
සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යෑමට අප හමුවේ ඇති අභියෝග මැයෙන් ශ්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා සමඟ කළ සාකාච්ඡාවක් ඇසුරෙන් සකසන ලදී.
ලෝකයේ අනෙකුත් රටවල් සමඟ මෙන්ම දකුණු ආසියානු රටවල් සමඟ සාපේක්ෂ ව බලන කල අප රට ආර්ථික සමෘද්ධිය අතින් සිටින්නේ මන්දගාමී ස්ථානයක ය. මීට මූලික හේතුව වී ඇත්තේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය බුද්ධිමය ශ්‍රම දායකත්වයක් සැපයිය හැකි පිරිස ව්‍යවස්ථාදායකය තුළ අවම වීම ය. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝදෙනා අ.පො.ස සාමාන්‍ය පෙළවත් සමත් වූවෝ නොවෙති. එනිසා කිසියම් හෝ අධ්‍යාපනික මට්ටමක් ඇති ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතුය. මෙහිදී විශාල වගකීමක් මෙරට ඡන්ද දායකයන් හට පැවරී ඇත. එමෙන්ම එසේ ජනතාවට බුද්ධිමතුන් තෝරාපත් කර යැවීමට දේශපාලන පක්ෂවලට ද විශාල වගකීමක් පැවරී තිබේ. ඒ කිසියම් ප්‍රාමාණික දැනුමක් සහිත උගත් බුද්ධිමත් නියෝජිතයන් පිරිසකට නාම යෝජනා ලබාදීම ය. මන්දයත් ජනතාවට ඇත්තේ සීමා සහිත තේරීමකි. එහිදී ඔවුන් සිතන්නේ කවරකු හෝ තම පක්ෂයේ අයකු නම් ඔහුට ඡන්දය දිය යුතු බව ය. පෞද්ගලික ආයතනයකට නිලධාරියකු බඳවා ගැනෙන්නේ බොහෝ පිරිසක් කිහිප විටක් පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරු ව ය. එමඟින් එ් ආයතනයට වඩාත්ම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඡන්දයකදී එවැනි පරීක්ෂණයක් කිරීමට ජනතාවට ඉඩක් නොලැබේ. මන්ද යත් ඔවුන්ට මේ අවස්ථාව උදා වන්නේ වසර පහකට වතාවක් වන බැවිනි. එනිසා පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා පාලන ක්‍රමය පිළිබඳ වැටහීමක් සහිත පිරිසක් තම පක්ෂයේ නියෝජිතයන් ලෙස ඉදිරිපත් කිරීම දේශපාලන පක්ෂ සතු වගකීමකි.
විදේශ රැකියා ක්ෂේත්‍රය
අනෙක් අතට අප කල්පනා කර බැලිය යුත්තේ ජාතික ලැයිස්තුව පිළිබඳ ව ය. එවැනි අවස්ථාවක් සලසා දී ඇත්තේ මෙවැනි පුද්ගලයන් සඳහාය. එහෙත් අවාසනාවකට අප රටේ එමඟින් තෝරා පත් කර ඇත්තේ ඡන්දයෙන් පරාජයට පත් වුණු උදවියය. එසේත් නැතිනම් නීති සම්පාදනය පිළිබඳ ව අවබෝධයක් නැති වෙනත් පුද්ගලික සබඳතා ඇති පුද්ගලයන් ය. එනිසා මේ පිළිබඳ වැඩි වගකීමක් රටට සැබෑ ලෙස ආදරය කරන දේශපාලන පක්ෂවලට පැවරේ. ඉදිරියේදී ජනතාව මෙන්ම දේශපාලන නායකත්වය ද ඉතා බුද්ධිමත් ව මේ පිළිබඳව සිතා බලා කටයුතු කළ යුතුය. එසේ වුවහොත් පාර්ලිමේන්තුව තුළ රටේ අභිවෘද්ධිය පිණිස වන යහපත් සාකච්ඡා ඇති වී නව මාර්ගයකට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව සැලසේ. එය අප විසින් යථාර්ථවත් කර ගත යුතු එක අභියෝගය වේ.
