තිරුක්කෝවිල් යුද කඳවුර ඉවත් කිරීමට දෙමළ ජනතාව විරෝධය පාති | සිළුමිණ

තිරුක්කෝවිල් යුද කඳවුර ඉවත් කිරීමට දෙමළ ජනතාව විරෝධය පාති

මේ පසුගිය කාලයේදී දෙමළ ජනතාවගේ සැබෑ නියෝජිතයින් යැයි කියා ගන්නා දේශපාලඥයින් පිරිසක් නිරතුරුවම දේශපාලන වේදිකාවේ හඩ නැඟ ආවකි.

එහෙත් ඒ හඬ කිසිසේත්ම උතුරු නැ‍‍‍‍ඟෙනහිර සැබෑ ජනතා නියෝජිතයින්ගේ හඬ නොවීය. උතුරේ හෝ නැ‍‍‍‍ඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ පාසලක ‍උත්සවයකදී, වේල් පෙරහරකදී එසේම ස්වභාවික උවදුරකදී පළමුවෙන්ම ජනතා‍වගේ පිහිටට ආවේ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ මිතුරකු ලෙසින් සිටි ත්‍රිවිද හමුදාවයි. ඒ බව සාමාන්‍ය ජනතාව හොඳින් දැන සිටියද ඇතැම් දේශපාලඥයින්ගේ හඬ නිසා ඔවුහු නිහඬ වූහ. පසුගිය දිනවල උතුරේ ඇති වූ ගංවතුර තර්ජනයේදී මේ ජනතාවගේ පිහිටට ආවේද හමුදා සොයුරන්ය. ද්‍රවිඩ ජනතාවගේ සැබෑ නියෝජිතයින් යැයි කියා ගන්නා දේශපාලඥයින් කොළඹ නත්තල් සමරද්දී හමුදා සොහොයුරන් මේ ජනතාවගේ අවතැන් කඳවුරුවලට නත්තල් ගෙනාවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උතුරු හා නැ‍‍‍‍ඟෙනහිර හමුදා අවශ්‍යතාවන්ට භාවිත කරනු ලබන සාමාන්‍ය ජනතාවගේ ඉඩම් හා පොදු ඉඩම් මේ මස අවසන් වීමට පෙර ආපසු ලබා දෙන ලෙස කළ නියෝගයක එල්ලී තිරුක්කෝවිල්හි පිහිටි යුද හමුදා කඳවුරක් පිහිටි භූමිය ආපසු ලබා ගැනීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදී. මේ බව පසුගිය 27 වැනිදා කිරුක්කෝවිල් ප්‍රදේශවාසීන්ට සැල විය. ඔවුහු වහාම යුද හමුදා කඳවුර පිහිටි භූමිය වෙත දිව ආහ.

‘අපිට ආරංචියි කෑම්ප් එක අයින් කරන්න යනවා කියලා’ ජනතාව යුද හමුදා කඳවුර වෙත රැස්ව උද්ඝෝෂණයකට සූදානම් වූහ. තිරුක්කෝවිල් පාසලකට අයත්ව තිබූ මේ භූමිය යුද සමයේ විශේෂ කාර්ය බළකාය විසින් පරිහරණයට ගනු ලැබූ අතර පසුව ඒ වෙනුවට වෙනත් ස්ථානයක පාසලක් ඉදි කර දෙන ලදී. ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව පතා එහි කඳවුර දිගටම අවශ්‍ය බවට වූ යෝජනාවන් නිසා එම ස්ථානයෙන් විශේෂ කාර්ය බළකාය ඉවත් වූ පසුව එහි 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව ස්ථාපිත කරන ලදී. අම්පාර 24 වන සේනාංකය යටතේ තිරුක්කෝවිල්හි පිහිටා ඇති මේ බළමුළුව විසින් පසුගිය කාල වකවානුවේදී ජනතාව සමඟ පොදු කටයුතු රැසක් සිදු කළහ. විශේෂයෙන්ම ඩෙංගු මර්දනය පිණිස පරිසරය පවිත්‍ර කිරීමයත් , මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරීමටත් මේ බළමුළුව දායකත්වය සැපයීය.

එමෙන්ම මේ වසර මුලදී නැ‍‍‍‍ඟෙනහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තර්ජනයේදී එකදු දේශපාලන නියෝජිතයකු හෝ නොපැමිණි අවස්ථාවලදී ඔවුන්‍ගේ සියලු අවශ්‍යතා සොයා බැලුවේ මේ ආරක්ෂක බලමුළුව විසිනි.

