
* කි:මී: 7ක් යන විට බෑග් 12ම කසළවලින් පිරුණා.
* මඟ හමු වුණු දුම්රිය 8කට අයින් වුණා.
* මෙවර කසළ ඉවත් කළේ දෙවැනි වතාවට
මිහිදුම් සළු පොරවා ගත් කිරිගල්පොත්ත කඳු පන්තිය එක් පසෙකින් දිස් වන විට අනෙක් පසින් ශීඝ්‍ර කඳු බෑවුමේ වගා බිම් යායක් දක්නට ලැබෙන පට්ටිපොළ දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන අතරින් සුවිශේෂ දුම්රිය ස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන නිසා ය. පට්ටිෙපාළ දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6,222 ක් ඉහළිනි. පට්ටිපොළ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ KM 224 කණුව පිහිටි සමර්සෙට් ස්ථානය, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ උසම ස්ථානය ලෙස හැඳින්වේ. සමර්සෙට් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6,226ක් ඉහළිනි. එතෙක් කෙඳිරි ගාමින් ආයාසයෙන් කඳු නැඟගෙන පැමිණි බදුලු කෝච්චිය හතිලමින් කඳු බැසීමට පටන්ගන්නේ සමර්සෙට් සිට ය. බදුලු කෝච්චියේ කෙඳිරිලි හඬ යටපත් කරමින් ගලා හැළෙන දිය ඇලි හඬ, වන මලින් වැසුණු කඳු අතර දෝංකාර දෙද්දි මහා රත් මල් යාය සහ යුකිලිප්ටස් වගාව මැදින් දුම්රිය ඉදිරියටම ගමන් කරන්නේ පට්ටිපොළ පසුවනවාත් සමඟ හමුවන අංක 18 දරන බිංගෙයට ය.
ඝන මීදුම් පටල ඉරාගෙන, හාත්පස වෙළාගත් අඳුර කපාගෙන බිංගෙයට ඇතුළු වන දුම්රිය ඉන් පිටතට පැමිණෙන්නේ හොඳින් හිරු රැස් පතිත වන සම්පූර්ණයෙන් ම වෙනස් වූ දේශගුණික කලාපයකට ය. උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොළ ආශ්‍රිත ප්‍රදේශය ඉතා වැදගත් කලාපයක් වන්නේ මෙවැනි දේශගුණික විපර්යාසයන්ට ලක් වන, සොබා සෞන්දර්ය කැටි කර ගත් ප්‍රදේශයක් වන බැවිනි. මෙම කලාපයට දුම්රිය මගීන් විසින් බැහැර කරනු ලබන කසළ ඉවත් කර සොබා දහම් දිනිතියගෙන් උරුම වූ අලංකාරය තවදුරටත් රැක ගැනීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් 23 වැනිදා කණ්ඩායමක් සත් කාර්යයක නිරත වූහ.
මෙම කණ්ඩායමට අයත් සංඛ්‍යාව 30 කි. මෙහි නඩේ ගුරා වන්නේ පන්නිපිටිය ඇරැව්වල පදිංචි රංජන් තියඩෝර් ය. එම ගමේ ම පදිංචි සෝමරත්න බණ්ඩාර, රංජන්ගේ සගයා ලෙස කටයුතු කළේ ය.
