
ඉතිහාසය හාරා ඇවිස්සීමටත් ඒ පිළිබදව හැදෑරීමටත් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ තදබල ආශාවකි.
ඉතිහාසයේ සිදු වී ඇති දේ මැනවින් තේරුම්ගෙන වර්තමානයේ යහපත්ව ජීවත් වෙමින් අතීතයේ හා වර්තමානයේ වූ දේ මඟින් අනාගතය මැනවින් සකස් කරගැනීමට හැකි නිසා ඉතිහාසය හැදෑරීමත් ඒ ගැන සොයා බැලීමත් ඉතා වැදගත් වෙයි.
ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී පුරාවිද්‍යාව ඉතා වැදගත් විද්‍යාවකි. ඊට හේතුව වන්නේ ඓතිහාසික වශයෙන් බොහෝ දේ සනාථ කෙරෙන ලිපි ලේඛන ඇතත් ඒ ඓතිහාසික සාධක බොහෝ අවස්ථාවල දී පුරාවිද්‍යා සාධක මඟින් තහවුරු වී නොතිබීමයි.
මේ අඩුපාඩුව පිළිබඳ බොහෝ කතිකා ඇති පරිසරයක දී චීනයේ විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යාව පිළිබද මහාචාර්යවරයෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මේ දිනවල මන්නාරමට පැමිණ ඉතිහාසය පිළිබදව ගවේෂණාත්මක නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටිති.
ඔවුන් පැමිණ සිටින්නේ මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයටයි. දෙමළ බසේ හුරුවට මාන්තෙයි යනුවෙන් ව්‍යවහර කළත් ඇත්ත වශයෙන්ම මන්නාරමේ මාන්තෙයි යනු එදා ලක්දිව මාතොට ප්‍රදේශයයි. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධියට ලක්ව තිබූ උතුරේ එක් වරායක් වූයේ මේ මාතොට ප්‍රදේශයයි.
මන්නාරමේ මාතොට ප්‍රදේශයට පැමිණ සිටින චීන මහාචාර්යවරයා ඇතුළු පිරිස එක් එක් මාදිලියේ උපකරණ යොදාගනිමින් කෙරෙන නිරීක්ෂණ දුටු බොහෝ පිරිසක් කියා සිටියේ මන්නාරමට චීනුන් පිරිසක් පැමිණ ඉඩම්වල කුමක්දෝ කරන බවයි. ඔවුන්ගේ මතය හා සැකය වූයේ මන්නාරමේ කොටසක් චීනයට විකුණා ඇති දැයි යන තත්ත්වයයි.
මේ ආරංචිය ඔස්සේ තොරතුරු සොයමින් බොහෝ දෙනෙකු සමඟ කතාබහ කරද්දී අවසානයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය මංගල කටුගම්පොළ මහතාට කතා කිරීමට අවස්ථාව උදා විය.
''මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයට එහෙම චීන පිරිසක් පැමිණ සිටිනවා තමයි. ඒ අය කරන්නේ කැණීමක් නෙමෙයි. මතුපිට ගවේෂණයක් කිරීම තමයි මේ දිනවල සිදු කරන්නේ. කැණීමක් කියන්නේ ඊට වඩා විශාල වූ දෙයක්.
කැලණිය විශ්වවිද්‍යාලය චීනයේ සිචුවාන් (SICHUAN) විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කොට තිබෙනවා. මේ ගිවිසුම 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ අවබෝධතා ගිවිසුමට අනුව චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඉතා ඈත අතීතයේ පැවති සබඳකම් පිළිබඳ දීර්ඝ ලෙස හා ගැඹුරින් අධ්‍යනයක් කෙරෙනෙවා.
මේ අවබෝධතා ගිවිසුම නිසා සිදු වන වැදගත් සිදුවීම් කීපයක්ම තිබෙනවා. ඉන් ප්‍රමුඛතාවක් ගන්නේ රටවල් දෙක අතර ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට හුවමාරු වීමක් . පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
මේ සියල්ලටම වඩා ඉතාම වැදගත් වන කාරණය චීනයෙන් මේ ගවේශණ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලැබීම. ඒක විශාල ප්‍රයෝජනයක් . මොකද ඒ සඳහා වැය කිරීමට අපට මුදල් ප්‍රතිපාදන නැහැ. චීන රජය මේ සම්බන්ධයෙන් මූල්‍යාධාර ලබා දෙනවා.
