
2019 නව වසරට සුබ පැතුම් එක් කළ සියලු ආගමික, දේශපාලන හා වෙනත් ප්‍රභූවරුන්ගේ සකලවිධ ප්‍රාර්ථනාවල හරය වූයේ සාමය, සමඟිය, සංහිඳියාව මල් පල ගන්වන සමාජ, ආර්ථික, දේශපාලන ආදි හැම ක්ෂේත්‍රයකම අභිනව විජයග්‍රහණ ලබා දෙන, පොදු ජන දුක් පීඩා සෝ සුසුම් දුර ලන භාග්‍යවන්ත වසරක් උදා වේවා යන්නයි. ඒ ප්‍රාර්ථනා මුවින් පිට නොවුවත් මෙරටේ ජීවත් වන හැම කෙනකුගේම හදවත් තුළ රැව් දුන් පරම පැතුමද එයම බව නිසැකය. එහෙත් ප්‍රාර්ථනා හා අපේක්ෂා හුදු වචනවලට හෝ නිවේදනවලට සීමා නොවූ, ඒ සීමාවලින් ඔබ්බට යා යුතු යථාර්ථවාදී සැබෑ ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කෙසේද? ඒ සඳහා ජනතාව අබියස අලුත් සමාජ-ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රයක් තිබේද? රටේ පාලකයන්ට පමණක් නොව, පුරවැසියන් හෝ පොදු ජනතාව වන අපටද ඒ පිළිබඳ නිසි සැලැස්මක්, දළ අදහසක් තිබේද? අපේ උගතුන්ට විද්වතුන්ට හා අන් වෘත්තිකයන්ට එහිදී දිය හැකි දායකත්වය කුමක්ද? එසේම මේ සියල්ලට ඉහළින් සිටින මහ සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් හා පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේට ඒ පිළිබඳ සාධනීය යෝජනාවලියක් තිබේද?
2019 වසර සුබ නව වසරක් වන්නේ ඒවාට ලැබෙන පිළිතුරු නැත හොත් විසඳුම් අනුව බව අපට කිව හැකිය. 2018 වසර නිමා වූයේද දේශපාලන, සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතික හා සදාචාර වශයෙන් යහපත් පරිසරයක නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට පෙර වුවද මෙරටේ යහපත් සමාජ-ආර්ථික හා දේශපාලන පසුබිමක් නොවීය. එය ඊටත් වඩා දශක කීපයක් අතීතයට ඇදී යන එකකි. ඉකුත් වසරේ සිදු වූ බොහෝ සමාජ-දේශපාලන කඩාවැටීම් පසුපස ඇත්තේද ඒ අතීතය සමග බැඳුණු සමාජ-දේශපාලන, ආර්ථික වශයෙන් සිදු වූ පසු බැසීම් හා වල්මත් වීම් බව නිසැකය. මේ රටේ බලයට පත් වූ හැම ආණ්ඩුවක්ම එහිදී අඩු-වැඩි වශයෙන් වගකීමට බැඳී සිටියි. මේ රට ස්ථාවරව පවත්වාගෙන යෑමට උචිත මූලෝපායයන් පිළිබඳ ගැඹුරු දැක්මක් ඒ ඒ ආණ්ඩුවලට තිබුණේද යන ප්‍රශ්නය බොහෝ විට බොහෝ අවස්ථාවල මතු වන්නකි. දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික කඩාවැටීම් නවත්වාගත හැකි බලාපොරොත්තුවක්, ආලෝකයක් නෙත ගැටෙන මානයේ වත් තිබේද යන්න අපට නම් සැක සහිතය. අප එසේ කියන්නේ මේ ආණ්ඩුව දෙස පමණක් බලාගෙන නොවේ. එසේම ඒ ඒ පාලන යුගවල රටට සිදු වූ යහපත් ක්‍රියාකාරකම්ද අපි දකිමු. එහෙත් මෙරටේ තිබෙන ආණ්ඩුක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය, සංස්කෘතික හා ජාතික වටිනාකම් පිළිබඳ ආකල්ප ආදි බොහෝ දේවල් යම් යම් විකෘති කිරීම්වලට ගොදුරුව තිබෙන බවද අප මතක තබාගත යුතුය.
