සොඳුරු කවු­ඩුල්ලේ ජීවි­තය අපා­යක් කළ මැදි­රි­ගි­රියේ කුණු මෝල්ලු | සිළුමිණ

සොඳුරු කවු­ඩුල්ලේ ජීවි­තය අපා­යක් කළ මැදි­රි­ගි­රියේ කුණු මෝල්ලු

* කවු­ඩුල්ල වාන් ඇළ කුණු වෙලා... දිරන නොදි­රන දහ­ජ­රාව ටොන් ගණන් වාන් ඇළේ...
*‍ කසළ දමන්නෙ මින්නේ­රිය කවු­ඩුල්ල යා කරන අලි­මං­ක­ඩට කුණු ජලය කවු­ඩුල්ල වැවට...
* මැදිරිගිරිය ගොවි පවුල් විසි දාහක් සෞඛ්‍ය ගැට­ලු­වක...
* අලි­මං­කඩ හරහා යන අලි විස කුණු කන්න පුරුදු වෙලා...

අපේ රටේ කිසි දිනෙක විස­ඳු­මක් පේන තෙක් මාන­යක නැති ගැටලු කීප­යක් තිබේ. ඉන් එකක් වන්නේ නග­ර­වල එක­තු­වන කැළි කසළ ප්‍රශ්න­යයි. මෙය පහ­සු­වෙන් විසඳා එය කළ­ම­නා­ක­ර­ණය කර ගැනීමේ විස­ඳුම් ඇතත් මොකක්දෝ කරු­ම­ය­කට එහි සේයා­වක් වත් අප­ට­නම් පෙනෙ­න්නට නැත.

රටේ බොහෝ පළාත් පාලන ආය­තන සිදු කරන්නේ නග­ර­වල කසළ රැගෙන ගොස් හිස් බිම­කට මුදා හැරී­මය. එම­ගින් සිදු කරන මහා පාරි­ස­රික හානිය කොතෙ­ක්දැයි තව­මත් කිසි තක්සේ­රු­ව­කට ලක්කොට නැත. ඇතැම් පළාත් පාලන ආය­තන ඊටත් එහාට ගොස් තම කසළ මුදා හරින්නේ වනා­න්ත­ර­ය­කට හෝ ජල මුලා­ශ්‍ර­ය­ක­ටය. නැත හොත් වගුරු බිම­ක­ටය. මෙම­ගින් සිදු කරන මහා අප­රා­ධය ඉතා බිහි­සු­ණුය.

හිඟු­ර­ක්ගොඩ ප්‍ර‍ාදේ­ශීය සභා­වද අයත් වන්නේ අප අව­සා­න­යට සඳ­හන් කළ පළාත් පාලන ආය­තන ගොඩ­ටය. දිගු කලක පටන්ම ප්‍රාදේ­ශීය සභාව මඟින් එකතු කරන කසල ගෙන­ගොස් දමන්නේ මින්නේ­රිය හා කවු­ඩුල්ල ජාතික වනෝ­ද්‍යාන යා කරන අලි­මං­කඩ වන රොට­වැව ප්‍රදේ­ශයේ හිස් ඉඩ­ම­කට ය. මෙය ස‍ංවේදී පරි­සර කලා­ප­යකි. එය අලි­මං­ක­ඩක් පම­ණක් නොව මින්නේ­රිය වැවේ සිට කවු­ඩුල්ල වැවට ජලය රැගෙන යන කවු­ඩුල්ල වාන් ඇළ ගලා බසින්නේ ද මෙම කසළ බිම ආස­න්න­යෙන් ය.

ප්‍රාදේ­ශීය සභාව මඟින් බැහැර කරන කසල කුණු වී ගලා යන්නේ මෙම සොඳුරු කවු­ඩුලු වාන් ඇළට ය. පොලි­තින්, ප්ලාස්ටික්, සිලි සිලි මලු ඇතුළු නොදි­රන, දිරන සියලු ජරා‍ව තොග ගණ­නින් දැන් ඇත්තේ කවු­ඩුල්ල වාන් ඇලේය. වාන් ඇළට ගලා­යන මෙම ජරාව කවු­ඩුල්ල වැවට එක­තු­වන අතර මැදි­රි­ගි­රියේ ගොවි පවුල් විසි­ද­හ­සක් පමණ පානීය ජල අව­ශ්‍යතා හා ගොවි­තැන සඳහා යොදා ගන්නේ මෙසේ විනාශ වූ ජල­යයි.

