මට ඔයාට හැම­ දේම කියන්න අමා­රුයි මේඛලා | සිළුමිණ

මට ඔයාට හැම­ දේම කියන්න අමා­රුයි මේඛලා

“ඔයාට මට ඔක්කෝම කියන්න අමා­රුයි මේඛලා. මාව පුදුම විදි­යට අම්මයි අප්ප­ච්චියි හිර කර­නවා. ජය­සු­න්දර මාමායි තව අම්ම­ලාගේ නෑදෑයො කීප දෙනෙ­කුත් ආවා. අපේ සම්බන්ධෙ ගැන පුදු­මා­කාර විදි­යට ගෝර­නාඩු කළා. ජය­සු­න්දර මාමා විත­රයි මොක­වත් නොකියා හිටියේ...

ඉර නැග එයි. නැවත බැස යයි. සඳු ද නැඟ එයි බැස යයි. ඒ සියල්ල සිදු­වන්නේ වෙන­දාට වඩා වැඩි වේග‍ය­කින් ය. එසේ සිතෙන්නේ තමාට විත­ර­ක්දැයි ශ්‍රීමාල් කල්පනා කරයි. කතා­වට කියන්නේ වැඩ වැඩි තැනැ­ත්තාට කාලය වේග­යෙන් යනවා යැයි දැනෙන බවය. නමුත් කර­න්නට වැඩක් නැති අය පවා කාල­යට චෝදනා කරන්නේ ශීඝ්‍ර ගම­නක නිරත වී ඇති බව කිය­මින්ය.

තමා සමඟ එකම බෝඩිමේ සිටි සිරි­නා­තට, සමී­රට මෙන්ම ඉතා සමී­පව ඇසුරු කළ බොහෝ දෙන­කුම රැකියා විර­හිත උපා­ධි­ධා­රින්ගේ ගොන්නට අයත් වෙලාය. මොකක් හෝ පූරුවෙ වාස­නා­ව­කට තමාට ප්‍රමුඛ පෙළේ ආය­ත­න­යක රැකි­යා­වක් ලැබුණි. ඒ නුව­රට ආස­න්න­වය. මේඛ­ලාට ද ගුරු­ප­ත්වී­මක් ලැබීමේ වාස­නාව හිමි වුණත් ඒ දුර­බැ­හැර ප්‍රදේ­ශ­යක වීම එක්තරා විදි­යක අවා­ස­නා­වක් වගේය. ශ්‍රීමාල් තම කාම‍රයේ කවු­ළුව අස­ලට වී ආලි­න්දය දෙස බලා සිටියේ ලේස් තිර රෙද්දට මුවා වෙමිනි. අප්පච්චි සුපු­රුදු සෙයි­යා­වෙන් දිග­වේ­වැල් හාන්සි පුටුවේ දිගා­වෙලා ඇඳි දෙක දිග ඇර­ගෙන... දෙක­කුල් දිග ඇර­ගෙන... දෑස් පියා­ගෙන සිටියි. ඔහුගේ මුහුණේ අලු­තින් විය­පත් වූ රැලි සමූ­හ­යක විඩා­බර පෙනු­මකි. සතු­ටින් සිටින කාල­යේදී පිම්බී තිබුණු ඔහුගේ මුහුණ මේ තරම් ඉක්ම­නට රැලි වැටුණේ ඇයි...? ඊටම නොදෙ­වෙනි විදි­යට අම්මාගේ පිරී තිබුණු වට­කුරු මුහුණ ද දැන් හොඳ­ටම වැහැ­රිලා හකු­පාඩා පවා කඩා වැටි­ලාය. ඇය ද අප්ප­ච්චිට ආස­න්නම පුටු­වට වී කම්මුලේ අත තබා­ගෙ­නය. කුරු­ල්ලන්ට කෑම දෙන ජන්තු­වාද සුපු­රුදු නොණ්ඩිය ගස­මින් මිදුලේ එහාට මෙහාට යනවා පෙනේ.

