පාතාලයන්ට කිරි පෙවීම | Page 3 | සිළුමිණ

පාතාලයන්ට කිරි පෙවීම

"පාතාලේ සුරතලුන් නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි නළියයි අඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතිය ද මේ මිනිස් වනාන්තරේ"

මේ පද ටික හමුවන්නේ 'ගිනි අවි සහ ගිනි කෙළි' චිත්‍රපටයේය. බිහිසුණු පාතාලයේ ගති ස්වභාවය මෙයින් අපූරුවට කියැවේ. පපුවේ පච්චයක් කොටාගෙන, කනේ සතපහක් රඳවාගෙන, ගමක් බිය කරගෙන සිටි චණ්ඩින්ගෙන් පැවතගෙන ආ සංස්කෘතිය, කාලයත් සමඟ පාතාලය බවට පත් වී චිකාගෝ පන්නයේ අපරාධ දක්වා ව්‍යාප්ත වී තිබේ. පොලොන්නරුවෙ පොඩි විජේලා, මරදානෙ චොප්පෙලා, අග්ගොන චන්දරේලාට තිබුණේ 'ගමේ චණ්ඩි' ලෙවෙල් එකය. එහෙත් කඩු, කිරිඥ්ඥ, ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ දක්වා පරිවර්තනය විය.

70 දශකයෙන් මෙපිටට අසූව දශකය යටකරගෙන අනූව සහ දෙදහස වසර ඉක්මවා යන්නේ කාලයත් සමඟ නවීකරණය වූ පතාලයකි. මිනීවලට පවා වෙඩි තැබූ පාතාලය උතුරේ යුද්ධය තිබියදීත් දකුණේ පාතාලය ක්‍රියාත්මක විය. අණක්-ගුණක් නැති වියරු පාතාලය දකුණ කැලඹූ අවස්ථා බොහෝය. එය ගොඩනැඟෙන්නේ, මළ මිනීවලට පවා වෙඩි තැබූ අතීතයක් එක්කය. ඒ කියන්නේ දකුණේ පාතාලය මිනියකටවත් නිදහසක් දුන්නේ නැත. එදා දකුණේ පාතාලය පුරා භීෂණය වපුරුවාගෙන සිටියේ සූරියවැව රත්නවීර, වම්බොට්‌ටා, පල්ලන්තර ජගත්, ආමි ජිනේ, ලන්දුවත්තේ බාලයා වැනි පාතාල කෙරුම්කාරයෝය. උන් එකපිට එකා මරා ගත්හ.

දැන් එය හිමි වී තිබෙන්නේ ද කඹුරුපිටියේ මධූෂ් හරහාය. දෙවුන්දර මධූෂ්, කුඩු මධූෂ් යන නම්වලින් ද හඳුන්වන මොහු පාතාලයේ කිරුළ සොයන ප්‍රමුඛයාය. කුඩු ව්‍යාපාරයේ මුල් පුරුක් තුනක්ම දකුණේය. ඉන් එක් පුරුකක් මධූෂ්ය. අනෙක් දෙදෙනා කොස්ගොඩ සුජී හා දෙවුන්දර තමිල්ය. වරක් කුඩු කිලෝ එකසිය විස්සක් අතුරුදන් කිරීමේ 'ගේම' ගහන්නේ මධූෂ්ගේ කල්ලියයි. දෙවුන්දර ඩිලයිට් නැමැති පාතාලයා හරහා මධූෂ් මේ ජාවාරම මෙහෙයවීය. ඒ කොල්ලය සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ලෙස පෙනී සිටිමින්ය. ජාවාරම්කරුවන් පිටුපස හඹා යන පොලිසියේ ඇස් වසා පිරිස දක්ෂිණ අධිවේගය ඔස්සේ පලා යන්නේ වෙනත් වාහනයකට කුඩු තොගය මාරු කරමින්ය. කුඩු තිබූ බෝට්ටුවේ සිටි දෙදෙනාත්, කුඩු තොගය ගෙන්වූ කල්ලියත් අත්අඩංගුවේය. එහෙත් කුඩු අතුරුදන් කළ මධූෂ්ගේ කණ්ඩායමත්, කුඩු තොගයත් ආගිය අතක් නැත.

