පාරිසරික සාධකවල වෙනස්කම් සමාජ සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය | Page 3 | සිළුමිණ

පාරිසරික සාධකවල වෙනස්කම් සමාජ සදාචාර සංකල්පවලට බලපාන ආකාරය පිළිබඳ බෞද්ධ විග්‍රහය

අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් කෙරෙන විමසුමකි

කවර සමාජයක වුව ද විශ්වය, ලෝකය හා සමස්ත ජීව අජීව ප්‍රජාවගේ ආරම්භය හා සම්බන්ධ ව ඉදිරිපත් වූ ජනකථා හා කතාන්දර දැකිය හැකි ය. මිථ්‍යා ප්‍රබන්ධ ගහනඑබඳු කතාවන්හි අරමුණක් විය හැකි වන්නේ උක්ත කී ප්‍රස්තතුයන්හි ආරම්භය ගෙනහැර දක්වනු කෙසේ වෙතත් ඒවා ආකාස්මික ව එක වර පහළ නොවූ ඒවා බව ගෙනහැර දැක්වීම ය. කෙසේවෙතත් දේව නිර්මාණවාද, පාරභෞතිකවාද හා වෙනත් උත්තරානුභූතික සංකල්පවලින් බැහැර ව විශ්වය හා ප්‍රජාවගේත් ලෝකය හා සත්ත්වයාගේත් ආරම්භය, විකාශය අතිශය විද්‍යාත්මක ව, තාර්කික ව ගැඹුරු පදනමකින් ඉරිපත් වන වැදගත් බෞද්ධ මූලාශ්‍රයක් වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය යි.

සත්ත්ව විෂයයේ පරාසය හෝ ලෝක විෂයයේ පරාසය හෝ සම්බන්ධයෙන් මුල (ආරම්භය), අග (අවසානය) ආදී වශයෙන් ගෙන භෞතික ලෝකය පිළිබඳ ව කෙරෙන ගවේෂණ එම විෂය ක්ෂේත්‍රවලට කෙරෙන අගෞරවයක් ලෙස නොව උපයෝගීතා පදනමක හිඳ බුදුසමය දකින්නේ නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක් ලෙස ය.

ඒ අනුව මිනිසාගේ හෝ සත්ත්වයාගේ (සිදු ව ඇති හෝ අනාගතයේ සිදු විය හැකි) සම්භවයේ සුල, මුල ගවේෂණය කිරීමට බුදුසමයෙන් කිසිදු උත්තේජනයක් සැපයෙන්නේ නැත. ලෝකය කවරෙකු විසින් හෝ මවන ලද්දක් ද නැති නම් එය ඉබේ පහළ වුවක් ද යනාදී ප්‍රස්තුත ගවේෂණය බුදුසමයෙන් ප්‍රතික්ෂේප වේ. එයට හේතුව සියලු දෙනාගේ අරමුණ හෙවත් නිෂ්ඨාව සියලු දුක් නැති කොට නිවන සාක්ෂාත් කරගැනීම (සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය) උදෙසා උක්ත කී ප්‍රස්තුත අධ්‍යයනය උපයෝගී නො වන බැවිනි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝනිකායේ කොටස් තුනෙන් තුන් වන කොටස වන පාටික වග්ගයේ සිවු වන සූත්‍රය වන්නේ අග්ගඤ්ඤ සූත්‍රය යි. බ්‍රාහ්මණ වර්ණ ව්‍යවස්ථාව මෙහි දී ඛණ්ඩනය කර ඇත. ජන්මයට වඩා කර්මය ප්‍රධාන බව මෙහි දැක්වේ. මිනිසා හා සමාජයේ විකාශය පිළිබඳ මානව විද්‍යාත්මක පදනමින් මෙහි විස්තර වේ. බුදුරදුන් මේ සූත්‍රය දේශනා කර ඇත්තේ විශාලා මහනුවර වාසෙට්ඨ හා භාරද්වාජ නැමැති උපසම්පදාව අපේක්ෂා කරන බ්‍රාහ්මණ කුලයට අයත් සාමණේර භික්ෂූන් දෙනමකට ය.

දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ අන්තර්ගතය විමසන්නෙකුට මතු විය හැකි ප්‍රධාන ගැටලු දෙකකි. එනම්,

01. දුර අතීත සිදු වීමක් පිළිබඳ ව බුදුරදුන් අදහස් පළ කරන්නේ හුදු පරිකල්පනයෙන් ප්‍රබන්ධ කළ කතාවක් ලෙසට ද නැතහොත් තමන් වහන්සේගේ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ස්ථාවර විද්‍යාත්මක පදනමක් ගත් යථාර්ථයක් ලෙසට ද? යන්න යි.

02. එබඳු තත්ත්වයක් මත නිවන පදනම් කොටගෙන ධර්මය දේශනා කිරීමට අවකාශ තිබිය දී බුදුරදුන් සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය හා පරිණාමය ප්‍රවාද ස්වරූපයෙන් හෝ වෙනයම් ස්වරූපයකින් කතා කිරීම පුද්ගල විමුක්තියට කොතෙක් දුරට අදාළ වන්නේ ද? යනාදිය යි.

 

මෙහි පළමු කරුණ කෙරේ අවධානය යොමු කරන්නේ නම් බුදුරදුන් අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කිරීමට පාදක කරගන්නා මූලික කරුණ වන්නේ ද සමකාලීන වෛදික චින්තනයේ එක් අවස්ථාවක් නියෝජනය කරන්නා වූ බ්‍රාහ්මණයන් විකෘති කොට, සිහි නොකොට තබා ඇති පුරාණ කතාව (පොරාණං අසරන්තා) හෙවත් ලෝකෝත්පත්ති කථාව වෙනුවට භෞතික සාධක හා ස්වකීයීය අවස්ථාවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය, කූට වාසි පදනම් කරගත් කුල භේදය යි. සර්වඥතා ඥානය යන්න සීමා සහිත අර්ථයකින් බුදුරදුන් හට පවරන්නේ නම් එහි අරුත වන්නේ ආවර්ජනා ප්‍රතිබද්ධ ඥානයකින් යුතු ව සත්ත්ව, ලෝක ආදි ඕනෑ ම විෂය පරාසයක් වුව සම්මර්ශනය කිරීමටත් පරිකල්පනයෙන් කරුණු ගෙතීමට ඇති අනවශ්‍යතාවත් එමඟින් පැනේ. බුදුරදුන් ධර්මය දේශනා කිරීමේ දී ශ්‍රාවක ආසය, අනුසය අවබෝධ කරගෙන ධර්මය දේශනා කළ අතර ශ්‍රාවකයාට වැටහෙන පරිද්දෙන් ඔවුනට හුරු පුරුදු පුරාණ කතා ආකෘතියෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ දී මානව විද්‍යාත්මක කරුණු යථාර්ථවාදීමය පදනමකින් ඉදිරිපත් කෙරුණේ සූක්ෂම පදනමකින් බව කිව යුතු ය.

මෙහි දෙවන ප්‍රශ්නය අග්ගඤ්ඤ සූත්‍රයේ අන්තර්ගතයේ ඇති උපයෝගීතාව සාධාරණීකරණය කිරීමේ ගැටලුවට අයත් වන අතර සමාජ විමුක්තිය අමතක කොට පරම නිෂ්ඨාව වන සංසාර විමුක්තිය ජයගත නොහැකි බව බෞද්ධ දර්ශනය විමසීමේ දී පෙනී යයි. ඒ අනුව බුදුදහම පුද්ගල සන්තානගත දුක මෙන් ම සමාජ සංස්ථාගත දුක ද නිවාරණය කිරීම පිණිස මඟ පෙන්වන දහමකි.

