කුඩු ගෙනයද්දී ඇල්ලූ ත්‍රිරෝද රියැදුරුට හිරගෙදරින් ඇමැතුමක් | සිළුමිණ

කුඩු ගෙනයද්දී ඇල්ලූ ත්‍රිරෝද රියැදුරුට හිරගෙදරින් ඇමැතුමක්

දිනය - පසුගිය 16 වැනි දා

වේලාව - රාත්‍රී 8.45යි

ස්ථානය මාලඹේ - කඩුවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පට්ටියවත්තට හැරෙන හන්දිය

වරින් වර එහා මෙහා යමින් සිටි පිරිසක් ගැන ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ සැකයෙන් බලා සිටියහ. සේවකයන්ගේ උකුසු ඇස යොමු වී තිබුණේ මහමඟ ගමන් කළ වාහන දෙසය.

‘ෂෙඩ් එකට වැඩක් දෙන්න ආපු කට්ටියක්ද දන්නෙ නැහැ’ පිරවුම් හලේ සේවකයෝ කතා වූහ. ‘පොලිසියට කියමු’ සේවකයෝ තීරණය කළහ.

විනාඩියක්වත් ගත වූයේ නැත. සැඟවී සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සහ පෙර කී සැකකටයුතු පිරිස එක්ව පාරේ ගමන් කළ ත්‍රී රෝද රියක් නැවැත්වූහ. එහි අස්සක් මුල්ලක් නෑර සොයා බලා ඉතා ආරක්ෂිතව ත්‍රී රෝද රිය සහ එම පුද්ගලයා පසෙකට රැගෙන ගොස් යමක් විමසා ඔවුහු ත්‍රිරෝද රිය සහ පදවාගෙන පැමිණි පුද්ගලයා රැගෙන යන ලදී.

ඉන්ධන පිරවුම්හල අසල සැරිසරමින් සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් බව පසුව ඉන්ධන පිරවුම් හලේ සේවක‍යෝ දැන ගත්හ.

ත්‍රීරෝද රථය සහ එය පැදවූ තැවැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්තේ එහි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලබන බවට ලද ඔත්තුවක් අනුව එය සෝදිසි කරන අවස්ථාවේදී එහි හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි නිසාය.

ඔවුහු අත්ඩංගුවට ගත් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ. මත්ද්‍රව්‍ය තමාට ගෙන ගොස් කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දිය යුතු බවට දැනුම් දුන් බවත් එම පුද්ගලයා කවුරුන්ද යන්න තමන් නොදන්නා බව ඔහු පැවසීය. එහෙත් මේ ක්‍රියාදාමයේ මෙහෙයුම්කරු කවුරුන්ද යන්න ඔහු නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනයට එකම අංකයකින් ඇමතුම් ගලා එන්නට විය. පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය මත දුරකතන ඇමතුමට පිළිතුරු සැපයිණි.

‘කොහේද ඉන්නෙ. පාර හරිද?’ ඇමතුම දුන් පුද්ගලයා පැවසීය.

‘හරි හරි මේ මඟ පොඩ්ඩක් වීල් එක හිටියා, දැන් යන්න යන්නෙ’

‘කඩවතට යන්න කෝල් එකක් දීල බඩු ගන්න කෙනා එයි’

මේ අයුරින් ඇමතුම් 6ක්ම ඔහුට එම අංකයෙන් ආවේය. ඒ සැකකරු අත්අඩංගුවට පත් වූ බව නොදැන ය.

එම සෑම ඇමතුමකින්ම කියැවුණේ මත්ද්‍රව්‍ය රැගෙන යා යුතු මාර්ගයයි. කඩවත දක්වා ගොස් ලබා දිය යුතු ආකාරය පැවසුවත් ලබාගන්නා පුද්ගලයා කවුරුන්ද යන්න පැවසුණේ නැත.

ඇමතුම දුන්කේ කවුරුන්ද යන්න වසන් කරන්නට සැකකරු උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒ සම්බන්ධව විමසා බැලීමේදී අදාළ දුරකතන ඇමතුම වැලිකඩ බන්ධනාගාරයෙන් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

දැන් ඒ ඔස්සේ වෙනම පරීක්ෂණයක් පැවැත්වේ. බන්ධනාගාරය අවට දුරකතන ජාලය ක්‍රියාවිරහිත කර තිබියදීත් එලෙස බන්ධනාගාරයේ සිට ඇමතුමක් ආවේ කෙසේද යන්න ගැන වෙනම විශේෂ පරීක්ෂණයක් කළ යුතුය.

දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව හෙරොයින් ජාවාරම් සම්බන්ධව බන්ධනාගාරගතව සිටින අයකු විසින් එම මත් කුඩු තොගය රැගෙන ගොස් කඩවතට බාර දෙන ලෙස අදාළ සැකකරුට දැනුම් දී ඇත. ඔහුට ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර ඔහු එයට කැමැති වී අත්තිකාරම් මුදලක්ද ලබා‍ගෙන මත් කුඩු බව දැන දැනත් එලෙස ප්‍රවාහනයට ඉදිරිපත්ව ඇත.

මතු කුඩු කිලෝග්‍රෑමයේ පැකට් 5ක් හා තවත් ප්‍රමාණයක් ත්‍රී රෝද රථයේ තිබී හමුව ඇති අතර එහි සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 5ක් හා ග්‍රෑම් 24කි. මේ වන විට තක්‍සේරු කර ඇති මේ මත් කුඩු තොගයේ වටිනාකම රුපියල් හයකොටි දෙලක්ෂ අසූදහසකි. අත්අඩංගුවට පත් සැකකරු 53 වියැති අයකු වන අතර ඔහු අංක 48/26 ඇසළ උයන, ඔබේසේකරපුර, රාජගිරිය හා අංක 21/බී, පට්ටියවත්ත, කොතලාවල, කඩුවෙල යන ලිපිනයන් දෙකෙහිම පදිංචි බුලත්සිංහලගේ රජිත් නිලන්ත කුරේ යන අය වේ.

ඔහු මීට පෙර කිසිදු ආකාරයක මෙවන් වැරැදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු නොවන අතර ඔහු මේ සඳහා යොදා ගන්නට ඇත්තේ පෙර වැරැදි නොමැති නිසා වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේන පසුව දින 7ක් රැඳවුම්භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත. මේ වන විට අදාළ හෙරොයින් තොගය ලැබුණේ කුමන ස්ථානයෙන්ද යන්න පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශය විසින් අනාවරණය ක‍රගෙන ඇති අතර ඒ පිළිබඳව දිගින් දිගටම කරුණු විමර්ශනය කරමින් පවතී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ‍බුද්ධි අංශ විසින් වරින් වර සිදු කරනු ලබන විශේෂ සෝදිසි මෙහෙයුම් මෙන්ම බුද්ධි තොරතුරු මත මේ මත් ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට කටයුතු යොදමින් තිබෙන බවට තොරුතුරු ලැබී ඇති බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතා පවසයි. ආවේක්ෂණ රාජකාරීන්හි දින කිහිපයක්ම නිලධාරීන් යොදවා සිට කඩුවෙල - මාලඹේ මාර්ගයේ පටිටියවත්තට හැරෙන හන්දියේ ඉන්ධන පිරවුම් හල අසල සිට අදාළ සැකකරු ත්‍රීරෝද රියත් සමඟ අත්අඩංගුවට ගත් බවද ඒ මහතා කීය.

අදාළ සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ මේ මෙහෙ‍යුමේ ප්‍රධානියා මේ වන විට බන්ධනාගාරගතව සිටින බව‍ දැනගත හැකි විය‍. මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් උත්සාහ කරන්නේ. එළියේ සිට මේ මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයින් සොයාගැනීමටය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නි‍යෝජ්‍ය ‍පොලිස්පති සජීව මැදවත්ත, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි තිලක් ධනපාල හා පොලිස් ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙණිය යන මහත්වරු දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වමින් සිටිති.

විශේෂයෙන්ම මේ සම්බන්ධව අවධානය යොමු කර ඇති කරුණු දෙකකි. එයින් පළමුවැන්න මේ මත්ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයා හා ලබා ගැනීමට සිටි පුද්ගලයා කවුරුන්ද යන්නයි. මේ වන විට ලබා දුන් පුද්ගලයා ගැන අනාවරණය වෙමින් පවතින අතර කඩවතදී ලබා ගැනීමට සිටි පුද්ගලයා පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එසේම බන්ධනාගාරයේ සිට දුරකතන ඇමතුම් ලබාගත්තේ කෙසේද? ඒ සඳහා සහාය දුන්නේ කවුද යන ප්‍රශ්නයයි.

අදාළ සැකකරුගේ නිවාස දෙකම දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු දෙයක් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත. සැකකරු මේ ජාවාරමේ අතරමැදියකු බව පෙනී ගොස් ඇති බව පවසන කාර්යාංශය මෙහි මහ මොළකරුවන් හැකි ඉක්මනින් නීතියේ රැහැනට හමු කරගන්නා බව පවසයි.

Comments