උතුරේ අපරාධ සැලසුම හෙළි වෙයි ද? | සිළුමිණ

උතුරේ අපරාධ සැලසුම හෙළි වෙයි ද?

රසුල දිල්හාර ගමගේ

වවුනියාවේදී බෝම්බ මල්ලක්, පිස්තෝලයක්, සමඟ යුද උපකරණ තොගයක් හමු වීමේ සිද්ධිය මේ වන විට මෙගා ටෙලි නාට්‍යයක් ලෙසින් දිග හැරෙමින් පවතී.

ඒ බෝම්බ මල්ලේ කතාවේ උණුසුම මැකී යෑමටත් පෙර තවත් අයෙකු ගෑස් පිස්තෝලයක් හා තවත් ආයුධ කීපයක්ද පතුරම්ද සමඟ පොලීසියට කොටු වන්නේ කිලිනොච්චියේ පලෙයි කරන්තායි පළාතෙනි. ඔහු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

ඒ සාමාජිකයා සටන්වලට ගොස් කකුලද අහිමි කරගත් අයෙකි. රජයේ වැඩසටහන යටතේ ඔහු පුනරුත්ථාපනය වූවත් ඔහු තවමත් අවි ආයුධ සමඟ ජීවත් වී තිබේ.

මේ අතර වාරයේ කිලිනොච්චියේදී ගෑස් පිස්තෝලයක් සමඟ කොටු වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සහ වවුනියාවේදී බෝම්බ මල්ලක් දමා පලා ගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අතර සම්බන්ධයක් ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

වවුනියාවේ පුලියන්කුලම පුතූර් ප්‍රදේශයේදී බෝම්බ මල්ලක් දමා පලාගිය ආනන්ද රාජා නැමති හිටපු කොටි සාමාජිකයා 2002 වසරේද බෝම්බ තොගයක් ළග තබාගැනීමේ සිද්ධියකට බන්ධනාගාර ගත වූවෙකි.

ඔහු මෙන්ම පසුගියදා කිලිනොච්චිය පලෙයි කරන්තායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද පී.සුදාන් නැමති සැකකරුද බෝම්බ කප්පිත්තෙකු බව ආරක්ෂක අංශ කියයි.

2007 වසරේදී එම කොටි සාමාජිකයාගේ දකුණු පාදය අහිමි වී ඇත්තේද බෝම්බ පිපිරීමකින් බව කියන ආරක්ෂක අංශ මොහුත් වවුනියාවේ ආනන්දරාජා යන අයත් අතර ඉතා සමීප සබඳකම් පැවති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ දෙදෙනාම බෝම්බ පිස්තෝල හා වෙනත් අවි ළඟ තබාගෙන සිටියේ මන්ද යන කාරණය මතු කරගැනීමට ආරක්ෂක අංශ උත්සාහ දරන නමුත් වවුනියාවේ බෝම්බ මල්ලේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති නිසා මේ දෙපාර්ශ්වයේම තොරතුරු විමසා බැලීමට ආරක්ෂක අංශ වලට නොහැකි වී තිබේ.

මුලින්ම වවුනියාවේදී බෝම්බ මල්ලක් හමු වන්නේ ජනවාරී පළමු වැනිදාය.

නව වසර උදා වූ දිනයේදීම වවුනියාවේ පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේදී මේ බෝම්බ මල්ල හමුවූයේ පොලීසියටය. ඒ සැකකරුවකු විසින් එය රැගෙන එමින් සිටියදී පොලිස් නිලධාරීන් පිරිසක් දැක එය මහමඟ දමා දිව යාම නිසාය.

බෝම්බ මල්ල දමා පැනගිය පුද්ගලයාත් ඔහුව මෙහෙයවන ලද පුද්ගලයාත් යන දෙදෙනාම නියත වශයෙන්ම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

මේ දෙදෙනාගෙන් එක් අයකු රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ පුනරුත්ථාපනය වී ඇතත් අනෙක් පුද්ගලයා එසේ පුනරුත්ථාපනය නොවු අයෙකි.

