මහ බැංකුව දකින වසරේ ආර්ථික ගමන් මග | Page 2 | සිළුමිණ

මහ බැංකුව දකින වසරේ ආර්ථික ගමන් මග

දෙස් විදෙස් අභියෝග රාශියක් මැද ගෙවුණු වසරට වඩා, එළැඹි වසරේ ර‍ෙට් ආර්ථිකය පිළිබඳ සුබවාදි බලාපොරොත්තු තබා ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරයි.

වසර 2018 දී ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීය ආර්ථික, මුල්‍ය සහ දේශපාලනික තත්ත්වයන් හේතුවන් අභියෝග රාශියකට මුහුණ දුන්නේය. දේශීය අභියෝග ‍රාශියක් ද පැවැතුණි. වසර අවසාන කාර්තුවේදී ඇති වූ දේශපාලන අවිනිශ්චිතභාවය සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝගය තවත් වැඩි කළ බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

මෙයින් වසර 12 කට පෙර එනම් වසර 2007 දී ඇරඹි මේ ආකාර ප්‍රතිපත්ති පෙර දැක්ම එළිදැක්වීමේ සම්ප්‍රදාය ඒ අයුරින් ම සුරකිමින් මෙවර වසර 2019 පෙර දැක්ම දිග හැරිණි.

එම දිග හැරුම තුළ වසර 2018 රටේ ආර්ථිකයේ පැවැති තත්ත්වය මුහුණ දුන් අභියෝග, එළැඹි වසරේ රට මුහුණ දෙන ආර්ථික දේශපාලන අභියෝගවල ප්‍රතිඵල හා අනාගතයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අංශ කිහිපයක සිදු කරන නව කාර්යය පැහැදිලි කිරීමක් ද අන්තර්ගත විය.

අපි පළමුව වසර 2018 ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව අධිපතිවරයා කළ කතිකාව විමසා බලමු.

විවිධ හේතු නිසා වසර 2017 රටේ ආර්ථික වර්ධනය මන්දගාමී විය. එම තත්ත්වය වසර 2018 දක්වා ද අඛණ්ඩව පැවැතුණි. ඒ අනුව වසර 2018 රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3.0 ක් වනු ඇත. වසර 2018 පැවැති යහපත් කාලගුණික තත්ත්වය කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වූ අතර, සේවා අංශයේ කටයුතු වලද පුළුල් වර්ධනයක් වාර්තා කෙළේය. කෙසේ වුවද 2018 වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පැවැති මන්දගාමි ක්‍රියාකාරිත්වය හේතුවෙන් කාර්මික අංශයේ කටයුතුවල වර්ධනය අඩුවිය. නිතර ඉහළ පහළ යන ආහාර මිල ගණන්වල හා පරිපාලිත මිල ගණන්වල සංශෝධන හේතුවෙන් තාවකාලික වශයෙන් ඉහළ පහළ යෑම් මැද වුවද 2018 වසරේදි පාරිභෝගික මිල උද්ධමනය අඩු මට්ටමක පැවැතුණි. උද්ධමනය වසර 10 ක් පුරා තනි මැද අංගයක ස්ථායීව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් විවිධ ක්‍රියාමාර්ග මඟින් හැකිවී තිබේ.

අපේ ප්‍රධාන ආර්ථික ගැටලු දෙකක්

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන ප්‍රධානම ගැටලු දෙක වනුයේ ඉහළ අයවැය හිඟය සහ ආනයන වියදම් සහ අපනයන ආදායම් අතර පවතින දැඩි, පුළුල් වෙළෙඳ හිඟයයි. මේ රටට දරා ගත නොහැකි මට්ටමේ පවතින ඉහළ අයවැය හිඟය හා වෙළෙඳ හිඟය සමනය කර ගැනීමට වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකොට ර‍ෙට් ආර්ථික වර්ධනය වේගවත් කළ යුතුමය.

