කෝටි ගණන් වටිනා පූජාවලටත් වඩා ධර්මදානයේ ආනිශංස වැඩියි! | සිළුමිණ

කෝටි ගණන් වටිනා පූජාවලටත් වඩා ධර්මදානයේ ආනිශංස වැඩියි!

අද අප සාකච්ජා කරන්නේ පසුගිය සතියේ කතා කළ නජීරතී සූත්‍රයේ අවසන් කොටස පිළිබඳවයි. බුදු රජාණන් වහන්සේගෙන් දිව්‍ය පුත්‍රයකු පැමිණ ප්‍රශ්නයක් අහනවා “සිත පිහිටන්නේ නැති සිදුරු කීයක් තිබේද?“ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කළා සිත පිහිටන්නේ නැති සිදුරු හයක් ඇති බව. කුසල් සිත නොපිහිටන තැන් හයක් ‍‍තිබෙනවා. ‍ඒ කෙලෙස් හය තමයි මේ සිදුරු හයක් ලෙස හඳුන්වනු ලබන්නේ.

පළමු සිදුර ‘අාලස්සන‘ - එනම්: අලස බවයි. අලසකම කියන්නේ කුමක්ද කියලා හැමෝම දන්නවා. සමහර කෙනකු උදෑසන අවදි වීමටත් අලසයි. හැමෝම නින්දට යද්දී අවදි වීමට වේලාවක් අධිෂ්ඨාන කොට ගනිමින් නින්දට යා යුතුයි. ‍එසේ අවදි වන වේලාව සිහි කරලා නින්දට ගියාම හිතාගත් වෙලාවට ඇස් දෙක විවෘත වීම සිදු වෙනවා. එහෙත් ඒ මොහොතේ අවදි විය යුතුයි. නින්දේ ඇති සුවයට වසඟ විය යුතු නැහැ. ඒ වගේම කම්මැළිකමේ ඇති සැපයත් වින්දනය කරන්නත් එපා. සමහර කෙනකු සීතල අධික දවසට සීතල අධිකයි කියලා දවසේ කටයුතු කල් දමනවා; යා යුතු ගමන් මඟහරිනවා. අධික උෂ්ණය නිසා කටයුතු අතහැර දමනවා; ගමන් බිමන් යන්නට අැති නම් ගමනක් ගොස් අාවාට පසුව; කුසගිනි වූ වෙලාවට කුස පිරීම හේතුවෙන්ද ‍එසේ වෙනවා. රෝගාතුර වූ අවස්ථාවලදීත් මේ ආකාරයට හිතනවා; රෝගය සුව වූ පසුවත් විවේකය අවශ්‍යයි කියලා වැඩ මඟහරිනවා. කායික දුර්වලතා නිසාත් මානසිකව අලසකම ඇති වනවා.

අනෙක් කාරණාව නම් සම්බුද්ධ සාසනය තුළ ‘ප්‍රමාදය‘ - ඒ කියන්නේ සිහියෙන් තොර වීමයි. වැඩ කරන වෙලාවේ එයට අවධානය යොමු කරන්න අවශ්‍යයි. එසේ සිතා කුසලයක් නම් එහි යෙදිය යුතුයි; අකුසලයක් නම් බැහැර කළ යුතුයි. යමක් කරන්න පෙර කල්පනා කරන්න අවශ්‍යයි මම මේ කරන දේ නිවැරදිද වැරදිද කියලා. එසේ කල්පනා කර, වැරදි දෙයක් නම් බැහැර කරන්නත්, නිවැරදි දෙයක් නම් එහි යෙදිමත් කළ යුතුයි. සිහියෙහි පිහිටල‍ා මේ දේ කළ යුතුයි.

අනෙක් කාරණා නම් ‘අනුට්ඨානං‘ - එනම්: නොයෙදීමයි. එයින් අදහස් වන්නේ වීර්යය නැතිකමයි. හොඳ දෙයක් ආරම්භ කරන්න නම් හොඳ ආරම්භයක් තිබිය යුතුයි. මවුපියන්ට ඇප උපස්ථාන කරන්නෙ නැති කෙනකු නම් මවුපියන්ට ඇප උපස්ථාන කළ යුතුයි. ඒ වගේම ස්වාමියා භාර්යාවට කළ යුතු වත්පිළිවෙත් කළ යුතුයි. දරුදැරියන්ට කළ යුතු යුතුකම් කළ යුතුයි. ඒ වගේම සම්බුද්ධ ශාසනයට යුතුකම් වගකීම් ඉටු වෙනවාද නැතිද කියලා හිතලා ඒවා ඉටු කළ යුතු වෙනවා. මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් කළ යුතුයි. මා ‍එසේ කරන කෙනෙක්ද නැති කෙනෙක්ද කියන කාරණාව සිහියේ තබාගත යුතුයි.