උතුරේ යුද්ධය

උතුරේ යුද්ධය තිබියදීත් දකුණේ පාතාලය ක්‍රියාත්මක විය. අණක්-ගුණක් නැති වියරු පාතාලය දකුණ කැලඹූ අවස්ථා බොහෝය. ඒ ඒ කාලවල දී සදාචාර හෙවණැල්ලෙන් සිරුර වසාගෙන සිටි පාදඩ දේශපාලනයේ ලුණු ඇඹුල් සමඟ පාතාලය පණගසා අවදි වෙයි. නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලිලා ඒ රටාව වෙනස් කළේය. ගෝනවල සුනිල්, වම්බොට්ටා, ධම්මික අමරසිංහ, බැදදගානෙ සංජීව, ඕල්කට්, පොට්ට නෞෆර්, ආනමාලු ඉමිටියාස්, චින්තක අමරසිංහ, කළු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා, ප්‍රින්ස් කොලම්, ධනුශ්ක, නෙලුවේ ප්‍රියන්ත, කඩුවෙල වසන්ත, ආමි රොෂාන්, උස කුමාර, වැනි අන්වර්ථ නාමධාරී පාතාල කෙරුමෝ 70 , 80 , 90 දශක පුරා 'ගිනිකෙළි' සංදර්ශන පැවැත්වූහ. එහෙත්, ඒ සියලු දෙනාගේම ඉරණම් කතාව හමාර වුණේ කුරිරු ලෙසටය. 'මහින්දලාගේ කාලේ නම් පාතාලේ නැත්තටම නැති කළා. ඒකට දැන් 'සමහර පක්ෂග්‍රාහී අඳ බාල තර්ක ඒවාය.

පාතාලය එදා මෙදා කවදත් සමාජයේ මුල් බැස තිබිණි. පාතාල ක්‍රියාකාරකම් නොඑසේ නම් සංවිධානාත්මක අපරාධ ගත් විට ඒවා පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව වැනි බලගතු රටවල් පවා මෙම උවදුර මුළුමනින්ම තුරන් කිරීමට අවශ්‍ය “බෙහෙත්” තවම සොයාගෙන නැත. එය ඇත්තකි. නමුත් එසේ කියා අත පිහිදා ගැනීමේ හැකියාවක් නැත. පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරිම වෙනුවෙන් මීට වඩා සාධනීය උත්සාහයක් පැවැතිය යුතු බව තර්කයක් නැත. පාතාල ක්‍රියාකාරිත්වය යළි හිස ඔසවා ඇති බව කියමින් “කිඹුල් කඳුළු” හෙළන්නන් අතර ඉදිරියෙන්ම පසුවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම්ය. පාතාල ක්‍රියාකාරිත්වයේ තීව්‍රතාව අඩු වැඩි වීම සම්බන්ධව මත දැක්වීමට එම කණ්ඩායමට ඇති හැකියාව ප්‍රශ්න විරහිතය. පාතාලය ගැන දැන් කෑ ගසන මහින්දලා එදා පාතාලය හුරතල් කළ හැටි මහින්දලාටම අමතක ය.

අමුත්තාගේ කටහඬ

ඝාතන 22කට ස්ත්‍රී දූෂණ 11කට කොල්ලකෑම් 13කට සම්බන්ධ පාතාල ලෝකයේ 'රජෙක්' තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියේ ය. වලස්මුල්ල, මිද්දෙණිය, තංගල්ල, වීරකැටිය, ගල්හේන්ගොඩ, තණමල්විල ජනතාව භීතියෙන් මුසපත් කළ 'ප්‍රභාකරන්' ඔහු ය. ඔහු ප්‍රකට 'ජූලම්පිටියේ අමරේ' නමින් ය. ගීගනගමගේ අමරසේන හෙවත් ජුලම්පිටියේ අමරේ කියාත් ඔහුට කියන්නේ ය.