මෙරට දියුණු වීමට නම් දැක්මක් සහිත මිනිසුන් පිරිසක් පාර්ලිමේනුතුවට පත් කර යැවිය යුතුය. මන්ද යත් රටේ සියලු සම්පත් කළමනාකරණය සිදු වන්නේ ඔවුන් අතින් වන බැවිනි. දැනුවත් භාවයක් නොමැති අඥාන පුද්ගලයන් වෙත තීරණ ගැනීමේ බලාධිකාරය ලබා දුන් විට සිදු වන්නේ රට තව තවත් ප්‍රපාතයට ඇද වැටීමය. ඊට හේතුව වන්නේ සෙසු ලෝකය පිළිබඳ ව පුළුල් දැක්මක් ඔවුන් තුළ නොවීම ය. ඇත්තෙන් ම ඔවුන් දන්නේ ලංකාවේ ජනතාවට සෙසු ලෝකය පිළිබඳව බියක් ඇති කර, එදා වේල දේශපාලනය කිරීමට ය.
අපට ඇති ලොකුම අභියෝගය වන්නේ අපේ විදේශ විනිමය අවම මට්ටමක පැවතීම ය. මේ මස තුළ පමණක් ඩොලර් බිලියන 2.5ක මුදලක් අප ණය වාරික වශයෙන් ගෙවිය යුතුය. තවත් බිලියන 5ක පමණ මුදලක් මේ වර්ෂය තුළ අප විසින් ලබාගත් ණය වෙනුවෙන් ගෙවිය යුතුය. එහෙත් මේ වන විට අප සතුව ඇති මුළු ආදායම ඩොලර් බිලියන 07කි. එනිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් අපගේ විදේශ විනිමය වැඩි කර ගත යුතුය. අප රටට විදේශ විනිමය ළඟා කර දෙන ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විදේශ රැකියා ක්ෂේත්රයයි. එමඟින් ඩොලර් බිලියන 7ක 8 ක පමණ ආදායමක් අපට ලැබේ. එහෙත් අපට මෙම ක්ෂේත්‍රය මීට වඩා විධිමත්ව කළමණාකරනය කළ හැකි නම් තවත් විශාල මුදලක් උපයා ගත හැකිය. එදා සිට අද දක්වා බොහෝ දෙනා විදේශගත වන්නේ ගෘහ සේවය සඳහා ය. එමඟින් ඔවුන්ට ලැබෙන උපරිම ආදායම ඩොල්ර් 250ක් පමණ ය. එහෙත් අප ගෘහ සේවය සඳහා ම යා යුතු නොවේ. අද විදේශ රැකියා වෙළෙඳපළ තුළ වෙනත් රැකියා අවස්තා ඕනෑ තරම් තිබේ. ගැටලුව වන්නේ අපට ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොවීම ය. එනිසා ලෝකයේ තිබෙන රැකියා වෙෙළඳපළට සරිලන ආකාරයට ශ්‍රමිකයන් පුහුණු කර විදේශ රටවලට යැවිය හැකි නම් අපට තවත් ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් උපයා ගත හැකිය.
උදාහරණයක් ලෙස හෙද ක්ෂේත්‍රය සඳහා විශාල ඉල්ලුමක් ලෝකය පුරා පවතී. ඒ සඳහා පුහුණු හෙද/හෙදියන් අපට ලබා දිය හැකිය. එවිට ඩොලර් 250 වෙනුවට ඩොලර් 500ක ආදායමක් ඔවුන්ට උපයා ගත හැකිය. එනිසා මේ පිළිබඳ ව අවධානය යොමු කරීම වඩාත් ප්‍රතිඵලදායක ය.
