සුවත උයනත් අධිවේගී පිවිසුමත් අනතුරේ | Page 3 | සිළුමිණ

සුවත උයනත් අධිවේගී පිවිසුමත් අනතුරේ

අපේ රටේ රජයේ බලධාරීන්ගේ මහා පුදුම සිරිතක් ඇත. ජනතාවගේ ප්‍රයෝජනය පිණිස රජයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කරනු ලබන විවිධ ස්ථාන නඩත්තු කිරීම පසෙකට දැමීම හෝ ඒ සම්බන්ධව පසු විපරම් නොකිරීම මේ බොහෝ බලධාරීන්ගේ සාමාන්‍ය සිරිත වී ඇත. මාධ්‍ය මඟින් පවා පෙන්වා දෙනු ලබන ඇතැම් දේ පවා නොදුටුවා සේ සිටින්නට ඔවුහු පුරුදුව සිටිති.

අප මේ කියන්නට යන්නේද එවන් කතාවකි.

නාගරික ජනතාවගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීම පිණිස නාගරික ප්‍රදේශවල ශරීර සුවතා මංතීරු ඉඳි කිරීම පසුගිය කාල වකවානුවේ ඇරැඹුණේය. ඒ ඇතැම් සුවතා මංතීරු අසල දරු දැරියන්ට විනෝද වීම පිණිස ළමා උයන්ද ඇති විය. ඒ වැඩිහිටියන් ශාරීරික සුවතාවයන්ට ගොස් ආපසු පැමිණෙන තෙක් දරුවන්ට ඔවුන්ගේ ලෝකයන්හි රැදී සිටින්නටය.

දිවයින පුරා නාගරිකව ඉදිවුණු මේ සුවතා මංතීරු අතර වඩාත් වැදගත්ම මංතීරුව ලෙස අපට පෙනී ගිය ස්ථානය වන්නේ කඩවත ඇල්දෙණියේ ඉඳි කළ ‘සුවත උයනයි‘ ගම්බඳ සිරියාවේ සිට නාගරික උපරිම සීමාව තෙක්, එනම් ඇළ දොළ කුඹුරු යායේ සිට අධිවේගී මාර්ගය දක්වා වූ සියලු අංගයන්ගෙන් මේ මංතීරුව අයත් ප්‍රදේශය සමන්විත විය.

කොළඹ පිටත වටරවුම් මාර්ගය කඩවතින් ආරම්භ වන ප්‍රවේශ මාර්ගය අසලින් මේ සුවත උයන පිහිටා ඇති අතර මෙය ඉදි කිරීමේදි ප්‍රධානා කරුණු දෙකක් සැලකිල්ලට ගැනීමට සිදු විය. එයින් පළමුවැන්න වූයේ පහත් බිම් ආශ්‍රිතව තිබූ හෙයින් ජල ගැලීම්වලින් වළක්වා ගැනීමට සිදුවීමයි. දෙවැන්න අධිවේගී මාර්ගය අසලින්ම දිවෙන නිසා එයට බලපෑමක් සිදු නොවන ආකාරයට සියලු ඉදි කිරීම් කළ යුතු වීමයි.

අප පෙර කී පරිදි පීදෙන ගොයමින් සමන්විත කුඹුරු යායක්ද ජල ගැලීම් වළක්වා ලිම පිණිස තනන ලද ඇළ මාර්ගයකින්ද ඒ අසලින්ම දිවෙන අධිවේගී මාර්ග පිවිසුමද සහිතව ඉදි කළ සුවත උයනේ එක් ඇවිදින මංතීරුව අවසන් වන ස්ථානයේ යාබඳ ඇළ මාර්ගය අද පත්ව ඇත්තේ ඉතාම අවදානම් තත්ත්වයකටය.

මීට මාස 6කට පමණ පෙර මේ ප්‍ර දේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ගලා ආ අධික ජල කදම්භය නිසා ඇළ ආරම්භක ස්ථානයේ සොරොව්වේ පැති බැමි කැඩී බිඳී ගියේය.

මේ පැති බැමි කැඩී බිඳී යාමෙන් අධිවේගී පිවිසුම් මාර්ගය යටින් අනෙක් පසට ජලය ගලා යාමක් සිදු නොවන අතර පිවිසුම් මාර්ගයටද මේ වන විට බලපෑම් එල්ල වී ඇත.

ඒ එම මාර්ගයේද ටකාටස් ටිකෙන් ටික කැඩී බිඳී යාමට ඉඩ කඩ විවරව තිබීම නිසයි.