සමාජ සංස්ථාගත දුක නිවාරණයෙහි ලා ජාති, කුල, ගෝත්‍රාදි වර්ගවාද, අපරාධ, අයුක්තිය, අසාධාරණය, අසමානතාව, දුප්පත්කම ප්‍රතික්ෂේප කරන බුදුදහම විවිධ අවස්ථාවල දී විවිධ සන්දර්භයෙන් එබඳු සංස්ථාගත දුක් විශෝධනය හා නිරුන්ධනය උදෙසා ගත හැකි උපාය මාර්ග, විසඳුම් ප්‍රායෝගික පදනමින් ගෙනහැර දක්වා ඇත.

අග්ගඤ්ඤ සූත්‍රය වනාහි සමාජ සංස්ථාවන්ගේ ක්‍රම විකාශය මානව විද්‍යාත්මක ව යථාර්ථවාදී පදනමකින් ඉදිරිපත් වන්නේ සමකාලීන සමාජ ක්‍රමය තුළ බ්‍රාහ්මණ ආධිපත්‍ය යටතේ බහුතරයකගේ සමාජ අයිතිවාසිකම් උල්ලංඝනය වෙමින්, සමාජ ක්‍රමයේ විකෘතිතා නිසා සංස්ථාගත පීඩනය තීව්‍ර ව පැවැති වකවානුවක බොහෝ දෙනාගේ හිත සුව පිණිස අර්ථ සම්පන්න ව ගැඹුරු අර්ථයකිනි.

අග්ගඤ්ඤ සූත්‍රයේ අන්තර්ගතය ප්‍රධාන තේමා කිහිපයක් ඔස්සේ අධ්‍යයනයට පාත්‍ර කළ හැකි ය.

 

01. වර්ණ භේද සංකල්පය උපකාරී කර ගනිමින් බ්‍රාහ්මණයන් විසින් තමන් අන් අයට වඩා උසස් බව කියා ගැනීමෙහි සාවද්‍ය බව හෙළි කිරීම.

02. පොළොවෙහි ක්‍රම විකාශය දැක්වීම.

03. සමාජ ප්‍රභවය, විකාශය හා විද්‍යාත්මක චින්තනය.

04. මානව ස්වභාවයෙහි ඇති වන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇති වන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම. යනාදිය යි.

 

මෙම පර්යේෂණ ලිපියෙහි දී සාකච්ඡා වන්නේ උක්ත කී තේමා අතරින් සිවු වැන්න වන මානව ස්වභාවයෙහි ඇති වන වෙනස්කම් හා භෞතික ආර්ථික සාධකයන්හි ඇති වන වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය හෙළි කිරීම පිළිබඳව යි.

ඒ අනුව භෞතික පාරිසරික සාධකවල වෙනස්කම් සදාචාර සංකල්පවලට බලපාන ආකාරය මානව විද්‍යාත්මක ව ආරම්භය හා පරිණාමය සමඟ විග්‍රහ වී ඇති අයුරු අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් අධ්‍යයනය කළ හැකි ය. සදාචාරය, ආචාර ධර්ම හෙවත් ආචාර විද්‍යාව යනුවෙන් ගෙනහැර දැක්වෙන්නේ මානව ගති පැවතුම්, චර්යා, පරමාර්ථ, අධිමුක්ති, අභිප්‍රාය, ජීවන ක්‍රම සහ සංස්ථා යන මේවායෙහි ලා කරනු ලබන ඇගයීම්වල විමර්ශනයක් වශයෙනි.

බෞද්ධ සදාචාර පදනම තුළ දේවාධිකාරියක් දක්නට නොලැබේ. කළ යුතු නොකළ යුතු ශික්ෂා පද පෙන්වා දෙන බුදු සමය පුද්ගල ස්වඡන්දතාවෙුන් සිදු කරන කටයුතුවල අගයන් විපාක, ආනිසංස වශයෙන් පුද්ගලයාට ම පවරයි. මානවයාගේ ආරම්භය, විකාශය භෞතික පරිසර සාධකවලට අනුරූපී ව සිදු වූ අයුරුත් එහි දී මානව ක්‍රියා යහපත - අයහපත, පින - පව ආදී සදාචාරාත්මක සංකල්ප සමඟ බැඳී පවත්නා අයුරුත් අග්ගඤ්ඤ සූත්‍රයේ දී විවරණය වේ.

