යුද්ධයක් නැති උතුරේ යුද මෙහෙයුමක් | Page 3 | සිළුමිණ

යුද්ධයක් නැති උතුරේ යුද මෙහෙයුමක්

උතුරේ ජල ගැල්මෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම අවසන්ය.

අවතැන්වූ සියලුම දෙනා මේ වන විට ආපසු නිවෙස් කරා ගොස්ය.

එම දැවැන්ත මෙහෙයුම අවසන් වී සතියක් ඉක්ම යෑමටත් පෙර යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට වවුනියාවේදී තවත් මෙහෙයුමකට සහභාගී වීමට සිදු විණි.

ඒ බෝම්බ මල්ලක් අතහැර දමා පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටය. ඒ බෝම්බ මල්ල අතහැර දමා යන්නේ වවුනියාව පුලියන්කුලම පුදූර් පළාතේ කෝවිලක් අසලදීය. සැකකරු එසේ ඒ මල්ල අතහැර පලා යන්නේ ඔහු පැමිණෙමින් සිටි මාර්ගයේ පොලිස් නිලධාරීන් පිරිසක් සිටිනු දැකීමෙනි.

සැකකරුවා දමා ගිය මල්ල ලිහා බැලූ පොලීසියට තරු පෙනුණේ ඒ මල්ල නයෙකු සමඟ අග්ගලා මල්ලක් රැගෙන ගිය බමුණාගේ කතාවේ මෙන් මල්ල තුළ බෝම්බ හතරක්, පිස්තෝලයක්, උණ්ඩ කීපයක් සමඟ තවත් යුද උපකරණ රාශියක් තිබූ බැවිනි.

දැන් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට සිදුව ඇත්තේද ''ගෙට ගිය අඹු නසී-මග රැදුණු තෝ නසී'' යනුවෙන් බමුණාට වූ කතාව මෙන්ම සිද්ධියකි.

මේ ගැන කතා කිරීමට පවා පොලීසිය බිය වී සිටියි. සැකකරු අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා කතා නොකරද බැරිය.

බෝම්බ ඇතුළු යුද උපකරණ මල්ල දමා ගිය සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය වවුනියාවේ පුතූර් කැලයේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. පොලිස් නිල සුනඛයන් පවා යොදාගෙන කරන ලද එම මෙහෙයුමට ආයුධ සන්නද්ධව විශාල පිරිසක් සහභාගී වූහ.

එහෙත් මේ දක්වා බෝම්බ මල්ල රැගෙන පැමිණි සැකකරුවා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ ඒ පිළිබදව හෝඩුවාවක්ද නැත. එක් එක් මාධ්‍ය ආයතන විමසන විට පොලීසිය කියා සිටින්නේ මේ සැකකරු බෝම්බද රැගෙන ඒ නවය මහා මාර්ගය දෙසට පැමිණීමට උත්සහ කළේ කිසියම් අපරාධයක් කිරීම පිණිස බවයි. යමෙකු මල්ලක බෝම්බ හා පිස්තෝල දමාගෙන යන්නේ අපරාධයක් කිරීමට මිස අලුත් අවුරුද්දේ ළමයින් සමඟ සෙල්ලම් කිරීමට නොවන බව ඕනෑම අයෙකු දන්නා කාරණයකි.

එසේ නම් ඔහු කිරීමට ගිය අපරාධය කුමක්ද? යන්න ඊළඟට පැන නඟින ප්‍රශ්නයයි. මේ අන්දමට යුද උපකරණ රැගෙන ගිය පිරිසක් පිළිබඳ කතා වස්තුවක් ඇසෙන විටම දකුණේ ජනතාව වහාම කලබල වෙති. ඔවුන් නිතැතින්ම නඟන ප්‍රශ්නය යළිත් වරක් යුද්ධයක් එයි දැයි යන ප්‍රශ්නයයි. ඔවුන් එසේ ප්‍රශ්න කිරීමද සර්ව සාධාරණය. යුද්ධයක් පැමිණීම යනු තරමක් විශාල මාදිලියේ ක්‍රියාවලියකි.එය සිදුවීමට මේ අන්දමට බෝම්බ මල්ලක් දෙකක් රැගෙන යෑම ප්‍රමාණවත් නොවේ. එක සැකකරුවකු බෝම්බ මල්ලක් රැගෙන පැමිණීමද ප්‍රමාණවත් නොවේ.

