
- වාරික මුදල් දෙගුණයකින් ගෙවන ලෙස නියෝග
- නොගෙව්වොත් එළියට දානවා
- බිල්පත් ගෙවා තිබියදීත් සාමාන්‍ය පෙළ විභාගයට ලියන දරුවන්ගේ නිවාසවල ජලය අත්හිටුවයි
- දුම්රියේ ඉඩමක් නොදුන්නාට දඬුවම ජනතාවට
කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරයන්හි අනවසරයෙන් පැල්පත්වල හා අවිධිමත් ලෙස තැනූ නිවාසවල හා රජයේ විවිධ ආයතනවලට අයත්වන ඉඩම්වල නිවාස තනාගෙන පදිංචිව සිටි ජනතාවට මහල් නිවාසයන්හි ස්ථිර නිවාස තනා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම ආරම්භ කරන ලද්දේ මීට කලකට පෙර සිටය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවීමත් සමඟ එය වඩාත් විධිමත් විය.
රජයේ ඉඩම්වල පදිංචිව සිටි අඩු ආදායම්ලාභී ජනතාව මෙසේ මහල් නිවාසයන්හි පදිංචි කරවීමෙන් රජය බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණු දෙකක් විය. එයින් පළමුවැන්න වූයේ එම ජනතාව පදිංචිව සිටි අධික වටිනාකමින් යුත් ඉඩම් අදාළ ආයතන වෙත ලබා දී සංවර්ධන කටයුතු සිදු කිරීම හෝ එම ඉඩම් රජයේ භාරයේ තබාගෙන සංවර්ධනය කිරීමය.
දෙවැන්න අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමයි.
මෙහිදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ විශේෂ අවධානයට යොමු වූයේ කොළඹ නගරයේ අවිධිමත් ලෙසින් රජයේ ඉඩම්වල පදිංචිව සිටින ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසයි.
ඒ සඳහා කොළඹ නගරයේම රජයේ ඉඩම්වලින් මහල් නිවාස තැනීම ආරම්භ විය.
මීට දශක දෙකකට පමණ පෙර නාගරික සංවර්ධන අධිකාරිය යටතේ බොරැල්ලේ ඇරැඹි ‘සහස්පුර’ නිවාස ව්‍යෘපෘතිය මේ නිවාස ලබා දීමේ මහා පරිමාණ දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ වුවත් එය වඩාත් විධිමත් වූයේ පෙර සදහන් කළ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් පසුව ය.
මහල් නිවාස ඉදි කිරීමෙන් පසුව ඒ නිවාසවල මේ අඩුආදායම්ලාභි ජනතාව පදිංචි කිරීමේදී මහල් නිවාසවල හිමිකාරීත්වයද ජනතාවට ලබා දීම සිදු කරන ලද්දේ පින් සලකාම නොවේ. එම නිවාසයන්ට අදාළ ගෙවීම් රජයේ තක්සේරුකරුවන්ගෙන්ද ලබාගෙන ජනතාවගෙන් මුදලක් ද ලබාගෙනය. අඩු ආදායම්ලාභීන් නිසා දීර්ඝ කාලීනව කොටස් වශයෙන් මේ ගෙවීම් සිදු කරන්නට අවස්ථාව හිමි විය.
මීට වසර 5කට 6කට පමණ පෙර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් ලබාගෙන දෙමටගොඩ අවට අඩු අදායම්ලාභීන් එම භූමියේ ඉඳි කළ මහල් නිවාසයන්හි පදිංචි කරවීම ඇරැඹිණි. ජනතාව එම නිවාස සංකීර්ණයේ පදිංචි කරවීමේදී කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීම වඩාත් අගය කළ යුතුය.
2013 වසරේදී මේ ව්‍යාපෘතියේ අදියර කිහිපයක්ම නිමාවට පත්වූ අතර ‘මිහිඳු සෙන්පුර’ නමින් ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතියේ අදියර තුන හතරේම පවුල් 2000කට ආසන්න සංඛ්‍යාවක් පදිංචි කරවන ලදී. එයින් බහුතරයක්ම රජයේ විවිධ ආයතන හෝ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශවල අනවසරයෙන් නිවාස තනාගෙන සිටි අයයි. ඔවුන්ට කිසිදු නිවාස හෝ ඉඩම් හිමිකාරිත්වයක් හෝ නොවීය. ජල විදුලිය පමණක් ලබා දී තිබූ අතර වරිපනම් අංක පවා නොතිබුණි. එම ජනතාවගෙන් මසකට රුපියල් 1000ක සුළු මුදලක් වසර 20ක් යනතුරු නිවාස ඒකකයන්ට අදාළව අය කර ගැනීමට කටයුතු කරන ලදී.