තවත් පැත්තකින් චීනයෙන් නවීන තාක්ෂණ ක්‍රමවේද අපිට මේ අවබෝධතා ගිවිසුම මඟින් ලැබෙනවා.
මේ අවබෝධතා ගිවිසුමට අනුව චීනය කටයුතු කරන කොට බොහෝ දෙනෙකුට ඇති වන සැකයක් තමයි චීනයෙන් මේ රටට ඇවිත් මෙහෙ හාරනවා කියන කතාව . ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් වගේම පදනම් විරහිත කතාවක්.
මෙතැනදි සිද්ධ වෙන්නේ රටවල් දෙකම සාකච්ඡා කරලා අවශ්‍ය ගවේෂණ මොනවාද යන්න තීරණය කිරීමෙන් පසුව ඒ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමයි.
ආචාර්ය මංගල කටුගම්පොළ මහතා එම අවබෝධතා ගිවිසුම පිළිබඳ කරුණු ඉදිරිපත් කළත් උතුරේ දෙමළ දේශපාලනඥයෝ මේ කාලවකවානුවේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මහවැලි ව්‍යාපාරයත් කෙරෙහි බද්ධ වෛරයකින් පසුවෙති. ඒ මේ ආයතන දෙක ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑමට පැමිණෙන හතුරන් ලෙස දෙමළ ජාතික සන්ධානය හංවඩු ගසා තිබීම නිසාය.
මන්නාරම දිස්ත්‍රික්කයට තවමත් මේ තත්ත්වය උදා වී නැතත් මාන්තෙයි ප්‍රදේශයේ ගවේෂණ කටයුතු ආරම්භ වීමත් සමඟම මේ සම්බන්ධයෙන් යම් යම් විරෝධතා මතු වන්නට පටන්ගෙන ඇත.
මුලතිව් කුරුදුමලේ පුරාවිද්‍යා කාර්යාලයක් විවෘත කිරීමට බුදු පිළිමයක් ද රැගෙන පිරිසක් ගිය අවස්ථාවේ දී දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ඊට එරෙහි වූයේ ඉහත කී සතුරු බිය නිසාමය. එහෙයින් මන්නාරමේ මාන්තෙයි පළාතේ චීන ජාතික මහාචාර්යවරයෙකු හා පිරිසක්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා ඔවුන්ගේ සහභාගිත්වය මත සිදු කෙරෙන මේ කටයුතු සදහා අවසර ලබාගැනීම කුමන ආකාරයකින් සිදුවන්නේ ද යන්න පිළිබඳ ආචාර්ය මංගල කටුගම්පොළ මහතාගෙන් විමසීමට සිදු විණි.
මේ අවසර ලබාගැනීම් සියල්ලම සිදු කරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. ඒ නෛතික අවසර සියල්ල නීත්‍යනුකුලව ලබාගැනීමෙන් පසුව මේ කටයුතු සිදු වන නිසා ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ.මෙතැන දී චීනයට අවශ්‍ය විදිහට ඔවුන් අවසරයක් ලබාගෙන කරන ක්‍රියාවක් නොවෙයි. අපි රටවල් දෙකම සාකච්ඡා කරලා අදාළ ව්‍යාපෘතිය තෝරාගත් පසුව අවසර ලබාගැනීම සිදුකරනු ලබන්නේ අප විසිනුයි.
ඒ සදහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණික උපදෙස් සියල්ල ලබාදෙන්නේ චීනය මඟිනුයි. චීන රජයත් චීනයේ මේ විශ්ව විද්‍යාලයත් ලංකාවේ තවත් පළාත්වල ගවේෂණ කරනු ලබන වෙනත් විශ්වවිද්‍යාලත් මේ උත්සහ කරන්නේ අතීතයේ දී චීනයත් ලංකාවත් අතර පැවති සබඳකම් මොනවාද ඒ සබඳකම්වල ස්වභාවය කෙබඳු දැයි හදුනාගැනීමටයි.
මන්නාරමේ මාන්තෙයි පළාතේ චීනයේ සිචුවාන්(SICHUAN) විශ්වවිද්‍යාලය විසින් සිදු කරනු ලබන මේ ගවේෂණයේ දී චීනයේ නිෂ්පාදිත මැටි බඳුන් පිළිබඳ විශාල වශයෙන් පර්යේෂණයක් කරනවා. මන්නාරමේ මාන්තෙයි පළාතේ පමණක් නොවෙයි ලංකාවේ බොහෝ පළාත්වල සිදු කරන ලද ගවේෂණවල දී චීනයේ නිෂ්පාදිත විවිධ මැටි බඳුන් හා කාසිත් පබළු වැනි තවත් දේවලුත් හමු වී තිබෙනවා.
