
ගුරුවරයකුට හසු වූ විට පන්තියේ දී ඒ ලියුම් අගයයි
“සමන් මලින් පවන් සලමි” මීට දශක කිහිපයකට පෙර පෙම්වතුන් ලිපි ලිව්වේ එවැනි ආමන්ත්රණ සමඟිනි. එදා මෙන් අද පෙම්වතුන් පෙම්වතියන් ලිපි ලියන්නේ නැති නිසාම තැපෑල ද බංකොලොත් යැයි කීවාට කමක් නැතැයි විටෙක සිතේ. අද වන විට ඒ සියල්ල අතීතයට එක්ව හමාරය. අද පෙම්හසුනක් ආසාවට දකින්නට නැත. සියලු ප්‍රේම සම්බන්ධතා සිදු වන්නේ ජංගම දුරකථනය ඔස්සේ ය. පෙම් පණිවිඩ යැවෙන්නේ කෙටි පණිවිඩ මඟිනි. ඒ යැවෙන්නේ ද සිංගිරිසියෙනි. ඉංග්‍රීසි අකුරෙන් සිංහල වචන ලියන විට එක අකුරක් අඩු වූ විට නැඟෙන්නේ වෙනත් අරුතකි. ඒ නිසා පෙම්වතුන් අමාරුවේ වැටුණ අවස්ථා ද නැතිව නොවේ. කෙසේ වෙතත් මේ කියන්නට සූදානම SMS ප්‍රේමයන් ගැන නොවේ.
දශක කිහිපයකට පෙර මෙරට පෙම් පත් ලිවීමේ කලාවක් තිබී ඇතැයි සිතෙන්නේ පැරැන්නෝ තම අතීත මතකයන් අප ඉදිරියේ දිගහරින විටය.
වසර කිහිපයකට පෙර ප්‍රවීණ නාට්‍යකරුවකු සමඟ කතා බහ කරන්නට අවස්ථාව ලැබිණි. තම පාසල් ජීවිතය පිළිබඳ කතා බහ කරන අතරතුරක එතුමා කියා සිටියේ තමන් සිය පෙම්වතියට පෙම් හසුන් ලියූ ආකාරයයි.
“ඒ ලියුම්වල තිබුණේ නවකතාව සාහිත්‍ය ගැන රස වින්දන. අපේ පන්තිභාර ගුරුතුමියට අහුවුණා. ඇය ඒ ලියුම් කියවා බලා පසුව පන්තියේ දී ඒ ලියුම් ගැන කතා කළා. ඒකට හේතුව තමයි ඒ ලිපිවල සාහිත්‍ය කලාව ගැන රසවින්දනය ලියා තිබීම.”
ඒ එක්දහස් නවසිය හැට ගණන්වලය. අද අප ලියන ලියවිල්ලට වඩා එදා ලියවිල්ල වෙනස්ය. මේ වෙනස්කම් පැහැදිලිව පෙනෙන්නේ එදා සහ අද ලියවන රටාව විමසිල්ලට ගැනීමේදීය.
කෙසේ වුවත් පෙම්පත් ගැන කතා කරන මේ මොහොතේ මට ගම්පෙරළිය නවකතාව සිහියට නැඟෙයි. මහගෙදර නන්දාට පියල් ලියුමක් දෙයි. නන්දා ලියුම තියන්නේ අල්මාරියේය.
තවත් විටෙක මට ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටය සිහියට නැඟෙයි. ඒ චිත්‍රපටය ආරම්භ වන්නේ ජංගම දුරකථන භාවිතයට පෙර යුගයකිනි. පෙම්වතෙකු සිය පෙම්වතියට එවන පෙම් හසුනකිනි. එකල පෙම්හසුන් හා ඈඳුණ කතා බොහෝය. මේ කියන්නට යන කතාව ද එවැනි පෙම්හසුනක් ගැනය. ඇතැම් විට මෙය මහා පිස්සු කතාවක් යැයි ඔබට සිතෙන්නට බැරි නැත. නමුදු වසර හැට හතක් පැරැණි මේ පෙම්පත හා ඒ හා සම්බන්ධ තවත් ලියකියවිලි දුටු විට මේ පිළිබද තොරතුරු සෙවිමේ කුතුහලය සිත පැන නැඟිණි. මාස ගණනාවක් තිස්සේ මේ කතාව ලියනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයකට ඒමට බැරිව සිටියෙමු. අවසානයේ මේ කතාව ඔබට කියන්නට තිරණය කළෙමු.
