
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා මෙරට සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු තම පෑන බහුතර මතය වෙනුවෙන් අවියක් කොට ගත්තේය. එසේ තම අදහස් නොබියව ප්‍රකාශ කළද තමනට ආරක්ෂාව කිසි දා නොලැබෙන බව ඔහු දැන සිටියේය.
වසර 15ක පමණ කාලයක් ඔහු තම භූමිකාව විශිෂ්ට අන්දමින් රඟ දැක්වූවෙක් විය. කුමන තරාතිරමක අයකු ඉදිරියේ වුව කියන්න තිබෙන දේ එළිපිට ප්‍රකාශ කිරීම ලසන්තගේ භාවිතය විය. කෙසේ හෝ පුවත්පත් විකුණන සංස්කෘතියෙන් බැහැරව ගවේෂණාත්මක මාධ්‍ය භාවිතයක නිරත වූ ලසන්ත එනිසාම නොයෙක් ආකාරයේ ජීවිත තර්ජනයන්ට ලක් විය.
පවත්නා ක්‍රමය වෙනස් කර යහපත් හෙට දවසක් වෙනුවෙන් හේ සිය පෑන මෙහෙය විය. සාකච්ඡා මාර්ගයෙන් යුද්ධය විසඳාගත යුතු බවත්, ඒ සඳහා කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය ඒ දෙසට තල්ලු කළ යුතු බවත් ඔහු පවසා සිටියේය.
දෙමළ ජනතාව සඳහා යුද්ධය විසඳුමක් නොවන බවත් ඒ සඳහා දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් ඔහු ඒක මතිකව ප්‍රකාශ කළේය. එහෙත් එල්.ටී.ටී.ඊ යේ ප්‍රහාරයන්ට ප්‍රතිපහාර එල්ල කිරීම පිළිබඳව හේ උරණ නොවීය.
එහෙත් යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි අසරණ දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු නැඟී සිටියේය. එසේම යුද්ධය හිඟන්නාගේ තුවාලයක් බවට පත් කරගත් පාලකයන් එය තම සුඛ විහරණය සඳහා යොදාගන්නා ආකාරයත් එමඟින් ජනතාව පීඩාවට පත් කරන ආකාරයත් හේ දැඩිව විවේචනය කළේය. යුද්ධය නිමා කිරීමට නම් එය ඇති වීමට බලපෑ මූලික හේතුන් පිළිබඳව අවධානය යොමු කර ඊට පිළියම් යෙදිය යුතු බවත්, යුද්ධය ඊට පිළිතුර නොවන බවත් හේ ප්‍රකාශ කර සිටියේය.
එහිදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සමාජ දේශපාලන සන්දර්භය තුළ තබා වාර්ගික ගැටුම් දෙස බැලීම වඩා වැදගත් බව ඔහු කියා සිටියේ එනිසාය. මෙම අදහස් නිසා ඔහු දේශද්‍රෝහියකු ලෙස නම් කෙරිණි. යුද්ධයට මැදිවූ උතුරේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම දේශද්‍රෝහී වීමක් නම්, එම ලේබලය තමන් ආඩම්බරයෙන් පළඳන බව ලසන්ත නොබියව ප්‍රකාශ කර සිටියේය.
සන්ඩේ ලීඩර්ට පුවත් පතට වෙනම වූ දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බව බොහෝ දෙනා සැක පහළ කළේය. නමුත් ලසන්ත කීවේ තමන්ට ඇති එකම න්‍යාය පත්‍රය ජනතා අභිලාශයන් වෙනුවෙන් කටයුතු කිරීම බවය. විපක්ෂයට වඩා ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත දෙස අපි විවේචනාත්මකව පෙනී සිටිනවා පමණක් නොව එය අප විශ්වාස කරනවා යැයි හේ ප්‍රකාශ කළේ එනිසා විය යුතුය.
සමහරු කීවේ ලසන්ත එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ විට ලසන්තගේ හඬ වියැකී යන බවයි. නමුත් එය සත්‍යයෙන් තොරය. ඔහු කවර දේශපාලන ස්ථාවරයක සිටියද වංචාව හා දූෂණය හෙළිදරව් කිරීමට නොබියව පෙරට ආවේය. එහිදී තමවෘත්තීය ගරුත්වය කෙලසා නොගැනීමට හේ වගබලා ගත්තේය.
එලෙස පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ලසන්ත වික්‍රමතුංග 2009 වසරේ ජනවාරියේ 08 වැනි දා කොළඹ ඔහුගේ කාර්යාලයට යමින් සිටියදී අත්තිඩිය බේකරිය හන්දිය ආසන්නයේදී මහ දවල් නන්නාඳුනන පිරිසක් විසින් මරා දමන ලදී.
යුද්ධය අවසන් වී අවට දැඩි ආරක්ෂක රැකවල්ලා තිබියදී එලෙස යතුරු පැදිවලින් පැමිණි ඝාතකයන් ඔහුගේ රිය නතර කොට ඔහු මරා දමා පැන ගොස් තිබිණි. එලෙස ඒ මහතා ඝාතනය කර එළැඹෙන ජනවාරි 08 වැනිදාට වසර 10ක් ඉක්ම ගොස් තිබේ.
එවක කොළඹ මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවය කළ සාමාජිකයන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට මෙම සිදු වීම පිළිබඳව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළද එය අතර මඟ ඇනහිටිණි.
මෙම පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ දුරකථන විශ්ලේෂණ වාර්තා මඟින් තහවුරු කරගත් තොරතුරු මතය. ඒ අනුව මෙම පරීක්ෂණයේදී හෙළි වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අය විසින් ඒ සඳහා විශේෂ අවියක් භාවිතා කර ඇති බවය.
එය සතුන් ඝාතනය කිරීම සඳහා යොදාගන්නා බෝල්ට් වර්ගයේ ගිනි අවියක් බව පරීක්ෂණවලදී පෙනී ගොස් තිබිණි. එවැනි අවි හමුදාවේ විශේෂ ඒකකයන් විසින් යොදාගන්නා බවද ප්‍රචාරය වී තිබිණි.
ඝතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවතියද අදාළ සැකකරුවන්ට කිසිදු චෝදනාවක් මේ දක්වා ගොනු කර නැත. මෙම ඝාතය පිළිබඳව යුක්තිය ඉටු වේදැයි ලසන්ත වික්‍රමතුංග මහතාට ආදරය කරන ජනතාව විමසිලිමත්ව බලා සිටිති.