එය එසේ සිදු­වන ගමන් තවත් මහා අප­රා­ධ­යක් රොට­වැව කසල බිම තුළ සිදු­වෙ­මින් තිබේ. ඒ අලි­මං­කඩ හරහා ගමන් ගන්නා විශාල අලින් ප්‍රමා­ණ­යක් ප්‍රාදේ­ශීය සභාවේ මෙම ජරාව කෑමට පුරුදු වී තිබීම ය. මින්නේ­රිය හා කවු­ඩුල්ල වන උය­න්ව­ලට මහා ආඩ­ම්බ­ර­යක් වී ඇති වන අලි සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් මෙම කසළ කෑමේ පුරු­ද්දට ඇබ්බැහි වී සිටිති. කසළ සමඟ දින­කට එම සතුන් කා දමන පොලි­තින් ඇතුළු විෂ ප්‍රමා­ණය කොතෙ­ක්දැයි මෙතෙක් කිසි­වෙක් විමසා බලා නැත.

හිඟු­ර­ක්ගොඩ ප්‍රාදේ­ශීය සභාවේ වත්මන් පාල­නය මෙය විස­ඳීම සඳහා තාව­කා­ලික විස­ඳුම් කිහි­ප­යක් ගෙන ඇති නමුත් දිගු කලක සිට සිදු කර­ගෙන ආ ක්‍රියාවේ බර­ප­ත­ල­කමේ ප්‍රති­වි­පාක එසේම පවතී. රොට­වැව ගමේ මිනි­සුන් පව­සන්නේ මෙම ස්ථාන­යට කසළ දැමීම නැව­තීම එකම පිළි­යම බවය.

මේ මින්නේ­රිය රොට­වැව අයි­තින් සුර­කීමේ ජනතා ව්‍යාපා­රයේ සාමා­ජික ඩබ්.එම්.එස්.සර­ජීව කියන්නේ මෙවැනි කතා­වකි.

“ඔය ප්‍රදේ­ශීය සභාව කසළ බැහැර කරන තැන ඉස්සර තිබුණේ රජයේ පොල්ව­ත්තක්. ඒක අයින් කරලා 2008 අවු­රුද්දේ ඔතන කාබ­නික පොහොර හදන කර්මා­න්ත­යක් ආරම්භ කර­නවා කියලා මුල්ගල් තිබ්බා. ඒ මුල්ගල් තියන්න ආවේ එදා කෘෂි­කර්ම ඇම­ති­වෙලා හිටපු වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා. අක්කර 60 – 70 ක් තිබුණ ඉඩම සුද්ද කරලා වෙන වෙන දේවල් කලා මිසක් එතන හදපු කාබ­නික පොහො­රක් නෑ.“

“අන්ති­මට ප්‍රාදේ­ශීය සභාවේ කුණු ටික විත­රක් මෙතෙන්ට ගෙනවා. අවු­රුදු හත අටක ඉඳලා මෙතෙන්ට කුණු ගෙනත් දානවා. ඒ කුණු ඔක්කෝම ගහ­ගෙන යන්නේ කවු­ඩුල්ල වාන් ඇළට. ඔය කුණු ගෙනත් දාන්න කලින් කවු­ඩුලු ඇළ හරි අපූ­රු­වට තිබ්බා. මිනිස්සු නාන්න වගේම බොන්නත් ඇළේ වතුර පාවිච්චි කළා. ඒත් දැන් අප­ජ­රාව එකතු වෙලා ඇළ පැත්ත­ක­ට­වත් යන්න බැහැ.

මේ ඇලෙන් යන වතුරවලින් තමයි කවු­ඩුල්ල වැව පිරෙන්නේ. මුළු මැදි­රි­ගි­රි­යම පාවිච්චි කරන්නේ ඒ වතුර. මේ විදි­යට ඇළ විනාශ කරලා මැදි­රි­ගි‍රියේ මිනිස්සු ලෙඩ්ඩු බවට පත් කරලා. අපි කියන්නේ දැන්වත් මේ වැඩේ නතර කරන්න කියලා.

