
අතොරක් නැතිව සුසුම්ලමින් එහා ඉමේ සිට මෙහා වෙරළ තෙක් දිව එන රළ ගොඩබිම සිප ගන්නේ වියරු වෙසකිනි. මන්දයත් ගොඩට ගසනා සෑම රළ බිඳුමකින්ම යළිත් මුහුද දෙසට රැගෙන යන්නේ ගොඩ බිමින් කොටසකි. මා අද දින රැදී සිටිනා මේ මුහුදු වෙරළ තීරය තවත් මාසයකින් ඉනික්බිති මහ සයුරේම කොටසක්ය යන්න හිතළුවකැයි නොසිතන්න. නමුදු සමුදුරු රළ ගෙඩි විසින් ගොඩ බිමින් කොටසක් ගිල ගත්තත්, ඊට හිලව් වශයෙන් අලුතින් බිම් කොටසක් යළිත් පෙරළා ලබා දීමටද මහසමුදුර කාරුණික වේ. ඒ ක්‍රියාවලිය මුල් කරගෙන මේ දූපත් වලට නටන දූපත් කියන නම පටබැදී ඇත. නටන දූපත් ගණන16 කි. ඒවා ඉන්දු - ලංකා මුහුදු සීමාව තුළ පිහිටා ඇත. එම දූපත් 16 න් දූපත් 08 ක් අපට අයත් වන අතර, ඉතිරි දූපත් අට අයත් වන්නේ අපේ ළඟම රට වන ඉන්දියාවටය. ඉන් අපේ රටට අයත් දූපත් 08න් පිළිවෙළින් තෙවන දූපත තුළ මේ මොහොතේ මා රැදී සිටිමි. ඒ සොබාදහමේ තවත් අපූර්ව වු පබැදුමක් සේ ප්‍රකට ළිහිණි කවියකට සමවැදෙනු රිසියෙනි.
බැලූ බැල්මට නිසරු බිමක් සේ දිස්වන මේ වැලි පර දූපත් ඉටු කරනු ලබන පාරිසරික මෙහෙවර සුළුපටු නොවේ. මේ ශුෂ්ක වු භූමියේ අව්කූටකයෙන් රත්වන වැලි දූපත් වසරේ එක් සමයක් තුළදී මුහුදු ළිහිණියන්ට ක්ෂේම භූමියක් වන බව නම් අපේ රටේ බොහෝ දෙනෙක් නොදත් රහසකි. මේ රහසේ සැබැ තතු කෙබදුද? ඒ පිළිබදව සොයනු රිසියෙන් ඇරැඹි ගවේශණයක් හරහා අනාවරණය කර ගත් තොරතුරු වළින් බිදක් මෙසේ සටහන් තබනුයේ නිසරු වු බිමක් වුවද සොබාදහමේ නිමැවුමක් ලෙසින් බිහි වනුයේ එහි අගයක් ඇති නිසාවෙන් බව යළි යළිත් සිහිපත් කරමිනි.
ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරම් තොටින් ඉන්දියන් සමුදුර තරණය කර අන්දමන් දූපත් වළ ඇරැඹුමේ පිළිවෙලින් අංක 01 වැලි පර දූපත, අංක 02 වැලි පර දූපත පසු කරමින් අංක 03 වැලි පර දූපත වෙතට උදෑසනම ගොඩ බැස්සේ දවසම මුහුදු ළිහිණින්ගේ තතු විත්ති පිළිබදව අධ්‍යයනය කිරීම සදහා ය. දවස පුරා අව්අව් රශ්මියෙන් උණූසුම් වන වැලි පර දූපත් අතරේ සනිටුහන් වන මුහුදු ළිහිණින්ගේ ජීවන තොරතුරු වඩාත්ම සක්‍රීයව නිරීක්ෂණය සදහා නම් යෝග්‍යම කාල සීමාව වන්නේ හිරු රැස් සෞම්‍ය වන උදෑසන සහ සවස් කාලයයි. එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා වලින් හිමිදිරි උදෑසනම තලෙයි මන්නාරමින් ගමන් ආරම්භ කළ අප තෙවන වැලිපර දූපත වෙත උදෑසන හතහමාර, අට පමණ වන විටදී අදාල ස්ථානයට පැමිණියෙමු. මන්ද යත් එකම අදිටන හොදින් ළිහිණින්ගේ තතු අධ්‍යයනය කිරීමයි. වැලි පර දූපතට ගොඩ බෑ මොහොතේ සිට ඉන් පිටත්ව යන තුරාවටම සවන් අතරේ ඒක නින්නාද දුන් මුහුදු ළිහිණි “ක්රෑමක්”.... “ක්රෑමක්” හඩින් ආගන්තුක අප වෙත සංග්‍රහ කරන්න නම් මේ සත්වයින් අමතක කළේ නැති බවත් සිහිපත් කළ යුතුයි.
