
අපේ රටේ ප්‍රවාහන අර්බුදයට විසඳුම් සොයන්නට වූයේ 70 දශකයේ සිටමය. ඒ අනුව පෞද්ගලික බස් රථ ප්‍රවාහන සේවයට එක් විය. සිරිල් මැතිව් මහතා ත්‍රීරෝද රථ සේවයට මගී ප්‍රවාහනයට එක්වුණේ ඒ අනුවය. එසේ වුවත් මාර්ග තදබදය වැඩි වූවා මිස ප්‍රවාහන අර්බුදයට එයින් විසඳුමක් ලැබුණේ නැත.
එසේ වුවත් දුවන්නන් වාලේ ධාවනය වූ දුම්රිය සේවාව කඩිනම් සංවර්ධනයක් කරා ගෙනයන්නට රජයේ අවධානය යොමු විය.
ඒ අනුව රජයේ කෝටි 1900 ක වියදමින් නව දුම්රිය රැසක් දුම්රිය සේවයට එක් කිරීමට කටයුතු යොදන ලදි.
ඒ අනුව ඉන්දීය ණය සහනාධාර ක්‍රමය යටතේ නව බලවේග කට්ටල 12 ක් (ද්විත්ව බලවේග කට්ටල 6 ක්) හා නව දුම්රිය එන්ජින් 10 ක්ද උඩරට දුම්රිය ධාවනයට චීනයෙන් නව බලවේග දුම්රිය 7 ක්ද වසර 40 කට පසුව ඇමරිකාවෙන් නව දුම්රිය එන්ජින් 10 ක්ද ඉන්ධන ප්‍රවාහන ගැල් 30 ක්ද ආනයනයට කටයුතු යෙදිණි.
එහි පළමු අදියර යටතේ ඉන්දියාවෙන් නව බලවේග කට්ටල 2 ක් (ද්විත්ව බලවේග කට්ටලයක්) ගෙන්වා එය උතුරු මාර්ගයේ ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇත.
එහි මංගල ගමන පසුගියදා උතුරු කොනේ කන්කසන්තුරය දක්වා ගියේය.
සුපිරි පහසුකම්වලින් 1 වන සතියේ වායුසමනය කළ මැදිරි 2 ක් ද සහිත එම දුම්රිය 1 වන සතියේ මගීන්ට නවීන තාක්ෂණය භාවිත කර තමන්ට කැමැති ආකාරයේ සංගීතය අත්විඳීමට අවස්ථාව සලසා ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය නිහඬ ශබ්ද උපකාරක යන්ත්‍රයක් ද සපයා ඇත.
අප යාපනය බලා ගිය දුම්රිය ධාවනයේදී කිසි අපහසුවක් සිදු නොවුණේ දුම්රියට යොදා ඇති වායු බැලුන නිසාය.
මේ දුම්රියේ යම් අඩුපාඩුවක් වෙතොත් එම අඩුපාඩු සොයා බලා ඉදිරියේදී ආනයනය කරනු ලබන දුම්රියට එම අඩුපාඩුවලින් තොරව ආනයනය කරනු ලබන බව මෙම චාරිකාවට එක්වූ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී ජයම්පති මහතා කීවේය. දැනට මගීන්ගෙන් 6% ක පමණ සංඛ්‍යාවක් පමණක් දුම්රිය සේවාව භාවිත කරනු ලබන අතර එම සංඛ්‍යාව වැඩිකර ගැනීමට අපේක්ෂා කරනු ලබන බවද එතුමා කීය.
“මේ දුම්රියේ ඇති අඩුපාඩු දැනට දී ඉදිරියේදී ආනයන කරනු ලබන දුම්රිය මගීන්ට උපරිම පහසුකම් සලසා දීමට පියවර ගන්නා බව දුම්රිය ගමනාගමන අධිකාරි ඒ.ඩී. ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි. දැනට ධාවනය වන උත්තර දේවි දුම්රියට මේ දුම්රිය යොදවනු ලබන බවත් ඉදිරියේදි මේ දුම්රියට නව ද්විත්ව බලවේග දුම්රියයන් ගෙන්වනු ලබන බවද ගමනාගමන අධිකාරිවරයා කීය.
අපි දුම්රිය මුල සිට අගටත් අග සිට මුලටත් සොයා බැලුවෙමු.
එහි ඉහළ තාක්ෂණය කෙසේ වෙතත් නිමාව නම් එතරම් අලංකාර නැත. පළවෙනි පංතියේ ඇති මැදිරියේ ස්වයංක්‍රීය දොර අසුන්ගෙන සිටින මගියකු දෙපා එහා මෙහ කළත් දොර විවෘත වේ. අතින් හිස පිරිමැද්දද දොර විවෘත වේ. එය ඉදිරියේදි ශක්තිමත් ස්වයංක්‍රීය දොර අබලන් වීමට හේතුවකි. එමනිසා ඉදිරියේදී ආනයන කරනු ලබන දුම්රියන්හි එය නිසි පරිදි සකස් කළ යුතුය.
එසේම 3 වන හා 2 වන පංතිවල දුම්රිය ජනේලයෙන් හදිසියකට හෝ හිස එළියට දමා බැලීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඒ ජනෙල්වල ඇති පටු තත්ත්වය නිසාය. වැසිකිළිවල කරාම අබලන් තත්ත්වයේය.
දුර ධාවනයට සැකසූ මේ දුම්රියේ ආපන ශාලා නොමැතිවීම බලවත් අඩුපාඩුවකි.
එමෙන්ම දුම්රිය එන්ජිම සඳහා වෙනම මැදිරියක් වෙන් කිරීම මගී ජනතාවගේ අයිතිය උදුරා ගැනීමකි. අඩි 65 ක දිගකින් යුක්තව මේ දක්වා ගෙන්වන ලද සියලුම බලවේග දුම්රියන්ගේ (එස්- 12 හැර) මඟීන්ට ගමන් කළ හැකි කුඩා හෝ මැදිරි කොටසක් තිබුණි. මෙහි එන්ජින්මේ නියාමකවරයාට ගමන් කිරීමට ස්ථාන 2 ක් යොදා තිබීම නිෂ්ඵලය.
මේ අඩුපාඩු සකසා ඉදිරියේ දුම්රිය ආනයනය කළ යුතු බව අපි අවධාරණය කරන්නේ මේ සියල්ල මහජන මුදල් නිසාය. මගී ජනතාවට එසේ නොවුණහොත් යළිත් දුම්රිය මැදිරිවල වහලේ එල්ලී යාමට සිදු විය හැකිය.
ඡායාරූපය - විමල් කරුණාතිලක