්ලිපි” කියන බී.සී. ලෝගේ ඉංග්‍රීසි ග්‍රන්ථය සිංහල අනුවාදය පළ කළේ.”
සරණංකර හාමුදුරුවන් තරම් පොතට ආදරය කරන පොත් එකතු කරන අන් අයට පොත් කියැවීමට පහසුකම් සැලසූ යතිවරයෙක් දැක තිබුණේ නම් ඒ අල්පයකි. වරක් උන්වහන්සේ වැඩ සිටින කුටියේ මෙන්ම මතු මහලෙහි ද පොතපතින් සපිරි විශාල පුස්තකාලයක් තිබිණි.
“හැමෝ මට ප්‍රිය නැත. සමහරුන්ට අප්‍රිය අය සමහරුන්ට ප්‍රිය ය. මට බොහෝ දෙනෙක් ප්‍රිය ය. තිදෙනෙක් හැර,
(1) පොත් කියැවීමට හැකියාවක් තිබියදී පොත් නොකියවන තැනැත්තා.
(2) පොත් ඉල්ලා ගෙන ගොස් ආපසු ගෙනැවිත් නොදෙන තැනැත්තා
(3) ගෑනිට ගහන මිනිහා
ගණේගම හාමුදුරුවෝ වරක් මෙසේ ලියා තිබුණි.
සරණංකර හාමුදුරුවන්ගේ දුක සැප දෙකෙහිම මිතුරුතුමකු ව සිටි අකුරටියේ අමරවංස නාහිමියන් පවසා තිබූ අන්දමට, උන්වහන්සේ තරම් පොත් කියැවූ වියතකු සෙවීම මෙන් ම නොයෙක් මාදිලියේ ඉංග්‍රීසි සිංහල ග්‍රන්ථ සම්භාරයක් එකතු කරගෙන තිබෙන අයකු සෙවීම දුෂ්කර බව ය. අමරවංස හිමියෝ මෙසේ ද කියති.
“කල්කටාවේ සිටියදී උන්වහන්සේ සවස් භාගයේදී නිසැකයෙන් ම හමුවන ස්ථානය නම් මහාබෝධි මූලස්ථානය අසල රෑට විවෘත වන පොත් සාප්පුවක් ය. රාත්‍රි 10 වන තෙක් කල්කටා නගරයේ පදික වේදිකා පැරැණි පොත් විකුණන වෙළඳුන්ගෙන් ගහන ස්ථානයෝ වෙති. ඕනෑ ම වටිනා දුර්ලභ පැරැණි පොතක් මෙහිදී අඩු මිලට ගත හැකිය. සරණංකර ස්ථවිරයන් පොත් වෙළඳුන්ට හොඳට පුරුදු ය. “අර එන්නේ ‘ඇනා පහට’ පොත් ඉල්ලන සාධු” යැයි ඔවුහු මහත් ආදරයෙන් කතා කරති. කොතරම් උසස් මිලක පොතක් වුවත් සරණංකර හිමියන් ඉල්ලන්නේ ශත 50ට ය. ගමනක් යන විට පොත් සාප්පු පෙළක් පසු කරත් ම උන් වහන්සේ අතුරුදන් වෙති. මේ කාරණය හොඳින් දන්නා හඳුනන අය වහා ගොස් පොත් සාප්පුවල පොත් බල බලා ඇවිදින සරණංකර හිමියන් කැඳවාගෙන එති. මේ පොත් ආශාව නිසා මසුරු සිටාණ කෙනකුන් මෙන් එකතු කර ගත් පොත් රාශිය පසුව මහත් සේවයක් සිදු කරයි.”