ඒ ජනතාව එසේ පදිංචි කරවීමෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් භූමියන්හි අවසරලත් නිවාසවල පදිංචිව සිටි ජනතාවගේද ඉඩම් ලබා ගෙන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන ලදී. එහිදී අමාත්‍ය මණ්ඩල නිර්දේශයක් යටතේ එම නිවාසවල පදිංචිව සිටි පිරිස්ද ‘මිහිඳු සෙන්පුර’ නව අදියර යටතේ පදිංචි කරවීමට කටයුතු කරන ලදී. දෙමටගොඩ 537 වත්ත නැමැති දුම්රිය භූමි භාගයේ පදිංචිව සිටි පිරිස් මෙසේ මිහිඳු සෙන්පුර මහල් නිවාස ව්‍යාපෘති දෙකක මෙසේ පදිංචි කරවීම ස්ථාපිත කරවන ලදී. එහෙත් අනවසර කිසිදු හිමිකමක් නොමැතිව සිටි අයට වඩා මේ පිරිසට ලැබුණු නීති රීති වැඩි විය.
කෙසේ හෝ අමාත්‍ය මණ්ඩල නිර්දේශයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ දුම්රිය දෙපාර්තමේන්තු භූමියේ පදිංචිව සිටි මේ අඩු ආදායම්ලාභී ජනතාවටද අදාළ නිවාස අයිතිය තහවුරු කිරීම කළ යුතු වූ අතර ඔවුන්ද ඒ සඳහා නාගරින සංවර්ධන අධිකාරියට නිවාස වෙනුවෙන් මුදලක් ගෙවිය යුතු බව තීරණය කෙරිණී. එය පෙර නිවාසලාභීන්ට වඩා වැඩි වටිනාකමක් වන බව ආරම්භයේ සිටම පෙනෙන්නට තිබුණි. කෙසේ හෝ මේ කාර්යයද ඉදිරියට කරගෙන යාමේ වගකිම පැවරුණේ නාගරික සංවර්ධන අධිකාරියටය.
ඒ අනුව රජයේ නියමය පරිදි මේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස මහල් නිවාස සංකීර්ණ දෙකක නිවාස ඒකක 500ක් ලබා දුන් අතර එක් මහල් නිවාස සංකීර්ණයක් මහල් 9කින් සමන්විත විය.
ඒ අනුව පළමුව රුපියල් 50000ක මුදලක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික වලින් වසර 20ක් එනම් වාරික 240ක් මසකට රුපියල් 3960.00ක් බැගින් ගෙවිය යුතු වන පරිදි කොන්දේසි සකස් කෙරිණි.
එමෙන්ම මහල් නිවාස දීර්ඝකාලීන නඩත්තුව හා අලුත්වැඩියා කටයුතු සහධිපත්‍ය කළමනාකරණ කමිටුව විසින් ඉටු කරනු ලබන හෙයින් ඒ සඳහා රුපියල් 50000ක මුදලක් වාරික තුනකින් මාස තුනක් ඇතුළත ගෙවිය යුතු බවටද මේ ජනතාවට දන්වා තිබුණි. ඒ 2013 නොවැම්බර් මස 7 දරණ අංක URP-CC/01/RE/DEM/500 ගිවිසුම යටතේය.
ගිවිසුමෙන් දක්වන ලද පරිදි ජනතාව තමන් විසින් කළ යුතු ඒ සියල්ල නිර්දේශ කළ අයුරින්ම කළහ.
එසේම ජල විදුලි බිල්පත් සේම වරිපනම් බදුද මේ නිවාසයන්හි ජනතාව විසින් ගෙවිය යුතු බවටද දන්වා තිබුණි.
මේ ව්‍යාපෘතිය හඳුන්වා තිබුණේ අපූරු ආදර්ශ පාඨයකිනි. ඒ ‘අපේම අපේ ගෙයක්’ යන තේමාව යටතේය. ඒ අනුව සෑම නිවසක්ම කුඩා නිදන කාමර දෙකකින්, නාන කාමරයකින්, විසිත්ත කාමරයකින් හා මුළුතැන් ගෙයකින් සමන්විත විය. අඩු පහසුකම් ලබන ජනතාව නිසා මුළු වටිනාකම මේ ජනතාවගෙන් අය කර ගැනීමෙ අපහසුතාව නිසා සියලු නිවාසයන් මිලියන මුදලකට තක්සේරු කර මෙසේ අඩු වාරික යටතේ අය කර ගැනීමට කටයුතු කෙරිණි. ඒ බව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ කොළඹ නගරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් අදාළ ගිවිසුමෙන් පදිංචි කරුවන් වෙත දන්වා තිබුණි.
