
- කැපුමක් නැති පැය 3ක ශල්‍යකර්මයක්
- රෝගියාට සිදු වන හානිය අවමයි
- මුලින් හඳුනාගත්තොත් සුව කිරීම පහසුයි
ශ්‍රී ලංකාවේ සිටින වෛද්‍යවරුන් විසින් අවස්ථා ගණනාවකදීම ලෝකය පුදුම කරවන සැත්කම් කිහිපයක්ම ඉකුත් කාලය තුළදී සිදු කරන ලදි. බරපතළ අවදානම් අවස්ථාවල රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හදිසි තීරණ ගනිමින් සිදු කළ සැත්කම් ගණනාවක් පිළිබඳ ඉකුත් කාලයේදී ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
සමහර අවස්ථාවල ඉතා අඩු පහසුකම් යටතේ තිබෙන ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන් ගත් මෙවැනි තීරණ නිසා රෝගීන් රැසකගේ ජීවිත බේරාගැනීමට හැකි වූවා පමණක් නොව, අත්-පා අහිමි වීමට ගිය පුද්ගලයන්ගේ අත්-පා බේරාගැනීමටද හැකි විය.
උගුර ආශ්‍රිතව වර්ධනය වූ පිළිකාවක් හේතුවෙන් ආහාර-පාන ගැනීමට නොහැකිව ජීවිත අවදානමක පසු වූ රෝගියකුට කිසිදු කැපුමකින් තොරව එම පිළිකාව ඉවත් කරමින් රෝගියා බේරාගැනීමට ඉකුත් 5 වැනිදා හෝමාගම රජයේ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. මෙම සැත්කම මේ ආකාරයට ලංකාවේ සිදු කළ පළමු සැත්කම බවත්, එය ඉතා සාර්ථක වූ බවත් කියවිණි.
මෙලෙස මේ සැත්කමට මුහුණ දුන්නේ පාණදුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් නියාස් නමැති පනස් හය හැවිරිදි පුද්ගලයෙකි. සැත්කමට භාජනය වූ රෝගියා සැත්කමින් පැය දෙකකට පසුව ඉතා හොඳ තත්ත්වයකට පත්ව කතා බහ කළ බව ද කියවේ.
'ට්‍රාන්ස්ඕරල් එන්ඩස්කොපික් අල්ට්‍රාසොනික්' තාක්ෂණය යොදාගනිමින් මේ සැත්කම සාර්ථකව සිදු කර ඇත්තේ හෝමාගම රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකය විසිනි. ඒ වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය ගෙන ඇත්තේ හෝමාගම රජයේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතාය.
"කිසිදු කැපුමකින් තොරව උගුර ඇතුළතට කැමරාවක් යවලා තවත් උපකරණයක් යොදා ගනිමින් තමයි අපි මේ සැත්කම කළේ. ඒ මගින් පිළිකාව ඉවත් කළා. මේ ආකාරයට සැත්කමක් අපේ රෙට් කළ පළමු අවස්ථාව මෙය බවයි මගේ හැඟීම" යැයි විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.
සිය අත්දැකීම පිළිබඳව කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය:
"රෝගියාගේ උගුර සම්පූර්ණයෙන් ම පිළිකාවෙන් වැහිලා තමයි තිබුණේ. ලෙඩාට හරියට හුස්ම ගන්න කෑම කන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ. ඒ නිසා ඔහු දැඩි අපහසුතාවයකින් පසු වුණා. බොහෝ දුරට ඔහුගේ ජීවිතය ද දැඩි අවදානම් තත්ත්වයක තමයි තිබුණේ. සැත්කම සිදු කිරීම සඳහා අප පැය තුනක් පමණ ගත කළා. ඊට හේතුව අප මේ සැත්කම කරපු පළමු අවස්ථාව නිසායි. සාමාන්‍යයෙන් මේ සඳහා පැය දෙකකට අඩු කාලයක් තමයි ගත වෙන්නේ.
පිළිකාවක් මුලදීම එසේත් නැත්නම් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හොත් මේ නව ක්‍රමය මඟින් සම්පූර්ණයෙන් ම ඉවත් කළ හැකියි. මේ රෝගියාගේ පිළිකාව උගුර පුරා ව්‍යාප්ත වී තිබුණත් අපි 95%කට වැඩි ප්‍රමාණයක් අල්ට්‍රාසොනික් තාක්ෂණ ක්‍රමය මඟින් ඉවත් කළා.
මීට ඉහත උගුරේ පිළිකා තිබෙන රෝගීන් අපට හමු වූ අවස්ථාවල අප ඍජුව කළේ එම රෝගියා මහරගම පිළිකා රෝහල වෙත යැවීමයි. එහි යැවූ විට රෝගියාට කරන්ට්-එක ඇල්ලීම තමයි සිදු කරන්නේ. එසේ සිදු කරන විට රෝගියාගේ සමේ යම් කොටසකට හානි සිදු වෙනවා. එහෙත් අලුත් ක්‍රමය මඟින් සිදු කළාම ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම මග හැරී යනවා.