2002 ජූනි කෙළවර ඔහු 'තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලක් පටන් ගත්තේ ය. කැරැල්ල දරුණු වෙත් ම ඔහු බලන්නට 2002 ජූලි 01 වැනි දා, එක්තරා පුද්ගලයෙක් බන්ධනාගාරයට ආවේ ය. “අමරේ මම ඇවිත් ඉන්නේ, බය නැතුව එළියට එන්න" කටහඬින් ඒ කවුදැයි හඳුනාගත් අමරේ එළියට ආවේ ය. අමුත්තා 'මහින්ද රාජපක්ෂ' ය.

නාටකයක් වගේ පෙනුණත් මේ කතාව ඇත්ත ය.

එවක ඔහු විපක්ෂ නායකයා ය. පසුව ඔහු මෙරට විධායක ජනපති ය. එකල අමරේ නිදැල්ලේ හුන් පාතාල සෙන්පතියෙක් ය.

පොලිසියට යුද හමුදාවට, පොලිස් විශේෂ කාර්ය බළකායට හෝ අධිකරණයට මෙල්ල කළ නොහැකි පරිද්දෙන් 'අමරේ' සැරිසරුවේ ය. ටී. 56 අවිය අත දරාගෙන හෙතෙම යුව රජෙක් පරිද්දෙන් සැරිසැරුවේ ය. පාලකයාගේත්, ඔහුගේ පුතුන්ගේත් 'ආශිර්වාදයෙන්' හෙතෙම ස්වකීය 'තක්කඩිකම්' සුවපහසුවෙන් ම කරගෙන ගියේ ය.

යුද හමුදා ඇඳුමින් සැරසී ටී 56 ගිනි අවියක් සහිත ව මහ දවල් දඩාවතේ ඇවිදින ඔහු වෙඩි නොවදින ඇඳුමක් ටී 56 ගිනි අවි කිහිපයක් වෙඩි නොවදින හෙල්මටයක් ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මිනියුසි වර්ගයේ ගිනිඅවියක් සහ අත්බෝම්බ ද සන්තක ව සිටියේ ය. ගෝඨලාගේ 'හයියෙන්' පාතාලය මඩින බවට පුරසාරම් දොඩමින් ව්‍යාජයක් මවන අතරේ අමරෙලාට 'කිරි පෙවුවේ' රාජපක්ෂලා ය.

'ඔහු එවක පාතාලය මර්දනය කළේ ය. ඒ තමන්ට එරෙහි සහ, තමන්ට තර්ජනයක් වෙතැයි සිතූ පාතාලයේ පිරිස් පමණක් ය.' නමුත් 'හිතමිතුරු පාතාලයට' ඔවුහු විටමින් සහිත පෝෂ්‍යදායී ආහාර ලබා දුන් හ. එමතු නොව, එවක අමරේලා සිය පාතාල තක්කඩිකම්වලට අවට විහාර කිහිපයක චීවරධාරීන් ද සම්බන්ධකර ගත්හ. ඒ විහාර අමරේගේ අවි සහ රහස් රකින තිප්පොළවල් බවට පත් ව තිබිණ.

ජුලම්පිටිය අමරේ

1998.06.08 දින ජුලම්පිටිය අන්දිරිස්වත්ත නිවසේ සිටි ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවය කළ අබේවර්ධන කංකානම්ගේ කීර්ති නිවසට නුදුරින් මහපාරේ දී මරා හිස කඳන් වෙන් කරන්නට මැදිහත් වූයේ 'අමරේ ය. මියගිය සෙබළාට උත්තමාචාර දීමට පාබල හමුදා බට පිරිසක් කීර්තිගේ නිවසට පැමිණියේ ය. එදින රාත්‍රී සෙබළාගේ නිවසට පැමිණි අමරේ අත්බෝම්බයක් දමා ගැසීය.

මළගෙදර උන් සියල්ලන් සීසී කඩ විසිර ගිය අතර හමුදා අනුඛණ්ඩය තමන් ආ බසයේ ම නැඟී යළි කොළඹ ගියේ 'මහ රජුගේ අඩවියේ' 'අමරේ' යුව රජු හින්දා ය.