මේ සිද්ධියේ භයානක පැති කීපයකි. ප්‍රධානම කාරණය වන්නේ මේ බෝම්බ මල්ල පිස්තෝලය ඇතුළු යුද උපකරණ එක් අයෙකු විසින් රැගෙන යද්දී ඔහුව දුරකතනයක ආධාරයෙන් මෙහෙයවන්නට අයෙකු සිටියේ නම් ඔවුන් සහභාගී වීමට ගිය අපරාධය හෝ විනාශය කුමක්ද? යන්න මෙතෙක් කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකි වීමයි.

ඊළඟ කාරණය වන්නේ මේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමයි. මේ දෙදෙනාගෙන් බෝම්බ මල්ල රැගෙන ගිය පුද්ගලයා දුරකතන ඇමතුම් ලබා දෙමින් මෙහෙයවන ලද තැනැත්තා මේ වන විට ඉන්දියාවට පලාගොස් ඇති බවට ආරක්ෂක අංශවලට මුලින්ම තොරතුරු ලැබිණි. නමුත් දැන් ආරක්ෂක අංශ කියා සිටින්නේ ඔහු ඉන්දියාවට පලාගොස් නැති බවයි.

ආරක්ෂක අංශ ඒ බව තහවුරු කරන්නේ ගුවන් තොටුපළ ඔස්සේ කරන ලද පරීක්ෂණවලින් පසුවය. නමුත් ඉන්දියාවට පලා යන පුද්ගලයන්ට මාළු බෝට්ටුවක නැඟී වුවද ඉන්දියාවට යා හැකි නිසා ගුවන් තොටුපළ පරීක්ෂාවෙන් ලැබෙන නිගමනයන් පමණක් සෑහීමකට පත් නොවේ.

ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින ආනන්ද රාජා නැමති අය 2002 වසරේදීද බෝම්බ ළග තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකි. එනම් ඒ රස්සාව පිළිබඳ ඔහුට හොඳ පළපුරුද්දක් ඇත.

ඔහු මෙහෙයවන ලද ඊළඟ තැනැත්තා සංකර් වශයෙන් හඳුනාගෙන තිබේ. ඔහු කිරිකජු වයසේ පසු වන කොලුගැටයෙකු වූවත් ආරක්ෂක අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහුද හිටපු කොටියෙකි.

ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට මේ සිද්ධිය හා සම්බන්ධ වූ අය දහතර දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. ඉන් කාන්තාවක හැරෙන්නට අනෙක් සියලු දෙනාට එල්ල වී ඇති චෝදනා වන්නේ බෝම්බ මල්ලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සමග දුරකතන සංවාද පැවැත්වීමයි.

අත්අඩංගුවේ සිටින කාන්තාවගේ කතාව ඊට වඩා තරමක් වෙනස් ය.

මේ කාන්තාවගේ නම ප්‍රකාශ වී ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා විසිනි. එයද දුරකතන සංවාදයක් සමඟ බැඳුණු කතාවකි. නමුත් මේ කාන්තාවගේ නි‌ෙවස පරීක්ෂා කිරීමේදී තවත් යුද උපකරණ කීපයක්ම හමු වී තිබේ.

ආරක්ෂක අංශ නිලධාරියකු කියා සිටියේ මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා විශ්වවිද්‍යාලයක සුළු සේවකයෙකු වශයෙන් කටයුතු කරන අයෙකු බවයි.

''මුලින්ම ලැබුණු තොරතුරක් මත ඒ පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී කාන්තාවගේ දුරකතන අංකය ලැබුණා. ඒ ඔස්සේ කාන්තාව සොයා ගොස් ඇගේ නි‌ෙවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඇගේ නි‌ෙවසින් ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් හමු වුණා.

මේ මල්ල ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ කෙනෙක් මේ මල්ල එම ස්ථානයේ තබා පසුව ගන්නම් කියා ගිය බවයි. තවමත් ඔහු නොපැමිණි බවද ඇය මේ ප්‍රශ්න කිරීම්වලදී ඇය කියා සිටියා.

