දුක දෙන අම්ලපිත්තය නසන්නට හැකි නිතර ගත යුතු ආහාර වර්ග අටක් | Page 2 | සිළුමිණ

දුක දෙන අම්ලපිත්තය නසන්නට හැකි නිතර ගත යුතු ආහාර වර්ග අටක්

සූජීවා සමන්ති පස්යාල

දූනගහ දේශීය වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය

කාර්යබහුල වත්මන් සමාජයේ ලොකු කුඩා බොහෝ දෙනා පිඩා විඳින රෝග තත්වයක් වන්නේ “අම්ලපිත්තයයි”. Gastritis යනුවෙන් පොදුවේ හඳුන්වන මේ තත්වය, ආයුර්වේදයේ දී සහ දේශිය හෙළ වෙදකමේ දී ප්‍රභේද කිහිපයකට වෙන් කොට දැක්වේ.

අම්ලපිත්තයට ප්‍රධානම හේතුව වන්නේ විසම වූ ජීවන රටාවයි. මිනිසාගේ නීරෝගීතාව පවත්වාගැනීමට අත්‍යවශ්‍යම සාධක හතරක් වන ආහාර, විවේකය, ව්‍යායාමය සහ නින්ද යන සියල්ලම හෝ කිහිපයක් දිඟින් දිඟටම අක්‍රමවත් වීමෙන් අම්ලපිත්ත හටගනී. නමුත් සමාජයේ ප්‍රකට පිළිගැනීම වන්නේ අක්‍රමවත් ආහාර රටාව නිසා අම්ලපිත්තය හටගන්නා බවයි. එය අතිශෝක්තියක් නොවන්නේ බොහෝ දෙනා නිරන්තරයෙන් ලබාගන්නා කෘතිම ආහාරවල පවතින රසායන ද්‍රව්‍යය වන වර්ණකාරක සහ රසකාරකවලින් ආහාර ජීර්ණ පද්ධතියට ඇති කරන ප්‍රබල බලපෑම අනෙකුත් මූලික අවශ්‍යතා තෘප්ත නොවීමෙන් සිදු වන බලපෑමට වඩා වැඩි වීම නිසාය.

රෝගයක් සුව වීම සඳහා ඖෂධ අවශ්‍ය වුව ද නීරෝගීතාව පවත්වාගැනීම සඳහා වැදගත් වන්නේ නිවැරැදි ආහාර රටාවත්, නිවැරැදි ඇවැතුම් පැවැතුම් රටාවත්ය. මේ ලිපියෙන් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන්නේ නීරෝගී අයෙකුට “අම්ලපිත්තය” වළක්වාගැනීමටත්, රෝගී වූ අයෙකුට “අම්ලපිත්තයෙන්” මිදීමටත් වැදගත් වන ප්‍රමුඛතම ආහාර වර්ග අටක් පිළිබඳවය.

අප වැදගත් කොට නොසිතන, ආහාරයට අවස්ථාව ලැබුණ ද නොසලකා හරින මේ ආහාර වර්ග නිතර නිතර භාවිතා කරන්නේ නම් “අම්ලපිත්තය”ට ප්‍රතිකාර සොයා වෙදගෙදරට යන්නට අවශ්‍ය නොවනු ඇත.

01. දියබත්

“අම්ලපිත්තය” සඳහා ලබාදිය හැකි හොඳම ආහාරය දියබත්ය. අතීතයේ කුඹුරට හේනට යන ගොවියාගේ උදෑසන ආහාරය අතරට නිතර එක් වූ දියබත් අද සමාජයෙන් බැහැර වී තිබේ.

පෙර දින රාත්‍රියේ බත් මුට්ටියේ ඉතිරි වන බත් ප්‍රමාණය වැසී යන පරිදි පිරිසුදු ඇල් වතුර දමා රැය පුරා වසා තැබීම දියබත් සාදා ගැනීමේ මුල්ම පියවරයි. “රයිස් කුකරයේ” පිසූ බත් සඳහා ද ගැටලුවක් නැතිව යෙදිය හැකිය . එම භාජනයේම තැබිය නොහැකි නම් බත් ටික මැටි බඳුනකට හෝ වීදුරු බඳුනකට දමා එය වැසෙන්නට ඇල් වතුර දමා රැයක් වසා තැබීම කළ හැකිය.