නමුත් මේ සිද්ධියෙන් කිය වෙන්නේ යුද්ධයක් යළි ඉතා ඉක්මනින් පැමිණෙනවා යැයි කීමට වඩා කවුරුන් හෝ කුමක් සඳහා හෝ යම් සූදානමක් වන බවයි.

මහා යුද්ධය හමාර වීමෙන් පසුව මේ අන්දමට සිදු වූ එකම සිදුවීම මෙය නොවේ. මහා සිද්ධීන් ගණනාවක් සිදුවූවත් මුලතිව් පළාතේදී විශාල යුද උපකරණ තොගයක් මීට වසරකට ඉහතදී හමුවුණි. ඒ යුද උපකරණ හමුවූයේද පොලීසියටයි. එතැනදී ප්‍රශ්නය මෙතරම් විශාල නොවූයේ ඒ යුද උපකරණ සමඟ ගිය සියලු දෙනා ආරක්ෂක අංශ වලට කොටු කරගැනීමට හැකිවීමයි. මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශයේදී සිදු වූ ඒ සිදුවීමේ ප්‍රධාන සැකකරුද වවුනියාවේ පුතූර් සිද්ධියේදී මෙන් කැලෑවට පැන සැගවුණේය. නමුත් පැය විසි හහතරක් යාමටත් පෙර ඔහු ත් ඊට සම්බන්ධ ගෝලයන් සියලු දෙනාත් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි විණි.

අත්අඩංගුවට පත් වූ එම සැකකරුවන් කී දේත් ඔවුන් යුද උපකරණ රැගෙන ගියේත් මන්දැයි යන කාරණා තවමත් ඇත්තේ ආරක්ෂක අංශවල හමස් පෙට්ටියේය. මහජනතාව රටේ සිදු වන දේ ගැන දැනගෙන සිටිය යුතු නමුත් මේ දක්වා එවැන්නක් සිදු නොවීය.

ඉන් පසුව මුලතිව් පළාතේදී වාර දෙකක්ම කොටි සංවිධානයේ නිල ලාංඡන හා කොඩි හමු විණි. කොඩි එල්ලා තිබියදී හමු විණි. බිම ඇඳ තිබියදී හමු විණි. කොටි සංවිධානයේ පෝස්ටර් හමු විණි. ඒ සියල්ලම ඉතා ඉක්මනින් පුපුරා යන යුද උපකරණ නොවන නිසා ජනකරළිය තුළ ඒ සිදුවීම් මතු වූයේ අඩුවෙනි.

බෝම්බ හා පිස්තෝල වහාම පුපුරා යන බැවින් ඒ පිළිබඳ කතාව දැඩි වී තිබේ. වවුනියාවේ සිදුවීමත් ඊට පෙර සිදු වූ සිද්ධීනුත් දෙස බලන විට යළිත් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ යම් පිරිසක් කුමන හෝ කටයුත්තක් සදහා සූදානම් වන බවට ඉඟිබිගි මේ සිද්ධීන් දෙස බලන විට ඉතාම පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි.

මේ සූදානම් වීම් ඇතැම් විට බෝමබ මලු රැගෙන ගිය පුද්ගලයා අත් අඩංගුවට ගෙන මාස ගණනක් ප්‍රශ්න කළද හෙළි නොවීමට ඉඩ තිබේ. අතීතයේද එවැනි සිද්ධීන් ගණනාවක්ම අපට දැකගත හැකි විය. ඒවා ඔවුන් නොකිව්වා කියා ඔවුන්ව මරා දැමීමටද නොහැකිය. මරා දැමුවේද පලක් නැත.

