රටටම බෙදලා පිටරටටත් පටවපු දෙහිවල කුඩු තිප්පළ කොටුකරගත් හැටි | Page 2 | සිළුමිණ

රටටම බෙදලා පිටරටටත් පටවපු දෙහිවල කුඩු තිප්පළ කොටුකරගත් හැටි

  • ගේ පුරාම කේක් ගෙඩි... පෙට්ටිවල කුඩු
  • හෙරොයින් රට පටවන්න හදපු විශේෂ ගමන් මලු
  • කොටු කරගත් කුඩු තොගය කිලෝ 278ක්

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති ආකාරය පිළිබඳ යළිත් වරක් නිශ්චිතවම තහවුරු වූයේය. කෙතරම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙරටට ගලා එන්නේද ඒවාට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණ අංශ සිටියේ දැඩි අවධානයෙනි. ඔවුන් මෑත කාලයේ මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගත්තේ තොග පිටිනි. එවැනි තොග හසුවූයේ වරක් දෙවරක් නොවේ.

පසුගිය සඳුදා (31) පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 278ක ප්‍රමාණයක් සහ අධික මිලෙන් යුත් මත්ද්‍රව්‍යයක් වන කොකේන් කිලෝග්‍රෑම් 5ක් අත්අඩංගුවට ගත්තේය. එම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙතෙක් මෙරටදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය විය. රටේ පැවැත්ම කෙරෙහි අතිශයින්ම වැදගත් වූ එම වැටලීමට පාදක වන පසුබිම් කතාව මෙසේය.

බංගලියන් ගැන ලැබුණු තොරතුර

නත්තලට දින කීපයකට පසු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට තොරතුරක් ලැබුණේය. ඉන් කියැවුණේ පසුගිය 23 වැනිදා සිට ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ බ්ලු ඕෂන් මහල් නිවාසයේ විදෙස් ජාතිකයන් දෙදෙනෙකු සැක කටයුතු ලෙස සැරිසරන බවය. ඔවුන් ලැගුම්ගෙන තිබුණේ මහල් නිවාසයේ සිවුවන මහලේ දෙවන නිවෙ‍සේය.

ලැබුණු තොරතුරට අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ඍජු අධීක්ෂණය මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.සී. ධනපාල සහ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටියගේ මෙහෙයවීමෙන් මෙහෙයුමක් සැලසුම් කෙරිණි. එතැන් සිට මේ පිරිස එළඹියේ අතිශය කාර්යබහුල කාල පරිච්ඡේදයකටය. මෙවැනි වැටලීම් සඳහා ප්‍රවීණත්වයක් දැරූ විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස් විවිධ වෙස් ගෙන දිවා රෑ නොබලා මහල් නිවාසය අවට අාවේක්ෂණ රාජකාරිවල නිරත කරවනු ලැබිණි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට තවත් විශ්වසනීය තොරතුරක් ලැබිණි. ඉන් කියැවුණේ 31 වැනිදා දහවල් එකත්, දෙකත් අතර කාලය තුළ විදෙස් ජාතිකයන් දෙදෙනා විශාල මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකිරීමට සූදානම් වන බවය. ඒ පිළිබඳව අාවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි නිලධාරින් දැනුවත් කෙරිණි. පිරිස සූදානමින් පසුවූහ.

දහවල් 1.45 ට පමණ විදේශිකයන් දෙදෙනා මහල් නිවෙසේ සිට එළියට පැමිණියේය. ආවේක්ෂණ රාජකාරියේ සිටි නිලධාරීහු ඔවුන්ව නවත්වා පරීක්ෂා කළේය. පරීක්ෂාවේදී හෙළි වූයේ ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ජාතිකයන් බවය. එක් අයෙක් 30 හැවිරිදි දේවන් ර‍ෆිල් ඉස්ලාම්ය. අනෙකා 45 හැවිරිදි එම්. ඩී. ජමාල් වුඩ්ඩීන්ය.

සැකකටයුතු යතුරු කරැල්ල

අනතුරුව ඔවුන් අත තිබූ ගමන්මල්ල පරීක්ෂා කෙරිණි. එහි වූයේ මෙරට ජනප්‍රිය නාමයන් සහිත කේක් පෙට්ටි කිහිපයකි. කේක් පෙට්ටි විවෘත කෙරිණි. ලැබුණ තොරතුර 'තිතට'ම නිවැරදි බව සනාථ විය. විවෘත කළ කේක් පෙට්ටි තුළ දක්නට ලැබුණේ මනාව අසුරා තිබූ හෙරොයින් පැකට්ය.

කේක් පෙට්ටි තුළ සඟවා තිබූ පාර්සලයේ හෙරොයින් කිලෝ තුනක් විය. විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට පත්විය. ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ එම හෙරොයින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ලබාදීමට රැගෙන යන බවයි.