මන්නාරමේ මාන්තෙයි පළාතේ තත්ත්වය ඊට වඩා වෙනස් බවක් පේනවා. ඒ පළාතේ පොළොවේ ඇවිදගෙන යන කොටත් මැටි බඳුන් වල කොටස් පබළු වගේ දේවල් පොළොව මතුපිට පෙනෙන්නට තිබෙනවා. ඒවා පරීක්ෂා කිරීම සදහා චීනයෙන් අති නවීන උපකරණ රැගෙනවිත් තිබෙනවා. එම මැටි බඳුන් කවර කාලයක චීනයේ කුමන පළාතක නිෂ්පාදනය වී තිබේ දැයි යන්න පරීක්ෂා කොට බැලීමට ඒ යන්ත්‍ර මඟින් හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම ඒවා තැනීමට යොදාගන්නා ලද රසායන ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකියාවක් පවතිනවා.
එමඟින් සිදු වන්නේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර පැවති එම සබඳකම් වලට මාන්තෙයි එහෙමත් නැති නම් එදා මාතොට වූ ප්‍රදේශය පවත්වාගෙන ගිය සබඳකම් මොනවාද යන්න පැහැදිලිව හඳුනාගැනීමට අවස්ථාව උදා වීමයි.
ඒ ඔස්සේ එම සබඳකම් පවත්වාගෙන ගියේ කුමන අවශ්‍යතා මත ද යන්න තහවුරු කරගැනීමටත් අවස්ථාව උදා වෙනවා. මේ සාධක රටවල් දෙක සඳහාම ඉතාම වැදගත් වනවා. ඒ මක් නිසා ද කියතොත් ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු ඓතිහාසික සාධක මඟින් ඔප්පු වී තිබෙනවා. නමුත් ඒවා පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් මෙතෙක් තහවුරු වී නැහැ. මේ ගවේෂණයෙන් ලබාගන්නා තොරතුරු ඔස්සේ ඒ සිද්ධීන් පුරාවිද්‍යාත්මකව ඔප්පු කරගැනීමට හැකියාව ලැබෙනවා.
උදාහරණයක් විදිහට ගත්තොත් චීනයේ දේශගවේෂක භික්ෂූන්වහන්සේ නමක වන පාහියන් භික්ෂුව ශ්‍රී ලංකාවේ සංචාරය කොට දේශාටන වාර්තා තැබූ බවට ඉතිහාසයෙන් ඔප්පු වී හමාරයි. නමුත් ඒ සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක සාධක අල්පයි.
චීනයත් ලංකාවත් අතර අතීතයේ පැවති සම්බන්ධකම් පිළිබඳ ගවේෂණයන් සිදු කොට යම් යම් නිගමනවලට පැමිණ ඇතත් ඒවා නිසි ලෙස ලේඛනගත වීමක් මෙතෙක් සිදු වී නැහැ. මෙවර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. අවබෝධතා ගිවිසුමට අනුව දෙරටම එකතු වී සුචියක් සකස් කිරීමට සූදානම් වෙනවා. ඒවගේ බොහෝ දේ ඉදිරි කාලයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා''
ආචාර්ය මංගල කටුගම්පොළ මහතා පැවසූ අන්දමට මන්නාරමේ පුරාවස්තු දෙස අවධානය යොමු කරන විට මාන්තෙයි ලෙසින් වර්තමානයේ දී හඳුන්වනු ලබන අතීතයේ දී මාතොට ලෙසින් සලකන ලද ප්‍රදේශයෙන් හමු වී ඇති නටබුන් අති විශාලය.
වසර තිහක යුද කාලය තුළ ඒ පුරාවිද්‍යා ස්ථාන කාලයේ වැලි තලාවට හසුව තිබේ.
නමුත් පුරාවිද්‍යාඥ ජෝන් කාසල් මහතා ඇතුළු කණ්ඩායම් විසින් මේ පළාත්වල කරන ලද කැණීම් හා ඉන් ලබාගන්නා ලද තහවුරු වූ සාක්කිවලට අනුව එදා මාතොට වෙළද නගරයක් වශයෙන් පැවති බව සඳහන් වේ.