“මම පරිසර ගවේෂකයෙක්. පරිසරය ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොළ සහ ඉදල්ගස්හින්න කලාපය වැදගත් කලායක් හැටියට මම හඳුනා ගත්තා. මම පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපති හමුවෙලා රේල්පාර දිගේ ඇවිදින්න අහපුවාම ඔහු ඊට අවසර දෙන්න බැහැ කිව්වා. ඒත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් සැලසුම් කළොත් රේල්පාරේ ඇවිදින්න අවසර ලැබේවි කියලා මට හිතුණා. උඩරට දුම්රිය මාර්ගය දෙපස ප්ලාස්ටික් බෝතල්, ලන්ච් ෂීට් වැනි කසළ දාලා තියෙවා මම අනන්තවත් දැකලා තියෙනවා. ඇත්තට ම උඩරට දුම්රිය මාර්ගය හරිම සුන්දරයි. ඒ සුන්දර පරිසරය කසළවලින් අසුන්දර වීම වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතුණා. මගේ පරිසර ගවේෂණය වගේම එයින් යහපත් වැඩක් කරන්න පුළුවනි නේද කියලා මට හිතුණා. ඊට පස්සේ මම දුම්රිය සාමාන්‍යාධිකාරි හමු වුණා. ඒත් ඔහු අවසර දුන්නේ නැහැ. නියෝජ්‍ය පරිපාලන නිලධාරි විරාජ් මහත්තයා කිව්වා රේල්පාරේ ඇවිදින්න අවසර දෙන්න බැහැ, ඒක නීති විරෝධියි, ඒත් කසළ ඉවත් කිරිමේ යහපත් අරමුණක් තිබෙන නිසා පරිස්සමෙන් ගිහින් ඒ වැඩේ කරන්න කියලා කිව්වා.” යනුවෙන් ගමනට අවසර ලබා ගත් අයුරු විස්තර කරමින් කතාබහට මුල පිරුවේ රංජන් තියඩෝර් ය.
රංජන් සිය චාරිකාව හා හා පුරා කියා ආරම්භ කළේ 2017 වර්ෂයේදී ය. ඊට සෝමරත්න බණ්ඩාර, උපතිස්ස කරුණාරත්න ඇතුළු 17 දෙනෙක් සහභාගි වූහ. පට්ටිපොළ සිට ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයේ දෙපස තිබුණු අපද්‍රව්‍ය ඉවත් කිරීම එම ගමනේදී සිදු කෙරිණි. 2018 දෙසැම්බර් 23 වැනි දින ඔවුන් සහභාගි වූයේ දෙවැනි වතාවට ය. මෙවර කණ්ඩායමේ තිස්දෙනා තෝරා ගැනුණේ පවුල් 4 ක සිටි යොවුන් පිරිස සහ ගමන් කළ හැකි මැදිවියේ පසුවන අයගෙනි.
රංජන් ඇතුළු කණ්ඩායම දෙසැම්බර් 23 වැනිදා පන්නිපිටියෙන් පට්ටිපොළ බලා ගමන ආරම්භ කළේ පාන්දර 1.00 ට ය. උදෑසන ආහාර ගෙන පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපති හමු වී දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔවුන් දුම්රිය මාර්ගයට පිවිසියේ උදෑසන 8.00 ට ය. අපද්‍රව්‍ය එකතු කර දමා ගැනීම සඳහා ඔවුන් බෑග් 12 ක් රැගෙන ගිය අතර අංක 20 දරන බිංගෙය අසලට යන විට මෙම බෑග් සියල්ලම පිරී අවසන් විය. පට්ටිපොළ සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙක අතර තිබුණු කැලිකසළවලින් සියලුම බෑග් පිරී ඉතිරී යාමෙන් දුම්රිය මාර්ගය දෙපස අපද්‍රව්‍ය කොතරම් ප්‍රමාණයක් තිබේද යන වග අපට මනාව පැහැදිලි වේ.
“රේල්පාරට විසි කරලා තිබුණු අපද්‍රව්‍ය අතර වැඩිපුරම තිබුණේ ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් බෝතල්. ඒ වගේම බිස්කට් පැකට්වල කවර, කෑම කොළ, වීදුරු මත්පැන් බෝතල් එහෙම තිබුණා. අපි කසළ එකතු කරන්න යන ගමන ගැන පට්ටිපොළ, ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපතිවරුන් වගේ ම ස්ථිර මාර්ග පරීක්ෂකවරුන් දැනුවත් කර තිබුණේ. ස්ථිර මාර්ග පරීක්ෂක කිව්වා කසළ පුරවපු බෑග් එක්තරා තැනකින් තියන්න, ඒ අය ඩක්කුවෙන් ඇවිත් ගන්නම් කියලා. අපි ඒ විදිහට බෑග් තිබ්බා. මේ මාර්ගයේ කොයි තරම් කුණු තිබෙනවාද කියනවා නම් ඔහියට යන විට අපේ බෑග් පිරුණ නිසා අපිට ඔහිය - ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයෙ කුණු එකතු කරන්න බැරි වුණා. අපේ ගමන ඔහියෙන් නවත්වන්න සිද්ධ වුණා. මුල්ම වතාවෙදි නම් ඉදල්ගස්හින්න දක්වා ම කුණු එකතු කළා.” යනුවෙන් රංජන් තියඩෝර් පැවසුවේ දුම්රිය මාර්ගයට කුණු දැමීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව අපට පසක් කරමිනි.