අපනයන
අප රටට විදේශ විනිමය ළඟා කරදෙන තවත් ආදායම් මාර්ගයක් වන්නේ අපගේ අපනයන ක්ෂේත්රයයි. අපගේ විදේශ සංචිතය ඉහළ දැමීමට නම් අපනයන භාණ්ඩ වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය ය. මේ සඳහා අපනයන මණ්ඩලයට විශාල කාර්යභාර්යයක් පැවරී තිබේ. ඒ සඳහා මේ ක්ෂේත්‍රය පිළිබඳ ව දැනුවත්භාවයක් සහිත පුද්ගලයන් පත් කර අපගේ අපනයන පිළිබඳ ව ලොව පුරා ප්‍රචාරණයක් ලබාදිය හැකි පුළුල් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය. එමඟින් එකතු කළ අගයන් යටතේ නිෂ්පාදිත නව භාණ්ඩ සඳහා හොඳ වෙළෙපොළක් අපට නිර්මාණය කළ හැකිය. උදාහරණයකට කුරුඳු අප විසින් අපනයනය කරනු ලබන්නේ මිටි වශයෙනි. වැඩි දියුණු කළ නිෂ්පාදනයක් ලෙස අපට කුරුඳු ‘තේ’ ලෙස සකස් කර අපනයනය කළ හැකිය. මන්ද යත් අද කුරුඳු තේවලට විශාල ඉල්ලුමක් විදේශ වෙළෙඳපොළෙහි පවතින බැවිනි. අපනයන මණ්ඩලය හරහා මේ නිෂ්පාදන ලෝකය පුරා ප්‍රචලිත කළ හැකිය. මෙතෙක් අප විසින් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කළ භාණ්ඩ වෙනුවට එකතු කළ අගයන් යටතේ නව නිෂ්පාදන ලෙස ඒවා අපනයනය කළ හැකි නම් වෙනදා ඒ භාණ්ඩයම අපනයනය කිරීමෙන් ලැබූ මුදල මෙන් දෙගුණයක් විදේශ විනිමය උපයා ගැනීමට අපට හැකි වේ. අද අපගේ අපනයන ආදායම වසරකට ඩොලර් බිලියන 2කි. එහෙත් සිංගප්පුරුව වැනි රටවල අපනයන ආදායම ඩොලර් බිලියන 30ක් පමණ වේ. එනිසා අපනයන ක්ෂේත්‍රය වඩා විධිමත් පුළුල් ක්ෂේත්රයක් බවට පත් කළ යුතුය. මේ සඳහා තානාපතිවරුන්ගේ සේවය යොදාගත හැකිය. එමඟින් අපගේ කුඩා පරිමාණ ජාත්‍යන්තර නිෂ්පාදන සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබා දිය හැකිය. කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වර්ධනය කළ හැකි නම් එය දිගු කාලීනව රටට විශාල වාසියකි. නමුත් ගැටලුව වන්නේ අප රට නියෝජනය කරමින් යන තානාපති වරුන්ගෙන් කීදෙනෙක් රටේ නිෂ්පාදන එම රටවල ප්‍රචාරය කිරීමට වෙහෙසෙනවා ද යන්න ය. නමුත් අප රටට පැමිණෙන වෙනත් රටවල තානාපතිවරුන් බොහෝ දෙනා තම රටවල ව්‍යාපාර පිළිබඳ ව ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරති. එනිසා අපගේ තානාපතිවරුන්ට මේ පිළිබඳ ව මනා අවබෝධයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය ය.
සංචාරක
එලෙසම අපට විදේශ විනිමය ළඟා කර ගත හැකි තවත් එක් මාර්ගයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කර විධිමත් වැඩපිළිවෙලක් අනුව කටයුතු කරන්නේ නම් විශාල විදේශ විනිමයක් අපට උපයාගත හැකිය. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබිය යුතු ඉලක්කගත ආදායම වූයේ ඩොලර් මිලියන 2.5කි. නමුත් අපට උපයාගත හැකි වූයේ ඩොලර් මිලියන 2.3ක් පමණි. ඊට රට තුළ පැවති අස්ථාවරත්වය බෙහෙවින් බලපෑවේය. කෙසේ නමුත් මේ වසරේ අපගේ ඉලක්කය වන්නේ ඩොලර් මිලියන 3කි. අප රට තව තවත් ප්‍රචලිත කර සංචාරක ව්‍යාපාරය වර්ධනය කර ගනීමට හැකි නම් කෙටි කාලයක් තුළ අපේ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට අපට හැකියාවක් තිබේ. එනිසා අප විසින් සැලසුම් කළ පරිදි එම ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා මේ කාලයෙහි කටයුතු කළ යුතුය.