තෙවන දූපත යනු කුරුළු කොළණියකි. අතුරු සිදුරු නැතිව මුළු දූපතම අරක්ගෙන සිටින්නේ මුහුදු ළිහිණියන්ය. සුදු පැහැති වර්ණයේ සිට කළු - සුදු දෙවර්ණයෙන් සහ අළු - කළු වර්ණයෙනුත් සැදුම් ලත් සිරුරු වළින් හෙබි මේ පක්ෂින් අජීවී කහ පැහැති වැලි පර දූපත් අතරට එක් කර ඇත්තේ සජීවී බවකි.නිරාවරණය වු මුහුදු වැලි මත වගේම වැල්ල මත දිව ගිය වැල් ගොමු අතරේත් කැදිලි තනා ගෙන ඔවුන් ගෙවනා ජීවිතය සැබැවින්ම මනරම්ය. මේ ගෙවී යමින් තිබෙන්නේ මුහුදු ළිහිණින්ගේ අභිජනන සමයේ අවසන් භාගයයි. ප්‍රමාණාත්මකව සෙන්ටීමීටර් 55 සිට සෙන්ටිමීටර් 20 අතරේ දෝලණය වන ශාරීරික ප්‍රමාණයන් නියෝජනය කරනා සාමාජිකයින් අතරේ ඇත්තේ එකිනෙකාට වෙනස් වු හැසිරීම් රටාවන්ය.
අපේ රට තුළදී නිරීක්ෂණය කළ හැකි මුහුදු ළිහිණියන් අතරේ ශරීර ප්‍රමාණයෙන් විශාල එනම් සෙන්ටීමීටර් 55 කට ආසන්න වන සිරුරක් දරන්නේ කැස්පියා මුහුදු ළිහිණියාය. සෙස්සන්ගෙන් වෙන් කර හදුනා ගත හැකි වන්නේ සාපේක්ෂව විසල් සිරුරෙන් සහ දිළෙන සුළු වන රතු පැහැති හොටෙනි. කකුල් කළු පැහැති වන අතර අභිජනන සමය ළන් වත්ම හිසේ දක්නට ඇති සුදු පැහැති කැඩුණු ස්වභාවයෙන් යුතු රේඛා මැකී ගොස් තද කළු පැහැයක් ගනී. යුවළ බැදුම් සහිතය. නිරාවරණය වු වැල්ල මත වළැති තැනක් බිජු ලෑමට භාවිතයට ගන්නා අතර බිත්තර තද දුඹුරු පැහැති එහි පසුබිමේ අලුවන් තිත් සලකුණු වැටී ඇත. ප්‍රමාණයෙන් බිත්තරයක් මිලි මීටර් 60 – 45 ත් අතර අගයකි. වරකට කිරිල්ලිය විසින් බිත්තර 01 – 03 ත් අතර සංඛ්‍යාවක් දමනු ලබයි. බිත්තර රැකීම සහ පැටවුන් පෝෂණය කිරීම මා - පිය දෙපාර්ශවයම සමෝ සමව ඉටු කරන අතර පැටවුන්ගේ ආරක්ෂාව පිළිබදව බෙහෙවින්ම කැප වේ. අප ගොඩ බට දූපතේ වැඩි අයිතියක් තමන් සතු කර ගනිමින් ස්වකීය අභිජනන බිම ලෙස මේ දූපත අත් කර ගෙන සිටියේද කැස්පියා මුහුදු ළිහිණියන්ය. මුහුදු ළිහිණින් බිජු දමා තිබූ භූමිය පසු කර දූපතේ අනෙක් පසට ගමන් කරන විටදී දක්නට ලැබුණේ මේ පක්ෂීන් අතරින් පිරිසක් තමන්ගේ දරුවන් පෝෂණය කරන අතරේ තවත් පිරිසක් යළිත් බිජු දමා පැටවුන් නිසි කල සපුරා බිත්තර බිද එළියට එනතුරු කල් මරනා දසුනට හේතු බිජය වු සාක්ෂියකි. දූපතේ මේ ප්‍රදේශයේ ඇත්තේ කුරුල්ලන් විසින් අත් හැර දමා තිබූ බිත්තර දස දහස් ගණනකි. ඒ පෙර දිනෙක ගැලූ මුහුදු දියට යට වු බිත්තර වේ. කරදිය මුසු ජලයෙන් බිත්තර යට වු වහාම ඒවා අතැර යළිත් බිජු දැමිමට මේ පක්ෂීන් පෙළඹේ. මන්ද යත් තමන්ගේ අභිජනන සමය තුළදී යළිත් බිජු දැමීමේ හැකියාව ඔවුන් සතුව ඇත. නොගැඹුරු මුහුදු කලාපයට අයත් මේ වැලි පර දූපත් සීමාවේ නිරන්තරවම සිදු වන වඩ දිය බාදිය ක්‍රියාවලිය හේතුවෙන් මෙම වැලි පර වැටියේ භූරූපීය වෙනස් කම් සිදු වීම යනු සාමාන්‍ය වු සංසිද්දියකි. මෙම ලිපියේ ඇරැඹුමේ සදහන් කළ පටබැදි නාමය වන නටන දූපත් බිහි වන්නේ ඒ අයුරිනි.