ඇළත් වැවත් විනාශ වී යෑම ගැන මිනි­ස්සුන්ට ඇත්තේ කණ­ගා­ටු­වකි.

රොට­වැව පදිංචි ලාලනී මුණ­සිංහ පව­සන්නේ කවු­ඩුල්ලේ කවු­ඩුලු ඇළ විනාශ වෙනවා මෙන්ම තවත් නස්පැ­ත්ති­යක් මේ නිසා සිදු­වෙන බවයි.

“ප්‍රාදේ­ශීය සභාවේ කුණු ඇළට එකතු වෙලා ඒක විනාශ වෙලා ඉව­රයි. ඒ මදි­වට ඔය කුණු කන්න අලි පුරුදු වෙලා. උන් හවස දෙක තුන වෙන කොට එත­නට එනවා. ඒවා කාලා ඉව­ර­වෙලා රෑ වෙන­කොට අපේ ගමට පනි­නවා. යාත්තම් අඳුර වැටෙ­න­කොට අපට එළි­යට බහින්න බැහැ. ඔය කුණු අපේ ගමේ ඒවා නෙමෙයි. නග­රයේ ඒවා. ඒත් දුක් විඳින්නේ රොට­වැව, රත්මලේ මිනිස්සු. හරිම අසා­ධා­ර­ණ­යක්. ප්‍රාදේ­ශීය සභා‍ව ඉක්ම­නට මේ ගැන තීර­ණ­යක් ගන්න ඕනෑ.

මින්නේ­රිය රොට­වැව මෙම කසල ප්‍රශ්න­යට එරෙ­හිව සංවි­ධා­නය වී ඇති අයි­තීන් සුර­කීමේ සංවි­ධා­නය මේ පිළි­බඳ විවිධ විරෝ­ධතා දියත් කර­මින් තිබේ. එම සංවි­ධා­නය පසු­ගිය දිනෙක කොළඹ - මඩ­ක­ලපු මාර්ගය අව­හිර කොට ප්‍රබල විරෝ­ධ­තා­ව­යක් දියත් කෙරු­වේය. එම සංවි­ධා­නයේ සාමා­ජික ටි.වී.එස්.එන්. පෙරේරා අප හා කතා කළේය.

“කුණු ප්‍රශ්නය විස­ඳලා දෙන්න කියලා අපි සෑම වග­කිව යුත්තෙ­කු­ටම දැනුම් දුන්නා. අන්ති­මට පසු­ගිය 26 දා පොලො­න්න­රුව දිසා­ප­ති­ව­ර­යාට සිය­ලුම තොර­තුරු සඳ­හන් ලේඛණ භාර දුන්නා. ඒක­ටත් ප්‍රති­චාර නැති නිසා තමයි අපි පාර හරස් කරලා උද්ඝෝ­ෂණ කළේ. දැන් පොලි­සිය උද්ඝෝ­ෂ­ණය මෙහෙ­ය­වන අය සොයා සොයා රිමාන්ඩ් කර­නවා. ඔන්න ප්‍රශ්න­යට විස­ඳුම් දෙන හැටි.

රොට­වැව පදිංචි ටී. කරු­ණා­රත්න පැව­සුවේ මෙම කසල ප්‍රශ්න­යට අම­ත­රව ඌරන් ඇති කරන ස්ථාන­ය­කින් මුදා හරින අප ද්‍රව්‍යත් වාන් ඇළට එකතු වීම නිසා ගැට­ළුව උග්‍ර වී ඇති බවය. මේ ඔහු කියන කතා­වය.

“අවු­රුදු හත අටක ඉඳලා කොහේදෝ තියෙන දහ­ජ­රා­වක් ගමට ගෙනත් දාලා අපේ ගමත්, ඇළත් විනාශ කළා. ඒ මදි­වට ඌරු කොටු­ව­කුත් ඇළ අයිනේ දාලා. එකේ ජරා­වත් ඇළට එන්නේ. මේවාට අව­සර දෙන අය කිසිම දෙයක් හොයලා බලන්නෑ.