අග්ගඤ්ඤ සූත්‍රයේ පෙළගැස්ම තුළ පළමු කොටසෙහි දී බ්‍රාහ්මණ වර්ණ භේදයේ නිස්සාරත්වය හා උසස් හා පහත් කුල සඳහා ජන්මයට වඩා කර්මය හේතු වන බව ගෙනහැර දක්වා ඇත. ආචාර විද්‍යානුකූල ව මානවයා විවිධ කුලවලට බෙදීම සාධාරණ වුව ද හුදෙක් උපනූපන් මනුෂ්‍ය වර්ගයා භෞතික සාධක මත වර්ග කොට දැක්වීමේ ඇති අනර්ථ බව මෙහි දී මතු කෙරේ.

විශ්වයේ පරමාර්ථමය වශයෙන් ප්‍රභවයක් පිළිබඳ ව බුදුරදුන් සාකච්ඡා කර නැති වුව ද එහි සාපේක්ෂක වශයෙන් ප්‍රභවයක් හා අභාවයක් පිළිබඳ ව මෙම කොටසේ දී සාකච්ඡා කර ඇත. දිගු කාලයක් ඇවෑමෙන් ලෝකය විනාශ වේ. (සංවට්ට) එවිට ආභස්සර බඹලොව උපත ලබා ජීවත් වන සත්ත්වයෝ ආලෝකය විහිදුවන මනෝමය ශරීරයකින් යුක්ත ව ප්‍රීතිය අනුභව කළහ. දීර්ඝ කාලයකින් අනතුරු ව නැවත මෙම ලොව හටගන්නා අතර (විවට්ට) එම සත්ත්වයෝ ද මෙහි උපත ලබන්නේ ආභස්සර බඹ ලොව පැවැති කායික හා මානසික තත්ත්වයෙන් ම ය.

අග්ගඤ්ඤ සූත්‍රයේ මීළග කොටසේ (පඨවිපාතුභාවො) සඳහන් වන පරිදි පෘථිවිය වනාහි හුදු ජලස්කන්ධයකි (එකොදකි භූතා). අන්ධකාරයෙන් යුක්ත ය (අන්ධකාරො අන්ධකාරතිමියා). සඳ, හිරු අවිද්‍යමාන ය (න චන්දිම සුරියා පඤ්ඤායන්ති). නක්ෂත්‍ර තාරකා නො පෙනේ (න නක්ඛත්තානි තාරකාරූපානි පඤ්ඤායන්ති). දිවා, රාත්‍රි යනුවෙන් වෙනසක් නැත (න රත්තිං දිවා පඤ්ඤායන්ති). වර්ෂ, ඍතු, මාස, අර්ධ මාස නැත (න උතු සංවච්ඡරා පඤ්ඤායන්ති). සත්ත්ව පිරිස තුළ ස්ත්‍රී, පුරුෂ ආදි වශයෙන් භේදයක් නැත (න ඉත්ථිපුමා පඤ්ඤායන්ති). දීර්ඝ කාලයකින් පසු ව දිය මතු පිට ප්‍රණීත සුවඳකින් හා වර්ණයකින් යුතු රස පඨවිය හෙවත් රස පොළොව පහළ විය (සො පඨවි උදකස්මිං සමතානි). මෙම පරිසරයට සාපේක්ෂ ව සත්ත්ව මානසික තත්ත්වය ද යම් ආකාරයක පරිණාමයක් පිළිබිඹු වූ අතර එහි ලා මතු වූ මනෝභාවය වන්නේ ලෝලත්වය හෙවත් තෘෂ්ණාව යි.