ලංකාවට නිදහස ලැබීමට පෙර යුරෝපීය අධිපතිවාදීන්ගේ ආකල්ප මත ගොඩනැඟූ සමාජයක් හා චර්යාධර්ම පද්ධතියක්ද විය. කාලයත් සමග ඒවා දේශීය සංස්කෘතික හා සාරධර්ම සමඟ ගැටෙන්ට වූ අතර එනිසාම අපගේ දේශපාලන නායකයන් ඇතුළු ඔවුන්ගේ ප්‍රතිපත්තිවලද දෙබිඩි ගතිලක්ෂණ දැකගත හැකි විය. යටත්විජිත අභිලාෂ හා ගතිලක්ෂණ මත අපට ලැබුණු සෝලබරි ව්‍යවස්ථාව යුරෝපීය වටිනාකම් හා චර්යාධර්ම අනුව සැකසුණු එකක් විය. එදා එලෙස අප මත රෝපණය කරන ලද යුරෝපීය වටිනාකම්, සංකල්ප බැහැර කිරීමට මෙරටේ ජනතාව තුළ වූ සැබෑ අභිලාෂය පිළිබිඹු කළ අවස්ථාව 1956 එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවයි. ‘පනස්හයේ විප්ලවය‘ ලෙස හැඳින්වුණු එම ආණ්ඩුවට වුවද මෙරටට අවශ්‍ය වූ සමාජ, දේශපාලන පදනම දැමීමට නොහැකි වූ බව පැහැදිලිය.
1972දී සම්මත වූ ජනරජ ව්‍යවස්ථාව මේ සමාජ ආර්ථික, දේශපාලන ක්‍රියාදාමයට යම් ප්‍රමාණයක සහනයක් විය. එහෙත් 1978දී සිදු කළ පරිවර්තනය මඟින් යළි රටට ස්ථාවර දේශපාලන හා සංස්කෘතික පදනමක් දැමීමට නොහැකි වූ බව අද වන විට මනාව තහවුරු වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ සාධාරණත්වය මෙන්ම මානව නිදහස පිළිබඳ ඇති වූ අලුත් උද්යෝගයේ ප්‍රතිඵලයක් ලෙස 1978දී අපට හඳුන්වා දුන් විධායක ක්‍රමය අසාර්ථක හා විනාශකාරී එකක් බව ජනමනස තුළට කාන්දු කළ හැකි විය. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්තවාදී අවකාශයට අවහිර කරන නීතියේ ආධිපත්‍යයට ඉහළින් තිබෙන තනි පුද්ගලයකුගේ ඒකාධිපති පාලනයකට රට ගොදුරු කිරීමක් බව දේශපාලන සමාජ ක්ෂේත්‍රවල විද්වතුන්ගේද පොදු අදහස විය. ජේආර්ගේ සිට මහින්ද තෙක් ගෙවී ගිය පාලන සමය තුළ මෙරට ශ්‍රේෂ්ඨ සමාජ හරයන් පමණක් නොව සාරධර්ම පද්ධතියේ බරපතළ කඩාවැටීම්ද සිදු වූ බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. 1978 ව්‍යවස්ථාව සහමුලින් ඉවත් කළ යුතුය යන ජනහඬ නැඟෙන්නේ මේ පසුබිමේය.
2015 ජනවාරි 08 පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මෙරටේ රාජ්‍ය නායකත්වයට ජනතාව විසින් තෝරාගනු ලබන්නේ ඔහු තුළ වූ අව්‍යාජ, ඍජුපටිපන්න දේශපාලන ප්‍රතිපත්ති හා දූෂණ, වංචා, අපරාධ යනාදි කිසිවකින්ද ඔහුගේ දෑත් කිලිටි වී නොතිබීම නිසාය. රාජපක්ෂ යුගය අවසන් කර රටට අලුත් දේශපාලන වෙනසක් ලබා දෙන බව මෛත්‍රීගේ වේදිකාවේ සිටි නායකයෝ තිරසරව කියා සිටියහ. නව ජනාධිපතිවරයා ලෙස පත් වූ මෛත්‍රී රනිල් අගමැතිවරයා ලෙස නම් කර ඇරඹු ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ සමාජ-දේශපාලනයට අදාළ වටිනා කර්යභාරයකට ඉවහල් වූ බව පොදුවේ පිළිගත හැකිය. එහෙත් ඒ සමාජ පෙරළියේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි 19 වැනි සංශෝධනය පිළිබඳ යථාර්ථය කුමක් ද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කරන ලද දේශපාලන අර්බුදය අධිකරණය මගින් සමතයකට පත් කරගත හැකි වුවද අදත් එහි ගිනිපුපුරු අළු යට සැඟවී නැතැයි කිව හැකි ද? එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන ඒ 19 වැනි සංශෝධන සටන් පාඨය අතට ගෙන ජයග්‍රාහී ඝෝෂා කළත් එහි අඳුර හා පසුගාමී ලක්ෂණ සමස්ත සමාජ දේශපාලනයටම අහිතකර බලපෑම් කරන බවද අපට පෙනේ.