අමරේගේ 'හයියෙන්' සදාකාලික අබ්බගාතයන් කළ පිරිස 61ට වැඩි බව කියැවේ. අබේවර්ධන කංකානම්ගේ සිරිසේන (65) හෙවත් අන්දිරිස් පුංචි මහතා මිය ගිය සෙබළාගේ පියා ය. පුතාගේ මරණයට යුක්තිය ඉල්ලු ඔහුට ජුලම්පිටිය අමරේ සිය ගෝලයන් ලවා 'මරණ වරෙන්තුව' ගෙනාවේ ය. 2008.02.24 දින ඔහු මරා දමනු ලැබුවේය. වෙඩි වැදුණු මව තවමත් අබ්බගාත ය; ගේ ගිනි තැබූ අතර ඒවාට නඩු නැත. පසු කලෙක, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ පසු ඔහු වෙනුවෙන් සරොම් ලබාදීමට ඉදිරිපත් වූයේ ද රාජපක්ෂලා විසින් පෝෂණය කරමින් ආරක්ෂා කරමින් හැඩි දැඩි කළ ජූලම්පිටියේ අමරේ ය. පෙනෙනෙ පාතාලයට ඔබ්බෙන් මහින්දලා 'අමුතු' පාතාලයක් ද නඩත්තු කළේ ය.

මානව අයිතිවාසිකම්

මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ජනාධිපතිට විරුද්ධ ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම, ස්වාමීන් වහන්සේ නමක් මහින්ද රාජපක්ෂට ඒකාධිපතියකු වන ලෙස ආරාධනා කිරීම, මර්වින් සිල්වා සමෘද්ධි නිලධාරියකු ගස් බැඳි බව රට ම දන්නා සිද්ධියක් වුවත් එහි වීඩියෝ දර්ශන පවා තිබුණත් එවැන්නක් නොසිදුවුණු බව ඔප්පු වී මර්වින් සිල්වා නිදහස් වීම, 18 වන සංශෝධනය මඟින් මහින්ද රාජපක්ෂ ලාංකේය රජයේ යාවජීව පාලකයා ලෙස වැජඹීමට දැරූ උත්සාහය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහාය දැක්වීමට මුදල් කුට්ටි හරහා මිල දී ගැනීම යනාදියත් දාමරික පාතාලයේ මිලිටරි වැඩ ය.

සමානාත්මතාවයෙන් සහ ගරුත්වයෙන් යුතුව ජීවත් වීමේ නිදහස, වෙනස්කමකට භාජනය වීමෙන් වැළකීමේ නිදහස, සහ සමාජ ආරක‍්ෂාවේ නිදහස මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ මූලික වගන්ති තුනයි. මහින්ද යුගය එකී වගන්ති තුන සුන්නද්දූලි කොට දැමුවේ ය. නො එසේ නම් එකී වගන්ති අමු අමුවේ කෙලෙසා දැමීය.

කාන්තාවන් සියයක් දූෂණය කර ඒ වෙනුවෙන් සාද දැමූ බව කියන දේශපාලන පාතාලයෙක් මහින්දගේ ආණ්ඩුවේ සිටියේ ය. කිරි දරුවකුටවත් නිදහසේ ඉන්නට නොදුන් 'සාරුවා' නැමති ඔහු එවක මාතර භීතියෙන් සසල කළ අතර මහින්දට අද ඔහු අමතක ය. භාරත ලක්ෂ්මන් ඝාතනය වන්නේ එවක 'කොළොන්නාව' හරහා මුළු රටක් ම සසල කළ කුඩු පාතාලයේ ගොදුරක් ලෙසට ය. එවක ආරක්ෂක ලේකම්වරයා අදාළ පාතාලයන් සමඟ සැරිසැරූ හැටි භාරතම මිය යන්නට පෙර කීවේ ය.

නිමල් ලංසාගේ නිවස පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම ඔහුගේ නිවසට ගොස් ඔහු උණුසුම් ලෙස වැලඳගත්තේ ය. 'මහ රජු ලෙස අබිසෙස් ලත් නායකයා සැකකරුගේ නිවසට විත් වැලඳගන්නා විට පොලිසියට සිදු වන්නේ කුමක්ද? ඔහු ව්‍යංගයෙන් දුන් පණිවිඩය කුමක්ද? 'ලංසාට අත තිබ්බොත් බලාගෙනයි' යන්න නොවේ ද?