හොඳට උගුරේ රැල් බුරුල් හරින අප්පච්චී කියන දේ ශ්‍රීමාල්ට ඇසෙයි. තිර රෙද්දට මුවාවී ඔවුන්ගේ සංවා­ද­යට සවන් දෙන්නේ හිතේ සතු­ට­කින් නම් නොවේ. ඒ සංවාද දැන්නම් තිත්තම තිත්ත වෙලාය.

“බලන්න මැණිකේ.. කාලය ගත­වෙලා යන ඉක්මන. ඇත්ත­ටම අපට අපිව නැති­වෙලා කොච්චර කල්ද මැණිකේ..?”

“මොන අප­බ්‍රංස කතාවක් ද මහ­ත්තයා මේ කියන්නේ? දන්න­වනේ මං කැමති නෑ ඔහොම කතා­ව­ලට. ඕවා මහා උල්ලිල කතා...” නිර්මලා මැණිකේ කට ඇද කර කියන්නේ හෙමි­හි­ටය. ආයෙ­මත් රත්න­සේ­කර උගුර පාද පාද කියා පාන්නට යමක් සූදා­නම් කරයි.

“අපේ ගොඩ­ලි­යද්ද මස්සි­නාට.. එයාගේ පුතා.. එකම පුතා.. මලින්ද නැති­ වුණා.. දැන් කොච්චර කල්ද.. හා.. පොඩි එකෙක් ඉන්නවා නම් ඌට දැන් අවු­රුදු පහ­ක්වත්? නෑ... තුනක් හමා­රක් විතර වෙයි.. හා.. හනේ.. හනේ.. ඔච්චර ඉහ­ළට ඉගෙන ගෙන... ඌත් දැන් කිලිටි රෙදි පොට්ටනි කරේ තියන් එහෙ මෙහෙ යන­වද දන්නෙ නෑ.. හහ්!” ඔහු වියරු හිනා­වක් පාද්දී අම්මා ටිකක් තර­හින් ඔහු දිහා බල­නවා පෙනෙයි.

“ඇයි මහ­ත්තයා, මලින්ද විත­රක්... අයි­යට සමන්ති දුවත් නැති වුණානෙ... ඒක අම­ත­කද?”

නිර්මලා මැණිකේ එහෙම කියන්නේ යටි හිතේ ඇවි­ලෙන කෝපය පිට­ක­ර­මින් ඔලො­ක්කු­ව­ටය. රත්න­සේ­කර කට උත්තර නැතිව ඔහේ බලා­ගෙන ඉඳියි. ‘දෙවි‍යනේ’ පෙර වැර­දි­ව­ලට ලැබෙන දඬු­වම් කවදා ඉව­ර­වේද?

“කොහොම වුණත් සමන්ති දුව කසාද බැන්දෙ වලව් ලේ තියෙන කෙනෙක් නේ...”

ඔහුගේ මුහුණ පුරා ඒ උත්ත­රය ලියැවී තියෙන බව දකින නිර්මලා මැණිගේ ගස්සා­ගෙන ගෙට යන්ට හදයි.

“අනේ ඔහොම ඉන්ටකෝ මැණිකේ.. මම මේ හිතේ අමා­රු­වට කියන ඒවා ටිකක් අහ­ගෙ­න­වත් ඉඳලා මට සහ­යෝ­ග­යක් දෙන්නකෝ.. දැන් අපේ ජය­මාල් පුතා... එයා අපට නැති­වෙලා කොච්චර කල්ද... අවු­රුදු තුනක්... ආරං­චියෙ හැටි­යට උන්ටත් දැන් දරු­වෙක් ඇති. අවු­රුදු දෙක­ක­වත්... ඇයි දෙයි­යනේ අපෙ මැණිකේ අපට මුනුපුරු මූණ මේ හැටි අරහං වුණේ පෙර පව­කට වෙන්ඩැ නේද?...”

“විකාර කතා නැතිව මෙන්න මෙහෙ බත් ඩිංග කන්න එන්න මහ­ත්තයා... කෑමත් නිවෙ­නවා.. අපි කන කෑමවල­වත් දැන් රස්න­යක් නෑ.. හිතේ විත­රයි ගින්දර රස්නෙ...”