අනතුරුව මේ දෙදෙනා රැඳි සිටි නිවස විශේෂ පරීක්ෂාවකට ලක් කරන්නට නිලධාරීහු කටයුතු කළහ. ජාවාරමේ ප්‍රමාණය ටිකෙන් ටික හෙළිවන්නට වූයේ එහිදීය. මුලින්ම එම නිවෙසේ ගමන්මල්ලක බහා තිබූ හෙරොයින් කිලෝ නවයක ප්‍රමාණයක් හමුවිය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී තවත් යතුරු කැරැල්ලක් හමුවිය. එම යතුරු කැරැල්ල ඔවුන් ජීවත්ව සිටි බව කී නිවෙසට අයත් වූවක් නොවීය. එම යතුරු කැරැල්ලේම එල්ලා රෝලර් ගෙට්ටුවක දුරස්ථ පාලක යතුරක් විය. නිලධාරීන්ට මේ යතුරු කැරැල්ල පිළිබඳව ඇතිවුණේ මහත් සැකයකි.

ප්‍රශ්න කිරීමේදී සැකකරුවෝ විපිළිසර වූහ. විමර්ශන නිලධාරීහු එක් සැකකරුවෙකු කැටුව අදාළ නිවෙස සොයා ගියහ. එම සුඛෝපභෝගී නිවෙස පිහිටියේ දෙහිවල, කවුඩාන පාරේය. 56/12ඒ, අංක දරන එම දෙමහල් නිවෙස උස් තාප්පයෙන් වටවූවකි. ගේට්ටුවද හොඳින් වසා තිබිණි. අවට කිසිවෙකු එම නිවෙස ගැන කිසිදු ලෙසකින් සෝදිසියක් කර තිබුණේ නැත. බැලූ බැල්මටම එම පරිසරය ජාවාරමක් රහසේ කරගෙන යන්නට සුදුසු බව පෙනිණි. රෝලර් ගේට්ටුවේ දුරස්ථ පාලකය ක්‍රියාත්මක කළ සැණින් ගේට්ටුව විවර විය.

නි‍ෙවස පුරා කේක්...

නිවෙසට ඇතුළු වූ නිලධාරීන්ට දක්නට ලැබුණේ අමුතුම දර්ශනයකි. නිවෙසේ බිම් මහලේ සෑම තැනෙකම පෙට්ටි ඉවත් කළ කේක් ගෙඩි විශාල ප්‍රමාණයකි. එසේම නිවෙසේ උඩ තට්ටුව පුරාම කේක් පෙට්ටි ‍ගොඩගසාය. ඒ අතර විශාල ප්‍රමාණයේ ගමන්මලුද විය.

පෙට්ටි සියල්ල විවර කෙරිණි. විමර්ශන නිලධාරීනුත් අන්ද මන්ද වූහ. දක්නට ලැබුණේ කේක් පෙට්ටිවල හා ගමන්මලුවල අසුරා තිබුණු මහා පරිමාණ හෙරොයින් තොගයකි. පැය ගණනාවක් පුරා සිදුකළ සෝදිසිය අවසානයේදී නිවෙසින් හෙරොයින් කිලෝ 266 ප්‍රමාණයක් සහ කොකේන් කිලෝග්‍රෑම් පහක් හමුවිය.

ඊට අමතරව නිවෙස තුළ මත්ද්‍රව්‍ය ඇසුරුම් කරන පොලිතින් සහ පොලිතින් බෑග් ඇසුරුම් සීල්් කිරීමට ගන්නා යන්ත්‍ර, බ්ලෙන්ඩර්, විදුලි තරාදි විශාල ප්‍රමාණයක විය. ඇතැම් හෙරොයින් අසුරන ගමන්මලු විවෘත වූයේ මාධ්‍යවේදීන්ද නිවෙස තුළ සිටියදීමය. එම ගමන්මලුවල ව්‍යාජ පතුළ තුළ මත්ද්‍රව්‍ය රඳවා තිබූ ආකාරයෙන් පෙනී ගියේ මේ හෙරොයින් තොග විදේශවලට යැවීමටද සූදානමක් තිබූ බවය. ගමන්මලුවල ව්‍යාජ පතුල් සැකසීම සඳහා ගමන්මලු අලුත්වැඩියා කිරීමට යොදාගන්නා රිවට්ගන්, රිවට් සහ ගම් වර්ගද තිබිණි.

