
රජ සමයෙන් පසු මෙරට ඉදි වූ දිගම වේලි සහිත ජලාශය වූත් උතුරු මැද පළාතේ ඉදි කරනු ලැබූ විශාලතම ජලාශය වූත් යාන් ඔය ජලාශය සිකුරාදා (28) සවස වාන් දැමූ බව යාන් ඔය වාරි ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරු උදය හේමකුමාර මහතා පවසයි. ඒ අනුව මේ ජලාශය ජනතා අයිතියට පත් කිරීමටත් පෙර වාන් දැමීම වනාහි ඒ ජලාශය ඉදිකිරීමේ ඵලදායිතාව මනාව පෙන්නුම් කරන්නක් බවද ඒ මහතා කීය.
රුපියල් කෝටි 5900ක වියදමින් ඉදි කර අවසන් වූ මේ ව්‍යාපෘතිය මගින් උතුරුමැද හා නැඟෙනහිර පළාතේ පවුල් 20,000කට අවශ්‍ය පානීය ජලය හා වාරි ජලය සපයන බවද හේමකුමාර මහතා පවසයි.
කිලෝමීටර් 6කට ආසන්න දිගින් යුත් හා පළල මීටර් 18ක දුරින් යුත් යෝධ වේලි පද්ධතියක් සහිතව ඉදි වූ උතුරු මැද පළාතේ ලොකුම ජලාශය වූ මෙහි දැන් අක්කර අඩි 145,000ක ජල ධාරිතාවක් ගබඩා කර තිබේ.
පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාල මේ මහා ජලාශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මෙරට වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය මත ඉදි වූ බව හේමකුමාර මහතා පවසයි.
අලුත් ඉඩම් අක්කර 20,000ක් අලුතින් අස්වද්දන පුද්ගලයන් 20,000කට සෙත සලසන මේ යාන් ඔය ජල ව්‍යාපෘතිය මඟින් නැවත පදිංචි කළ ගම්මානවලට පමණක් නොව, ත්‍රිකුණාමලය නගරයටද දවසේ පැය 24 පුරා පිරිසුදු පානීය ජලය සපයන බවද ඉංජිනේරු උදය හේමකුමාර මහතා පවසයි. මේ නැවත පදිංචි කළ ගම්මානවලට අවශ්‍ය පාසල්, රෝහල් ඇතුළු සියලු පොදු පහසුකම් ව්‍යාපෘතිය මඟින් ඉදි කර ඇත.
යාන් ඔය ව්‍යාපෘතියේ වම් ඉවුරු ඇළ දිගින් කි.මී. 18ක් වන අතර, දකුණු ඉවුර ඇළ දිගින් කි.මී. 10කි. මේ ඇළ මාර්ග මඟින් උතුරු-නැඟෙනහිර සිංහල, දෙමළ. මුස්ලිම් ගම්මාන 8කට පමණ පානීය ජලය හා වාරි ජලය සැපයීමට පියවර ගෙන ඇත. මෙහි ඉදි කළ දකුණු ඉවුරු ඇළ මඟින් විශේෂයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් සිටින ගම්මාන තුනකට ජලය සපයනු ලබයි. එබැවින් මේ ඇළ 'සංහිඳියාවේ ඇළ' ලෙස ජනතාව විසින් හඳුන්වනු ලැබේ.