නිර්මලා මැණිකේ එහෙම කියන්නේ ඔසරි පොටෙන් කඳු­ළක් පිස­ලන ගම­න්මය.

“ඊයෙ මම ශ්‍රීමාල් පුතාට කෑගැ­හුවා වැඩිද මන්දා. ඇත්තට ම මැණිකෙ මට අද­හ­ග­න්නම බැරි­වුණා ඒ ආරං­චිය අහපු දව­සෙ­මත්! කවුද හිතුවෙ ඒ කොල්ලත් අපට මෙහෙම කරයි කියලා.”

අප්පච්චි ඒ වැකිය කිය­මින් ඇඳි පුටු­වෙන් නැගී සිටිද්දී ශ්‍රීමාල් ඉක්මනින් ජනේල තිර­යෙන් මෑත්වී යහනේ වැතිරී සිවි­ලිම දිහා බලා­ගෙන කල්පනා කරන්ට පටන් ගත්තේය.

******

සමන්ති තම පුතා පාසල් යන්නට පට­න්ග­ත්තාට පසුව හැකි හැම ‍අවස්ථා­ව­ක­දීම ජයේ­න්ද්‍රගේ කාර්යාල වැඩ කට­යු­තු­ව­ලට සම්බන්ධ වූයේ පියාගේ කීම­ටය. ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය ගැන උපාධි ලබා­ගෙන ගෙද­රට වී සිටීම මෝඩ­ක­මක් බව වැඩි­යෙන් ම කීවේ ජයේ­න්ද්‍රය. මේ අතරේ ජයේ­න්ද්‍රගේ නංගී වන චන්ද්‍රානි සර­ස­වියේ අව­සන් වසරේ සිටි­යදී මිතුරු වූ ප්‍රේම­ව­න්තයා ගැන ප්‍රශ්න මතු­ව­න්නට පටන් ගැනිණි.

“මදෑ ඉඳලා ඉඳලා යාළු වෙච්ච කොල්ලා! හහ් ඇත්තට ලජ්ජා නැද්ද බං උඹට අතේ සතේ නැති හිඟන හැති­ක­රේ­කට සම්බන්ධ වෙන්න. උඹට උග­න්නපු සල්ලි­ව­ලට ගන්න පුළු­වන් වුණා නම් සුදු ආප්ප, බල්ල­න්ට­වත් කන්න දෙන්න තිබුණා...”

“අනේ අනේ අම්මෙ ඔය කියන කැත කතාව නව­ත්ත­ගන්න.. ඇයි අම්මා හිතා­ගෙන හිටියෙ මම වල­ව්වක හාමු­කෙ­නෙක් අල්ල­ග­නීවි කිය­ලද ආ... අනේ මගේ බල්ල­ට­වත් එපා.. ඔය මඟුල්කාර­යන්ට වඩා මට හැදිච්ච දුප්පත් කොල්ලෙක් හොඳයි!”

චන්ද්‍රානි බොහොම තදින් කියා සිටිද්දී චන්ද්‍ර­ල­තාට කට­උ­ත්තර නැති­විය. ඒත් ඇගේ හිත හඬා වැටුණේ තම දුව පිළි­බ­ඳව කාල­යක් තිස්සේ දැකපු... සිහින මන්දි­රය එහෙම පිටින් ම දෙපා මුල කඩා වැටෙන නිසාය.

“බලා­ගෙන ගියාම අපේ ජයේන්ද්‍ර කොලුවා ඉත­රයි මොළේ ඇති දෙයක් කරලා ජාමෙ බේර­ගත්තෙ..”

නිතර නිතර අස­නී­ප වී කැස්ස හැදී හති හලන ජය­ති­ස්සට උව­ටැන් කරන ගමන් ඇය කියන්නේ කනගා­ටු­වෙනි.