උදෑසනින්ම වතුර පෙරා එම බත් ප්‍රමාණය පමණක් ගෙන භාජනයකට දමා, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් හෝ කොච්චි, කරපිංචා සහ අවශ්‍ය පරිදි දෙහි දමා එයට සෑහෙන තරම් මිටිකිරි දමා හොඳින් මිශ්‍ර කර , හිස් බඩ ආහාරයට ගත හැකිය. අවශ්‍ය නම් සිහින්ව ලියාගත් උම්බලකඩ ස්වල්පයක් එක් කරගත හැකි වුව ද එය අත්‍යවශ්‍ය නොවේ. මෙය ශක්තිජනක ආහාරයක් වන අතර ආසියානු කලාපයේ වෙනත් රටවල ද සකස් කර ආහාරයට ගන්නා අවස්ථා තිබේ.

සෙම් කෝපවීම් නැති නම් කුඩා දරුවන්ට ද යෝග්‍ය වේ. “අම්ලපිත්තය” ඇති අයෙකු සතියක් දියබත් කන්නේ නම් අනිවාර්යයෙන් රෝගය වළක්වාගෙන අපහසුතාවලින් මිදිය හැකිය.

02. කැහිපිත්තන් ජෙලි

ජෙලි ලොකු කුඩා කවුරුත් කැමැති ආහාරයකි. නමුත් රසකාරකත්, වර්ණකාරකත් ඇති සාමාන්‍ය වෙළඳපොළේ ඇති ජෙලි “අම්ලපිත්තය” ඇති රෝගීන්ට හිතකර නොවේ. මෙරට පරිසර පද්ධතියේ බොහෝ ස්ථානවල දැකිය හැකි “කැහිපිත්තන්” යනු කුඩා වැල් විශේෂයකි. එහි පත්‍රවල පවතින මාංශල ස්වභාවය නිසා එය අනෙක් වැල්වලින් වෙන් කර හඳුනාගත හැකිය. “අම්ලපිත්තය” සහිත රෝගීන්ගේ ආමාශගත දැවිල්ල පලවාහැර, දිගු වේලාවක් සහනය ලබාදිය හැකි කැහිපිත්තන් ජෙලි පහසුවෙන් සකසාගත හැකිය.

කැහිපිත්තන් කොළ අහුරක් කඩාගෙන හොඳින් සෝදා, ජලය යම් තරමක් සමඟ යාන්ත්‍රිකව හෝ වංගෙඩියේ කොටා පෙරාගත් විට සෑදෙන උකු ද්‍රවණය ජෙලිවලට සමානය. එම ද්‍රාවණයට අවශ්‍ය තරමට සීනි යොදා මිශ්‍ර කර නොසෙල්වා තැබූ විට ගන තත්වයට පත්වන අතර අතුරුපසක් ලෙස ප්‍රියජනකව ආහාරයට ගත හැකිය. වර්ණක අවශ්‍ය නොවන්නේ මේ මිශ්‍රණය ආකර්ෂණීය කොළ පැහැයක් ගන්නා නිසාය. මෙය ශීත කර කල් තබාගත හැකි වුව ද, නැවුම්ව ආහාරයට ගැනීම වඩා වටී.