මෛත්‍රී - රනිල් සම්මුතිය බිඳවැටීමත් සමඟ යහපාලන ආණ්ඩුව අවසන් වීමත්, යළි ඔවුන් විසින් එක පෙළට සිට පරාජය කරන ලද මහින්ද රාජපක්ෂට ආණ්ඩුව භාර කිරීමත් ඒ අර්බුදකාරී දේශපාලන ගැටුම්වල කූටප්‍රාප්තිය වැන්න. දින 50කට නොඅඩු කාලයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අධිකරණයට ගොස් යළි එ.ජා.පෙරමුණු ආණ්ඩුවකට රට භාර වන්නේ දෙමළ ජනතා සන්ධානය මෙන්ම ජවිපෙද ඇතුළු විපක්ෂය එක්ව ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි. මහින්ද යළි අගමැති කරවීමට මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීන්දුව මතුපිටින් බලා කෙරෙන සිල්ලර විවේචන කුමක් වුවත් එය නිසැකයෙන්ම දේශපාලන ප්‍රතිපත්තිවල නොසැසදීම්, නොගැළපීම් පුපුරා යෑමක් බව අපට පෙනෙන යථාර්ථයයි. එහෙත් එය සිදු වූ ආකාරය මෙන්ම 19 වැනි සංශෝධනයේ අර්ථ නිරූපණය කරමින් අධිකරණය විසින් දෙන ලද තීන්දුව පිළිබඳවද යම් යම් විවේචන තිබෙන බව පෙනේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එහිදී අලුත් මහජන වරමක් ලබාගැනීම සඳහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම හැර වෙනත් විකල්පයක්ද නොවීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එයට මඟ අවුරා තිබෙන බව අධිකරණය තීන්දු කිරීමත් සමගම යළිත් රට පෙර තිබුණු තැනටම පත් වී තිබෙන බව මතුපිටට පෙනෙන සත්‍යයයි. එහෙත් මේ වන විටත් එ.ජා.පෙරමුණ ආණ්ඩුව තුළ උද්ගතව තිබෙන දේශපාලන කුණාටුව පහව ගොස් ඇතැයි කිව නොහැකිය. තනි පක්ෂයක් ලෙස එම පෙරමුණ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟාගෙන ඇතැයි කිව හැකිද?
කෙසේ හෝ 2019 වසර තීරණාත්මක වන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන හැසිරීම් අනුවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නියමය අනුව කැබිනට් ඇමැතිධුර සංඛ්‍යාව 30කට සීමා වීම නිසා අණ්ඩුව එයින් මිදී සිය දේශපාලන ගමන ශක්තිමත් කරගැනීමට ප්‍රයත්නයක් දරන්නේ නම් එය ස්වාභාවික දෙයකි. එහෙත් එය සිදු විය යුත්තේ ව්‍යවස්ථානුකූලව හා එම සීමා තුළය. ඇමැති පට්ටම් ගිලිහී ගිය අය ආණ්ඩුව තුළ ගෙන යන සටන මඟහැර යෑමට නොහැකි වීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද මුහුණ දී සිටින අභියෝගයකි. මේ තනතුරු ලෝභය - පදවි තණ්හාව මෙරටේ දේශපාලන මැජරකම පිළිබඳ ප්‍රබලම ලක්ෂණයයි. පිල් මාරුවට, බලය රැකගැනීමට තිබෙන එකම ප්‍රදානය කැබිනට් ඇමැතිධුරයම නොවේ. ඒ සඳහා කෝටි ගණන්වල මිල ගණන්ද තීන්දු වන අමන දේශපාලන චර්යාවක්ද මෙහි තිබෙන බව කවුරුත් දනිති.