කන්ද උඩරට නායයාම් ඇති වන්නේ කඳු ඇතුළෙන් හෝ කඳු යටින් හො ජලය ගලායාම නිසාය. දැන් මේ ඇළ මාර්ගයේ පැති බැමි ජල පහරට ඔරොත්තු නොදී කඩා යාම නිසා මීළඟට ඇද හැලෙන වර්ෂාවෙන් පැමිණෙන ජල පහරට අනිවාර්යෙන්ම අධිවේගී පිවිසුමට හෝ ඇවිදින මංතීරුවට හෝ පීදුණු කුඹුරු යායට හෝ අනිවාර්යෙන්ම හානි පැමිණෙනු ඇත.

මහර ප්‍රදේශයේ සියලු පහත් බිම්වල ජලය රැගෙන යන මහර මුදුන් ඇළ අද පත්ව ඇත්තේ මෙවන් ශෝචනීය තත්ත්වයකටය.

මාර්ග සංවර්ධන අධිකාරිය සතු මේ භූමි භාගය සම්බන්ධයෙන් ඔවුන් මුණිවත රැකීම මෙහිලා පුදුම සහගතය.

එක් පසෙකින් අධිවේගි පිවිසුම් මාර්ගය යටින් අනෙක් පසට ජලය ගලා නොයාම නිසා ඒ පහළ ප්‍ර දේශයේ වගාවන්ට හානි පැමිණ ඇත.

අධිවේගී මාර්ගය හා සුවත අයන ස්ථාපිත කිරීමෙන් පසුව අලංකාර ලෙස ඇළ මාර්ගයක් ලෙසින් ඉඳි කළද එහි අධික වේගයෙන් ජලය ගලා යාම වැළැක්වීම පිණිස ස්ථාන කිහිපයකින්ම වැලි කොට්ට අතුරා වේගය පාලනය කිරීමට කටයුතු යොදා ඇත.

සොරොව්වේ බැමි මෙසේ කඩා යාමට හේතුව වී ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොරව ඉඳි කිරීමි සිදු කළ නිසා බව පැහැදිලිව පෙනී යයි.

මේ සොරොව්ව කැඩී යාම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියට මේ ගොවි සංවිධාන විසින් දන්වා යවා ඇතත් මාස 6ක් දක්වා මේ වන තෙක් පිළිතුරක් ලැබී නොමැත. අඩුම වශයෙන් මේ සම්බන්ධයෙන් පැමිණ පරීක්ෂා කිරීමක් හෝ සිදු කර නොමැත. පසු විපරම් කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ දැනුම් දිමක් හෝ ලැබී මෙන් පසුව ඒ සම්බන්ධව යොසා නොබලන්නට තරම් නිලධාරීන් නොලසකා හැරීම රටේම අභාග්‍යයකි.

නිසි පරිදි ප්‍රමිතියකින් තොරව මේ පැති බැමි ඉදි කර ඇති බව පෙනෙන්නේ එහි කලුගල් අතුරා ඇත්තේ දැඩි ලෙසින් කුස්තුර සිටින සේ වන බැවින් හා ඇතැම් ගල් අතර කිසිදු ආකාරය සිමෙන්ති බදාම නොදමා ඇති බව පැහැදිලිවම පෙනෙන නිසාය.

කැඩී බිඳී ගිය මේ සොරොව්ව යථා තත්ත්වයට පත් කරන්නට ඇස්තමේන්තුවක් පවා ගොවි නියාමකවරුන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියට යවා ඇත්තේ නිසි ප්‍රමිතියකින් හා වගකීමකින් එම කාර්යය කළ හැකි බව දන්වමනි. එහෙත් පිළිතුරු නැත.

රටේ සම්පත් විනාශ වී යන්නට ඉඩ හරින මේ බලධාරීන්ගේ ඇස් මේ ලිපියෙන් හෝ ඇරී ගියහොත් එය අධිවේගී මාර්ගය භාවිත කරන්නට මහනුවර මාර්ගයේ සිට පැමිණෙන රියැදුරන්ට පහසුවක් වන අතර සිදු වන්නට යන විනාශයක් වළක්වා ගැනීමට හැකි වනු ඇත.

අපි මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිවක් නොවිසුවෙමු. ඇස් පනා පිට පෙනෙන මෙවන් විනාශයක් නොදැක්කා සේ සිටීම ගැන නිදහස්ට කරුණු විමසන්නට අවශ්‍ය නොවුණේ පාරක ගැඹුරු වළක් හෑරී ඇති විට ඒ ගැන විමසූ විටත් කියන්නට උත්තර මාර්ග සංවර්ධන අධිකාරියට ඇති හෙයිනි.

සේයාරූ - විමල් කරුණාතිලක

Comments