විදේශීය ආයෝජන
අනෙක් කාරණය වන්නේ විදේශ ආයෝජනය. විදේශ ආයතනයක් මෙරටට පැමිණ ආයෝජනය කරන විට ඔවුන් විසින් ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. ඉන් එකක් වන්නේ ස්ථාවර රජයක් ස්ථාපිතවී තිබීම ය. අනෙක් කාරණය වන්නේ ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් ය. එහෙත් අප තවමත් තරුණ තරුණියන්ට මෙම නව ආයෝජන ඉලක්ක කර ගත් වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමට අපොහොසත් වී සිටිති. ජාතික අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන ආදායම ආයෝජනයක් සේ සලකා වෘත්තීය මට්ටමේ අධ්‍යාපන ක්‍රමයකට අපට යා හැකි නම් එය වඩාත් වැදගත් පියවරකි. එනිසා මේ කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුය. අප රටේ උසස් අධ්‍යාපනය මඟින් බිහිවන බොහෝදෙනා කලා උපාධිධාරීන් ය. මොවුන්ගෙන් රටට අවශ්‍ය ශ්‍රම බළකායක් නිර්මාණය කළ නොහැකි බව මීට වසර දහයකට ප්‍රථම අප තේරුම් ගෙන තිබුණි. එහෙත් තවමත් ඊට නිසි විසඳුමක් ලබාදීමට අපට හැකි වී නැත. එනිසා වසරින් වසර උසස් අධ්‍යානය ලබා රැකියා වියුක්තියට එකතු වන පිරිස වර්ධනය වෙමින් තිබේ. රට තුළ ඇති මානව සම්පත මනා ලෙස කළමනාකරණය නොකිරීම නිසා අර්බුදකාරී තත්ත්වයකට අප රට මුහුණ දී සිටියි. මේ මානව සම්පතෙහි තිබෙන හැකියා, දක්ෂතා හඳුනාගෙන ඔවුන් එ් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බවට පත් කළ යුතුය. එමඟින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ඔවුන්ගේ විශේෂ කුසලතාවයෙන් සේවය ලබාගැනීමට හැකි වේ. එමඟින් උගත් තරුණ ප්‍රජාවට විශාල වැටුපක් ලබාගෙන තෘප්තිමත්ව ජීවත් වීමට අවකාශ සැලසේ. එසේම එවැනි දක්ෂතාවලින් පිරිපුන් මානව ප්‍රජාවක් සිටින රටක ආයෝජනය කිරීමට විදේශීය ආයෝජකයෝ ද පෙලඹෙති. අද ඉන්දියානු තරුණ තරුණියන් බොහෝදෙනා ඉන්ජිනේරු අධ්‍යාපනයෙන් ජාත්‍යන්තර තලයේ ඉතා ඉහළට පැමිණ සිටිති. එනිසා එරට මානව සම්පත ශීඝ්‍රයෙන් වර්ධනය වී ඉතා ශක්තිමත් ආර්ථිකයක් ළඟා කරගෙන තිබේ. අප රටේ උසස් අධ්‍යාපනය ලබන බොහෝ දෙනා සේවය සලසන්නේ මෙරටට නොව විදේශ රටවලට ය. එය එසේ වුව ද රට තුළ ඉතිරිවන දෙවන හා තුන්වන මට්ටමේ අධ්‍යාපනයක් සහිත පිරිස, අප නිසි ලෙස මෙරට ශ්‍රම වෙළෙඳපොළ සඳහා දායක කර ගැනීමට අපොහොසත් වී සිටිති. එනිසා අපගේ අධ්‍යාපන ක්‍රමය අනාගත ඉලක්ක සපුරාගත හැකි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කළ යුතුය. එහිදී භාෂා කිහිපයක් විශේෂයෙන් ඉංග්‍රීසි, චීන, ජපන්, කොරියන් වැනි භාෂා පිළිබඳ ව අවබෝධය ලබාදීම ඉතා ම වැදගත් ය. මේ කෙරෙහි අපේ අධ්‍යාපන බලධාරීන් විශේෂ අවධානය යොමු කළ යුතුය.