පිළිකා රෝගයේ අවස්ථා හතරක් හඳුනාගැනීමට වෛද්‍යවරුන් දැනට සමත්වී තිබෙනවා. එහිදී පළමු, දෙවන, තෙවන අවස්ථාවලදී මහරගම පිළිකා රෝහල වෙත යවා පිළිකාව පිලිස්සීම සිදු කරනවා.
ඒත් හතර වැනි අවස්ථාව ඊට වඩා දරුණුයි. හතර වැනි අවස්ථාව කියන්නේ පිළිකාව සම්පූර්ණයෙන් ම වැඩුණු අවස්ථාව. එහිදී සිදු කරන්නේ ඍජුවම ශල්‍යකර්මයකට භාජන කිරීමයි. උගුර ආශ්‍රිතව එලෙස දරුණු තත්ත්වයට පත්වන රෝගීන්ගේ උගුරු දණ්ඩ කපා ඉවත් කිරීමට සිදු වනවා.
ඒත් අපි කරන ක්‍රමය මඟින් පිළිකාව කැමරාවක් මඟින් සම්පූර්ණයෙන් නිරීක්ෂණය කරමින් ශබ්ද තරංගයක් මඟින් තමයි පිළිකාව ඉවත් කරන්නේ. මෙහිදී කිසිදු කිරණයක් භාවිතා කරන්නේ නැහැ. ඒ වගේ ම කිරණ නිකුත් වෙන්නෙත් නැහැ. එහිදී රෝගියාට සිදුවන හානිය අවම වෙනවා.
මේ සඳහා අවශ්‍ය මැෂින් එක ගෙන්න ගන්න මා කටයුතු කළා. ඒක පිටින් ගෙන්නා ගත්තේ. ඒ සඳහා මට රෝහල් අධ්‍යක්ෂිකා සුභාෂිණී පඬුවාවල මහත්මිය සහයෝගය දුන්නා. මේක අපි කණ්ඩායමක් එකතු වෙලා සිදු කළේ. මීට තවත් වෛද්‍යවරුන් රැසක් සහ අපගේ කාර්ය මණ්ඩලය එකතු වුණා. අපේ කණ්ඩායමේ උත්සාහයේ ප්‍රතිඵල ඉතා සාර්ථකයි.
යුරෝපය ඇතුළු ලෝකයේ සංවර්ධිත සහ දියුණු රටවල මේ ක්‍රමය භාවිත කරනවා. ඒත් අපි ලංකාවේදී මේ ක්‍රමය භාවිතෙ කරලා තිබුණේ නැහැ. මා හිතන්නේ ඉදිරියේදී මේ ක්‍රමය භාවිත කරමින් ජීවිත රැසක් බේරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් අප ලබාගත යුතුයි.
මට මේ සම්බන්ධව අත්දැකීමක් තිබෙනවා. මම එංගලන්තයේ වෛද්‍ය පුහුණුවක් ලැබුවා. ඒ පුහුණුව ලබන කාලයේ මේ ආකාරයේ සැත්කමකට එක් වුණා.
බොහෝ විට පිළිකා රෝගීන් එම රෝගී තත්ත්වය හඳුනාගැනීමට මෙන්ම ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ රෝගය ව්‍යාප්ත වීමෙන් පසුවයි. රෝගය මුලින්ම හඳුනාගැනීමට කටයුතු කරන්නේ නම් සුව කිරීම අපහසු වන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණු තත්ත්වයක තිබෙන ලෝකයේ ගොඩ වෙදකම් කර කර සිටින්නේ නැතිව යම් රෝගයක ලක්ෂණ පහළෙෙන්නේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යන ලෙස මා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මෙතෙක් කීමෝ තෙරපි, රේඩියෝ තෙරපි මඟින් සිදු කළ මේ පිළිකා මර්දනයට ඉතා හොඳ ක්‍රමයක් හැටියට මෙය ඉදිරියේදී ව්‍යාප්ත කළ යුතුයි.”
මෙවැනි දක්ෂ වෛද්‍යවරුන්ට වැඩි පුහුණුවක් දී අදාළ ඒකකවලට අවශ්‍ය පහසුකම් සැලසීමට සෞඛ්‍ය ඇමැතිවරයා සහ අදාළ අංශ කටයුතු කරන්නේ නම් තවත් පිළිකා රෝගීන් රැසකගේ ජීවිත බේරාගැනීමට හැකි වනු ඇතැයි අපි මතක් කර සිටින්නෙමු.