ගම් හතේම බැතිමතුන් පෙරහරේ යන මොරටුව සාන්ත සෙබස්තියන් මංගල්‍යය | Page 2 | සිළුමිණ

ගම් හතේම බැතිමතුන් පෙරහරේ යන මොරටුව සාන්ත සෙබස්තියන් මංගල්‍යය

සුරේකා නිල්මිණි ඉලංගකෝන්

ලොව පුරා කිතුනුවන් අතර ප්‍රචලිත සාන්ත සෙබස්තියන් මුනිවර බැතිය මෙරට කිතුනුවන් අතර ද විශේෂ බුහුමනට පාත්‍ර වී තිබේ. ක්‍රිස්තියානි ආගමික විශ්වාසය වෙනුවෙන් දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගිවරයකු වන සෙබස්තියන් මුනිතුමාගේ උපත සිදු වී ඇත්තේ ක්‍රි.ව 256 දී මිලාන් ජනපදයේ නර්බෝනා නගරයේදීය.

ඉතා ප්‍රසිද්ධ වංශවත් පවුලකින් පැවත ආ කඩවසම් හා ධර්මිෂ්ඨ තරුණයකු වූ ඔහු රෝමානු සේනාංකයට බැඳී බොහෝ දෙනෙකු කිතුනු විශ්වාසයට හරවාගැනීමට කටයුතු කළේය. ඒ බව දියෝක්ලෙසියානු අධිරාජ්‍යයාට සැල වීමත් සමඟ සෙබස්තියන් සෙබළාට ඊතලවලින් විද මරා දැමීමට අණ කළේය. එහෙත් ඔහු භූමදාන කිරීමට පැමිණි සැදැහැවත්හු ඔහු නොමළ බව දැන උපස්ථාන කර සුවපත් කළහ.

සුවපත් වූ පසුවද සෙබස්තියන් කිතු දහම අතනොහැරීම නිසා කෝපයට පත් වූ අධිරාජ්‍යයා යළිත් ඔහු මරණයට පත් කිරීමට තීන්දු කළේය. එවර වධකයෝ පොලුවලින් ගසා සෙබස්තියන් තුමා මරණයට පත් කළෝය. උන්වහන්සේ භූමදාන කරන ලද රෝමයේ සාන්ත සෙබස්තියන්ගේ දේවස්ථානය කතෝලිකයන්ගේ ප්‍රධාන වන්දනා ස්ථාන හතෙන් එකක් ලෙස සැලකේ.

පසු කලෙක දී සුදුවරයට ඔසවනු ලැබූ සාන්ත සෙබස්තියන් මුනිඳුන් වසංගත රෝගවලටද, බෝවන රෝග, තුවාල ඇතුළු සියලු ආකාර රෝග සඳහාද සුවය ලබාදෙන සාන්තුවරයා ලෙස ලොව පුරා කිතුනුවන්ගෙන් බුහුමන් ලබයි. ජනවාරි 20 වැනි දා සෙබස්තියන් මුනිඳුන්ට කැප කළ දිනය වන අතර, සෙබස්තියන් මුනිඳුන්ට කැප කළ බොහෝ කිතුනු දෙව්මැදුරුවල එදින හෝ ජනවාරි මාසයේ අවසන් ඉරු දින වාර්ෂික මංගල්‍යය සමරමින් සෙබස්තියන් මුනිඳුන්ට හරසර පුදති.

සෙබස්තියන් බැතිය රට පුරාම පැතිර ඇති අතර, මීගමුවේ කටුවපිටිය සහ වැල්ලවීදියේ විශාල දේවස්ථාන දෙකක් සහ මීගමුව ඇළ පාර පෙරියමුල්ලේ සහ මීගමුව පළගතුරේ කුඩා දෙව්මැදුරු දෙකක් පිහිටා තිබේ. සෙබස්තියන් මුනිඳුන්ට කැප කර ඇති දේවස්ථාන අතර සියනෑ පුරවරයේ ගම්පහ මොරගොඩ පිහිටි සාන්ත සෙබස්තියන් දේවස්ථානය ද විශේෂ ස්ථානයක් ගනී. එම දේවස්ථානය මෙවර සමරනු ලබන්නේ සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ 191 වැනි වාර්ෂික මංගල්‍යයයි.

මෙරට සෙබස්තියන් මුනිඳුන්ට කැප කර ඇති දේවස්ථාන අතර වන තවත් සුවිශේෂී දේවස්ථානයක් ලෙස බහුතර කතෝලික ජනතාවක් වෙසෙන මොරටු පුරවරයේ ජනතාවගේ බුහුමනට පාත්‍ර වී තිබෙන සාන්ත සෙබස්තියන් දේවස්ථානය හැඳින්විය හැකිය.

මොරටුව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ඉතිහාසය මෙරටට පෘතුගීසින්ගේ පැමිණි යුගයටත් එහා ඈතට දිවෙන බව පැවසේ. ඒ ඈත අතීතයේ මොරටු පුරවරයේ වසූරිය වසංගතයක් පැතිර ගිය බවද සෙබස්තියන් මුනිඳුන්ට බාර වීමෙන් සහ යැදීමෙන් එම වසංගතයෙන් ජනතාව සුවය ලැබූ බවද ජනප්‍රවාදයේ කියැවේ.