ඇගේ නි‌ෙවස පරීක්ෂා කළ අවස්ථාවේදී ජාතික හැඳුනුම් පත් ගණනාවක ඡායාපිටපත් හමු වුණා. ඒ ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ පළාතේ අය බැංකු ණය හා ක්ෂුද්‍ර ණය මුදල් ලබා ගැනීම සදහා පැමිණෙන්නේ මේ ස්ථානයට බවයි. ඒක නිසා ඒ අයගේ ජාතික හැඳුනුම්පත්වල ඡායාපිටපත් තිබෙන බවද කියා සිටියා.

මේ තැනැත්තියගේ නි‌ෙවසේ ගිනි අවියක් හා මෝටාර් බෝම්බ තුනක් තිබුණු නිසා ඇය රඳවාගෙන ප්‍රශ්න කරගෙන යනවා.

මේ ආදී වශයෙන් මේ සිද්ධියට සම්බන්ධ අය දාහතර දෙනෙකු ගැන තොරතුරු වාර්තා වෙනවා. එක් අයෙකුගෙන් ප්‍රශ්න කරන විට ලැබෙන තොරතුරු මත ඒ ඒ අය අත්අඩංගුවට ගන්නවා. මේ වන විට පිරිසක් ඒ අන්දමට අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනාම මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.''

ප්‍රධාන සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ අයෙකු බව මීට පෙරද සඳහන් කළා සේම ඔහුගේ සියලු වතගොතද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

එහෙත් ඔහුගේ නියම නම යටතේ එම ලේඛනයන් ඇති නමුත් මොහු මේ වන විට පෙනී සිටින්නේ වෙනත් නමකිනි. ප්‍රධාන සැකකරු විසින් භාවිත කරනු ලබන ජාතික හැඳුනුම් පත් පවා ව්‍යාජ එකක් වන අතර ඔහු දුරකතන සිම්පත් ලබාගැනීමට භාවිත කොට ඇත්තේ එම ව්‍යාජ හැඳුනුම්පතම බවද හෙළි වී තිබේ.

යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර පළාත්වල සිටි එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවෝ 12800 ක් පමණ දෙනා පුනරුත්ථාපනය වී සිටිති. ඔවුන්ට විවිධ පාඨමාලා පිළිබඳ දැනුමත් වෘත්තීය පුහුණුවත් ලබා දී ඔවුන්ව සමාජගත කිරීමෙන් පසුව ඔවුන්ගේ හැසිරීම් හා ක්‍රියාකලාපය පිළිබඳ කිසිදු විපරමක් නැත.

මෙහි ප්‍රතිපලයක් වශයෙන් යාපනයේ මෑත කාලයේදී ක්‍රියාත්මක වූ ''ආවා'' කල්ලියේ සාමාජිකයන් අතර පුනරුත්ථාපනය වූ එල්.ටි.ටි.ඊ. සාමාජිකයන් හතර දෙනෙකු සිටි බව අනාවරණය විය. පුනරුත්ථාපනය නොවූ අය දෙදෙනෙකි.

මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශයේදී ආයුධ තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ද පුනරුත්ථාපනය වූ හා නොවූ සාමාජිකයෝ සිටියහ. ඉතාම කෙටියෙන් ප්‍රකාශ කළහොත් කොළඹ ගංගාරාමයේ තිබූ ගජමුතු සොරකම් කොට ඕමන්තේදී අලෙවි කිරීමට ගිය සිද්ධියේ සිටි දෙදෙනාම පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු බව අනාවරණය විණි.

වවුනියාවේ බෝම්බ හා පිස්තෝල මල්ලේ කතාවද එවැනිම එකකි. මීට පෙර අප පසුගිය සතියේදී විස්තර කළාක් මෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු මේ සිද්ධියේ සිටියත් ඉන් අදහස් වන්නේ යුද්ධයක් පැමිණීමට ආසන්නයැයි යන කාරණය නොවේ. ඔවුන් කිසියම් දෙයක් සඳහා සූදානමක් පවතී. මේ සූදානම කුමක්දැයි යන්න තේරුම් බේරුම් කරගත යුතුව ඇත්තේද ආරක්ෂක අංශ විසින්මය.

Comments