
* දිස්ත්‍රික්කය මාතලේ... පුස්තකාලය පිහිටලා තිබෙන්නේ මාතලේ නගරයට කිලෝමීටර සියයක් දුරින්
* ගමේ ළදරු පාසලේ ළදරුවාගේ සිටි සරසවි ශිෂ්‍යයා දක්වා පුස්තකාලයේ සාමාජිකයෝ
* පුස්තකාලාධිපති උදේ හයේ සිට රෑ නවය වන තුරු අතිකාල නැතිව වැඩ
* සෑම සාමාජිකයකුටම ඉලෙක්ට්‍රොනික් සමාජික කාඩ්පතක්..
* පාඨක තොරතුරු සියල්ල පරිගණකගත කරලා
* ලංකාවේ හොඳම පුස්තකාලය ලෙසත් සම්මානයට පාත්‍ර වෙලා
සන්නිවේදන මාධ්‍යයන්ගේ දියුණුවත් සමඟම නූතන සමාජයේ බොහෝ දෙනෙක් පොත පතෙන් ඈත් වෙලා. පොත්පත් පසෙක් දැමූ අපේ දරු පරපුරත් ජංගම දුරකථනයට, පරිගණකයට හා අන්තර්ජාලයට සමීප වෙලා. වැඩිහිටියන් විදිහට අපි හිතාගෙන ඉන්නේ අපේ දරුවො ශාස්ත්‍රීය දැනුමෙන් පිරිපුන් පිරිසක් කියලා. නමුත් එය මිථ්‍යාවක්. සමහර උසස් පෙළ ඉගෙන ගන්න දරුවන් ජීවිතයට නවකතාවක් කියවලා නැහැ. ඩබ්.එම්.ආර්.කේ. වීරසේකර මහතා කියයි. ඔහු ලංකාවේ හොඳම මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිවරයා ය.
විල්ගමුව මධ්‍යම පළාත තුළ ඇති දුප්පත් පළාත් පාලන ආයතනයකි. එහෙත් රටේ පොහොසත්ම පුස්තකාලය ඇත්තේ විල්ගමුවේය. එම පුස්තකාලය විල්ගමුවේ ගොඩනඟන්නට හෙතෙම සේවය කරන ප්‍රාදේශීය සභාවට හැකි වී ඇත. කම්කරු වගකීමේ සිට පුස්තකාලාධිපති තනතුර දක්වා සියලු දේ කරන්නට වීරසේකර කැපවී සිටින්නේය. ඔහුට රැයක් දවාලක් නැත. රාජකාරි දිනයක් හෝ නිවාඩු දිනයන් ද නැත. ඔහු විල්ගමුවේ පාඨකයන් වෙනුවෙන්ම ජීවිතයම කැප කර සිටින්නේය.
පුස්තකාලයට ලැබුණු සම්මාන, සහතික කුසලාන ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලය විදහා දක්වයි. මහ නගරසභා, නගරසභා, මෙන්ම පෙහොසත් ප්‍රාදේශීය සභා අබිබවා දුෂ්කර වූ විල්ගමුව ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය 2015 දී ලංකාවේ හොඳම පුස්තකාලය ලෙසද සම්මානයට පාත්‍ර විය. එපමණක් නොව, මධ්‍යම පළාතේ හොඳම පුස්තකාලය ලෙස ද වසර ගණනාවක්ම කිරුළු දරන්නේ විල්ගමුව පුස්තකාලය ය.
“මම 1998 වර්ෂයේ දී විල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් හඳුන්ගමුව මහජන පුස්තකාලයේ සහයක ලෙසින් සේවයට පැමිණියා. ඊට පසු එම පුස්තකාලය මධ්‍යම පළාත තුළ හොඳම පුස්තකාලය බවට පත් කළා. අපි ලබාගත් සම්මාන සහතික සහ පාඨක තරග ජයග්‍රහණ ප්‍රමාණය ඉතා විශාලයි. ඒ පිළිබඳව එකිනෙක විස්තර කරන්න ලොකු වේලාවක් යනවා. මෙම පුස්තකාල දියුණුවට වත්මන් සභාපති තුමා මෙන්ම විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත වීරසේකර මහතා සුවිශේෂ දායකත්වයක් දැක්වූවා.