වසර 2018 රාජ්‍ය මුල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය මිශ්‍ර කාර්ය සාධනයක් වාර්තා කෙළේය. ආදායම් රැස් කිරීමේ අපේක්ෂිත මට්ටමට වඩා අඩුවීම හේතුවෙන් 2018 වසරේදී ඉලක්ක ගත අයවැය හිඟය ළඟා කර ගැනීම අභියෝගාත්මක වේ. කෙසේ වුවද වසර 2018 දී අඛණ්ඩව දෙවැනි වරටත් ප්‍රාථමික ගිණුමේ ශේෂයේ අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කැරේ. මෙලෙස අතිරික්තයක් වාර්තා වනුයේ වසර 1955 පසු තුන්වැනි වතාවටය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ආරම්භ කොට ඇති නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය Flexible Inflation Targeting (FIT) වැඩපිළිවෙළ වසර 2020 වන විට වඩාත් ශක්තිමත් කොට නව මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම්ය. අඩු උද්ධමන මට්ටමක් පවත්වාගෙන යෑම සඳහා මහබැංකුවේ බලතල ශක්තිමත් කිරීමට අවශ්‍ය කරනු ලබන නීතිමය සංශෝධන සකස් කිරීම අප විසින් ආරම්භ කොට ඇත.

ගෙවුම් ශේෂ දුෂ්කරතා

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩිව අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා කළ යුතු දිගුකාලීන විසඳුම වනුයේ ‍ඩොලරයට පවතින දැඩි ඉල්ලුම සමනය කිරීමට පියවර ගැනීමය. දැනටමත් ඉහළ සහ ජාත්‍යන්තර පොලී අනුපාතික හමුවේ විදේශ ප්‍රාග්ධනය පිටට ගලායෑම් සිදුවේ. එය වළක්වා ගත යුතුය. අප රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ ප්‍රමුඛතාවහිමි විය යුත්තේ අපනයන ආදායම් වැඩිකර ගැනීම හා ඍජු විදේශ ආයෝජන ඉහළ දමා ගැනීමට ය. එක්සත් ජනපද ඩොලර් බිලියන 2 - 3 අතර ප්‍රමාණයක වාර්ෂික ඍජු විදේශ ආයෝජන සමඟ අවම වශයෙන් සියයට 10 ක පමණ අපනයන වර්ධනයක් සමඟින් සැලකිය යුතු ප්‍රගතියක් මේ අංශයේ අත්කරලීම අත්‍යවශ්‍ය කාර්යකි. කෙටිකාලීන අවදානම් සහගත තත්ත්වය දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු බවට පත්වීම වැළැක්වීමට ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමට අවශ්‍ය කරනු ලබන තිරසාර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. සංචාරක ඉපැයීම් හා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ වැඩිකර ගත යුතුය. මහ බැංකුවේ විදේශිත සංචිත කළමනාකරණ කටයුතු, ලෝක බැංකුවේ සංචිත උපදේශන හා කළමනාකරණ වැඩසටහනෙහි සහාය ඇතිව සංවර්ධනය කරන ලද උපාය මාර්ගික වත්කම් වෙන් කිරීමේ රාමුව මත පදනම් කොට තවදුරටත් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ දුෂ්කරතා හේතුවෙන් සහ රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය සැපයීම සඳහා වසර 2015 තුළදී මෙරටට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙතින් වසර තුනක විස්තීරණ ණය පහසුකමක් ලැබුණි. දැනටමත් එම පහසුකමින් වාරික පහක් අප වෙත ලැබී ඇත. පසුගිය සති කිහිපය තුළ රටේ පැවැති තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව අත්කර ගනිමින් පැවැති ප්‍රගතියෙහි යම් ප්‍රමාදවීමක් සිදුව ඇති බව දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දියුණුව උදෙසා නව විදේශ විනිමය පනතක්, නව බැංකු පනතක් ගෙන එනු ලැබේ. මීට අමතරව මෙරට බැංකු හා මුල්‍ය පද්ධතියේ විශ්වාසනීයත්වය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර රාශියක් මේ වසරේදි ගැනීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.

ව්‍යවහාර මුදල් කළමනාකරණය

තාක්ෂණික වශයෙන් දියුණු මුදල් නොවන ගෙවීම් ක්‍රම‍වේද භාවිතය වැඩිවෙමින් තිබුණද, ආර්ථිකයෙහි ප්‍රසාරණය හමුවේ 2018 වසරේදී මුදල් නෝට්ටු සහ කාසිවලට පැවති ඉල්ලුම ඉහළ ගියේය. 2018 වසරේදී, අප විසින් නව කාසි නිකුතුවක් සිදු කළ අතර, සමරු මුදල් නෝට්ටුවක් සහ සමරු කාසියක් ද නිකුත් කර ඇත.

ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු සහ ක්‍රියාවලිය ඉදිරියේදී වැඩිදියුණු කිරීම සඳහා රාජගිරියේ බැංකු විදුපියස ආශ්‍රීතව නව ආරක්ෂිත ගබඩාවක් ඉදිකිරීමේ කටයුතු අරඹා ඇත. 2019 වසරේදී මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මැදිකාලීන වශයෙන්, මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ මුදල් නෝට්ටු පිරි සැකසුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා, නව යන්ත්‍ර සූත්‍ර හා මෙවලම් හඳුන්වා දීම මගින් පවතින මෙහෙයුම් ක්‍රියාවලිය යළි සැලසුම් කිරීමට කටයුතු කරමින් සිටිමු. මුදල් නෝට්ටුවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා 2021 වසරේදී නව මුදල් නෝට්ටු මාලාවක් හඳුන්වා දීමට සැලසුම් කරන්නෙමු. කාසි බෙදාහැරීමට සහ කාසි නිකුත් කරන යන්ත්‍ර හඳුන්වා දීමට සුදුසු යාන්ත්‍රණයක් ඇති කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇත. තවදුරටත්, මුදල් ප්‍රවාහනය සිදු කරන සමාගම් සඳහා සවිමත් අධීක්ෂණ පද්ධතියක් හඳුන්වා දෙන අතර, හදිසි අවස්ථාවල දී මුදල් ගබඩා කිරීමට හැකි වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය කාර්යාලවල විකල්ප ගබඩා පහසුකම්වල ධාරිතාව ඉහළ නැංවීමට අදහස් කර ඇත.

රාජ්‍ය ණය කළමනාකරණය

රාජ්‍ය මූල්‍ය නියෝජිත වශයෙන් මහ බැංකුව රාජ්‍ය ණයෙහි තිරසාර බව තහවුරු කරන අතරම, අඩු අවදානම් මට්ටමක් සහිතව අවම පිරිවැයක් යටතේ රජයට අවශ්‍ය මූල්‍යනය සිදු කිරීම තහවුරු කිරීම සඳහා 2018 වසරේදී ප්‍රතිපත්ති ගණනාවක් හඳුන්වා දෙන ලද අතර, රාජ්‍ය ණය නිකුත් කිරීම, ණය සේවාකරණය සහ කළමනාකරණය විචක්ෂණශීලීව හා විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව සිදු කළෙමු.

2019 වසරේදී වෙළඳපොළ සහ ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට අදහස් කර සිටිමු. 2018 මාර්තු මාසයේදී සක්‍රීය වගකීම් කළමනාකරණ කාර්යයන් සඳහා අවශ්‍ය පසුබිම සකස් කළෙමු. මුදල් අමාත්‍යාංශයේ ස‍හයෝගයද සහිතව අනාගත ණය ලබාගැනීම් සඳහා වගකීම් කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට දැනටමත් කටයුතු කරමින් සිටින අතර, අනාගත ණය වගකීම් සපුරාලීම සඳහා ණය ලැබීම් ඒ සඳහා පමණක්ම වෙන් කරන ලද ගිණුමක් තුළ පවත්වා ගැනීම සඳහා කටයුතු කෙරේ.

සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය

2018 වසර තුළදී, වෙළඳපොළ තත්ත්වයන්ට ගැළපෙන පරිදි ආයෝජන උපායමාර්ගය හැඩගැස්වීම මඟින් ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා සේ.අ.අරමුදලෙහි කළමනාකරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරිණ. ආයෝජන ක්‍රියාකාරකම්වල වගවීම හා විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින්, සේ.අ.අරමුදලෙහි සමස්ත අවදානම් කළමනාකරණ රාමුව වැඩිදියුණු කිරීමට ද පියවර කිහිපයක් ගෙන ඇත. මෙම ක්‍රියාවලියෙහි එක් අංගයක් ලෙස, නව ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශයක් සහ ආ‍යෝජන මාර්ගෝප‍ෙද්ශ හඳුන්වා දෙන ලදී. ආ‍යෝජන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වූ සේ.අ.අ.ආයෝජන කමිටුව අමතරව, සේ.අ.අ.ආයෝජන අධීක්ෂණ කමිටුවක් පිහිටුවීම මගින් සේ.අ.අ.අවදානම් කළමනාකරණය පිළිබඳ පාලන ව්‍යුහය ද ශක්තිමත් කරන ලදී.