ප්‍රාදේ­ශීය සභා­වෙන් දව­ස­කට ට්‍රැක්ටර් 6-7 ක කුණු මෙහාට ගේනවා. ඒ මදි­වට සම­හර ආය­තන හොරෙන් හොරෙන් මෙහාට කුණු ගෙනත් දානවා.“

රොට­වැව පදිංචි යු.පී.යු. දිසා­නා­යක පැව­සුවේ මෙම ස්ථාන­යට එන වන අලින් මේ වන විට තම වගා­බිම් ද විනාශ කර­මින් සිටින බවයි.

“විදුලි වැටක් ගහල තිබු­ණත් අලි වැට කඩා­ගෙන කුණු කන්න පනි­නවා. එතන කෑම හිඟ වෙන­කොට රෑ අපේ ගමට එනවා. මගේ විත­රක් ලක්ෂ 1 ½ ක විතර ගස් ලබු වගා­වක් වැන­සුණා. ගමේ කුඹුරු විනාශ කර­නවා. දැන් කවු­ඩුල්ල විනාශ වුණ නිසා වැවෙන් ජීවත් වුණු ධීව­රයෝ වගේම ගොවි­යෝත් අස­රණ වෙලා.“

රොට­වැව කසල ප්‍රශ්නය පිළි­බ­ඳව වග­කීම දරන්නේ හිඟු­ර­ක්ගොඩ ප්‍රාදේ­ශීය සභා­වයි. අප මේ පිළි­බ­ඳව ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ඩී.ආර්. උඩ­ව­ත්ත­ගෙන් කරුණු විම­සු­වෙමු.

“රොට­වැව කුණු ප්‍රශ්නේ මගේ පාලන කාල­යට කලින් ඉඳලා එතන ගැට­ළු­වක් තිබුණ නිසා මේ වෙන­කොට ලක්ෂ ගාණක් විය­දම් කරලා විස­ඳු­මක් දීලා තියෙ­නවා. එදි­නෙදා එක­තු­වෙන කුණු වල­වල් හාරලා පස් දාලා වහ­නවා. එතන බැකෝ යන්ත්‍ර­යක් යොද­වලා තියෙ­නවා. පිට­ස්තර තැන්ව­ලින් කුණු ගෙනත් දාන එක නතර කරන්න එත­නට මුර­ක­රු­වෙක් දාලා ඉන්නවා. එත­නට වන අලි යන එකට වග­කීම අපට ගන්න බැහැ. විදුලි වැට නඩත්තු කරන එකත් අලි ගම් වැදීම නතර කරන එකක් වන­ජීවි එකේ වැඩක්.

අපි කසළ ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණ­යට මැෂින් ගෙනල්ලා තියෙන්නේ. ඒවා කෙටි කාල­ය­කින්ම හයි කරලා ප්‍රශ්න­යට විස­ඳුම් ගේනවා.“

හිඟු­ර­ක්ගොඩ ප්‍රාදේ­ශීය සභාවේ කසළ ඉවත් කිරීමේ ප්‍රශ්නය දිගු කලක සිටම පැවත එන්නකි. සභා­ප­ති­ව­රුන්ගේ පුටු වෙනස් වුවද ප්‍රශ්නය අද ඇත්තේ එක තැනය. අද වන විට ඇඹි­ලි­පි­ටිය වැනි පළාත් පාලන ආය­තන මේ වැනි ගැටලු වලට සාර්ථක විස­ඳු­මක් සොයා­ගෙන ඇති බවට මාධ්‍ය වලින් අනා­ව­ර­ණය විය. එය හොඳ­නම් හිඟු­ර­ක්ගොඩ ප්‍රාදේ­ශීය සභා­ව­ටද එවන් දෙයක් කදි­මට ගල­පා­ගත හැකිය. එවන් ක්‍රියා­මා­ර්ග­ය­කට නොයා රොට­වැව වැනි සංවේදී පරි­සර කලා­ප­ය­කට තව­දු­ර­ටත් කසළ මුදා හැරී­මෙන් සිදු වන්නේ විශාල පාරි­ස­රික විනා­ශ­යකි.

පොලො­න්න­රුවේ වාසල බණ්ඩාර

Comments