“අනේ මෙන්න මෙ‍ෙහ් රට රාජ්ජ අල්ලන්නෙ නැතිව හිටහං බං... උඹ­ලගෙ ඔය ඉලව් වලව් පිස්සුව.. තාම හොඳ වෙලා නැද්ද හැබෑට..” ජය­තිස්ස බණින්නේ කෝප­යෙනි.

“උඹ­ල­ටත් කටේ සව්දම නං තියෙ­නවා මොක නැතත්.. හහ්... අනේ මගෙ කට.. වලව් නැත්තං උඹ­ලත් ඔහොම සැප විඳීවි..!”

අස­රණ ජය­තිස්ස එවෙ­ලෙම කරන්නේ තොල් මතු­ර­මින් තාමා­ටම සියල්ල කියා­ගන්නා එකය. ජීවිතේ ගැන පුදු­මා­කාර වූ කලකි­රී­ම­කින් සිටින ඔහු මීට වඩා මැරෙන එක සැපයි නම් ආක­ල්ප­යට එළැ­ඹි­ලාය. ඒත් චන්ද්‍රානි දුව තමාට දක්වන පිය සෙනෙ­හසේ අඩු­වක් නැති­ක­ම­ නි­සාම තමා ජීවි­තය ‘අල්ලා­ගෙන’ සිටින බව ඔහු­ටම තේරෙයි. චන්ද්‍රානි දුව අම්මා වගේ නොව අද­හස් අතින් දේව දූති­යකි.

******

මේඛලා පාසලේ වැඩ­ක­ට­යුතු නිමවා බස් රථ­යට නැගී බෝඩි­මට ආවේ වික්ෂිප්ත සිතිනි. දැන් දැන් තමාට ගෙද­රින් එල්ල­වන චෝදනා මැසි­වි­ලි­ව­ලට උත්තර හෙවී­මත් අමාරු කාරි­යක් වෙලා ඇත.

“කෝ.. උඹේ.. ඔය වලව්කාරයා උඹව බඳි­නවා නම් ඇවිත් අපේ ගෙද­රට... කතා කරන්න එපායැ.. අපිට... ඇයි කතා නොක­රන්නෙ.. හොර හිතනෙ.. නැත්නම් වෙන මොකක්ද?”

වැඩි­මල් සහෝ­ද­රයා එසේ සට­නට එද්දී මේඛලා ඒ සියල්ල කඳු­ළින් ඉව­සා­ගෙන සිටියේ ශ්‍රීමාල් ගැන ඇති ආද­රය ගැන හිත­ලාය. මලින්ද අයියා සහ සමන්ති අක්කාගේ විවාහ මෙන්ම ජය­මාල් මල්ලිගේ ද හිතු­ව­ක්කාර විවා­හ­යන් නිසා පීඩා­වට පත් මවු­පි­යන් ගැන ශ්‍රීමාල් කතා කරද්දී තමා තුළ නැගුණු බිය හා ජීවි­තය සම්බ­න්ධව... අනා­ග­තය සම්බ­න්ධව.. කුහුල ඇයට මතක් වෙයි.

ඊළඟ ඉරි­දා­වේදී කෙසේ හෝ නුවර දී මේඛලා හමු­විය යුතු­යැයි ශ්‍රීමාල් ද තීර­ණ­ය ­කළේ දැන් දැන් ශ්‍රීජය වලව්වේ තම දෙමා­පි­යන්ගේ ආක්‍රෝශ පරි­භ­ව­යට තමා භාජ­නය වී ඇති මාන­සික ව්‍යාකූ­ල­ත්වය ඔස්සේය.

සුපු­රුදු අව­න්හ­ලේදී හමු­වෙ­ද්දිත් එක­ව­රම මේඛ­ලාට පෙනුණේ ශ්‍රීමාල්ගේ ඉදි­මුණු දෑස්ය.

“ඇයි ශ්‍රීමාල් ඔයාට සනීප නැද්ද... ඔයාගේ ඇස් ඉදි­මිලා මූණත් එක්ක කළු­වෙලා...”