කට කමසෙයියාවක් නැතිව කෑ මොර නගනා මුහුදු ළිහිණියන්ගේ ජනපදයේ සියල්ලන්ම තම පැටවුන්ට එල්ල වන බාධාවන් අභිමුව එකාවන්ව එකතු වන්නේ එවිට සතුරාට අබියෝගයක් එල්ල කල හැකි බව වටහා ගෙන විය යුතුය. නමුත් ඔවුන්ගේ එකී ප්රුයත්නය නිස්ඵල වු වෑයමක් බවට පත් වන්නේ සියල්ලන්ගේම ඇස් වසා ගොදුරු පක්ෂීන් විසින් දිනකට වරක්, දෙවරක්, තෙවරක් ආදි වශයෙන් විටෙන් විට දී ළිහිණි පැටවුන් ඩැහැ ගෙන යාම සුලභව සිදු වන බැවිනි. ඈත අහස් ඉමේ සිට රවුම් ගසමින් ක්රමාණුකූලව වැලිපර දූපත් ඉසව්වට පාත් වන උකුස්සෙක් නෙතට හසුවු ඇසිල්ලේ ඒ පණිවුඩය දූපතේ අස්සක් මුල්ලක් නෑරම පතුරුවා හැරීමට ළිහිණි “ක්රෑනක්” හඩ සමත් වේ. එහි ඇති ත්රීව්රතාවය කණ වැකුණු ඇසිල්ලේ මා පිය දෙපාර්ශවයම සෙසු ළිහිණි හා එක් වී ස්වකීය පැටවුන් ඉහළ අහස් කුසේ සටිනා ගොදුරු පක්ෂියාගේ නිරීක්ෂණයට හසු නොවන සේ බිම්මට්ටම ආවරණය කරමින් පියැඹීම අරඹයි. එය පියෑඹීමකට වඩා එක් තැනම රැදී සිටිමින් සිදු වන පියා සැලීමක් සේද සදහන් කළ හොත් නිවැරදිය. එසේ අහස් වියන මත රැදෙමින් බිම් මට්ටමේ ළැග සිටින පැටවුන් ක්‍රමානුකූලව ආරක්ෂිත වු එක් ස්ථානයක් වෙතට රැගෙන යන්නත් මේ අය දක්ෂයි. පුළුන් බෝල වැනි පුංචි කුරුළු පැටවුන් මා පිය මග පෙන්වීම අනුව යමින් ආරක්ෂිත භූමිය වෙතට ළගා වෙන්න සමත් වුණාට මේ සිදු වන කළබලයෙන් බියට පත් වන පුංචි පැටවෙක්, දෙන්නෙක් යා යුතු මග තේරුම් කර ගත නොහී එක තැන රැදීම හෝ වෙනත් දිසාවකට දිව යෑම අපට දකින්ට පුළුවන් විය. ඒ අවස්ථාව උදා වන තෙක් රවුම් ගසමින් සිටිනා ගොදුරු පක්ෂීන්අවස්ථාව ලද සැනින් ඊයක වේගයෙන් විත් පුංචි පැටවුන් ගොදුරු කර ගන්නේ කරුණා විරහිතවය. යකඩ කොකු හා සමැ වු නිය අතරේ සිර වන පුංචි වුන් රැගෙන වේගයෙන් ඉගිළි යන උකුස්සන් පසු පස හඹායමින් ළිහිණි මා පියන් විරෝධය පෑවත් ගොදුරු පක්ෂීන් ඒ වගක් කණකට වත් ගන්නේ නැත. සිරුරේ යටටම කිදා බසිනා රැදුරු නිය පහරින් ඒ වන විටත් මියැදෙමින් සිටිනා සියුමැලි වු පුංචි පැටවුන් උදෙසා වෙහෙසීම ඵල රහිත බව වටහා ගන්නා වැඩිහිටි පක්ෂීන් තමන්ගේ උත්සාහය අතහැර යළිත් දූපත වෙත පැමිණ කැ මොර ගැසුවත් ඒ ටික වේලාවකට පමණය. තවත් දින දෙක තුනකින් අලුත් බිත්තරයක් දමා එය රැකීම
