සමිති නියාමනය මහා සංගමයටත් දුන්නා නම් විගොඩට වෙච්චි වැඩේ කිසිම තැනක වෙන්නෙ නෑ | සිළුමිණ

සමිති නියාමනය මහා සංගමයටත් දුන්නා නම් විගොඩට වෙච්චි වැඩේ කිසිම තැනක වෙන්නෙ නෑ

සණස සංවර්ධන බැංකුවේ සභාපතිනිය සාමදානී කිරිවන්දෙණිය

සණස යනු මෙරට කීර්තිමත් සන්නාමයකි. එය මෙරට අඩු ආදායම්ලාභී බොහෝ දෙනා පිළිගත් සූක්ෂ්ම මූල්‍ය ආයතනයකි. ඔවුන්ට ඒ කෙරෙහි අචල විස්වාසයක් තිබේ. වසර ගණනාවක් තිස්සේ මේ වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් තම ශ්‍රමය වැය කරන පිරිසක්ද සිටිති. ජාතික විටිනාකමකින් යුතු මෙවැනි ආයතනයක් කිසිදු වගකීමකින් කටයුතු නොකරන ඇතැම් සමිති මඟින් විනාශ කර දැමිය හැකිය. මෙවැනි ව්‍යාපාර බිඳවැටුණ හොත් තමන්ට ඒ වෙළෙඳපළ අල්ලාගෙන ලාභ ලැබිය හැකියැයි සිතන වෙළෙඳ ප්‍රජාවක්ද සිටිය හැකිය. එසේම ඒ වෙනුවෙන් කඩේ යන දුර්වල මාධ්‍ය භාවිතයක්ද පැවතිය හැකිය.

එහෙත් සණස දුප්පත් ජනතාව නඟාසිටුවූ ජාතික වටිනාකමකින් යුතු සූක්ෂ්ම මූල්‍ය ආයතනයකි. විගොඩ ඇතුළු සමිති කිහිපයක මෑතකදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය ඊට නරක ආකාරයකට බල පෑ හැකිය. එනිසා මේ පිළිබඳව අපි සණස සංවර්ධන බැංකුවේ සභාපතිනිය වන සාමදානී කිරිවන්දෙණිය මහත්මිය සමඟ කතා කළෙමු.

විගොඩ සමූපකාර ණය දෙන සමිතිය තුළ මුදල් අවභාවිතා වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය නිසා සණස කෙරෙහි තිබෙන විශ්වාසය පලුදු වීමේ ඉඩකඩක් තියෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොම ද?

විගොඩ කියන්නේ එක් සමුපකාර සමිතියක්. ඒක නියාමනය වෙන්නේ සමූපකාර දෙපාර්තමේතුව මඟින්. සමුපකාර දෙපාර්තමේන්තුව වසරකට සැරයක් විගණන කටයුතු සිදු කරන සම සමිතියක්. සණස සමිතියක් කියන්නෙ සමුපකාර සමිතියක්. ඒකෙන් ණය ගන්න පුළුවන් එහි සාමාජිකයෙකු නම් පමණයි. සල්ලි දාල තමන්ට ණයක් ගන්න යන ආයතනයක කටයුතු සිදු වෙන්නේ කොහොමද කියන එකත් ඒ ගැන සොයා බැලීමේ වගකීමකුත් සමිතියේ මුදල් තැන්පත් කරන සාමාජිකයන්ට තිබෙනවා.

සාමාජිකයෙකු විදියට සම්බන්ධ වීමට පමණක් සීමාවෙලා ඒක බැංකුවක් විදියට හිතාගෙන කටයුතු කළොත්; ඒ කියන්නේ ඔවුන් ඒ වගකීම අමතක කරලා කියන එකයි. අනෙක් අතට ඒ සමිතිය නිවැරදිව නියාමනය වුණේ නැත්නම් පස් හය දෙනෙකුට වුණත් තමන්ට ඕන විදියට ඒ මුදල් හසුරුවන්න ඉඩ ලැබෙනවා. ඒ නිසා සණස වගේ ආයතනයක් හරියට ගම්මට්ටමින් නිවැරැදිව ක්‍රියාත්මක වෙන්න නම් මේ සාමාජිකයන් සියලු දෙනා අනිවාර්යයෙන් මහ සභාවට එන්න ඕන. මහ සභාවේදි තමන්ට සැකකටයුතු සමිතිවල අක්‍රමිකතා ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් එහෙම එන්නේ නැහැ.