රස පොළොව ඇඟිල්ලෙන් දිව ගෑ විට (රසං පඨවිං අංගුලියා සායි) ප්‍රිය උපදවා ගත් සත්ත්වයන් එය දිගින් දිගට ම අනුභව කළ හෙයින් ශරීරය රළු වීම හා ආලෝකය අතුරුදහන් විය. ඉන් අනතුරු ව ඉර, සඳ, තරු පහළ වූ අතර වර්ෂ, ඍතු මාස හා අර්ධ මාස පහළ වෙමින් භෞතික ලෝකයේ ද විපර්යාස ඇති විය. තෘෂ්ණාව පදනම් වූ චරණයකින් යුක්ත සත්ත්වයන් ශරීර වර්ණය පදනම් කරගෙන කණ්ඩායම්වලට බෙදී ගියහ.

රස පඨවිය අතුරුදහන් වීමෙන් අනතුරු ව භූමිපප්පටක (බිම් හතු) නම් සරල ශාඛ විශේෂයක් හටගත් අතර එය අනුභවයේ ස්වභාවය අනුව තවදුරටත් කායික රළු බව, අවපැහැ ගැන්වීම තීව්‍ර වීමත් සමඟ අතිමානය පදනම් කොටගත් වර්ගවාදී පදනම ද වර්ධනය විය. භූමිපප්පටක අතුරුදහන් වීමෙන් අනතුරු ව බදාලතා නැමැති වැල් වර්ගයක් පහළ වූ අතර අනුභවයත් සමග එය ද අතුරුදහන් වූ විට මීළඟට පහළ වූයේ අකට්ඨපාක නම් ස්වයංජාත සහල් විශේෂයක් හට ගත්තේ ය. එය අනුභව කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශරීර රළු බව, පැහැය වෙනස් වීම්වලට ලක් වීමෙන් නො නැවතී ආහාර රටා වෙනස් වීමත් සමග සත්ත්වයා තුළ ජනනේද්‍රියන් හා ඊට අනුකූල ශාරීරික විපර්යාස ද හටගැනිණි.

ස්ත්‍රී-පුරුෂ භාව ඇති වීමත් සමඟ රාගය පදනම් කොටගෙන ස්ත්‍රී-පුරුෂ ආකර්ෂණයෙන් යුතු ලිංගික ආශා පෙරදැරි කොටගත් මෙවුන්දම් සේවනයේ නිරත විය. ප්‍රසිද්ධියේ ම මෙවුන්දම් සේවනයේ යෙදීම දෝෂ දර්ශයෙන් දැකිය හැකි පිරිස් එකල සමාජය තුළ සිටි අතර යහපත, අයහපත තීරණය කර භෞතික පරිසරයට අනුව සදාචාරවත් ව දිවි ගෙවීමේ අනුසස් දුටු ඔවුහු එබඳු ක්‍රියා පහත් යැයි හෙළා දැකීම සඳහා ගොම, අළු, පස් ආදියෙන් ගසා ඔවුනට පරිභව කළහ.

ලිංගික ආශා, මෛථුන සේවනය ආදි ප්‍රාථමික සාධක පදනම් කරගෙන බිහි වූ පවුල් ජීවිතය (ගෘහ ජීවිතය) ආරම්භ වීමත් ආචාර විද්‍යාත්මක ව ස්වකීයීය පෞද්ගලික කෘත්‍ය ඉටු කරගැනීමට ගෘහය නැමැති ඒකකය ආරම්භ වීමත් පොදු දේපළ පරිභෝජන ක්‍රමය පෞද්ගලික දේපළ පරිභෝජන ක්‍රමයක් දක්වා විකාශය වූයේ මේ අවස්ථාවේ දී ය. මමායනය කේන්ද්‍ර කරගත් චර්යා තවදුරටත් තීව්‍රවෙමින් මොවුන් ස්වකීයීය හැල් ඉඩම්වලින් නෙළාගත් ධාන්‍ය ගබඩා කොට පරිභෝජනය කෙරේ. අවධානය යොමු කළ අතර මෙහි ප්‍රතිඵලය වූයේ සහල්වල දහයියා හා කුඩු ඇති වීමත් කැපූ තැන වැවීම අඩු වී භූමිය පාළු වී යෑමත් ය.