කැස්පියා මුහුදු ළිහිණින්, හීන් කොණ්ඩ මුහුදු ළිහිණින්, මහ කොණ්ඩ මුහුදු ළිහිණින් ආදීන් විවෘත වැල්ල මත පිහිටි කුඩා වළක් මත්තේ බිජු දමා බිජෞෂ්ණය කරද්දි තවත් මුහුදු ළිහිණින් පිරිසක් වැල් පැළැටී ගොනු මත සුරක්ෂිතව බිජු දමා රැකීම අරඹනු ඇත. කොටසක් වැල්ල මත ළගිද්දි, තවත් පිරිසක් පැළෑටී ගොනු මත ළගියි. උඩු කය කළු පාට, යටි කය සුදු පැහැති අපූරු විහග මිතුරෙක් තමයි දුඹුටු මුහුදු ළිහිණියා. ඔහුගේ නළලේ සුදු පැහැය ඇස තෙක් විහිදි යයි. නමුත් එය ඇස පසු නොකරයි. හොට සහ ඇස අතරේ කළු පාට ඉරකි. හොට, පා යුගළ කළු පැහැතිය. පෙදය අග්ගිස්ස ගැඹුරු ලෙස දෙබල් වී ඇත. මේ අයත් අභිජනන සමය කිට්ටු වෙද්දී හිසෙහි පවතින සුදු පැහැති කැඩිරි ස්වභාවය නැතිව ගොස් දිලෙන කළු පාටින් දිස්වේ. එය මේ ලිහිණින්ගේ සිරුරට එක් කරන්නේ අපූර්වත්වයකි. එකී පැහැ වෙනස සුවැදි සමයේ ඇරැඹුම සනිටුහන් කරනා මැයි මුල සිටම දැක ගත හැකිය.වැල්ල මත දිව යන බිම් තඹුරු වැනි වැල් ගාල් මත්තේ බිජලෑමට මේ මුන් ප්‍රිය කරයි. ලිහිණින්ගේ හැසිරීම් දෙස බලා සිටින විට දුටුවේ දුක්මුසු දසුනකි.
කැස්පියා මුහුදු ළිහිණි පැටවෙක් මාපියන් පසු පස දිව ගොස්, ඉනික්බිති මාපියන් තමන් තනි කර දමා ඈත අහස් කුස අරඹයා පියාඹා යන දෙස බලා හිද යළිත් තමන්ගේ යහළු සමාජය වෙත ඇදී ගියේ දුකකින් මෙනැයි මට සිතේ. බිත්තර බිද අලුත උපදින කුරුළු පැටවුන් ඉතා ඉක්මණින් මාපිය බඩවතින් නික්මී දූපතේ තමන්ගේ කුරුලු සමාජයට අයත් වපසරියේ ස්වාධීනව ඇවිද යන්න සමත් වෙනවා. ඔවුන් උපදින විටත් ශක්තිමත් වු පාද යුගළක් හිමිව තමයි මෙළොව එළිය දකි. පියාසර පිහාටු වර්ධනය වී පියාඹා යාමේ හැකියාව ලැබෙන තුරු ධාවීය ජීවිතයක් සදහා ඒ උරුමය ඔවුන්ට මහත් වු පිටුවහළක් ලබා දෙනවා.තවත් මාස එකහමාරකින් පමණ ඉනික්බිති මේ අයත් යම් තාක් දුරට පියෑඹීමට සමත්කම් පානවා.
උදෑසන සිට හවස් සමය තෙක් එක සීරුවට වැලි පර දූපත් දවා හලු කිරිමට වුව සමත් කම් ඇති බැව් විදහා පෑ හිරු අස්තංග වීමට ආසන්න හෝරාව පැමිණ ඇති බවට ඉගි බිගි සැමත රජයයි. අව් රැල්ලේ ඇත්තේද සැදෑ සෞම්යතාවයක්. දිවා හිරුගේ තේජස්වී බව අභිමුව නිදිගත් ලීලයෙන් පසු වු මුහුදු ළිහිණි සාමාජිකයින්, යළිත් මළ හිරුගේ රැස් අබිමුව නිදිගත් ලකුණු පහව ගොස් ක්‍රියාශීලිව දූපතේ පියාසැම අරඹා ඇත. ළිහිණි පැංචන් මා පිය ආරක්ෂා මැද එකිනෙකාගේ ඇගෙහි හැපෙමින් ඔබ මොබ දිව යයි. අලුත උපන් පැටවුන් මා පිය බඩ වතේ සැගව ගෙන හිරුගේ අස්තංගය දෙස බලා ගෙන, මුහුදු රළ බිදෙනා සෝ සුසුම් හඩට සවන් දෙමින් කුමක් නම් සිතනවා ඇති දැයි යන්න නටන දුපතේ ගෙවී ගිය දවස පුරාම මසිතේ වූ සිතුවිල්ලයි.
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
සේයා රූ- රෝහිත ගුණවර්ධන