03. කෝමාරිකා මද

දේශිය වෙදකමේ බහුලව යොදාගන්නා කෝමාරිකාවල ගුණ ගැන නොදන්නෝ මෙරට නොසිටිති. නමුත් එය ආහාරයක් ලෙස භාවිතා කරන්නෝ නම් අල්පය. කෝමාරිකා පානය මේ වන විට රටේ ජනප්‍රිය වෙමින් පවතින ආහාරමය සංකල්පයකි. “අම්ලපිත්තය” නිසා පිඩා විඳින්නන්ට පානයක් ලෙස ද, ව්‍යාංජනයක් ලෙස ද කෝමාරිකා ආහාරයට ගත හැකිය. කෝමාරිකා පත්‍රයේ බාහිර පොත්ත ඉවත් කළ විට හමුවන මාංශල කොටස සිහින්ව කපා, එයට සීනි, ජලය සහ අවශ්‍ය පමණට ලුණු යොදා යාන්ත්‍රිකව කොටා ගැනීමෙන් කෝමාරිකා යුෂ පානය සකසා ගත හැකිය. අවශ්‍යනම් එනසාල් කරලක් ද මිශ්‍ර කර ගැනීමෙන් විශේෂිත රසයක් ලබාගත හැකිය.

සිහින්ව කපාගත් කෝමාරිකා කැබැලි පළමුව වාෂ්පයෙන් තම්බා, රතුලූනු, අමුමිරිස් හෝ කොච්චි, කරපිංචා, රම්පේ, ගම්මිරිස්, තැනපහ පදමට යොදා ව්‍යාංජනයක් සකසාගත හැකිය. වඩා රසවත් වීමට මිටිකිරි ද එක් කරගත හැකිය.

“අම්ලපිත්තය” ඇතුළු ආමාශගත වේදනා සඳහා සුවය සලසන කෝමාරිකා මලබද්ධය ද පලවාහරී. උදරයට ද සහනය ගෙනේ.

04. කොළකැඳ

කොළකැඳ තරම් පුවත්පත් ලිපි මඟින් වැදගත්කම පහදා දුන් වෙනත් ඖෂධීය ආහාර වර්ගයක් නැත. නමුත් “අම්ලපිත්තය” සඳහා ඉක්මන් සහනය සලසා දෙන බැවින් කොළකැඳ ගැන මේ ලිපියේ ද ලිවිය යුතුමය.

සෑම කොළකැඳ වර්ගයක්ම ශරීරයට ගුණදායක නමුදු කරපිංචා, ඉරමුසු, හීන්බෝවිටියා, මොනරකුඩුම්බිය සහමුලින්ම හෝ කලවම්ව යෙදූ කොළකැඳ “අම්ලපිත්තය” සඳහා වඩාත් ගුණදායකය. නමුත් කොළකැඳ සැකසීමේ දී ලුණු අවමව භාවිතා කරන්නට වග බලාගත යුත්තේ “අම්ලපිත්තය” රෝගීන්ට අධිකව ලුණු භාවිතා කිරීම නුසුදුසු බැවිනි.

05.ලුණුකැඳ

කැකුළු සහල්, ලුණු සහ වතුර පමණක් යොදා සකසන කැඳ, ලුණුකැඳ යනුවෙන් හඳුන්වන අතර අතීතයේ නිවෙස්වල නිතර නිතර අතුරු ආහාරයක්, ආහාර ප්‍රතිපූරකයක් ලෙස භාවිතා වී තිබේ. එහෙත් වත්මන් සමාජයේ දී ලුණුකැඳ නොසලකා හරින ආහාරයකි.

“අම්ලපිත්තය” නිසා දුර්වල වූ ආහාර මාර්ගය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රබල හැකියාවක් ලුණුකැඳ වෙත පවතී. ඉක්මනින් ජීර්ණය කරගැනීමේ පහසුව නිසා, ශරීරයට ඉක්මන් ශක්තිය ලබාදේ. අරුචිය දුරු කරයි.

“අම්ලපිත්තය” නිසා හිස් ආමාශයේ එක් රැස් වන ආම්ලික පිත දුර්වල කිරීමේ හැකියාව ද ලුණුකැඳ සතුය. ප්‍රතිශක්තිය නිර්මාණය කිරීමද, මුත්‍ර කාරක වීමද “අම්ලපිත්තය” රෝගීන්ට ලුණුකැඳ යෝග්‍ය වන්නට හේතුවන තවත් කරුණු දෙකකි.