ඊළඟට ‘අසඤ්ඤමෝ‘ - එනම්: අසංවර බවයි. ඇස, කන, නාසය, දිව, කය, මනස අසංවර වීම. මේ සියලු ඉන්ද්‍රිය සංවර කරගත යුතුයි. මේවා සංවර කරගැනීමට නම් අධික ලෙස කෙලෙස් උපදින රූප, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි පාලනය කරගන්න ඕනෑ. ඒවා දැක්කාද, ඒවායින් සිත ඉවත් කරගෙන සිත සංවර කරගැනීමට පුරුදු විය යුතුයි. ඉන්ද්‍රිය සංවරය කියන්නේත් මේකටමයි. ඉන්ද්‍රිය සංවරය නැති වීමෙන් සමහර කෙනකු රෝගාබාධවලට ගොදුරු වනවා‍.

සමහර කෙනකු අධික ලෙස රසයෙහි ගිජු වී තමාට පවතින ලෙඩ රෝග වැඩි වීම ඉන්ද්‍රිය සංවරය නැතිකමින් සිදු වනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ධර්ම මාර්ගයට වගේම සාමාන්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක්.

ඊළඟට ‘නිද්‍රා‘; ඒ කියන්නේ නින්ද වැඩි වීමයි. රාත්‍රී දහයට නිදාගැනීමත් උදෑසන පහ පමණ වන විට අවදි වීමත් සිදු කළ යුතුයි. දහවල් නිදාගැනීම අනිවාර්යෙන්ම නතර කළ යුතුයි. පැරණි පුස්කොළ පොත්වල සඳහන් වනවා ඇතැම් ලෙඩ රෝග ඇති වීමට දහවල් නින්ද හේතු වන බව.

අනෙක් සිදුර ‘තන්ධි‘ නම් වනවා. අධික කම්මැළිකම මේ නමින් හැඳින්වෙනවා. නජීරතී සූත්‍රය දේශනාවේ අවසන් කරුණු පිළිබඳවයි ඒ අප සාකච්ජා කළේ.

ඊළඟ අවධානය යොමු කරන්නේ කින්දද නම් සූත්‍රයටයි. එක්තරා දෙවි කෙනෙක් දෙවියන් සමූහයක් සමඟ පැමිණ ලොවුතුරා බුදුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා.

“ස්වාමීනී, කුමක් දන් දීමෙන් බලය දුන්න‍ා වේද? සර්වඥයන් වහන්සේ පිළිතුරු දුන්නා: ‘අන්නදෝ බලදෝ හෝති‘ ආහාර දන්දීමෙන් බලය දුන්නා වෙයි. එයින් අදහස් කරන්නේ කුමක්ද?

මනුස්සයකු උපදින්නේ යම් කිසි කර්මයකට අනුකුලවයි. කර්මයෙන් ඉපදුණ තැනැත්තාට කර්මයෙන්ම බලය රඳා පවත්වාගන්න පුළුවන්කමක් නැහැ. ආහාරපාන නොගෙන හිටියොත් කායික ශක්තිය නැතුව යනවා. ආහාරපාන නැති කෙනකුට ආහාරපාන ටිකක් දෙනවා කියන්නේ මෙලොවත් පරලොවත් තමන්ට කායික ශක්තිය ලැබෙනවා. මේ භවය තුළත්, මතු උපදින භවයන්හිදීත් කායිකව බලසම්පන්න, තේජාන්විත කෙනකු වන්නට දන් දීම හේතු වන බව සර්වඥයන් වහන්සේ දේශනා කළා.

