රග්බි ක්‍රීඩකයකුට ජීවිතය අහිමි කළ විදුලි සෝපාන අනතුර | Page 2 | සිළුමිණ

රග්බි ක්‍රීඩකයකුට ජීවිතය අහිමි කළ විදුලි සෝපාන අනතුර

  • මරණය සිදුවී ඇත්තේ විදුලි සෝපානයත් බිත්තියත් අතරට සිරවීමෙන්
  • සෝපානය කඩා වැටීමට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නෑ
  • අනතුර සිදු වී ඇත්තේ සමාජශාලාවකට යමින් සිටියදී

නිල්වන් අහස් ගැබ සිප ගැනීමට යත්න දරනා පිරිපුන් මහල් ගොඩනැඟිලිවලින් කොළඹ නගරය වැසී යමින් තිබෙද්දී එවන් එක් ‍ගොඩනැඟිල්ලකින් පසුගියදා අසන්නට ලැබුණේ ශෝචනීය පුවතකි. ඒ මහල් ‍ගොඩනැඟිල්ලක අත්‍යවශ්‍ය උපාංගයක් වන ජනයා සිය දහස් ගණනක් යන-එන විදුලි සෝපානයක් කඩා වැටි තරුණ ජීවිතයක් අකාලයේ මිලින වූ ඛේදවාචකයයි.

පසුගිය 29 වැනිදා අලුයම 1.50ට පමණ කොළඹ නවම් මාවතේ පිහිටි ග්‍රීන්ලංකා මහල් ගොඩනැඟිල්ලෙ සෝපානය කඩා වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වන්දි ගෙවූයේ රග්බි ක්‍රීඩකයකු වන 24 හැවිරිදි කෝකිල සමන්දපෙරුම නමැති තරුණයායි.

මෙරට ජනප්‍රියම රග්බි ක්‍රීඩා සමාජයක් වන සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමේ 'මාර්කෝ' නමින් හඳුන්වන ඉදිරිපෙළ ප්‍රබල ක්‍රීඩකයකු වන කෝකිල එදින ඛේදනීය ඉරණමට මුහුණ පෑවේ තම යහළුවන් පිරිසක් සමඟ එ් ගොඩනැඟිල්ලේ 9 වැනි මහලේ පිහිටි ඇමස්කම් (Amuscum) නමැති සමාජ ශාලාව වෙත යමින් සිටියදී ය. යහළුවන් 10 දෙනකු පමණ සිටි කෝකිලගේ කණ්ඩායම සමඟ බිම් මහලේ තිබූ සෝපානයට ගොඩවීමට තවත් අමතර පස්හයදෙනෙකු ම සිට තිබේ. සෝපානය පැමිණි විගස සියලු දෙනාම ඊට ගොඩවී ඇති අතර කෝකිල සෝපානය තුළට ‍ගොඩවී තිබුණේ අවසානයටයි.

ඔහු සෝපානයට ගොඩවීමට පා තබනවාත් සමඟ ම සිදුවූයේ අහඹු සිදුවීමකි. එක්වරම සෝපානය කඩාගෙන වැටුණේ යටි බිම් මහලටයි. එහිදී කෝකිල විදුලි සෝපානයත් බිත්තියත් අතරට සිරවීමෙන් පපු කුහරයට වූ බරපතළ තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මරණයට පත්වී තිබිණි. එසේ නොසිතූ මොහොතක සිදුවූ අනතුරෙන් කෝකිලගේ තවත් යහළුවන් තිදෙනෙක්ද තුවාල ලැබූහ.

අනතුරුව කෝකිලගේ සිරුර සහ තුවාලකරුවන් සෝපානයෙන් පිටතට රැගෙන තිබුණේ ගිනි නිවන හමුදාව සහ පොලීසිය ද පැමිණ පැය ගණනාවක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසුවයි. පහළට වැටුණු සෝපානය සහ බිත්තියට හිරව තිබූ කෝකිලගේ සිරුර පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් යොදන්නට වූ බව ගිනි නිවන නිලධාරියෙක් ද පැවැසීය.

පැරැණි විදුලි සෝපානයක් ලෙස වාර්තා වන එ් සෝපානය කඩා වැටීම පිළිබඳ ව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාද පැවැසීය. ඒ අනුව ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන් යොදවා තාක්ෂණික වාර්තාවක් ලබාගෙන එ් තාක්ෂණික වාර්තාවෙන් ලැබෙන ප්‍රතිඵල අනුව මීට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. අනතුරත් සමඟ පසුගිය 03 වැනිදා දක්වා එම සමාජ ශාලාව ද වසා දැමිණි.