ඔවුන්ගේ අපද්‍රව්‍ය එකතු කිරීමේ චාරිකාවේ මුළු දුර කි:මි: 16 කි. එහෙත් ඔවුන්ට ඔහිය දක්වා යා හැකි වූයේ කි:මි: 07 ක දුරක් පමණි. මෙම කි:මි: 07 ක දුර දුම්රිය මාර්ගයේ කසළ එකතු කරමින් යන විට ඔවුන්ට මුණගැසුණු දුම්රිය 8කට පමණ මාර්ගයේ අයින් වීමට සිදු විය. මෙම කණ්ඩායම දුම්රිය මාර්ගයේ අපද්‍රව්‍ය එකතු කරමින් ගමන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් දුම්රිය රියදුරන් දැනුම්වත් කර තිබුණු බැවින් මෙම කණ්ඩායමට හමු වූ සෑම දුම්රියක් ම ඈත තියා ම නළාව හඬවමින් ධාවනය කළේ ඔවුන්ට දුම්රිය මාර්ගයෙන් ඉවත් වීමට කල්වේලා දෙමිනි. මෙම කණ්ඩායම පට්ටිපොළ සිට ඉදල්ගස්හින්න දක්වා ගමන් කළේ නම් පසු කළ යුතු බිංගෙවල් ගණන 17 කි. එහෙත් ඔහිය දක්වා ගමන් කළ ඔවුන්ට පසු කළ හැකි වූයේ බිංගෙවල් 03 ක් පමණි.
“බිංගෙවල්වලින් යන විට නම් කැප් එකක් දාගෙන ටෝච් එකක් අරං යන්නම ඕනෑ. බිංගෙයි ඇතුළේ කළුවරට ජංගම දුරකථනයේ ටෝච් එළිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ තරමට ම තද කළුවර. කැප් එකක් දාගෙන නොගියොත් කුරුල්ලන්ගේ වසුරු වැටෙනවා. බිංගෙවල් ඇතුළේ වැහිළිහිණියන් ඉන්නවා. සමහර තැන්වල දිය සීරාව තියෙන නිසා ඔළුවට වතුර වැටෙනවා.” යනුවෙන් බිංගෙවල් ඇතුළතින් ගමන් කළ අත්දැකීම් රංජන් තියඩෝර් විස්තර කළේ එලෙසිනි.
පෙරවරු 11.30 වන විට ඔහියට පැමිණි පිරිස පැටීගේ කඩයෙන් දිවා ආහාරය ගෙන පරිසර ගවේෂණයක් ලෙසින් ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය දිගේ චාරිකා කිරීමට සැරසුණ ද ඔහිය ස්ථිර මාර්ග පරීක්ෂක දැනුම් දුන්නේ ඔහියෙන් ඉදිරියට පයින් ගමන් කිරීම අනතුරුදායක බවයි. ඊට හේතුව තද වර්ෂාව සමඟ නැඟුණු මීදුම සමඟ දිවියන් සහ ගෝනුන් උණුසුම සොයා දුම්රිය මාර්ගයට පැමිණීමයි. ඉදල්ගස්හින්න දක්වා දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීමේ අදහසට නැවතීමේ තිත තබන්නට සිදු වූයේ එබැවිනි. එහෙත් ඔවුන් දුම්රියේ නැඟ ඔහියේ සිට ඉදල්ගස්හින්න දක්වා ගියේ විනෝදය පිණිස ය. ඉන් අනතුරුව බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙන රාත්‍රි තැපැල් දුම්රියේ නැඟ නැවතත් පට්ටිපොළට පැමිණ එතැන් සිට ඔවුන් ගිය වාහනයෙන් පන්නිපිටිය බලා පිටත් වූයේ මේ වසරේදිත් මේ ආකාරයට උඩරට දුම්රිය මාර්ගයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ අපේක්ෂාවෙනි.
හර්ෂා සුගතදාස