2019 වසරේ රට මුහුණ දී තිබෙන ආර්ථික කළමනාකරණ ප්‍රශ්නය අතිශයින් උග්‍ර වී තිබෙන බව අගමැතිවරයා කියයි. රටේ ආර්ථිකය ගොඩගැනීමට විදේශ ආයෝජන අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා කියයි. කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබා දී මහා මැතිවරණයකට යමු යැයි ජවිපෙ නායකයා කියයි. එසේම රනිල්ගේ හෝ මහින්දගේ හෝ සුමන්තිරන්ගේ හෝ ඔළුවේ ඇති වන හිතලවලට අනුව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ පාර්ලිමේන්තුව තුළ ඉඩක් නැති බවද ඔහු අවධාරණය කරයි. එහෙත් ඔහු පෙන්වා දෙන්නේ මේ සියලු තත්ත්වයන් යටතේ මේ වසර මැතිවරණ වසරක් වනු ඇති බවය. විපක්ෂ නායක මහින්ද කියන්නේත් මේ වසර තුළ මැතිවරණ කීපයකටම මුහුණ දීමට ජනතාවට සිදු වන බවය. ඒ අතර ඇතැම් සිවිල් සංවිධාන කියන්නේ ජනතා පරමාධිපත්‍යය සොරකම් කරගෙන ඇති බවය. ඒ හොරා කවරෙක්දැයි ඔවුහු නොකියති.
මේ අතර 2019 වසරට සුබ පතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය මේ සියලු වාදභේද පටු අරමුණු අත්හැරදමා රටේ පොදු යහපත ජනතා සුබ සිද්ධිය අවංකවම ප්‍රාර්ථනා කරන කිසිවකුට නොතකා සිටිය නොහැකි බවද අපගේ අදහසය.
“අපි රටක් විදිහට කටයුතු කිරීමේදී අද තිබෙන දේශපාලන ආර්ථික හා සමාජමය ප්‍රශ්නවලදී මූලික වශයෙන් අපේ වගකීම් හා යුතුකම් මෙන්ම අපට තිබෙන්නා වූ අභියෝගද අප විසින් තේරුම් ගැනීම ඉතා අවශ්‍ය දෙයක්. මුළු ලෝකයම පිළිගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයන් සහ සැලසුම් සමග ක්‍රියාත්මක වන තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කරගැනීම සඳහා 2019 වසරේ අප සියලු දෙනා කටයුතු කිරීමේ වැදගත්කම ඔබ අප කවුරුත් දන්නවා...”
රාජ්‍ය පාලනයේදී රටේ සංවර්ධනයේදී ප්‍රබල අභියෝගයක්ව තිබෙන්නා වූ දූෂණයට විරුද්ධව ගෙන යන පුළුල් ජාතික වැඩසටහනේදී 2019 දූෂණයට විරුද්ධ වසරක් වශයෙන් ක්‍රියාත්මක කරන පුළුල් වැඩ සටහන්වලට ඔබ හැම කෙනකුගේම සහයෝගය මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”
මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීම ඉටු කළ හැකි නම් එයින් මෙරටේ අද උද්ගතව තිබෙන බොහෝ අර්බුද විසඳාගත හැකි මාවතක් පාදාගත හැකි බව පෙන්වා දිය යුතුමය. ඇත්ත වශයෙන්ම මෙරටේ බිහිසුණුම විපත වන්නේද හැම ක්ෂේත්‍රයක්ම වසාගත් දූෂණයේ අඳුරයි. ප්‍රජාතන්ත්‍රවාදය කෙබඳු උතුම් මූලධර්මයක් වුවද එය කෙබඳු දූෂණයකට ලක්ව තිබේදැයි රටම දනී. ජනතාවගෙන් ලබාගන්නා ජනවරම දූෂණය කරන හෘදය සාක්ෂියක් නැති දේශපාලනඥයෝ කොපමණ සිටිත්ද? ඒ බොහෝ දෙනකුට මන්ත්‍රීකම, ඇමැතිකම දූෂණයට පමණක් මෙන්ම සකලවිධ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් වලටම තිබෙන බලපත්‍රයක් වී තිබේ. දූෂණ, වංචා චෝදනා එල්ල නොවූ අය කී දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භූමියේ සිටිත්ද? ඒ පිළිබඳ ගණන් හිලව් ඉදිරිපත් කළ නොහැකි වුවද මුළු රටම ඒ ඒ පුද්ගල චරිතවලත්, දේශපාලන ශේෂපත්‍රවලත් තිබෙන දේ කෙබඳුදැයි ඉඳුරා දනිති.