අද විල්ගමුවේ මෙම පුස්තකාලය තිබෙන ගොඩනැගිල්ල එදා ඉතා ජරාජීර්ණ වී තිබුණා. කෙසේ හෝ ප්‍රාදේශීය සභාව සහ වෙනත් විවිධ ආයතනවලින් ලබාගත් සහයෝගය මත අද තිබෙන තත්ත්වයට දියුණු කරන්න පුළුවන් කම ලැබුණා. අද අපි මෙම පුස්තකාලය ඩිජිටල් පුස්තකාලයක් බවට පත් කර තිබෙනවා.
ඒ වගේම 2018 වර්ෂයේ දී මධ්‍යම පළාත් අවුරුදු 20න් ඉහළ හොඳම පුස්තකාල විවාද කණ්ඩායම බිහි කරන්න අපට හැකි වුණා. ඒ සඳහා නුවන් බණ්ඩාරනායක ගුරුතුමා අපිට සහයෝගය දුන්නා. මීට අවුරුදු පහළොවකට විතර කලින් පුස්තකාලයට පාඨකයන් කැඳවා ගැනීමට අපි ලොකු පරිශ්‍රමයක් දැරුවා. නමුත් දැන් පාඨකයන් උදේ හය වෙන කොට පුස්තකාලයට එනවා. පාසල් දරුවන් උදේම ඇවිත් යනවා. ඒ වගේම රැකියා කරන අය හවස් වරුවේ එනවා. නගරයේ ව්‍යාපාරිකයන් වැඩ අවසන් කරලා හවස හයෙන් පස්සේ පුස්තකාලයට එනවා. උදේ හයට අරින පුස්තකාලය අපි වහන්නේ රාත්‍රි අටටයි.” වීරසේකර එක හුස්මට කියාගෙන යයි.
රජයේ සේවයේ බොහෝ දෙනෙක් උදේ නවයට කාර්යාලයට පැමිණ සවස හතර හමාරට සේවය නිවමා පිටව යති. අමතර වේලාවක් සේවයේ යෙදී සිටියොත් ඒ සඳහා අතිකාල දීමනාවක් ලබා ගනිති. උදේ හයට පුස්තකාලයට එන වීරසේකර මහතා නැවත ගෙදර යන්නේ රාත්‍රි නවයට පමණය. උදේ පුස්තකාලය විවෘත කර අවට පරිසරය අලංකාරය සඳහා ඇති මල්පැළවලට වතුර සහ පොහොර දැමීම පමණක් නොව පුස්තකාල ගොඩනැගිල්ලේ ආරක්ෂාව හා අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන්නේ අතිකාල දීමනාවක් ද නොගෙනය.
විල්ගමුව ජනතාව පුස්තකාලය සමඟ ඇති ළෙන්ගතුකම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩී.පී.කේ. ඊරියගස්තැන්න මහත්මිය පැහැදිලි කළේ මෙලෙසිනි.
“විල්ගමුව මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දුෂ්කර ප්‍රාදේශීය සභාවක්. විල්ගමුවට මාතලේ නගරයේ සිට කිලෝමීටර් සීයකට ආසන්න දුරක් තිබෙනවා. ගොවිතැන මෙන්ම වැලි ගොඩ දැමීම ආදියෙන් මෙම ප්‍රදේශයේ ජනතාව ජීවිකාව සරිකර ගන්නවා. ඔවුන්ගේ දරුවන්ට පාසලෙන් ලබා දෙන අධ්‍යාපනයට අමතරව පුස්තකාලය මඟින් අපි ලොකු සහයෝගයක් දෙනවා. පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් විශාල ප්‍රමාණයක් අපි ළඟ තිබෙනවා. උසස්පෙළ දරුවෝ විශාල පිරිසක් නිවාඩු දවස්වලට ඇවිත් දවසම පුස්තකාලයට වී පාඩම් කරනවා. එය අපිට ලොකු සතුටක්.