“අම්මා මිය ගිහිල්ලා අවුරුදු විස්සකට ආසන්නයි. මීට අවුරුද්දකට කලින් මගේ මස්සිනා එහෙන් මෙහෙන් දියවෙලා ගිහින් තියෙන චිත්‍ර පොතකුයි ඒ සමඟම තිබුණ පිටු දාසයක ලියුමකුයි දුන්නා. මට හිතා ගන්න බැරි වුණා ඒ මොකක්ද කියලා. මම ලියුම කිහිප වරක් කියෙව්වා. මට ගෙදර හැමෝම පුංචි කාලේ ඉඳලම කිව්වේ රුවන් කියලා. අම්මා තමයි මට රුවන් කියලා නම දාලා තියෙන්නේ. ඒත් ඇයි අම්මා එහෙම කියන්නේ කියලා මට හිතා ගන්න බැරි වුණා. නමුත් මස්සිනා මට දුන්න පරණ ලියුමේ අන්තිමට අස්සන යොදලා තිබුණේ රුවන් කියලා. නමුත් රුවන් කියන්නේ කවුද කියලා අපේ පවුලේ අය දන්නේ නැහැ. ඒත් චූටි අම්මා ඒ කියන්නේ මගේ අම්මාගේ එකම නංගි රුවන් ගැන දන්නවා.”
ලියුම සහ චිත්‍ර පොත අප අතට දෙමින් තිස්ස පැවැසූවේය.
එය හරි අපූරු ලියමනකි. එක්දහස් නවසිය පනස් එක වසරේ ඔක්තෝබර් එකොළොස් වන දාතමින් ලියා ඇති ලිපියේ ලිපිනය වෙනුවට සදහන් වන්නේ “උඩරටින්” කියාය.
ලිපිය ආරම්භ කර ඇත්තේ “මගේ හද බඳු මහත්මියනි” කියාය.
ඔහු කෙතරම් ප්‍රේමයෙන් ඇය කෙරෙහි බැඳී සිටින්න ඇති දැයි සිතෙන්නේ ඒ ඇමතුමත් සමඟය.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩපොළ ඕතොට නැඟෙනහිර කෝරලයේ ගමක උපන් මිලිනා සහෝදර සහෝදරියන් හතකගෙන් යුත් පවුලේ හයවැන්නීය. ඇය උපන්නේ එක්දහස් නවසිය තිස්දෙකේ පෙබරවාරි මස විසි දෙවැනි දාය.
ඔවුහු කතෝලිකයෝය. අද එම පවුලේ ඉතිරිව සිටින්නේ මිලිනාගේ බාල නැඟණිය වන රෙජිනා පමණි.
“මම අක්කට වඩා අවුරුදු හයක් බාලයි. ඒ කාලේ අක්කට අවුරුදු දහනවයක් විතර ඇති. අක්කාට ඒ කාලේ ලියුම් ආවේ ඉස්කෝලෙට. සතියට ලියුමක් දෙකක් එවනවාමයි. මෙ සම්බන්ධය කොහොම ඇති වුණ එකක් ද කියන්න මට මතක නැහැ. අක්කට ලිපි එනවා. පුංචි අපිත් ඒ ලිපි කියවනවා. ඒ ලිපිවල නරක දේවල් ලියලා තිබුණේ නැහැ. තිබුණේ චිත්‍ර පාඩම්. ඒ වගේම දැනමුතුකම්. ඒ මහත්තයා අක්කට පොත් එවනවා. හොඳට ඉගෙන ගන්න කියලා තමයි හැම ලියුමකම වගේ ලියලා තිබුණේ. මට මතක හැටියට ඔහු නුවර උසස් පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ඔහුට ඡායාරූප ශාලාවකුත් තිබුණ බව අහලා තියෙනවා. ඔහුගේ නම මට මතක නැහැ.