දේශපාලනයට එන්නේ දෙවිවරුන් නොව පුහුදුන් මිනිසුන් බව සැබෑය. එහෙත් දේශපාලනය විසින් දෙවියන් බවට පත් කරනු ලබන ඒ මිනිසුන්ගේ හැසිරීම් කොතරම් විනාශකාරීද යන ප්‍රශ්නය අපට තිබේ. ඇත්ත වශයෙන්ම ජන දුක හඳුනන, සතර බ්‍රහ්ම විහරණයෙන් යුතු, හෘදයසාක්ෂියක් ඇති ගෞරවනීය මිනිසුන් සිටිය යුතු දේශපාලනය සදාචාර විරෝධී, බල තෘෂ්ණාවෙන් පිරුණු මෝහාන්ධකාරයෙන් වැසී ගිය මුග්ධයන් අතට පත් වේ නම් එබඳු රටකට කිසි දිනක සුගතියක් අත් නොවන බවද කිව යුතුය. එසේම අද බල දේශපාලනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ හා හොර-රහසේ ජාතිවාදය, ආගම්වාදය ඇතුළු නොයෙක් හේතු අවුළවන අයත් සිටිති. පසුගිය දිනවල එබඳු අන්තගාමී මුග්ධ හැසිරීම්වල විපාක වශයෙන් මාවනැල්ල හා අවට ප්‍රදේශවල බුදුපිළිමවලට සිදු වූ හානිය බොහෝ දෙනෙක් මාධ්‍ය ඔස්සේ දැකගත්හ. මූලධර්මවාදී හා අන්තවාදී රෝගීහු හැම ජනවර්ගයක් අතරම සිටිති. ඒ නිසා ප්‍රබුද්ධ ආගමික හා දේශපාලන නායකයන්ගේ වගකීම තම ජනතාව කුපිත කරවීම නොව, ඒ ක්‍රියාකාරකම්වල නිරත වන පවිටන්ගේ සාහසිකත්වය වටහා දී ආගමික හා ජාතික සංහිඳියාව ඇති කරවීමය. එසේම මේ කුරිරු විනාශයන් සිදු කරන අත්වලට බලය දෙන තිරය පසුපස සිටින අශිෂ්ට බලවේග මැඬලීම ආණ්ඩුවේ වගකීම වේ. ආගමික හා වාර්ගික වශයෙන් රට තුළ සිදු වන කෙබඳු විනාශයක් වුවද මහ ජාතිය වන සිංහලයන්ගේ හිස මතට පතිත කරවීමේ ප්‍රවණතාවක්ද ඇත. අන්තර්ජාතික මට්ටමේ සිටින ඇතැම් අවස්ථාවාදීන් ඒවා ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන බවද අප සිහියේ තබාගත යුතුය.
පසුගිය දිනවල උතුරේ විපතට පත් දෙමළ ජනතාවට පිහිට වෙමින් ඔවුන්ගේ දුක් කඳුළ බෙදාගත් පිරිස් අතර වඩාත්ම කැපී පෙනුණේ අපේ ආරක්ෂක හමුදාවල අයයි. එහෙත් ඒ හෘදයංගම, සංවේදී හමුදා ප්‍රතිචාර විග්නේශ්වරන් බඳු දේශපාලන කණ්ඩායම්වලට දිරවාගත නොහැකි වූ බව වාර්තා විය. උතුර හා දකුණ අතර බෙදුම් රේඛාව මකාදැමීම මෛත්‍රි ජනාධිපතිවරයාගේ දේශපාලන ආස්ථානයේ ප්‍රබල ලකුණකි. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවර උතුරු නැගෙනහිර සියලු ජනතාවගේ ප්‍රසාදයටද හේතු වී තිබේ. එසේ වුවද උතුරේ ජනතාව සමග හමුදාව ඇති කරගන්නා හොඳ හිත උතුරේ ඇතැම් දේශපාලනඥයන්ට දිරවාගත නොහැකි වී ඇත. දෙමළ ජනතාවට දක්වන අනුබලය අනුග්‍රහය ෆෙඩරල්වාදයක් හෝ බෙදුම්වාදයක් ලෙස හෝ අර්ථ ගන්වන අය දකුණේද සිටිති. එහෙත් අද මේ ජාතිවාදී හා ආගම්වාදී විස ගල්වා, එමගින් බලය ඇල්ලීමේ දුෂ්ට දේශපාලනයකට බොහෝ දෙනෙක් විරුද්ධ වෙති.