මෙසේ වාරික මුදල් ගෙවීම් කිරීමේදී කිසිදු ආකාරයක ගිවිසුම් සංශෝධනයකින් තොරව මසකට ගෙවිය යුතු මුදල වන රුපියල් 3960 රුපියල් 2960ක් දක්වා සංශෝධනය කළ බවට මිහිඳු සෙන් පුර දැන්වීම් ඇලවීමට වසර කිහිපයකට පෙර නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කෙළේය. ගිවිසුම් ගතව ඇති නිවාස පවරා දීමේ නීතිමය කටයුත්තක් එසේ දැන්වීම් අලවා සංශෝධනයට ලක් කිරීම රාජ්‍ය ආයතනයකට කළ නොහැකි වුවත් රුපියල් 1000කින් වාරිකය අඩු වූ බව දැනගත් ජනතාව නාගරික සංවර්ධන අධිකාරියට ගෙවීම් පිණිස ගිය විට ගෙවීම් කාලය වසර 20 සිට වසර 30ක් දක්වා සූක්ෂ්ම ලෙස වැඩි කර ඇති බව දැන ගත්තේය. එහෙත් පදිංචිකරුවන් ඒ බව දැන ගත්තේ ඒ සඳහා අස්සන් කිරීමෙන් පසුවය. සියලු ජනතාවෝ ඒ උගුලේ අසුවූහ. එහෙත් කිසිවෙක් ඒ ගැන කතා නොකළේ යම් හෝ සාධාරණත්වයක් ඉදිරියේදී හෝ සිදුවේය යන විශ්වාසයෙනි.
මීට කලකට පෙර මේ ස්ථානයට පැමිණි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතාද පවසා සිටියේ මේ නිවාසයන්ගෙන් මුදල් අය කිරීම නවත්වන බවත්ය. එමෙන්ම එහි ජනතාවටද මුදල් ගෙවීම නවත්වන ලෙසද ඔවුහු පැවසූහ.
එහෙත් දැන් සිදුව ඇත්තේ වෙනත්ම ආකාරයේ කතාවකි. පක්ෂ භේදයකින් තොරව දේශපාලඥයින් මේ ජනතාව දෙස බලා කටයුතු කරද්දී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මේ වන විට පවසා ඇත්තේ තම අධිකාරියට රුපියල් මිලියනයකට එම නිවාස ලබා දීමෙන් පාඩු සිදු වූ බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමේ මහල් නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් තනන ලද්දේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ජනතාව පදිංචිව සිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දෙන බවට රජය දන්වා සිටි නිසා බවත් එම ඉඩම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකර එහි නිල නිවාස පරිහරණය කිරීම පිණිස අමතර නිවාස ලබාදෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇති නිසා අධිකාරියට පාඩු විඳින්නට සිදුව ඇති බවත්ය.
මේ නිසා වාරික වශයෙන් ගෙවනු ලබන මුදල (මේ වන විට ජනතාව ගෙවනු ලබන්නේ රුපියල් 2960.00කි) දෙගුණ කරනු ලබන බවත් ගෙවනු ලබන කාලය වසර 30ක් දක්වා දීර්ඝ කර ඇති බවත්ය.
ඒ අනුව රුපියල් 5600.00ක් මින් ඉදිරියට නිවාස වාරික ලෙස වසර 30ක කාලයක් ගෙවිය යුතු බවත් ඒ සඳහා වන ගිවිසුම් අස්සන් කිරීමට පැමිණෙන ලෙස දන්වා ඔවුන්ට ලිපි යවා ඇත. ඒ ලිපි මඟින් දන්වා ඇත්තේ 2018 ඔක්තෝම්බර් 22,23,25 හා 26 දිනවල පැමිණ අදාළ ගිවිසුම් අස්සන් කරන ලෙසයි. ඒ නියෝගය ලද වහාම එහි වැසියන් විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා සිටින ලදී. ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් 2018.10.31 දිනැති අංක PS/CoS/11/14/11/913 ලිපියක් මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත දන්වා ඇත්තේ මේ පිළිබඳව අවධානය යොමුකර එහි ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙසයි. එම ලිපියද තුට්ටුවකටවත් නොසලකනු ලබන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ (කොළඹ නගරය) එස්. ඒ. ආර්. සමරසිංහ මහතා විසින් 2018.12.10 දින අංක URP-CC/01/Re/Dem-500 ලිපියෙන් දන්වා ඇත්තේ පෙර දැනුම් දුන් පරිදි ගිවිසුම් අත්සන් කිරීමට පිරිස් නොපැමිණි නිසා ගිවිසුම් අස්සන් කිරීමට නැවත අවස්ථාවක් ලබා දෙන බවත් ලිපියේ සඳහන් දින සිට දින 7කදී එනම් (දෙසැම්බර් 17,18,19) දිනවල අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘති කාර්යාලය වෙත පැමිණ නව ගිවිසුමක් අස්සන් කරන ලෙසයි. එම ලිපිද යොමු කර ඇත්තේ සාමාන්‍ය තැපෑලෙන් වීම මෙහි විශේෂත්වයයි.