මිනිසා මූලික අවස්ථාවේ දී කෘෂිකර්මය නො කළ අතර ස්වාභාවික පරිසරයෙහි ම හටගත් දෑ ආහාරයට ගත් බව මානව විද්‍යාඳයෝ ද පිළිගනිති. භෞතික පරිසරයේ පවත්නා විවිධ දෑ ආහාරයට ගනිත් ම ඒවායේ ගුණ සංරචකවල බලපෑමෙන් සත්ත්වයන්ගේ කායික හා මානසික පදනම් ද වෙනස් වූ බවත් එමඟින් ඔවුන්ගේ චර්යා ද වෙනස් වූ බව අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පැහැදිලි වේ. මෙයින් දොම්නසට පත් වූ ජනයා තම භූමිය රැකගනිමින් අනුන්ගේ කෙත්වලින් සහල් සොරකම් කළ අතර එලෙස නොකිරීමට තර්ජනය කොට පලක් නොවූ හෙයින් එහි දී අවි ආයුධ අතදැරීම් ද දඬුවම ද ගැරහීම ද බොරු කීම ද වර්ධනය විය.

සමාජ පිරිහීම දුටු සියලු දෙනා පාපී, අයහපත්, නරක ක්‍රියාවන් පිටු දැකීම පිණිස ගත් කදිම විකල්පය වන්නේ සියලු දෙනාගේ සම්මතයෙන් වරදට එරෙහි වන, හෙළා දැකිය යුත්තන් හෙළා දැක, ගැරහිය යුත්තන්ට ගරහා, පිටුවහල් කළ යුත්තන් පිටුවහල් කරන්නට සමත් තැනැත්තෙක් තෝරා ගැනීමට තීරණය කළහ. අභිරූපී, දර්ශනීය, සිත් පහදින සුලු, මහේශාක්‍ය පෙනුමකින් යුතු ඔහුට සමාජ වගකීම පවරා වේතනය ලෙස ස්වකීය හැල්වලින් කොටසක් ලබා දුන් අතර සියලු දෙනාගේ සම්මතයෙන් පත් වූ බැවින් හෙතෙම මහාසම්මත (මහාසම්මතො) නම් විය.

මුල දී සමාජ අපචාර, අපරාධවලට එරෙහි ව කටයුතු කළ ද ඉන් අනතුරු ව ඔහුගේ සේවය කෙත්වතු පරිපාලනය කෙරේ (සියලු ප්‍රශ්න පැන නැඟුණේ කෙත් වතු අශ්‍රයෙන් බැවින්) යොමු විණි. එනිසා ඔහු ක්ෂත්‍රීය නම් විය (ඛෙත්තානං අධිපතී ති ඛො වාසෙට්ඨා ඛත්තියො). හෙතෙම ධර්මයෙන් භූමිය පාලනය කළ බැවින් රජු නම් විය (ධම්මෙන පරෙ රඤ්ජෙතී ති ඛො වාසෙට්ඨා රාජා).

ඉන් අනතුරු ව භෞතික පරිසරයේ වෙනස්කම් ස්වකීයීය ආචාර විද්‍යාත්මක චරණය කෙරේ සලකා බැලු පිරිසක් අග්ගඤ්ඤ සූත්‍රයෙන් හමු වේ. ළාමක අකුසල ධර්ම දැක ඒවා බැහැර කිරීමට උනන්දු වූ බැවින් ඔවුන් බ්‍රාහ්මණ නම් විය (පාපකෙ අකුසලෙ ධම්මෙ බාහෙන්තී ති ඛො වාසෙට්ඨා බ්‍රාහ්මණා). වන ගත ව භාවනා හෙවත් ධ්‍යාන වැඩීමට යොමු වූ ඔවුන් ධ්‍යායක නම් වූ අතර වන ගත ව ධ්‍යාන වැඩීමට අසමත් ව භාවනාව අත්හැර මිනිසුන් ගහන ගම්, නියම්ගම්වලට ගොස් ග්‍රන්ථ කරමින් වාසය කළ පිරිස අජ්ඣායක නමින් ද ව්‍යවහාර විය.

විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් ගව පාලනය ආදි විවිධ කර්මාන්තවල නිරත වූවන් හැඳින්වූයේ වෛශ්‍ය වශයෙනි (මෛථුන ධම්මං සමාදාය විස්සුතං කම්මන්තෙ පයොජෙනතී ති ඛො වාසෙට්ඨා වෙස්සා). එසේ ම සමාජගත රෞද්‍ර ගති පැවතුම් පැවති පිරිස් හැඳින්වූයේ ශූද්‍ර නමිනි (ඵද්දාචාරා ඛුද්දාචාරාති ති ඛො වාසෙට්ඨා සුද්දා). ස්වකීයීය වෘත්තිය හා සමාජගත පරිසරය අතහැර පැවිදි වීමෙන් අනගාරික ජීවිතයක් ගත කළ වූවන්ගෙන් ශ්‍රමණ (සමණො) ලෙස හැඳින්විණි.

අග්ගඤ්ඤ සූත්‍රය අවසානයේ දී බුදුරදුන් පෙන්වා දෙන වැදගත් ම කරුණ වනාහි කවර පරිසර තත්ත්වයක් යටතේ ගිහිගෙයි වසමින් සුචරිතයෙහි හැසිරෙන කවුරු වුව ද සුගතියෙහි උපත ලබන බවත් දුසිරිතෙහි හැසිරෙන් කවුරු වුව ද දුගතියෙහි උපදින බවත් ය.

සමාජ ආරම්භය, විකාශය හා සම්බන්ධ පරිණාම ක්‍රියාවලිය පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයෙහි ඉදිරිපත් වන පුරාණය නූතන මානව විද්‍යානුකූල නිරීක්ෂණවලට සමගාමී ව වැදගත්කමක් දරන්නේ මානව ශිෂ්ටාචාරයෙහි ආර්ථික, දේශපාලනික සංස්ථාවන්ගේ ගලා යෑම යථාර්ථවාදී පදනමකින් යුතු ව පිළිගත හැකි විවරණයක් ඉදිරිපත් වන නිසාත් අධිභෞතිකවාදී සංකල්ප දක්නට නො ලැබීම නිසාත් ය. මහජනයාගේ අවශ්‍යතා මඟින් පැන නැඟි ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ක්‍රමයකින් ප්‍රායෝගික සමාජ ගැටලු විසඳාගැනීම විද්‍යාත්මක ව හැදැරීමට මෙම සූත්‍රය ඉවහල් වන බව ද කිව යුතු ය.

ප්‍රතීත්‍ය සමුත්පන්න පදනමින් (හේතු-ඵල විද්‍යාත්මක ව) ඉදිරිපත් වන සමාජ සංස්ථාවේ විකාශය පිළිබඳ මෙම පුරාණ කතාව වාර්තාගත ඉතිහාසයට අයත් නො වන ප්‍රාග් ඓතිහාසික ආදි කල්පික සමාජයක් පිළිබඳ න්‍යායානුකූල යථාර්ථවාදී විශ්ලේෂණයක් බව දැක්විය යුතු ය.

එබැවින් මෙහි අන්තර්ගත කතා පුවතෙන් ධ්වනිත වන යථාර්ථවාදී න්‍යාය වෙත අවධානය යොමු කොට බෞද්ධ මානව විද්‍යාත්මක විවරණය නිවැරුදි ව අවබෝධ කරගැනීම එක් අතකින් ද අනෙක් අතින් වෙනස් වන භෞතික පාරිසරික තත්ත්වවල දී සාදාචාරාත්මක රීතීන් ද වෙනස් වන බව පැහැදිලි ව ම අවබෝධ කර ගත හැකිය.

Comments