“ස්වාමීනි, කුමක් දන් දීමෙන් ශරීරය වර්ණය දන් දුන්නා වේද?“ සර්වඥයන් වහන්සේ “වත්තදෝ හෝතී“ යැයි දේශනා කළා. වස්ත්‍ර දන් දීමෙන් ශරීර වර්ණය දන් දුන්නා වෙයි කියලා. කොතෙක් ලස්සන කෙනෙක් වුවත් ඇඳුම්-පැලඳුම් පිළිවෙළකට නැති නම් ලස්සන නැහැ; ලස්සන කැපීපෙනෙන්නේ නැහැ. කෙනකු අඳින අැඳුමෙන් ලස්සන පමණක් නො‍වෙයි; සංවර බව පවතින්නෙත් ඇඳුම තුළ. ඒ නිසා අැඳුම් පැලඳුම් පූජා කළාම ඇති වන ප්‍රතිවිපාක නම් ලස්සන ශරීර ඇතිව උපත ලබනවා. මෙහිදී තමා අඳින අැඳුමට වඩා වටිනා ඇඳුමක් පරිත්‍යාග කරන්නට ඕනෑ. එසේ නැතිව තමාටත් අඳින්න බැරි, වටිනාකමක් නැති, ඇඳපු ඇඳුම් දන් දෙන්න එපා. පරිත්‍යාග කරද්දි හොඳ ඇඳුමක්ම පරිත්‍යාග කළ යුතුයි.

“ස්වාමීනි, කුමක් දන් දීමෙන් සැප දුන්නා වේද?“ භාග්‍යවතුන් වහන්සේ: “යානදෝ සුඛදෝ හෝති.“යාන දන් දීමෙන් සුඛ දුන්නා වෙයි. යාන කියන්නේ වාහනයයි. සැම කෙනකුටම වාහනයක් පරිත්‍යාග කළ නොහැකියි.

අට්ඨකථාවල සඳහන් කර තිබෙනවා එසේ වාහාන පරිත්‍යාගය වෙනුවෙන් පරිත්‍යාග කළ යුතු දෑ. එනම්: පාවහන් පූජා කිරීම මහේශ්‍ය පිනක්. කායික මානසික සැප ලබන්න එය හේතු වෙනවා. උත්තරීතර ‍පිනක් එය. අවශ්‍ය කෙනකුට සැරයටියක් පරිත්‍යාග කරන්න පුළුවන් ඒ වෙනුවෙන්.

අද වන විට අත්වාරු වෙනුවට රෝද පුටුවක් වුවත් පරිත්‍යාග කරන්න පුළුවන්. එය සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේම පඩිපෙළක් සකස් කරදෙන්න, මාවතක් සකස් කර දෙන්න, ඒදණ්ඩක් සකස් කර දෙන්න පුළුවන් නම් එයත් ඒ කුසලයට අයත් වනවා. කායික මානසික සැප ලබන්න එවැනි පුණ්‍යකර්ම හේතු වනවා.

දිව්‍යපුත්‍රයා තවත් ප්‍රශ්නයක් නඟනවා: “කුමක් දන් දීමෙන් නුවණැස දන් දුන්නා වේද?“ සර්වඥයන් වහන්සේ සඳහන් කරනවා “දීපදෝ හෝතී චක්කුොදෝ.“ දිව්‍යපුත්‍රය, පහන් පූජා කිරීමෙන් නුවණැස දන් දුන්නා වේ. බුදු රජාණන් වහන්සේට, චෛත්‍ය රාජයන් වහන්සේට පහන් පූජා කිරීමෙන් නුවණැස පහළ වෙයි. මහ සංඝ රත්තනයට ආලෝකය පූජා කරනවා කියන්නේ පහන් ආලෝකය ලබාදීමයි. අතීතයේ වගේ නොවෙයි, අද කාලයේ විදුලිය සැපයීමට උපකාර කළ හැකියි.

“ස්වාමිනී, කුමක් දන් දීමෙන් සියල්ල දන් දුන්නා වේද?“ “දිව්‍ය පුත්‍රය, යම්කිසි කෙනකු ආවාසයක් කර පූජා කරන්නේද, ආවාසයක් පූජා කරන්නා සියල්ල දන් දුන්නා වෙයි.“ එසේ නම් ආවාස පූජාව හඳුන්වන්නේ දන් දිය හැකි සියල්ල දන් දීමක් හැටියටයි. මක් නිසාද: බුද්ධ සාසනය තුළ ඇති භෞතික දානවලින් අග්‍රම දානය වන්නේ ආවාස කරවා පූජා කිරීමයි. සැම කෙනකුට තනියම ආවාසයක් කරවා පූජා කරන්න නොහැකියි.