මේ සියලු දේ අතරේ කල් ඉකුත්වූ හෙයින් ගල්වූ හෙරොයින්ද විය. ඒවා හඳුන්වන්නේ 'චරස්' නමිනි. චරස් සොයා ගැනීමෙන් පැහැදිලි වූයේ එම නිවෙස කලෙක සිටම ජාවාරම්කරුවන්ගේ භාවිතයේ තිබූ බවයි. එම කල් ඉකුත් වූ හෙරොයින් නැවතත් බ්ලෙන්ඩර් කර කල් ඉකුත් නොවූ මත්ද්‍රව්‍යවලට සමානව කළවම් කරන බව මත්ද්‍රව්‍ය පිළිබඳ හසළ දැනුමක් ඇති උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

එම වැටලීමෙන් අත්අඩංගුවට ගැනුණු හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278කි. කොකේන් කිලෝ පහකි. ඒ සියල්ලේම වටිනාකම රුපියල් මිලියන 3,336ක් පමණ වේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පැවැසීය. ඒ අනුව මේ වැටලීම මෙතෙක් මෙරට තුළදී එකවර අත්අඩංගුවට ගැනුණු වැඩිම හෙරොයින් ප්‍රමාණය ලෙස වාර්තාගත විය.

ලංකාවේ ලොකුම කුඩු තොගය

ඊට පෙර 2013 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රේගුව එක්ව ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් මධ්‍යස්ථානයක තිබී හෙරොයින් කිලෝ 261ක් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙරටින් අත්අඩංගුවට ගැනුණු විශාලම හෙරොයින් තොගය ලෙසිනි.

දෙහිවල නිවෙසේ ජාවාරම මෙහෙයවා තිබෙනුයේ බංගලාදේශ ජාතික කාන්තාවකි. ඇය වරින් වර ලංකාවට පැමිණ මෙරට ජාවාරම්කරුවන් සමඟ සියලු ගනුදෙනු කතිකාකොට මත්ද්‍රව්‍ය 'ඩීල්' කර ඇති බව හෙළි වී තිබිණි. මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට පෙර දින එකී කාන්තාව මෙරට සිට නැවත බංගලාදේශයට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත.

දෙහිවල කවුඩාන නිවෙසේ හිමිකරු දැනට බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් ජාතිකයෙකි. ඔහු එම නිවෙසේ සියලු වගකීම් පවරා තිබී ඇත්තෙ එරාවුර් සහ දෙහිවල වෙසෙන සිය ඥාතින් දෙදෙනෙකුටය. එම නිවෙස කුලියට දීමට අන්තර්ජාලයේ දැන්වීමක් පළ කිරීමෙන් අනතුරුව පසුගිය ජනවාරි මාසයේදී රුපියල් ලක්ෂයක මාසික කුලියට ජාවාරම්කාර බංග්ලාදේශ කාන්තාව විසින්ම මෙරට පැමිණ නිවෙස කුලියට ගෙන තිබුණාය. ඇය ඒ සඳහා අත්තිකාරම් ලෙස මාස තුනක මුදලක්ද ගෙවමින් මාසික කුලියද නියමිත දිනට පෙර සෑම මසකම ගෙව්වාය. ඒ සඳහාම ලංකාවට පැමිණි බව කියමින් එම මුදල ඇය විසින්ම දෙහිවල ඥාතියාට ගෙවා ඇති බව සැල විය.

තවත් වාර්තාවන තොරතුරු ප්‍රකාරව මේ කාන්තාව මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවක ලෙස හඳුනාගෙන තිබේ. ඇය මේ ජාවාරමෙහි යෙදෙන බව බංගලාදේශයේ ප්‍රචලිතය. මුලින්ම ඇය ලංකාවට එන්නේ වර්ෂ 2017 දී ය. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට මේ තැනැත්තිය පෙලඹී ඇත්තේ හෙරොයින් ලංකාව තුළ අධික මිලකින් යුත් නිසා බවට සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය.

ජාවාරම්කාර ගැහැනිය

හෙරොයින් එක්රැස්කොට මෙරටට පමණක් නොව විදේශයන්ටද බෙදාහරින ලද මධ්‍යස්ථානයක් ඇය විසින් දෙහිවල කවුඩානේ නිවසක ස්ථාපිත කරන්නේ ඒ ලෙසිනි.

දෙහිවල නි‍ෙවසේ ගබඩා කිරීම සඳහා ජාවාරම්කරුවන් විසින් හෙරොයින් මෙරටට ගෙන්වා තිබුණේ එම ජාවාරම සිදුවන ප්‍රකට ක්‍රම තුන ඔස්සේය. බෝට්ටු මඟින්, කන්ටේනර්වල බහා නැව් මඟින් සහ ගුවන් මඟින්ද එවා ගෙන්වා ඇත. එසේම මේ කාන්තාව විසින් විටෙන් විට බංග්ලාදේශ ජාතිකයන් සංචාරක වීසා මත මෙරටට එවා ජාවාරම සිදු කර තිබිණි. එම ජාවාරම්කරුවන් කිසිවෙක් ඒ නිවෙසේ වාසයකර තිබුණේ නැත. ඔවුන් දිනෙන් දින ස්ථාන මාරු කරමින් විශාල ලෙස කුලී ගෙවන සුපිරි මහල් කුලි නිවාසවල වාසය කර තිබේ. මේ ජාවාරම්කරුවන් මෙරට රැඳී සිට ඇත්තේ රෙදිපිළි වෙළෙඳාම් කරන මුවාවෙනි. අත්අඩංගුවට පත්වන ‍‍මොහොතේදීද රෙදිපිළි මල්ලක් ඔවුන් ළඟ තිබිණි.