2019 මැතිවරණ වසරක් ලෙස සලකන අය සිය මැතිවරණ ව්‍යාපාරවලදී මේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරිම් මෙන්ම ජාති, ආගම් වර්ග භේදාදී සියලු දුෂ්ටකම්වලින් දුරස් වීමටද වගබලාගත යුතු වෙති. ඉතිහාසයේ අඳුරු යුගවල ජනතාවගේම දරුවන් රටට අහිමි කළ සියලු බලවේග හොඳින් අධ්‍යයනය කරමින් සිය දේශපාලන න්‍යායපත්‍ර සකසාගැනීමද රටට ආදරය කරන සියල්ලන්ගේ වගකීමකි. කාගේ හෝ වරදකින් අපට අහිමි වී ගිය යහපත් චර්යාධාර්මික සමාජය යළි ස්ථාපනය කරගැනීම සමස්ත ජනතාවගේම වගකීමකි. ඒ සදාචාරාත්මක, සංස්කෘතික අභිලාෂයන්ට අත පෙවීමට කිසිදු දේශපාලන පක්ෂයකටද ඉඩ නොතැබිය යුතුය. ඒවාට උඩින් පැන යන දේශපාලන අමනයන්ටද ඉඩ දිය යුතු නැත. ඔවුහු මේ වසරේ අලුත් මුහුණු පැලඳ කරළියට ඒමට සූදානමින්ද සිටිති.
මෛත්‍රී ජනාධිපතිවරයා කී පරිදිම රටේ ඕනෑම කරුණක් දෙස බලද්දී අපට පෙනෙන්නේ බරපතළ විකෘතීන්ය. ඇත්තටම මේ රට මෙතරම් වංචාවලට දූෂණවලට කේන්ද්‍රයක් වූයේ කෙසේද? අද මෙරට සිදු වන මත්කුඩු ජාවාරම්වල ස්වභාවය අපි ඇස්පනාපිට දකිමින් සිටිමු. මේ මහා ව්‍යාධිවලින් මෙරට ගලවාගත හැකි මඟක් අප වහ වහා පාදාගත යුතුය. බලය කේන්ද්‍රගත කිරීම සඳහා කුඩා දේශපාලන කණ්ඩායම් එක් කරන ආකාරයද පෙනේ. එහෙත් වඩා වැදගත් වන්නේ පුළුල් ජාතික හා සංස්කෘතික වටිනාකම් වටහාගත් ජන සමාජයක් මෙරටේ ඇති කිරීමය. 2019 අපගේ ජාතික, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික න්‍යායපත්‍රය සකසාගත යුත්තේ ඒ පසුබිම පිළිබඳ ප්‍රබුද්ධ අවබෝධයකින් යුතුවය. මහින්දාගමනයත් සමග මෙරටේ ඇති වූ සංස්කෘතික වටිනාකම් හා සාරධර්ම පද්ධතීන්ද අමතක කරදමා කිසිවිටෙක මෙරටට හිමි ජාතික සංස්කෘතික අනන්‍යතාව ලබා දිය නොහැකි බවද පෙන්වා දිය යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ යථාර්ථය නිවැරදිව තේරුම්ගත් නූතන රාජ්‍ය නායකයා බවට පත්ව සිටියි. මෙයින් සියවස් ගණනකට පෙර මාතලේ අලු විහාරයේ සිදු වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කාර්යජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මේ වසර සමාරම්භයේදීම සිදු වන්නේද ඒ යථාර්ථාවබෝධයේ හා විචාර බුද්ධියේ ඵලයක් ලෙසය. අපගේ ජාතික උරුමයන් හා හරයන් වෙත ජනතාවගේ අවධානය යොමු කරවීමද අපට රටක් වශයෙන් නැඟී සිටීමට අත්‍යවශ්‍ය වනු ඇත.