ගමේ ගෙදරක් පාසා ගිය පොත් පිරවූ ජංගම පුස්තකාලයක් ඇති කළේ සරණංකර නාහිමියන් ය. ලංකාවේ මුල් ම ජංගම පුස්තකාලය “ගණේගම ශ්‍රී සරණංකර ජංගම පුස්තකාලය”යි. රුපියල් ලක්ෂ තුනක පමණ වටිනා පොත්පත් සර්වෝදයට බාර කළ උන්වහන්සේ පොත් කරත්ත දෙක නවීකරණය කර, එහි ඉදිරිපස අත් ට්‍රැක්ටරයක් සවිකර ගම් නියම්ගම් ඔස්සේ සැරි සැරීමෙන් උන්වහන්සේ අසීමිත ප්‍රීතියට පත් වූහ. එපමණක් නොව ලංකාවේ මුල් ම වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමය ආරම්භ කිරීමට උන්වහන්සේ පුරෝගාමී ව වැඩ කළහ.
1977 වසරේ ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් උන්වහන්සේ පිදුම් ලැබුවේ මල්වතු මහා සංඝ සභාව විසිනි. මුල්වරට හිමගිර තරණය කළ ටෙංසින් හමු වී කතා කිරීමට 1953 වසරේ සරණංකර හිමියන්ට අවස්ථාව ලැබුණි. ඒ වසරේ දිනමිණ පුවත්පතට ලියූ ලිපියකින් ඔහු ගැන මෙසේ උන්වහන්සේ ලියා තිබිණි.
“උදේ හවස බුදුන් වඳින සැදැහැවත් බෞද්ධයකු වූ ඔහු එවරස්ට් මුදුනට නැංග හැටියේ පළමුවෙන් ම කළේ බුදුන් වැන්ද බව යැයි කීහ.
හිමාලය පාමුල පිහිටි ලුම්බිනියේ උපන් බුදුන් වහන්සේට හිමාලයේ උස ම තැනට නැඟ වඳින්නට බෞද්ධයකුට හැකි වීම බෞද්ධ ලෝකයට ම ගෞරවයකැයි මම කීවෙමි.”
උන්වහන්සේ මායාරංජන් නමින් ලියූ සිංහල රචනාරත්නයෙහි තම සිතැඟි පිළිබිඹු කළ කැඩපතකි.
“මා නිදහස් සුවයෙන් බොහෝ වේලා ගත කරන එක ම තැන මගේ පුස්තකාලය යි. සන්ධ්‍යා සමයෙහි ඈත වෙල්යායෙන් හමා එන මඳ සුළඟ මෑත ගස්වල හැපී පොඩි වී ඔද විදී අවුත් මා සිටින පොත් ගුලෙහි කවුළුවෙන් ඇතුල් ව මට සුව පහස් දෙමින් එහි විසිරී යයි.
...මගේ පොත්ගුලෙහි මා හැර ජීවමාන කිසිවෙක් නැත. එහෙත් මා විසින් ගරු කරනු ලබන බොහෝ දෙනකුගේ කෘතිහු එහි වෙති. ඒ අගනා කෘති උපකාරයෙන් ඒ කතුවරයන්ගේ රූප සිතින් මවා මම ඔවුන් දකිමි. දැක ඔවුන් සමඟ කතා කරමි. ප්‍රීති වෙමි; සිනාසෙමි; තැන්පත් වූ, විනීත වූ, චිත්තජ රූපාත්මක ඒ ගත්කතුවරයන්ගේ ආශ්‍රයෙන් ඔවුන්ගේ කෘතීහුත් මම නිතර අගය කර සලකමි. මගේ පුස්තකාලය පන්සල්වල තිබෙන බොහෝ පොත්ගුල් මෙන් නිතර වසා දමා කාවන්ට කෑමටත්, මල් පුජා කිරීමටත් යෙදවූවක් නොවේ. එහි පොත් මම නිතර බලමි. නොයෙක් දෙනා ද බලති.”
ගණේගම නායක හාමුදුරුවන්ගේ මනරම් භාෂා ශෛලිය මොනවට පැහැදිලි කිරීමට උන්වහන්සේ විසින් ලියූ පොත් කිහිපයකින් උදාහරණ මෙසේ කැටි වෙයි.