මෙයට බිය වූ කිහිප දෙනෙක් ගොස් අස්සන් කර පැමිණියේ ඔවුන්ගේ නිවාසවල හෘද රෝගීන් මෙන්ම වයෝවෘද්ධ අයද සිටි හෙයින් මේ සිදුවීම හරහා ඔවුන්ට යම් අතුරු ආන්තරාවක් වේ යන බිය නිසාය. එහිදී පැරැණි ගිවිසුම් ආපසු අධිකාරිය බාරයට ගෙන නව ගිවිසුම් සඳහා කැමැත්තෙන්ම අස්සන් කරනු ලබන බවට සාක්ෂි සහිතව එම පදිංචිකරුවන්ගෙන් අස්සන් ලබා ගෙන ඇති බවට බව වාර්තා වේ.
ගිවිසුම් අස්සන් කරනු නොලබන අය නිවාසවලින් ඉවත් කරනු ලබන බවටද අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් දන්වා ඇත.
මේ ලිපිය එවීමට පෙර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සමයේ නිවාසවල ජලය කපා දැමීමට අධිකාරියේ මේ නිවාස බාරව සිටින සේවකයා විසින් කටයුතු කර ඇති බවටද මේ නිවැසියෝ චෝදනා කරති.
මිහිඳුසෙන්පුර එක් නිවාස ව්‍යාපෘතියක පැන නැඟී ඇති මේ ගැටලුව සුළුවෙන් පෙනුණද එය මහා බරපතළ ගැටලුවකි. මේ ගැටලුව වැඩි කරන්නට යන්නේ තම අධිකාරියේ ලාභ පාඩු අඩු ආදායම් ලාභීන්ගේ නිවාස හරහා තුලනය කරන්නට යන නිලධාරීන් නිසාය.
මේ කතාවේ වඩාත්ම විහිළු සපයන කතාව වන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ නිවාස ජනතාවට ලබා දීමේදී අඩු ආදායම් ලාභීන් ජීවන තත්ත්වය සලකා බලා නිවාස ගෙවීමේ ක්‍රමයට ලබා දෙන බව දන්වා සිටීමත් මේ ව්‍යාපෘතිය ‘අපේම අපේ ගෙයක්’ යනුවෙන් හඳුන්වා දීමත්ය.
එසේ දැන්වූ නාගරික සංවර්ධන අධිකාරියට එක්වරම ගෙවීම දෙගුණ කිරීමට සිතුණේ දැන් ඔවුන් අඩු ආදායම්ලාභීන් නොවන බවට පසක් වීමෙන්ද යන්න ගැන අපි විමසමු.
මිහිඳුසෙන්පුරම එක් නිවාසයන්ට ජනතාව රුපියල් 1000ක මුදලක් ගෙවීම අරඹා පසුව එය ගෙවා දැමීමද මේ වන විට නවතා දමා ඇත. එවන් තත්ත්වයකදී තමන් විසින් හරි හම්බ කළ මුදලින් නිවාස තනාගෙන ජීවත් වූ මේ ජනතාවගේ නිවාස වෙනුවට ලබා දුන් මේ නිවාසවලින් අය කරනු ලබන මුදල් වරින් වර වැඩි කිරීමට අධිකාරිය මෙසේ ජනතාවට බුරද්දී ඒ ජනතාව කුමක් කරන්නේද යන ප්‍රශ්නය දැන් අසන්නේ කාගෙන්ද?
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ලබා දෙන බවට රජයේ යම් ආයතනයක් හෝ ඒකකයක් හෝ වගකිය යුතු අමාත්‍යාංශ ලේකම්වරයකු හෝ ප්‍රතිඥා දී ඇත්නම් අධිකාරිය විසින් කළ යුත්තේ ඒ කටයුත්ත ඒ පාර්ශ්වයන් සමඟ විසඳා ගැනීමය. තම නිවාස වාරික නිසි පරිදි ගෙවමින් ජල විදුලි බිල්පත් ගෙවමින් මිහිඳුසෙන්පුර ජීවත් වන අහිංසක ජනතාව පිට එම බර පටවා එම ජනතාව යළිත් පැරැණි ‘මුඩුක්කු‘ දිවියට හැරවීමට උත්සාහ දැරීම හෝ ඔවුන් පලවා හැරීමට යත්න දැරීම නොවේ.