පසුගිය 15 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කේක් පෙට්ටිවල බහාලු හෙරොයින් කිලෝ 32ක් සමඟ අත්අඩංගුවට ගැනුණු 23 හැවිරිදි බංග්ලාදේශ ජාතික සුර්ජො මොනි නැමැති කාන්තාවද මේ මත්ද්‍රව්‍ය ජාවාරමේම කෙනෙකි. ඇයද සිය හෙරොයින් ලබාගෙන ඇත්තෙ මේ නිවෙසෙනි. එම කාන්තාව හසුවූ හෙයින් එතෙක් දෙහිවල නිවෙසේ ජාවාරමේ ‍ෙයදී සිටි දෙදෙනා ඊට පසු දිනම බංග්ලාදේශය බලා ගොස් ඇත. එදින එසේ ගිය එක් අයෙක් මෙවර කොටුවූ දේවන් නැමැත්තාය. දේවන් නැවතත් පසුගිය 23 වැනිදා ජමාල් සමඟ මෙරටට පැමිණ බ්ලු ඕෂන් මහල් නිවාසයේ නිවෙසක් රුපියල් 115000ක මාසික කුලියට ගෙන නැවතී ඇත. ජමාල් මෙරටට පැමිණ ඇත්තෙ පළමු වතාවටය. ඔවුන් විසින් සිදුකර තිබුණේ කවුඩානේ නිවෙසින් මත්ද්‍රව්‍ය ගෙන බ්ලු ඕෂන් මහල් නිවෙසට ගෙනැවිත් බංග්ලාදේශයේ රැඳී සිටින ප්‍රධාන ජාවාරම්කාරිය පවසන ස්ථානයකට ත්‍රිරෝද රථයකින් ගොස් මෙරට 'ඩීල්'කාරයන්ට ලබාදීමය. එම ගනුදෙනුව බොහෝ විට සිදුවී තිබුණේ මඟතොටදීයි. එය කේක් ගෙඩියක් දෙන ආකාරයෙන් කිසිවෙකුට සැක නොසිතෙන ලෙස සිදු කිරීමටද ජාවාරම්කාරයන් සූක්ෂ්ම වී ඇත.

අතිශයින්ම රහසිගතයි

වාර්තා වන්නේ මේ නිවෙස ගැන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හාල් මැස්සන් තබා තෝරු මොරුවත් දැනගෙන නොසිටි බවය. මෙරට ජාවාරම්කරුවන්ට විදේශිකයන් විසින් මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ගොඩගසා තිබෙන එවැනි නිවෙසක් ගැන දැනගන්නට ලැබුණේනම් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකාර බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාද කම්මුතුය. ඒ බව සැකකරුවන්ද හොඳිනම දැන සිටි හෙයින් ඔවුන්ද සූක්ෂ්ම වී තිබුණේ වෙනත් නිවෙසක කුලියට රැඳී සිටීමටයි.

පසුගිය දෙසැම්බර් පස්වැනිදා රාත්‍රියේ බේරුවල මුහුදු තීරයේදී අතිදුෂ්කර මෙහෙයුමකින් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් අත්තඩංගුවට ගැනීමට සමත් වූයේද මේ වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායම් දෙක විසින්මය. ඒ අනුව පසුගිය වර්ෂයේදී පමණක් මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 736ක්ද, කොකේන් කිලෝ 19ක්ද, හෂිස් කිලෝ 13ක්ද, අයිස් කිලෝ 6ක් සහ ගංජා කිලෝ 4585ක් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුවන් 95797ක් සමඟිනි.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගැනීමට වෙහෙසෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීමේලා කැපවී සිටින සියලු අංශ සිදු කරනුයේ දිවා රෑ නොබලා ඉමහත් සේවයකි. එම නිසා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගන්නා වගකිවයුතු පාර්ශ්ව මත්ද්‍රව්‍ය වැටලීම්වලට කැපව සිටින සියලු අංශවල නිලධාරීන් දිරිමත් කිරීම උදෙසා විශේෂ වැඩපිළිවෙළක් කඩිනම්ව ආරම්භ කිරීමද ප්‍රමුඛ යුතුකමකි.

 

Comments