මේඛලා එසේ ඇසුවේ තමුන්ගේ වේද­නාව යට­පත් කර­ගෙන, තම ප්‍රේම­ව­න්තයා කෙරේ උපන් අනු­ක­ම්පා­වෙනි. ශ්‍රීමාල් කිසි­වක් කතා නොක­රම මේඛ­ලාගේ දකුණු අත මත තම වමත තැබුවේ නිහ­ඬ­වය.

ඔහ‍ුගේ අත්ල වෙන දා තරම් උණු­සුම් නැති බවත් එය සීතල වී ඇති බවත් ඇයට දැනිණි. ශ්‍රීමාල්ට සිතුණේ මේඛ­ලාගේ පිටි­අත්ලේ ලේ ගමන් කරන වේගය පවා තමාට දැනෙන බවකි.

“ඔයාට මට ඔක්කෝම කියන්න අමා­රුයි මේඛලා. මාව පුදුම විදි­යට අම්මයි අප්ප­ච්චියි හිර කර­නවා. ජය­සු­න්දර මාමායි තව අම්ම­ලාගෙ නෑදෑයො කීප දෙනෙ­කු­යිත් ආවා. අපේ සම්බන්ධෙ ගැන පුදු­මා­කාර විදි­යට ගෝර­නාඩු කළා. ජය­සු­න්දර මාමා විත­රයි මොක­වත් නොකියා හිටියේ...”

ශ්‍රීමාල් කීවේ බිඳුණු හඬින්ය. මේඛලා කට­හඬ අවදි කළේ ඉතා­මත් අසී­රු­වෙනි.

“මට තියෙන ප්‍රශ්නෙ ඊට වඩා වෙනස් එකක් කියලා මම කොහොම කිය­න්නද ශ්‍රීමාල්.. මම කෙල්ලෙක්... අපේ අයි­යායි අම්මායි මට තර්ජ­න­ය ­ක­ර­නවා මේ සම්බන්ධ නව­ත්තන්න කියලා. ඔයා එයා­ලාට කතා කර­න්නෙත් නැත්තෙ... යන්නේ නැත්තෙ මේක නොකෙ­රෙන නිසා කියලා එයාලා කිය­නවා...!”

එසේ කියා­ගෙන යද්දී මේඛ­ලාගේ කට­හඬ බි‍ඳෙයි. ශ්‍රීමාල් තම හිස මේසය මත තබා­ග­නියි. කෑම හා බීම බන්දේ­සිය රැගෙන ආ වේට­ර්ව­රයා ද ප්‍රේම­ව­න්ත­යින් දෙදෙ­නාගේ මේ දර්ශනය දිහා වික්ෂි­ප්තව බලා සිට බන්දේ­සිය එතැන තබා යයි. අව­හ­න්හලේ තවත් ජෝඩු කීප­යක් ම සොඳුරු කතා­බ­හේය. ඔවුන්ගේ සිනා හඬ­වල් සිහි­නි­යට මිහි­රි­යට ඇසේ. ඒත් මොවුන් දෙදෙනා මුහුණ පා ඇත්තේ මොක­ක් හෝ අර්බු­ද­කාරී තත්ව­ය­කට යැයි ඔහුට සිතේ. මේඛලා හිතට ධෛර්යය අර­ගෙන කිය­න්නට අව­ශ්‍යම වචන ටික පෙළ ගස්වා ගත්තේ අසී­රු­වෙන්ය.

“අපේ අයියා මට මංග­ල්ල­යක් කතා කරලා.. ඒ කට්ටිය ලබන සුමානේ එනවා කිව්වා.. අනේ ශ්‍රීමාල් අපි ටිකක් ඉක්මන් කරන්න වෙයි!”

එවිට මේස­යට හිස තබා­ගෙන සිටින ශ්‍රීමාල් ගේ පිට සිහි­නි­යට ගැස්සෙ­නවා මේඛ­ලාට පෙනෙන්නේ ඇයව පුදු­ම­යට පත් කර­ව­මිනි.

කඳුළු පිරුණු දෑස්වලින් අවට බලන මේඛ­ලාට ද අවට කිසිම දෙයක් පෙනේනේ නැත!

ලබන සතියට‍...

Comments