2017 විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද නව නියාමන, නියෝග සහ විධාන සඳහා පාර්ශ්වකරුවන් විසින් දක්වනු ලබන ප්‍රතිචාර සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින අතර, නියාමනවල පැහැදිලිභාවය වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් එම නියාමන සරල කිරීමේ අරමුණ ඇතිව ඒවා යළි සලකා බැලීමට ප්‍රතිපත්ති මත පදනම් වූ පර්යේෂණද සලකා බලා සර්ව ආර්ථික විශ්ලේෂණ මත පදනම්ව ප්‍රාග්ධන ගනුදෙනු ලිහිල් කිරීම යළි සලකා බැලීම සඳහා පියවර ගැනීමට අදහස් කරන්නෙමු. අවිධිමත් වෙළඳපොළ කටයුතු අවම කිරීමට සහ වෙළඳපොළ සාමාජිකයන් අතර හිතකර තරගකාරීත්වයක් ඇති කිරීම සඳහා මුදල් හුවමාරු ව්‍යාපාර සඳහා අවසර ලබා දීමට අවශ්‍ය නිර්ණායක සමාලෝචනය කිරීමටද අපි සැලසුම් කරන්නෙමු. විදේශ විනිමය මිලදී ගැනීම් සහ විකුණුම්වලට අදාළ දත්ත ග්‍රහණය කර ගැනීම සඳහා නවතම තත්කාලීන විදේශ විනිමය වාර්තා කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ පද්ධතියක් වැඩිදියුණු කිරීම මඟින් අධීක්ෂණ කාර්යය තවදුරටත් ශක්තිමත් කෙරේ. රටවල් අතර සහ රට තුළ සිදු කරන විදේශ මුදල් ගනුදෙනුවලට අදාළ සියලු දත්ත ලබා ගැනීමේ අරමුණින්, පුළුල් ජාත්‍යාන්තර ගනුදෙනු වාර්තා කිරීමේ පද්ධතියක් (International Transactions Reporting System/ITRS ) ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන්නෙමු. මේ අතර, විනිමය ක්‍රියාකාරීත්වයට අදාළ අනවසර සහ නීති විරෝධී ක්‍රියා මැඬලීම සඳහා වන පැහැදිලි විධාන දැනට පවතින විදේශ විනිමය පනතේ නොමැති වීම හේතුවෙන්, අනවසර විදේශ විනිමය වෙළඳපොළ කටයුතු සුපරීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය දෙපාර්තමේන්තුව බලාත්මක කරමින් විනිමය පාලන පනත සඳහා බලතල කිහිපයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් අප විසින් කටයුතු කරනු ඇත.

මූල්‍ය කාර්ය සාධක බළකාය සමඟ එකඟ වූ පරිදි ක්‍රියාකාරි සැලසුමේ යම් ප්‍රගතියක් අප විසින් අත්පත් කරගෙන ඇති අතර, 2019 වසරේ මැද භාගය වන විට මූල්‍ය කාර්ය සාධන බළකායේ “අළු ලේඛනයෙන්” ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට අපේක්ෂා කරන්නෙමු.

මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීමේ අරමුණින්, විශේෂයෙන් විධිමත් මූල්‍ය අංශය සඳහා ප්‍රවේශ විය. නොහැකි කණ්ඩායම් ඉලක්ක කොටගෙන මූල්‍ය සාක්ෂරතා සහ කුසලතා සංවර්ධන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. 2019 වසරේදී මෙම කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීම මහ බැංකුවේ අභිප්‍රාය වේ.

කෘෂි, කාර්මික සහ සේවා යන අංශවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව සහතික කරමින්, නිෂ්පාදන මත පදනම් වූ ආර්ථික කටයුතු සඳහා දිරිගැන්වීම් කරනු ලබන අතර, විධිමත් මූල්‍ය අංශයෙන් පරිබාහිර කණ්ඩායම් විධිමත් මූල්‍ය අංශය තුළට ගෙන එමින්, අන්තර්ගත හා තුලනාත්මක ආර්ථික වර්ධනයක් සඳහා උපකාර වීමට 2019 වසරේ මැද භාගය වන විට ජාතික මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද මහ බැංකු අධිපතිවරයා පවසයි.

Comments