එමෙන්ම පසුගිය දිනක දැවැන්ත ගසක් මහා මාර්ගය හරහා වැටී අපොස සාමාන්‍ය පෙළ සිසුන්ගේ ගමනා ගමන බාධාවන් එල්ල වූ අවස්ථාවේදී එය ඉවත් කිරීමටද කටයුතු කරන ලද්දේ මේ බළමුළුව විසිනි.

එවන් ආකාරයක ජනතා සමඟ ජනතා අවශ්‍යතා ඉටු කරනු ලබන හමුදා අනු කණ්ඩයක් ඉවත් කිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගැනීමට එහි ජනතාවෝ මෙසේ තම විරුද්ධත්වය පළ කළහ.

ඔවුහු පැමිණ තම විරෝධය පළ කරමින් විරෝධතා පුවරු රැගෙන කඳවුර ඉදිරිපිටට වී උද්ඝෝෂණය කළේ හමුදා කඳවුර ඉවත් කිරීම කිසිසේත්ම නොකළ යුතු බව පෙන්වා දෙමිනි. මේ බව දැන ගන්නට ලැබුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා දේශපාලඥයින් එහි දිව එන්නට වූහ. එහෙත් ජනතා විරෝධය හමුවේ ඔවුහු පලා ගියහ. පැමිණ සිට විරෝධය පෑ තිරුක්කෝවිල් ජනතාව පවසා සිටියේ ‍

‘මේ වෙලාවෙ අපේ කට්ටිය සමහරු මුහුදු ගිහින්, තවත් අය රස්සාවලට ගිහින් ගෙවල් වල හිටපු අපි විතරයි මේ වෙලාවෙ මෙතෙන්ට ආවේ. සිංහල, ‍ෙදමළ, මුස්ලිම් කියල කිසිම වෙනසක් නැ‍‍‍‍ඟෙනහිර පළාතෙ නැහැ. ඒත් සමහර දේශපාලඥයන් තමනගේ දේශපාලන වැඩ කටයුතු කර ගෙන යන්න ඕන හින්ද මේ සංහිඳියාවට බාධා කරන්න කටයුතු කරනවා. ඒ අ‍ය‍ගේ පැවැත්ම තියෙන්නෙ එතනයි. හමුදා කඳවුර ඉවත් කරල එතන පාසල් ක්‍රීඩා පිට්ටනියක් හදන්න යනව කියල කියන්නෙ. මේක හරිම විහිළුවක්. මෙතන පිට්ටනියක් හදන්න බැහැ. අනිත් එක කලින් හිටපු පොලිස් විශේෂ කාර්ය බළකාය පාසලක් හදල දුන්න.’

මේ ජනතාව එහිදී පෙත්සමක් අස්සන් කළහ. එයින් කියැවුණේ කිසිදු හේතුවක් මත හමුදා කඳවුර ඉවත් නොකළ යුතු බවයි. පෙත්සමට පවුල් 186ක් අස්සන් කර තිබිණි‍.

‘මේ කෑම්ප් එක මෙතනින් ඉවත් කරල වෙන තැනක හදයි. ඒකෙන් කෑම්ප් එක වෙන තැනකට මාරු වෙන එකයි වෙන්නෙ, ඒක වුණාට කමක් නැහැ‍. නමුත් අපට සිදු වෙන අපහසුතාවට කවුද වග කියන්නෙ. ඉස්සර මේ හරියෙන් හවස 6න් පස්සෙ පිරිමි කෙනෙකුටවත් යන්න බැහැ. මත් ද්‍රව්‍ය භාවිත කරන අය හින්ද හිරිහැර තිබුණා. නමුත් කඳවුර නිසා ඒ ප්‍රශ්න කිසි දෙයක් නැහැ.

පැය කිහිපයක උද්ඝෝෂණයකින් පසු ජනතාව විසිර ගියේ හමුදා නිලධාරීන් විසින් ඒ සම්බන්ධව සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බව ඔවුන්ට දැන්වීමෙන් පසුවය.

අප තිරුක්කෝවිල්හිදී දුටුවේ සැබෑ ජනතා හඬයි. දේශපාලකයින් නඟන්නේ ඔවුන්ගේ දේශපාලනයේ හඬ බව අපට පැහැදිලි වන්නේ එවන් සිදුවීම් ඔස්සේ පමණි.

 

Comments