උතුරු පළාත තුළ සිදු වන මේ සුළු සිදුවීම් යමක සූදානම්ක නිසා ඒ ගැන ආරක්ෂක අංශ දැඩි විපරමෙන් සිටිය යුතු බව මෙහිදී අවධාරණය කළ යුතුය. එසේ නැතිව ඒ සිදුවීම රටේ ආරක්ෂාවට තර්ජනයක් හෝ බලපෑමක් නොවන බවට ප්‍රකාශයක් කිරීමෙන් පමණක් නිහඩ නොවිය යුතුය.

උතුරේ ගොඩබිමේ සිටින්නවුන් මේ අන්දමට සූදානම් වෙද්දී උතුරේ දෙමළ දේශපාලනඥයන්ගේ යටි අරමුණ කුමක්දැයි යන්න පසුගිය සතිවල ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

කිලිනොච්චි හා මුලතිව් පළාත්වල දෙමළ වැසියන් මහා වතුරේ ගසාගෙන යද්දී ඔවුන්ව තම ජීවිතය පරදුවට තබා බේරාගත් යුදහමුදාව ඇතුළු ආරක්ෂක අංශ වහාම උතුරෙන් පිටව යා යුතු බව ප්‍රකාශ කළේ උතුරේ දෙමළ දේශපාලනඥයෝය. තමන්ගේ සහෝදර ජනතාව බේරා දී පැය විසිහතරක් ගත වීමටත් පෙර ඔවුන්ට එසේ කීමට තරම් මානසිකත්වයක් ඔවුන් තුළ වේ නම් ඔවුන්ගේ යටි අරමුණද සියලු දෙනාටම ඉතා මැනවින් පැහැදිලි විය යුතුය.

ගංවතුරට හසුවූවන් හමුදාව විසින් බේරාගැනීම ඔවුන්ගේ රාජකාරිය ලෙස හුවා දැක්වූ එම දේශපාලනඥයන් ඔවුන්ගේ ඒ ක්‍රියාදාමය අවසන් නම් ඔවුන් වහාම ඒ පළාත්වලින් පිටව යායුතු බව ඒ දේශපාලනඥයෝ කියා සිටියහ.

මේ අන්දමට හමුදාව උතුරේ රැඳී සිටින්නේ ඉඩම්වලට ඇති තණ්හාව ආශාව නිසා බවටද ඔවුහු ඒය සාධාරණීකරණය කළහ. මේ අතරවාරයේ යුදහමුදාව උතුරේ ගංවතුරෙන් දෙමළ ජනතාව බේරාගන්නා ලද්දේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලය විසින් යුද හමුදාව වෙත එල්ල කොට ඇති යුද අපරාධ චෝදනාවෙන් මිදෙන්නට යැයි ප්‍රසිද්ධියේ පැවසුවේ වසර පහක්ම මේ රටේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය දරන ලද සී.වී.විග්නේස්වරන් මහතා විසිනි. ඔවුන් එසේ කළත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිරිස ඊට නොරැවටෙන බවද කියා සිටිමින් ඔහු පාරම් බෑවේය.

උතුරේ සෑම දේශපාලනඥයෙකුම කියා සිටින්නේ උතුරෙන් හමුදාව පිටව යා යුතු බවයි.

බෝමබ මලු හා සැකකරුවන් උතුරේ තැනින් තැනින් නැඟිට සිටින්නේ දේශපාලානඥයන් ඉහත කී අන්දමේ ප්‍රකාශයන් කරන අතරතුරදීය. උතුරේ පවතින්නේ එබඳු තත්ත්වයක් නම් කවර අන්දමක හෝ සිදු වන යම් සූදානමකට දේශපාලානඥයෝද හවුල්කරුවෝ වී සිටිති. ඔවුන් හවුල්කරුවන් වන්නේ වක්‍රව නොව සෘජුවමය.

ඉතා කෙටියෙන්ම කිවහොත් මේ සූදානමේ ගමනට පාර කපන්නේ ඒ දේශපාලානඥයෝය. කෙසේ හෝ ඒ පාර කපා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නම් ඊළගට බෝම්බ මලුකාරයන්ට ඒ පාරේ කිසිදු අවහිරයක් බාධකයක් නැතිව ගමන් කිරීමට හැකි වෙයි.

Comments