ඔහු බොහෝම ලස්සන කඩවසම් කෙනෙක්. අක්කාගේ පින්තුර ඇල්බමයක ඔහුගේ පින්තූර කිහිපයක්ම තිබුණා. එත් අක්කාගෙයි ඔහුගෙයි සම්බන්ධය බොහෝ කල් තිබුණා කියලා හිතන්න බැහැ. ඒ මහත්තයා යමක් කමක් තිබුණ පවුලක කෙනෙක්. අනෙක අපි කතෝලික.ඔහු බෞද්ධ. ඒ අසමානකම් බලපාන්නත් ඇති කියලා හිතෙනවා. එත් අක්කා ඔහුට බෙහෙවින් ආදරය කළ බව අපි දන්නවා. අක්කා එයාගේ පුතාට ගෙදරට කිව්වේ රුවන් කියලා. ”
අසූ එක්වැනි වියේ පසු වන චූටි අම්මා සිය සොයුරිය හා බැඳුණු අතීත කතාව සිහි කරන්නේ එලෙසිනි.
ප්‍රේමය මහා පුදුමාකාරය. එක් වීමක් නැති වූව ද හදවත්වල බැඳීම යුග ගණන් යන තුරු එලෙසින් පවතී. පසු කලෙක මිලිනා ගුරු අභ්‍යාස විද්‍යාලයට තේරී පත්වූවාය. ඇය පාසල් කිහිපයකම ගුරුවරියක ලෙසින් සේවය කළාය. විවාහ වූවාය. දරුවන් ලැබූවාය. නමුදු ඇය පසුකලෙක කිසිවෙකු සමඟ තමන් පෙම්බැඳි සිත්තරා පිළිබඳ කතා කළ බවට සාධක නැත.
“ඒ වුණත් අම්මා මිය ගියාම ඇගේ මළගෙදර ඒ මහත්තයා ආවා කියලා අපේ නැන්දා කෙනෙක් කිව්වා. අම්මාගේ වියෝව ගැන දුකෙන් හිටිය අපට ඒ වේලාවෙ නිවෙසට ආව ගිය අය ගැන මතකයක් නැහැ.” අතීතය සිහි කරමින් තිස්ස පවසයි.
කෙසේ වුවත් රුවන් නම් වූ අපූරු චිත්රශිල්පි පෙම්වතා ජීවිතය දෙස මෙන්ම ඉදිරිය දෙස බැලූ අයුරු පුදුමාකාරය. එම ලිපියේ එක් තැනෙක ඔහු මෙසේ සඳහන් කරයි.
“මෙන්න ඔයා ඉල්ලු චිත්‍ර එවනවා. ඔයා ඉල්ලුවේ මෝස්තරත් දර්ශනත් පමණයි. නමුත් මා වෙනත් චිත්‍රත් ඇඳ ඇති. මේ පොත නිකම්ම කඩේ තිබෙද්දී වගේ නොවෙයි දැන් හුඟක් වටිනවා. ඒ නිසා එය ඔයාගේ සුදු සිල්ක් සාරියක් වාගේ පෙරෙස්සමෙන් පාවිච්චි කරන්න. මේ පිටකවරයේ ඇතුළු පැත්තේ තියෙන්නේ අජන්තා චිත්‍රයක්. අජන්තා, සීගිරි බිතුසිතුවම් ගැන ඔයා දන්නවා ඇතිනේ. ලෝක ප්‍රසිද්ධයි. ඔයා මේ චිත්රවලට ආදරය නැද්ද?. මම නම් සීගිරි අජන්තා කාන්තාවන්ට, ඔයාට, ඔව්, ඔයාට වගේම ආදරෙයි.”
රුවන් නම් වූ චිත්රශිල්පියා තම පෙම්වතියට ප්‍රේමය ප්‍රකාශ කරන්නේ ද චිත්‍ර කලාව උගන්වන්නේ ද ඒ අයුරිනි.
ඔහු ඇතැම් තැනෙක දී ඇයට චිත්‍ර වර්ණ ගන්වන ආකාරය පිළිබඳ උගන්වයි. මෝස්තර අඳින අයූරු ද පැරණි මෝස්තර කලාව පිළිබඳ ද උගන්වයි.
ඇතැම් විටෙක ඔහු ඇගෙත් ඔහුගේත් ප්‍රේමය ජයගනු නැතැයි යන අවිශ්වාසය ද ඇතිව සිටින අයෙකු යැයි ලිපිය කියවාගෙන යෑමේදි සිතේ. ඔහු හැම විටෙම ගැහැනු ළමයාගේ යහපතම පැතූ අයෙකි. ඔහු හැම විටෙකම ප්‍රාර්ථනා කර ඇත්තේ ඇගේ දියුණුවයි. නමුදු ඇයව හිමි කරගැනීම ඇගේ පැතුම වී තිබූ බව දැනෙන්නේ ඇය මේ ලිපිය අවසන් කර ඇති අයුරිනි.