කෘෂිකර්මය
අනෙක් අතින් වැදගත් ක්ෂේත්‍රය වන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය යි. මේ වන විට ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් තිබේ. මේ යටිතල පහසුකම් සංවර්ධනය වන අතරතුර මේ ක්ෂේත්‍රය ඵලදායී ව ඉදිරියට ගෙන යා හැකි ක්‍රමෝපාය පිළිබඳ ව සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා මෙරට තරුණ පරපුර යොදාගත හැකිය. සේවා නියුක්තිය ඉහළ නැංවිය හැක්කේ එවිට ය. අද තරුණ තරුණියන් බොහෝ දෙනා ගොවිතැන ගැන දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. එහෙත් ඉන්දියාවේ මේ තත්ත්වය සහමුලින් ම වෙනස් ය. අද උසස් අධ්‍යාපනය ලබූ තරුණ තරුණියන් පවා ගොවිතැනට යොමුවී හොඳ ආදායම් මාර්ගයක් සකස් කරගෙන තිබේ. විශේෂයෙන් ම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවලට තම කෘෂිකාර්මික භෝග අපනයනය කරන තත්ත්වයට ඔවුන් වර්ධනය වී සිටිති. තමන් ලැබූ උසස් අධ්‍යාපනය මඟින් කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීමට හා නව වෙළෙඳ පොළවල් සොයාගෙන ඒවාට තම කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට ඔවුන් දක්වන්නේ මහත් උනන්දුවකි. මෙනිසා එරටට විශාල විදේශ විනිමයක් මෙන්ම ඔවුන්ටද සුවපහසු ජීවිතයක් ළඟා කර ගැනීමට හැකි වී තිබේ. එනිසා අපගේ ආකල්පමය සංවර්ධනය ද අධ්‍යාපනය මඟින් ඇති කළ යුතුය.
මේ සියලු දේ අපට සාර්ථකව කළ හැකි වන්නේ ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගත හැකි බුද්ධිමත් දේශපාලන නායකත්වයක් රට තුළ ස්ථාපිත වී තිබුණහොත් පමණි. 2015 ජනවාරි 08 වැනිදා නව රජයක් බලයට පත් වීමත් සමඟ යහපාලන ප්‍රතිපත්ති රාමුවක් යටතේ කිසියම් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමටය. එ් වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි නම් මේ රටට ඉදිරියට ගමන් කළ හැකිය. ආණ්ඩුවක් ලෙස තමන් මේ රට රැගෙන යන්නේ කවර දිසාවකට ද යන්න තීරණය කර එ් මාර්ගයේ ගමන් කළ හැකි නම් මේ ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ සඳහා ස්ථාවර ආණ්ඩුවක් කිසියම් කාල සීමාවක් තුළ ස්ථීරව පැවතිය යුතුය.
පසුගිය කාලයේ ආර්ථික වශයෙන් රටට ඉතාම වැදගත් සැලසුම් ගණනාවක් සකස් කෙරිණි. උදාහරණයක් ලෙස පෞද්ගලික අංශයේ කාන්තා ශ්‍රම බළකා සහභාගීත්වය 36% - 40% දක්වා ඉහළ නැංවීම සඳහා මාර්ගෝපදේශන හඳුන්වාදීම පෙන්වා දිය හැකිය. එහෙත් ගැටලුව වන්නේ එ් සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන සම්පත් අප සතු නොවීම ය. මෙනිසා අප හැකි සෑම ආකාරයෙන් ම ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය. එහිදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ දේවල් විවේචනය නොකර රටත් ජනතාවත් පිළිබඳව සද්භාවයෙන් කටයුතු කිරීමට සෑම දේශපාලන නායකයකු ම ඉදිරියට ආ යුතුය.
ඡායාරූපය - රංජිත් අසංක