ළදරු පාසලේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා අපේ පුස්තකාලයේ සාමාජිකයන් සිටිනවා. ඒ වගේ වැඩිහිටි විශාල පිරිසක් අපේ සාමජිකයොයි. අපේ සාමාජිකයන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය තොරතුරු අන්තර්ජාලයෙන් සොයා දීමත් අපි සිදු කරනවා. හැම සාමාජිකයෙකුටම ඉලෙක්ට්‍රොනික් සමාජික කාඩ්පතක් ලබා දී තිබෙනවා. පාඨක තොරතුරු සියල්ල පරිගණක ගතකොට තිබෙනවා. පුස්තකාලයේ ඇති ඕනෑම පොතක් විනාඩියක් ඇතුළත සොයා දීමේ හැකියාව අපිට තිබෙනවා. ඒ වගේම බැහැර ගිය පොත් නැවත ලබාදීම කළ යුතු දිනය ආදිය පරිගණක මෘදුකාංගය මගින් ස්වයංක්‍රීයව පෙන්වනවා.
ජාතික මට්ටමෙන් විල්ගමුවට ජයග්‍රහණ ගෙන ඒමට පුස්තකාලාධිපතිවරයා ඇතුළු කාර්යමණ්ඩලය කළ කැප කිරීම විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ඒ.ජී.තෙන්නකෝන් මහතා අපූරුවට පැහැදිලි කළේය.
“මධ්‍යම පළාත තුළ පිහිටි දුප්පත් පළාත් පාලන ආයතනයක් වූවත් පොහොසත්ම පුස්තකාලය ඇත්තේ විල්ගමුවේ බව කිව යුතුයි. සර්ව සම්පූර්ණ මිනිසෙකු නිර්මාණය වෙන්නෙ කියවීමෙන්. නවීන තාක්ෂණික උපකරණ මොන තරම් පැමිණියත් පොත්වලින් ඈත් වුණොත් මිනිසෙකු සම්පූර්ණ වෙන්නෙ නැහැ.
මෙම පුස්තකාලය ආරම්භ වුණේ 1970 දී. මම 1997 දී ප්‍රාදේශීය සභාවට සභාපති ලෙස පත් වුණා. එම කාලයේම 1998 දී වත්මන් පුස්තකාලාධිපති වීරසේකර මහතා පුස්තකාල සහායක ලෙස විල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් හඳුන්ගමුව පුස්තකාලයට පත්වීමක් ලබා පැමිණියා. ඒ වන විට එහි පුස්තකාලය තිබුණේ දැල් ගහපු කුඩා ගොඩනැගිල්ලකයි. පාඨකයන් හිටියේ නැහැ. කෙසේ හෝ හඳුන්ගමුව මහ විදුහලත් එක්ක එකතුවෙලා පාසල් දරුවො පුස්තකාලය සම්බන්ධ කරගෙන, ප්‍රදේශයේ තරුණ වැඩිහිටි අයගේ සහභාගිත්වයෙන් එම පුස්තකාලය ඉතා ඉහළ මට්ටමට සංවර්ධනය කළා. වර්ෂ 1999, 2000, 2004 වර්ෂවල මධ්‍යම පළාතේ හොඳම පුස්තකාලය බවට පත් කිරීමට මෙතුමාට හැකි වුණා. අද වන විට විල්ගමුව නගරයේ ඇති ප්‍රාදේශීය සභාවේ පුස්තකාලය මධ්‍යම පළාතේ හොඳම පුස්තකාලය ලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ වගේම 2015 වර්ෂයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් මෙම පුස්තකාලය ලංකාවේ හොඳම පුස්තකාලය ලෙසත් තෝරා පත් කරගත්තා.
විල්ගමුව මහජන පුස්තකාලය පවත්වාගෙන යන්නේ වසර පනහකට ආසන්න පරණි ගොඩනැගිල්ලකය. මෙය කඩිනමින් අලුත්වැඩියා කළ යුතුව ඇත. එසේ නැති නම් විල්ගමුවේ ජනතාවට නව පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදීම ඉතා වැදගත් වනු ඇත.
අපහසුකම්, දුෂ්කරතා අාදිය ගැන ආඩපාලි කියමින් නහයෙන් අඬමින් නොසිටි වීරසේකර මහතා දියුණු නගරවල ඇති පුස්තකාලවලට වඩා දියුණුවකට විල්ගමුවේ පුස්තකාලය ගෙන ගොස් ඇත. පැය අටේ සේවය නිසි ලෙස ඉටු නොකොට අතිකාල වේලාවේ සේවයේ යෙදෙන සමහර රාජ්‍ය සේවකයන්ට ඔහුගෙන් උගත යුතු දෑ බොහෝ ය.
ප්‍රසන්න සිල්වා
ඡායාරූප - දිඹුලාගල සමූහ