“යම් අහේතුවකින් අපේ සම්බන්ධය නිසා ඔයාගේ ජීවිතය සදාකාලික අවලංගු කළත්, ඒ හේතුවෙන් හැම කරුණකින්ම පහතට වැටුණත් මුළු ලෝකයම ඔයා පිළිකුල් කොට ඔයාට පිටුපෑවත්, අද තත්ත්වයෙන්ම අද කරන ආදරයෙන්ම, අද කරන ප්‍රේමයෙන්ම එදාටත් මා ඔයා මා තුරුලට ගන්නා බව ප්‍රථම වරටත් අවසන් වරටත් මම මෙහිදි අයෝමය හිතකින් අවංකව ප්‍රකාශ කරමි. ”
“මේ -ඔබේ -රුවන්”
කාලය බොහෝ ගෙවී ගොස් ඇත.. ගෙවුණු කාලය වසර හැට හතකි. අද ඇය ජීවතුන් අතර නැත. ඇතැම් විට මේ චිත්රවල අත්අකුරුවල හිමිකරුවා ද ජීවතුන් අතර නැතිවා වන්නට ඇත. ඔහු ගැන තොරතුරක් දන්නා අයෙකුද නැත. නමුදු යොවුන් වියේ බැඳි පෙම වෙනුවෙන් ඔහු ඇඳි චිත්‍ර හා ලියූ අකුරු අප සතුව ඇත. මේ සියල්ල වික්ටර් වික්‍රමසිංහ එනම් තිස්සගේ මස්සිනාගේ අතට ලැබෙන්නේ අහම්බෙනි.
ගමේ කිරි අත්තයි කිරි අම්මයි හිටපු ගෙදර තිබුණේ එල් හැඩයට. මේ ගේ පැරණි පන්නයේ ගෙයක්. එක පැත්තක කාමර දෙකක් එක ළඟ තිබුණා. මේ කාමර දෙකේ තමයි නැන්දලා දෙන්නා හිටියේ. කාලයක් යද්දි නැන්දලා බැඳලා ගියා. අර පැරැණි ගේ කැඩුවා. ඒ වේලාවෙ ගෙයි තිබුණ පරණ දේවල් පුච්චලා දැම්මා.
පෙට්ටියක තිබිලා තමයි මේ චිත්‍ර පොතයි ලියුමයි හමුවුණේ. මට මේ ලියුමේ මහ අමුත්තක් දැනුණා. මම ඒ සියල්ලම අපේ ගෙදර ගෙනිහින් අරන් තිබ්බා. ඕක මගෙ අතට ලැබුණේ එක්දහස් නවසිය හැත්තෑවෙ දී විතර. ඉන් පස්සේ මම විශ්වවිද්‍යාලයට ගියා. ගුරු පත්වීමක් ලැබිලා දුර පාසල්වලට ගියා. කොහොම වුණත් පහුගිය කාලේ පරණ පෙට්ටි අදින කොට හමු වුණේ. මීට අවුරුද්දකට කලින් තමයි මම මේක මල්ලිගේ අතට දුන්නේ. ”
වික්ටර් පවසන්නේ තමන් අතට ලිපිය ලැබුණ අයූරුය.
දැන් කාලය වෙනස්ය. දැන් පෙම් පත් ලියැවෙන්නේ ද නැත. පෙම්පත් ලිව්වත් ඒ හරහා චිත්‍ර කර්මය සංගීතය කලාව උගන්වන පෙම්වත්තු නැත. කාලය ඒ තරමටම වෙනස්ය. නමුදු අපේ රටේ තරුණ තරුණියන්ගේ එක්තරා යුගයක් නියෝජනය කරන මේ පෙම්පත දුටු ඇසිල්ලේ සිතේ ඇති වූයේ පහන් සංවේගයකි.
උඩරට මැණිකේ, දිය නාන කාන්තාව, සැන්දෑ දසුනක් ආදි ලෙසින් සිත ඇද බැඳගන්නා චිත්‍ර ඇඳීමෙහි දක්ෂ පෙම්වතා පරදවමින් ඉදිරියට එන්නේ රුවන් යැයි අප හඳුන්වන චිත්රශිල්පියාය.