සෙබස්තියන් මුනිතුමාට කැප කළ වන්දනා කුටියක් වර්තමානයේ සුසානභූමිය පිහිටි ප්‍රදේශයේ තිබී ඇති අතර, ලන්දේසින් විසින් 1618 දී එය කඩාබිඳ දමා තිබේ. ඉන් පසු නැවතත් 1700 දී පමණ කුඩා දෙව්මැදුරක් ඉදි කොට ඇති අතර 1736 දී එම දේවස්ථානය වෙනුවට තවත් දේවස්ථානයක් ඉදි කර තිබේ. ජනප්‍රවාදය අනුව වත්මන් සාන්ත සෙබස්තියන් දෙව්මැදුර සිවු වැනි දේවස්ථාන ලෙස සැලකෙන අතර එය 1875 වසරේ දී ෆිලේරියන් රදගුරුතුමා විසින් අබිසෙස් ගන්වා ඇති බවට ද දේවස්ථානයේ ඉතිහාසය සාක්ෂි දරයි.

ඒ අනුව අද (20දා) සැමරෙන්නේ මොරටුව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 144 වැනි වාර්ෂික මංගල්‍යයයි.

මංගල සමයේ දී පමණක් නොව නිරන්තරයෙන්ම විශාල ජනතාවක් මෙම දේවස්ථානය කරා පැමිණෙති. විශේෂයෙන් වසංගත ඇතුළු ලෙඩරෝගවලදී සෙබස්තියන් මුනිඳුන්ගේ මැදහත් පිහිට අපේක්ෂා කරන බැතිමත්තු රටේ හැම දෙසකින්ම මෙම දේවස්ථානය කරා පැමිණීමට පුරුද්දක් කරගෙන සිටිති.

නුවානවල දී මෙන්ම මංගල සමයේ දී බැතිමතුන් ආසිරි ගන්වන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව ද වෙනත් දේවස්ථානවල ඇති ප්‍රතිමාවලට වඩා විශේෂත්වයක් ගනී. එනම්, එම ප්‍රතිමාව සෘජුව සිටගෙන සිටින ආකාරයේ ප්‍රතිමාවක් නොව, සෙබස්තියන් මුනිතුමාට ඊතලවලින් විදින අවස්ථාවේ උන්වහන්සේගේ ශරීරය නැවී වේදනාවෙන් පසු වන අයුරු දැක්වෙන ආකාරයේ ප්‍රතිමාවකි. එම නිසාම ලෙඩදුක් ඇතුළු නොයෙකුත් ශාරීරික වේදනාවලින් පෙළෙන්නන්ට එම ප්‍රතිමාව වන්දනා කිරීමෙන් සුව සහනය අත් වන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

වාර්ෂික මංගල්‍යෙය් දී සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ එම ප්‍රතිමාව පෙරටු කරගෙන වීදී සංචාරය කරන මංගල පෙරහරට 15,000-20,000ක පමණ ජනතාවක් සහභාගි වන්නේ ද සෙබස්තියන් මුනිඳුන් කෙරෙහි දක්වන ඉමහත් භක්තිය නිසාය. එමෙන්ම එම පෙරහර සඳහා මොරටුව ප්‍රදේශයේ ගම් හතේම ජීවත් වන ක‍තෝලික ජනතාව සහභාගි වීම මොරටුව සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දී සිදු වන ඉතා සුවිශේෂි අවස්ථාවකි.

සාන්ත සෙබස්තියන් බැතිය නිසා පමණක් නොව දේවස්ථානයේ සුන්දර පෙනුම නිසා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබේ. ඉතාලි සම්ප්‍රදායට අනුව නිම වී ඇති දේවස්ථානයේ ප්‍රධාන අල්තාරය කිරිගරුඬින් නිම වී තිබේ. ස්වර්ගාරෝපිත දේව මාතාවන්ගේ අලංකාර කැටයමකින් ද දේවස්ථානයේ ඇතුළත සුන්දර වී ඇත.

එපමණක් නොව මොරටු පුරවරයට ආවේණික ලී කැටම්වලින් හැඩ වී ඇති දේවස්ථානයේ දොර ජනෙල් මොරටු ජනතාවගේ කලා හැකියාව ජීවමාන කරවයි. දේවස්ථානයේ වහලය ත්‍රිමාන ක්‍රමයට සකස් කර තිබෙන අතර එය දේවස්ථානයේ අලංකාරය වැඩි කරයි .

මොරටුව සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ 144 වැනි වාර්ෂික මංගල්‍යෙයේ සන්ධ්‍යා මෙහෙය 19 වැනි දා සෙත්සර ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමානායක පියතුමා සිදු කරන අතර, 20 වැනි දා උදෑසන 8.30 මංගල දිව්‍ය පූජාව මොරටු පුරවරේ උපන් පූජක පුතකු වන ගල්කිස්ස දේවස්ථානයේ මීසම් පාලක රාජ් සිල්වා පියතුමා සිදු කරයි.

Comments