“බුදුන්වහන්සේගේ අවිහිංසා ප්‍රතිපත්තිය ආසියාතිකයන් තුළ කොතරම් දුරට බල පැවැත්වූයේ දැයි කියතොත් ජාතීන් අතර හා රටවල් අතර යුද්ධ කිරීම බොහෝ දුර අඩු විය. යුද්ධකොට ජයගෙන යුද්ධ කිරීම සදහට ම නැවැත් වූ ධර්මාශෝක වැනි අවිහිංසාවාදී මහා අධිරාජයෙක් පහළ විය. සිරිසඟබෝ වැනි ධාර්මික රජවරු ඇති වූහ. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි අවිහිංසාවාදි ලෝක ප්‍රසිද්ධ ජන නායකයෝ පහළ වූ හ. පෙරදිග අපරදිග යන දෙදිගෙන් ඉතා ම වැඩියෙන් ප්‍රාණඝාතය හෙවත් සතුන් මැරීම කෙරෙන්නේ අපරදිග ය. සතුන් මැරීම තබා මස් මාංසවත් අනුභව නොකරන ඉතා ම වැඩි පිරිසක් සිටින්නේ පෙරදිග ය. කුරා කුහුඹුවකුටවත් හිංසාවක් නොකොට සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා යි අවංක කරුණාවෙන් ප්‍රාර්ථනා කරන්නන් ඉතා ම වැඩි පිරිසක් සිටින්නේ පෙරදිග ය. මෙයට හේතුව අවුරුදු 2500ට පසුවත් බුදුන් වහන්සේගේ අහිංසා ධර්ම පෙරදිග මිනිස් සමාජයේ සිත් තුළ බල පැවැත්වීම ය. බෞද්ධ සිතුම් - පැතුම් ජන ජීවිතයට කැවී තිබීම යි.”
(බුදු හාමුදුරුවෝ)
‘බුදුන් වහන්සේ අවුරුදු 25ක් කල් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ ආනන්ද හාමුදුරුවන් බුදුරදුන්ට තිබුණු භක්තිය හා ගෞරවය එන්න එන්නම වැඩි වුණා මිස අඩු වූයේ නැත. ඒ අතින් බලන විට මේ ලෝකයේ මිනිසුන් අතර ඉතාම ශ්‍රේෂ්ඨ උත්තරීතර මනුෂ්‍යයා ඉතා ළඟින් ආශ්‍රය කරන්නට හැකිවීමේ දුර්ලභ භාග්‍යය ලැබූ එකම උතුමා ආනන්ද හාමුදුරුවෝ ය.”
(ආනන්ද හාමුදුරුවෝ)
වර්ෂයේ හොඳම කෘතියක් ලෙස “බුදුහාමුදුරුවෝ” කෘතියට පිරිනැමුණු සම්මානය සමඟ ප්‍රදානය වූ රුපියල් දස දහසක මුදල භාෂෝපකාර සමිතියේ සභාපති වෙත යැවූ උන්වහන්සේ ප්‍රාචීන මධ්‍යම පරීක්ෂණයෙන් වැඩි ලකුණු ගන්නා ශිෂ්‍යයාට තම කල්‍යාණ මිත්‍ර පූජ්‍ය වේරගොඩ අමරමෝලි නා හිමියන් නමින් ශිෂ්‍යත්වයක් පිරිනැමීම පිණිස යෙද වූ බව රංජිත් අමරකීර්ති පලිහපිටිය විසින් ලියන ලද කෘතියේ සඳහන් වෙයි. ‘බුදුහාමුදුරුවෝ’ කෘතිය සඳහා කර්තෘ භාගය ලෙස ලද මුල් ම රුපියල් දහස පිලගොඩ ගම් වැසියකුට නිවෙසක් තනා ගැනීම සඳහා පරිත්‍යාග කරන ලද බවත්, ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ බුදු මැදුරක් ඉදි කිරීම පිණිස මුල්ම රුපියල් දහස පරිත්‍යාග කෙරුණේ ද “බුදුහාමුදුරුවෝ” පොත සඳහා කර්තෘභාග ලෙස ලද මුදලින් බව ද එහි දැක්වේ.