ආඩම්බරකාර අප්පච්චි

පාතාලයට කිරි පොවන්නේ දේශපාලනය බව සත්‍යය ය. මහින්ද යුගයේ පාතාලයට කිරි පෙවුවා පමණක් නොව උන්ට සකල ආරක්ෂාව ද සලසා දුන්නේය. එහෙව් මහින්දලා අද 'පාතාලය නැඟිටිනවා' කියා කිඹුල් කඳුළු හෙළති. “කොටි නැඟිටීමේ“ බිල්ලා ලෙසින් ම පාතාලය නැඟිටීමේ බිල්ලා භාවිත කරන්නට පාර හදමින් විමල්ලාට, ගම්මන්පිලලාට, දිනේෂ්ලාට 'ගැලරිය පිනවන' චාන්ස් එක මහින්ද හදා දෙයි.

සුදු වෑන් සංස්කෘතිය, හඳුන්වා දුන් ගෝඩ් ෆාදර්ලා තමන්ගේ 'කළු' පැත්ත දකින්නේ නැත. එක්කෝ තමන්ගේ අතීත ක්‍රියාකාරකම් සියල්ල කළු පාට නිසා අනිසා වර්තමානයත් පෙනෙන්නේ 'කළු පාටට' ම ය. එකල්හි රටේ නායකයා හැඳින්වූයේ 'ජනමූල නායකයා' කියා ය. ආඩම්බරකාර අප්පච්චි ලෙස 'ඇඩ්වර්ටයිසිං' ගත වූ හෙතෙම ශ්‍රී රෝහණ ජනරංජන කියා බුහුමන් ලබා ගත්තේ ය. වෝහාරපති කියාත්, විශ්ව කීර්ති ශ්‍රී ත්‍රීසිංහලාධීෂ්වර කියාත් ඔහුට නම්බු නාම ලීවේය. ඔහු පස්වනක් ප්‍රීතියෙන් උදම් කරන තරමට 'ගම්වර' ලැබිණි. 'ආයුබෝවන් මහ රජාණෙනි' කියා ප්‍රශස්ති ගයන්නන් වෙනුවෙන් මංමාවත් නම් විණි.

පාතාලයට කිරි පොවන්නේ දේශපාලනඥයන් පමණක් නොවේ. ඇතැම් ව්‍යාපාරිකයෝ, ආයතන ලොක්කෝ ඒ අතර වෙති. පාතාල සාමාජිකයෝ තම ක්‍රියාකාරකම් වෙනුවෙන් නවීනතම තාක්ෂණය නොනවත්වා උපරිමයට භාවිත කරමින් සිටිති. ටී 56, මයික්‍රෝ පිස්තෝල පාතාල කල්ලි සාමාජිකයන්ට සෙල්ලම් බඩු තරමට සමීප වී තිබේ.

අදහස් හුවමාරුව

යුද හමුදාව හැරගිය අවි පුහුණුව ලත් සෙබළුන් පමණක් නොව එල්ටීටීඊය සමඟ සිටි වෙඩික්කරුවන් ද අද දකුණ කලඹන පාතාල කල්ලියක් හා එක්ව සිටින බව මේ වන විට තොරතුරු හෙළිව ඇත. අනෙක් අතට පාතාල කල්ලි අද අපරාධ සැලසුම් කරන්නේ පොට්ටු අම්මාන් ශෛලියටය. ඒ අනුව අපරාධයට අදාළ එක එක කොටස් සිදු කරන්නේ එක් එක් පුද්ගලයෝය. ඔවුන් අතර අදහස් හුවමාරුව සිදු වන්නේ වයිබර්, වට්ස්ඇප් වැනි දියුණු ක්‍රම හරහාය. එසේම අපරාධයක වගකීම භාරගනිමින් සම්බන්ධව පොලීසියට භාර වෙද්දී ඉදිරිපත් කරන්නේ ඊට කිසිසේත්ම සම්බන්ධයක් නැති අවි ආයුධය. පරීක්ෂණ අවුල් කරමින් නඩු වෙනතකට යැවීමට එසේ කරනු ලබයි. මේ සියලු තත්ත්වයන් තුළ පාතාලය සුද්ධ කිරිම යනු පහසු කටයුත්තක් නොවේ.

 

Comments