ඒ පිළිබඳව මේ අය දැනුවත් වෙන්න ඕන. එහෙම දැනුවත් වී කටයුතු කරන්න ඔවුන්ට නෛතික අයිතියක් තිබෙනවා. නමුත් මේ ගැන අවබෝධයක් නැතිව තමන්ට ණය ගන්න ඕන වුණාම විතරක් සමූපකාර සමිතිවලට සම්බන්ධ වුණොත් ලොකු අමාරුවක වැටෙනවා. මේ තියෙන්නේ ඒවගේ තත්ත්වයක්.

විගොඩ ප්‍රමුඛව නාවාන, බෝගමුව, වත්තේ ගෙදර, ගොතටුව කොලොන්නාව කඳාන වැනි සමිති කිහිපයකම මේ විදියට මුදල් අවභාවිතය පිළිබඳව චෝදනා එල්ල වෙනවා. මේක අපිට එහෙම එකපාරටම බැහැර කරන්න බැහැ නේද?

අපි මේ කතා කරන්නේ කිසිම රජයක් සතයක්වත් ලබාදෙන්නේ නැතුව, මොනම කොම්පැනියකින්වත් පඩියක් ලබන්නේ නැතුව ස්වෙච්ඡාවෙන් වැඩ කරන මිනිස්සු ටිකක් මහන්සිවෙලා අවුරුදු හතළිහක් තිස්සේ ගොඩනගාගෙන පවත්වාගෙන ආපු ව්‍යාපාරයක් ගැන. අදත් පනස් එක්දාහක් පමණ මේ සමිතිවල ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. ඒ මිනිස්සු ඒ අයගේ කාලය ශ්‍රමය කැප කරලා ගම්පිටින්ම වෙනස් වන තැනට මූල්‍ය සේවා සපයලා තියෙනවා. ඒවගේ අපිට නම් වශයෙන් පෙන්නන්න පුළුවන් ඉතාම කීර්තිමත් සමිති ව්‍යාපාර මේ තුළ තිබෙනවා. ඒවායින් දහස් ගණනින් දුප්පත් ජනතාව යහපත සැලසිලා තිබෙනවා. නමුත් මේ කිහිපදෙනෙක් කරන වැඩ නිසා ඒ දහස් ගණනටම අවැඩක් වෙන්න පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයක් තුළ රටපුරා තිබෙන අටදාහක් වන සමිති ව්‍යාපාර අතරින් දහයක විතර ඇති වූ තත්ත්වය පදනම් කරගෙන ඉතිරි 7990 ම ඉලක්ක කරගෙන ඇඟිල්ල දික් කිරීම සාධාරණ නැහැ.

සූක්ෂ්ම මූල්‍යකරණය රටක ආර්ථිකයට යහපත් කියල අද ලෝකයේ බොහෝ දෙනා කතා කරනවා. සණස කියන්නෙත් එක පැත්තකින් එවැනි සූක්ෂ්ම මූල්‍යකරණ ආයතනයක්. ඒ අර්ථයෙන් බැලුවම මේ විදියට කිසියම් කඩාවැටීමකට මේ ක්ෂේත්‍රය පත් වුණොත් ඒ තත්ත්වය රටට එතරම් සුබදායක නැහැ?

සූක්ෂ්ම මුල්‍යකරණය යන කටයුත්ත දෙයාකාරයකට සිදු වෙනවා. ඒ තමයි තැන්පතු මත පදනම්ව ණය ලබාදීම හා එවැනි පදනමක් නැතිව ණය ලබාදීම. අද බොහෝදෙනා මහා ඉහළින් ඉන්දියාවේ බංගලදේශයේ සූක්ෂ්ම මූල්‍යකරණය හොඳයි කියල කතා කරනවා. නමුත් ඒ රටවල් වැඩි ප්‍රමාණයක් අරගෙන බැලුවොත් හරියට අපේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෙලා තියෙනවා වගේ මිනිස්සු පුළුවන් හැම විදියකටම ණය අරගෙන කාල බීලා ඒවා ගෙවාගන්න බැරුව ලොකු අර්බුදයකට මුහුණ දීල ඉන්නේ.