“මා තරම් මහණ කමින් තෘප්තියක් ලැබූ කෙනෙක් නැතිව ඇති කියල මට හිතෙනවා. මහණකමින් පුදුම මානසික සහනයක් මම ලබනවා. ඒ ප්‍රීතිය රජකම ලැබුවටත් වඩා අගය කරනවා. නිදහස, සැනසීම, මම අපමණ ව ලබනවා. නිදහසේ පියාසර කරන කුරුල්ලෙක් වගේ.
මා ලියූ ‘සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරයා’ නම් ග්‍රන්ථයෙන් දුටුගැමුණු රජතුමාගේ චරිතය ඔබ හමුවට පැමිණ වීමට උත්සාහ ගත්තා. මේ රටට සිදු වී ඇති ලොකු ම විපත දුටුගැමුණු රජතුමා අමතක කිරීමයි. එතුමාගේ චරිත කතාව බාල පරපුර ලවා කියැවීම අවශ්‍යයයි. හැම සිංහලයකු තුළම දුටුගැමුණු කෙනකු සිටිය යුතුයි. දුටුගැමුණු කෙනකු හදවතේ නැති සිංහලයා නියම සිංහලයකු නොවේ. හැම සිංහල ගෙදරකම දුටුගැමුණු රූපය තිබිය යුතුය. හැම මවක්ම ‘ගැමුණු කුමාරයා වගේ වෙයන් පුතේ’ යන දරු නැළවිල්ලෙන් තම ළදරු පුතුන් නැළවිය යුතුයි. දුටු ගැමුණු චරිතය මා ලියාගෙන යන බව ඇසූ වජිරාරාම වාසි පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ දුටුගැමුණු ගැන ලියූ ඉංග්‍රීසි පොත් කිහිපයක් එවමින් මා දිරි ගැන්නුවා.” යි
සරණංකර නායක හාමුදුරුවෝ එදා (1983) එහි ගිය සෝමවීර, පලිහපිටිය හා මට ඒ කෘතිය බැගින් තුටු පඬුරු ලෙස දෙමින් පැවසූහ.
නාහිමිපාණෝ සිය මෙහෙවර සිද්ධි අත්දැකීම් අපේක්ෂා සටහන් කළ සියතින් ලියූ C.R. පොතක් සුරක්ෂිත කර මතු යම් දිනෙක ප්‍රයෝජනයට ගන්නැයි රංජිත් අමරකීර්ති පලිහපිටියට තිළිණ කළහ. මේ ඒ ඉල්ලීම ය.
“මා නැති කලක මා සිටින මේ පුස්තකාල ගොඩනැගිල්ල උඩ තට්ටුව මගේ කාර්යාලය, නිදන කාමරය වැසිකිළිය ඇතුළු සියල්ල පන්සලේ වටිනා භාණ්ඩ සියල්ල තැන්පත් කොට කෞතුකාගාරයක් කළ යුතුයි. මා ලියූ පොත් ලිපි සියල්ල එහි සුරක්ෂිතව තැබිය යුතුය. නාන කාමරයත්, වැසිකිළියත්, උඩ වතුර ටැංකියත් අස් කළ යුතුය. අනවශ්‍ය දේ අස්කොට අගනා කෞතුකාගාරයක් කළ යුතුය. මෙහි කිසිවෙක් පදිංචි නොවිය යුතුය. තනිකර කෞතුකාගාරයක් ලෙස සකස් කළ යුතුය.”