පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය 25 දා සිට BMICH හි දී | Page 3 | සිළුමිණ

පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය 25 දා සිට BMICH හි දී

“ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය“ මේ මස 25 වැනිදා සිට 27 වැනි දා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

වසරක් පාසා පැවැත්වෙන එම ප්‍රදර්ශනය මෙවර පැවැවෙන්නේ එකොළොස් වැනි වරටය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය ඇතිව ප්‍රදර්ශනය පැවැත්වෙන අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය එක්ව සංවිධානය කර තිබේ. ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් පාවහන් උපදේශක සභාවේ සභාපති රන්ජිත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මේ ප්‍රදර්ශනය මඟින් පාවහන් කර්මාන්තය පිළිබඳ රටපුරා අලුත් කතාබහක් ඇති කිරීමට අවස්ථාවක් උදා වී ඇති බවයි. ප්‍රදර්ශනයේදී පාවහන් නිෂ්පාදනය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් වෙත කර්මාන්තය පිළිබඳ පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බවද හෙතෙම සදහන් කළේය.

පාවහන් කර්මාන්තය සඳහා දේශීය මෙන්ම විදේශීය ඉල්ලුමක් ද පවතින බැවින් විදේශීය විනිමය ඉතිරි කරගත හැකි මාර්ගයක් ලෙස දේශීයව ඒවා නිෂ්පාදනය සඳහා කර්මාන්තකරුවන් දිරිගැන්වීම සිදු කළ යුතු බවද ඊට මෙම ප්‍රදර්ශනය විශාල පිටුබලයක් ලබාදෙන බවද අවධාරණය කළ පාවහන් උපදේශක සභාවේ සභාපති රන්ජිත් හෙට්ටිආරච්චි මහතා බලධාරීන් මේ පිළිබදව උනන්දු කිරීමට මෙම ප්‍රදර්ශනය මහඟු අත්වැලක් ලබාදෙනු ඇතැයිද සදහන් කළේය.

ප්‍රදර්ශනයේ දී නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය දැනුම ලබාදෙන අතරම නිෂ්පාදන වැඩිදියුණු කරගැනීම සඳහා ද එමඟින් මඟ පෑදෙනු ඇති බවත් සුළු, මධ්‍ය හා මහා පරිමාණ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන් 300කට අධික පිරිසක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වන බවත් සඳහන් කළ රන්ජිත් හෙට්ටිආරච්චි මහතා අනර්ඝ තත්ත්වයේ පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන රැසක් ඉතා සාධාරණ මිල ගණන්වලට පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීම සඳහා හැකියාව ලැබෙනු ඇතැයිද විශ්වාසය පළ කළේය.

 

Comments