කෝකිල එසේ අවාසනාවන්ත මරණයට මුහුණ දුන් මොහොතේ ඔහු සමඟ එම බිහිසුණු අවස්ථාවට මුහුණ පෑ මිත්‍රයකු පැවැසුවේ,

‘අපි 10ක් වගේ හිටියා. ලිෆ්ට් එක ළඟට ගිහින් බොත්තම ඔබලා එනකම් හිටියා. තවත් නාඳුනන හතර පස්දෙනෙකුත් හිටියා. ලිෆ්ට් එක ආවට පස්සෙ කට්ටියම ඇතුළට ගියා. උඩට යන්න හදද්දීම ලිෆ්ට් එක ක්ෂණයෙන් නැවතත් පහළට කඩාගෙන වගේ වැටුණා. අපි ඔක්කොම කෑගැහුව... වෙන කරන්න කිසිම දෙයක් අපට තිබුණේ නෑ. පස්සෙ වීදුරුව කඩලයි අපි ඔක්කොම එළියට ගත්තෙ.‘

සෝපානය කඩා වැටීමට හේතුව ලෙස තවම නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත. සෝපානය කිසිදු විටෙක 'ඕවර් ලෝඩ්' වූ බවක් එහි සංඥාවලින් පෙන්නුම් නොකළ බවකි. එහෙත් ඇතැම් දෙනා පවසනුයේ සෝපානය 'ඕවර් ලෝඩ්' වීම නිසා කඩාගෙන වැටෙන්නට ඇති බවය. එසේ දෙතුන් දෙනෙක් නිතර ‘ඕවර් ලෝඩ්' වූ පමණින් විදුලි සෝපානයක් කඩා වැටේ නම් එකී ගැටලුව ගැන වගකිව යුත්තන් වහා සොයා බැලිය යුතුය. මන්ද සෝපානයක් යනු දිනකට සිය දහස් ගණනක් යනෙන තාක්ෂණික උපකරණයක් වන නිසායි.

කෙසේ හෝ කෝකිලගේ මරණය ගැන නොයෙක් මත ප්‍රධාන ලෙස සමාජ මාධ්‍ය ජාලා මූලික කොට සඳහන් වුවද, එවන් අසත්‍ය පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවද, කෝකිලගේ මරණය සෝපානය කඩා වැටීමෙන් ඇතිවූ මරණයක් මිස වෙනත් කිසිදු හේතුවක් නිසා සිදුවූවක් නොවන බව මෙතෙක් කළ පරීක්ෂණවලින් සනාථ වී ඇතැයි පරීක්ෂණ සිදුකරන කොම්පඤ්ඤවීදියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කළුආරච්චි සඳහන් කර සිටියේ ය.

බත්තරමුල්ල උතුරු තලංගම 157/1 ලිපිනයේ පදිංචිකරුවකු වූ කෝකිල කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් රගර් ක්‍රීඩාවට අත්පොත් තබා 2012 වසරේදී විද්‍යාලීය රග්බි කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත. රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල ආක්‍රමණශීලි ක්‍රීඩකයකු ලෙස ප්‍රචලිතව සිටියත් ඔහු පිටියෙන් පිටත නිහතමානී චරිතයක් ලෙස කා අතරත් සිත් දිනාගත් අයෙකි. කෝකිලගේ සහෝදරයා වූ ෂේන් සමන්දපෙරුම සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමේ නායකයා ද වේ.

මේ ආකාරයට රග්බි ක්‍රීඩාවට කිසිසේත් ම සබඳතාවක් නොමැතිව අවාසනාවන්ත ලෙස ඛේදනීය මරණවලට මුහුණපෑ දෙස්-විදෙස් රග්බි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ගැන ශෝචනීය පුවත් මෑත කාලයේ මෙරටින් අසන්නට-දකින්නට ලැබිණි. ඒ අනුව පසුගිය මැයි මාසයේ මෙරට සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍ය ඩර්හැම් ප්‍රාන්තයේ ක්ලේම්ස් ෆයිරේට්ස් නමැති රග්බි කණ්ඩායමේ හෝවාඩ් තෝමස් සහ බැටි තෝමස් යන ක්‍රීඩකයන් දෙදෙනාද මියගියේ සංචාරය අතරතුරදී අධික ලෙස මත්ද්‍රව්‍ය පානයෙන් ඇතිවූ මරණයන් ලෙසින් කොළඹ තරු පන්තියේ හෝටලයක් තුළදීය.

ඊට පෙර මෙරට ජනප්‍රිය රග්බි ක්‍රීඩකයකු වූ වසිම් තාජුඩින් ද මරණයට පත්වූයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමිනි. එසේම මෙරටදී වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක රගර් ක්‍රීඩක මරණයක් වූයේ මීට කලෙකට පෙරදී කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ ෆිජී ජාතික රගර් පුහුණුකරුවායි.

මේ සියලු මරණයන් මොනතරම් ආන්දෝලනාත්මක මෙන්ම ගැටලු සහගත වුවද තිර ලෙසම පැවැසිය හැකි වදනක් වනුයේ රාත්‍රියේ යනෙන නිෂ්ඵල ගමන් බිමන් වක්‍රාකාර ලෙස මේ මරණවලට බලපා ඇති බවයි.

 

Comments