එබඳු තැනැත්තා ආවාසයක් කරවීමේදී පොඩි දේකින් හෝ එයට දායක විය යුතුයි. ශ්‍රමයෙන් ‍හෝ දායක විය යුතුයි‍ ලෞකික ක්‍රීඩාවලින් අග්‍රම පූජාව ලෙස එය හඳුන්වනු ලබනවා. බුදු රජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ අනුරුද්ධ කියලා මහ රහතන් වහන්සේ කෙනකු වැඩ සිටියා. අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ නැගණියගේ ඇඟේ රෝගයක් හටගත්තා, ‍කුඩා බිබිළිවලින් පටන් ගෙන විශාල වුණා, අවසානයේ ඕජාව ගලන්නට පටන්ගත්තා. කිසිදු ප්‍රතිකාරයකින් සුව වුණේ නැහැ. අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ සැල වූ වහාම කියා සිටියා මහ සංඝරත්නයට දාන ශාලාවක් කොට පූජා කරන්න කියලා. මේ නැගණිය ඉතා ශ්‍රද්ධාවෙන් මේ මහ සඟරුවනට දාන ශාලාවක් ඉදි කරවන්න පටන්ගත්තා.

දාන ශාලාව ඉදි වෙන්න ඉදි වෙන්න මෙතුමියගේ රෝගයත් අඩු වුණා. අවසන් වන විට රෝගයද සුවපත් වුණා. අතීතයේ සමහර ඇත්තන් මේ ආකාර පූජා කරලා තිබෙනවා. යම් රෝගාබාධ ඇති වූ විට. යම් රෝගාබාධ අකුසල කර්මයන්ගෙන් හටගත් ඒවා. එබඳු රෝගයක් යටපත් කරන්නට පුළුවන් විදිහේ කුසලයක් කිරීමෙන් ඒ කුසලය යටපත් කිරීමට පුළුවන්.

“ස්වාමීනි, කුමක් දන් දීමෙන් අමෘතය දන් දුන්නා වේද?“ යන්න බුදුන් වහන්සේගෙන් විමසූ අනෙක් ප්‍රශ්නයයි‍. යම් කිසි කෙනකු ධර්මානුශාසනා පවත්වනවා නම් අමෘතය දන්දීම හා සමාන බවයි බුදු රදුන් මෙහිදී දේශනා කළේ. මේ ධර්මදානය කළ හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා: ධර්මදේශනා කිරීම, දායකත්වය දරා දේශකයන් වහන්සේ වැඩමවා අන් අයට ධර්මශ්‍රවණය කිරීමට අවස්ථා සලසා දීම, තමන් ධර්මය දන්නා කෙනකු නම් දහම් පොතපත ලිවීම, ධර්මධරයන් ලවා දහම් පොතපත ලියවා මුද්‍රණය කර බෙදා දීම. මේවා ධර්ම දානයට අයිතියි. “සබ්බදානං ධම්මදානං ජිනාති“ සියලු දානයන්ට වඩා ධර්මදානය අග්‍රයි කියලා කියනවානේ.

අප දන්නවා මහා විහාරයට අයිති චෛත්‍යය තමයි රුවන්මැලි සෑය. එයට අයිති බෝධීන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ. දහසක් භික්ෂූන් ව‍හන්සේට දන් වළඳන්න පුළුවන් මහාපාලි දානශාලාව.

ඒ වගේම නව මහල් සීමාමාලක් තිබුණා ලෝවාමහාපාය කියලා. දහස් ගණන් භික්ෂූන්ට වැඩ සිටින්න අාවාස තිබුණා. මේ මහාවිහාරය වැනි විහාරස්ථානයක් හදලා පූජා කරන-එක ලෙසි කෙනකුට පුළුවන් දෙයක් නොවෙයි.

මේ වගේ කෝටි ගණන් වටිනා පූජා කිරීමටත් වඩා අානිසංස ලැබෙනවා ධර්මදානයෙන්. පෘථිවිය පුරා සිටින මහා සංඝරත්නයට සිවුරු පිරිකර පූජා කරනවාට වඩා ධර්මදානය අග්‍රයි, පෘථිවිය පුරා වැඩ සිටින මහා සංඝරත්නයට ප්‍රණීත ආහාර පාත්‍ර පුරවා පූජා කරනවාට වඩා ධර්මදානය අග්‍රයි කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා.

ධර්මදානයේ ප්‍රතිවිපාක හඳුනාගත් සත්පුරුෂයෝ ධර්මදානයේ උත්සාහවත් වෙත්වා!

Comments