06.වට්ටක්කා

වට්ටක්කා “අම්ලපිත්තය” රෝගීන්ට රෝගයෙන් මිදීමේ අවස්ථාව ලබාදෙන මහඟු ආහාරයකි. දුරුමිරිස් අඩුව නමුත් ප්‍රියමනාපව ව්‍යාංජනයක් ලෙස පිසගැනීමෙන් නිරතුරුව වට්ටක්කා ආහාරයට ගැනීමෙන් “අම්ලපිත්තය” සුව කරගත හැකිය. පොතු සහිතව සකසා ගැනීම සිදුකළ යුතුය. පොතු ඉවත් කිරීමෙන් අත්‍යවශ්‍ය පෝෂණය සහ බලාපොරොත්තු වන ප්‍රතිලාභයන් නොලැබෙන්නට පුළුවන.

වට්ටක්කා ව්‍යාංජනයක් ලෙස ආහාරයට ගන්නට අකැමැති “අම්ලපිත්තය”රෝගීන්ට, වාෂ්පයෙන් තම්බාගත් වට්ටක්කා කැබලි පොල් සමඟ කන්නට පුළුවන. උදෑසන ආහාරයක් ලෙස යොදාගත හැකිය.

07. බෙලි

“අම්ලපිත්තය” නිසා අමාශයේ ඇති වන තුවාල සුව කිරීමේ ප්‍රබල හැකියාවක් “බෙලි” සතුව පවතී. පලතුරක් ලෙස ඉදුණු බෙලි ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය සහ ජනප්‍රියතම ක්‍රමයයි. නොඑසේ නම් ඉදුණු බෙලි මද වතුර සමඟ මිරිකා බෙලි යුෂ පානයක් හෝ, කිරි සමඟ මුසු කර බෙලි කිරි හෝ තනා පානය කළ හැකිය.

“අම්ලපිත්තය” රෝගීන්ට නුසුදුසු තේ පානය කිරීම වෙනුවට බෙලි ගැට මද තම්බා බීම ද, බෙලි මල්, වියළි බෙලි කොළ තම්බා බීම ද සිදු කළ හැකිය. පැසුණු බෙලි තම්බා, කටුව ඉවත් කොට කෑමට ගන්නට පුළුවන.

බෙලිමුල් “අම්ලපිත්තය” සඳහා වන දේශිය ප්‍රතිකාරවල දී කෂාය වට්ටෝරුවලට ඇතුළත් කෙරෙන සුලභ ඖෂධයකි.

08.පේර

“අම්ලපිත්තය” නිසා ඇති වන තුවාල සුව කිරීමටත්, ආමාශයේ එක් රැස් වන වාතය ඉවත් කිරීමටත්, මලබද්ධය දුරු කිරීමටත්, බඩ පිපීම වැළැක්වීමටත් හොඳින් ඉඳුණු පේරවලට හැකියාව ඇත. ආහාර මාර්ගය දිගේ ඇති වන දැවිල්ල පලවාහැරීමටත් පේර සුදුසුය. ලුණු, මිරිස් මුසු නොකොට, පලතුරක් ලෙස පේර ආහාරයට ගැනීම “අම්ලපිත්තය” රෝගීන් විසින් සිදු කළ යුතුමය.

වාණිජ වශයෙන් වගා කර අලෙවි කරනු ලබන පේරවලට වඩා ගුණදායක වන්නේ ග්‍රාමීයව වැවෙන කුඩා පේර වර්ගය. විශාල පේර හෝ කුඩා පේර යන දෙවර්ගයම හොඳින් ඉදෙන්නට තබා කෑමෙන් “අම්ලපිත්තය” රෝගීන්ට සහනය සලසාගත හැකිය.

අද දවසේ බොහෝ දෙනා පීඩා විඳින “අම්ලපිත්තය” රෝගයෙන් මිදී, යළි යළි ප්‍රතිකාර මතම නොරැඳී නීරෝගී සුවය විදින්නට කැමැති නම් මේ ආහාර නිතර භාවිතයට ගැනීම සුදුසුය. නීරෝගී සැපය මිනිසෙකුට ලොව හිමි වන හොඳම සැපත වන නිසා, ඖෂධ වෙනුවට ආහාර මඟින් රෝබිය දුරු කරගන්නට මේ ලිපිය ඔබට පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.

Comments