රාජධානිය අනුරාධපුරය වූ කාල වකවානුවේ දී මාතොට සිට අනුරාධපුරය දක්වා මංමාවත් වැටී තිබිණි. ඉතාම දියුණු හා සශ්‍රීකත්වයක් මාතොට ප්‍රදේශයේ තිබී ඇත.
චීනය මේ කාලවකවානුවේ දී ශ්‍රී ලංකාව සමඟ විවිධ අන්දමේ සම්බන්ධකම් පවත්වා ඇති බව දැනට මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයට පැමිණ සිටින චීන මහාචාර්යවරයා සේවය කරන සිචුවාන් (SICHUAN) විශ්වවිද්‍යාලය තහවුරු කරගෙන තිබේ.
මේ ක්‍රියාවලියේ දී ඔවුහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා ඒ කාර්යය ඉටුකරගැනීම විනා ඔවුන් මන්නාරමට පැමිණ ඉවක් බවක් නැතිව ගවේෂණ සිදු කිරීමක් නොකරති.
චීනයේ සිචුවාන්(SICHUAN) විශ්වවිද්‍යාලය මන්නාරමේ ගවේෂණ සිදු කරනු ලැබුවත් ඒ සදහා අධීක්ෂණය හා දායකත්වය සපයනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ සහභාගිත්වය යටතේය.
මේ දිනවල මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයේ කෙරෙන ගවේෂණ කටයුතුවල දී චීන කණ්ඩායම සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියාව මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල ගවේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාස මහතා ද කටයුතු කරයි.
දැනට මේ පළාතේ සිදු වන දේ පිළිිබඳ අපි ඔහු සමඟ ද තොරතුරු හුවමාරු කරගත්තෙමු.
''මන්නාරමේ මාන්තෙයි පළාතේ මේ දිනවල සිදු වන්නේ මූලික ගවේෂණ කටයුතු සමුදායකුයි. එහෙම නැතුව කැණීම් කටයුතු නෙමෙයි. මේ ගවේෂණ ක්‍රියාවලිය හඳුන්වන්නේ ''විදුම් නියැදි'' ක්‍රමය වශයෙනුයි. විශේෂ සියුම් උපකරණයක් මඟින් අතින් පොළොව සිදුරු කෙරෙනවා. ඒ සිදුරු කිරීම සදහා භාවිත කරන උපකරණයේ කූර ඉල්ලම් කුරක් වගෙයි. ඒ ඉල්ලම් කූර පොළොව යටට ගියාම ඒකේ පොළොව යට තිබෙන බොහෝ දේ තැවරෙනවා.
පබළු කැබලි.මැටි බදුන් වල කොටස් ආදී දේ මේ කූරේ ගෑවුණාට පසුව නවීන යන්ත්‍ර මඟින් ඒ ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කරනවා.
දැන් මේ වෙන කොට එහෙම කොටස් විශාල ප්‍රමාණයක් හමු වෙලා තියෙනවා. ඒවා පරීක්ෂණ කටයුතු සදහා යොමු කරලා තිබෙනවා. මේක ඉතාම පරෙස්සමෙන් ඉතාම සෙමෙන් ඉවසීමකින් යුතුව සිදුවන ක්‍රියාවලියක්.
මේ උපකරණය මඟින් පොළොව හාරනකොට බොහෝ දෙනෙක් හිතන්නේ නිධන් තියන තැන් හොයනවා කියලයි. පස්සේ තමයි ඇත්ත තත්ත්වය තේරුම්ගන්නේ.
මේ ගවේෂණ කටයුතු සිදු කිරීමට පැමිණ සිටින මහාචාර්යවරයා ඇතුළු කණ්ඩායම ඉතාම සුහදශීලියි. මිත්‍රශිලියි. ඉතින් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව අපිත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කරගෙන යනවා.''
කෙසේ හෝ වේවා අපි මුලින් සඳහන් කළ පරිදිම ඉතිහාසය සොයා යෑම ඉතා වැදගත් වෙයි. ඊට හේතුව එමඟින් කාට හෝ වැදගත් තොරතුරු ඉස්මතු වීමයි
මන්නාරමේ මාන්තෙයි පළාතේ සිදු වෙමින් පවතින පුරාවිද්‍යා ගවේෂණවලින් ද ජාතීන් දෙකක් සතුව තිබූ නෑදෑකම් එළි වනවාට කිසිදු සැකයක් නැත.