වාසනාවකට වගේ අපේ රටේ සූක්ෂ්ම මූල්‍යකරණය ආරම්භ වුණේ සණසත් එක්කයි. එහි පදනම වුණේ ඉතුරුම් තැන්පතුයි. කෙනෙක් ණයක් ගන්න ආවම සණස ඔහුගේ තැන්පතුව සලකා බලනවා. ඒකෙන් කියන්නේ ඔහුගේ හෝ ඇයගේ මුදල විනය හා මුල්‍ය ධාරිතාවයයි.

වෙනත් රටවල තියෙන්නේ දුප්පත් මිනිස්සු ටිකක් එකතු කරල දෙවියන් දෙනවා වගේ ණය දෙන ක්‍රමයක්. මේ විදියට පහුගිය කාලයේ අපේ රටේ හා මූල්‍ය ආයතන රාශියක් එකතුවෙලා මේ රටේ මිනිස්සුන්ටත් කිසිදු විනයක් නැතිව දිගට හරහට ණය දෙන්න පටන් ගත්තා. මිනිස්සු කරන්නේ ඒ ණය අරගෙන ඒක ඉවර වුණාම තව තැනකින් ණයක් ගන්න එක. ඒකෙන් මහා විශාල විනාශයක් සිද්ධ වුණා. නමුත් සණස විසින් හඳුන්වා දුන් ණය ක්‍රමය නිසා මහාපරිමාණ කඩාවැටීමකට අපේ රටේ සූක්ෂ්ම මූල්‍යකරණ ක්ෂේත්‍රය පත් වුණේ නැහැ. මොකද අපි හඳුන්වා දීපු ණය ක්‍රමයේ පදනම වුණේ තැන්පතු. මේ නිසා වෙන රටවලවල වගේ සූක්ෂ්ම මූල්‍යකරණය ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න ලංකාවට සිද්ධ වුණේ නැහැ. ඒ ආකාරයට සූක්ෂ්ම මූල්‍ය ක්ෂේත්‍රය අර්බුදයට ලක්වී තිබෙන අවස්ථාවක මිනිස්සුන්ට දරන්න පුළුවන් පොලී අනුපාතයකට ණය ලබාදෙමින් අපි ජනතාව එක්ක මේ ගමන තවමත් ඉදිරියට යනවා.

ඒ කොහොම වුණත් 60%ක් දුප්පත්කම තිබිච්ච රටක් අද 08% - 10% ක තත්ත්වයට ගේන්න වසර 40ක් තිස්සේ ඉතා බරපතළ කාර්යයක් සණස ඉටු කළා. ඒ සඳහා අපිට රජය සල්ලි දුන්නේ නැහැ. අඩුම තරමේ ඒ ගැන සැලකිය යතු හඳුන්වාදීමක් කරලත් නැහැ. මෙහි කාර්ය නිසි ලෙස අගේ කරලත් නැහැ. එහෙම දෙයක් කළා නම් ඒ මේ රටේ මිනිස්සු විතරයි. අඩුම තරමින් මේ රටේ උගතුන්වත් ඒ ගැන සමීක්ෂණයක් කරලා මේ රටේ මෙවැනි සූක්ෂ්ම මූල්‍යකරණ ක්‍රියාවලියක් සිදුවෙනවා, ඒක මේ විදියයි කියලා වර්තාවක් හෝ පොත් හෝ ලියලා හඳුන්වා දී නැහැ. ඒ වෙනුවට හැම වේලාවකම ග්‍රාමීන් වැඩ සටහන් ගැන තමයි කතා කරන්නේ.

ලංකාවේ මිනිස්සු සණස පිළිගන්නවා. ඒ ගැන මේ රටේ මාධ්‍යටත් ලොකු අවබෝධයක් තියෙනවා. මොකද ඒවයේ වැඩිදෙනා ගම්වලින් ආපු අය නිසා. ඒ නිසා සණස මෙතෙක් මේ රටට කරපු දේ ගැන ආපු ගමන ගැන අප සෑහීමකට පත් වෙනවා. මේ වගේ පැතුරුණ ජාතික ආයතන විනාශ කළාම වෙළෙඳපළට ගම් අල්ලන්න ලේසියි.

මැස්සෙක්වත් යන්නේ නැති තැන්වල බොරුවට බිල්ඩින් හදලා මේ මුදල් අවභාවිත කරනවා කියල සමහරු චෝදනා කරනවා. විගොඩයි, ගම්පහ හැදෙන බිල්ඩින්වලයි තත්ත්වය මොකක්ද?

ගම්පහ සණස දිසා සංගමය සහ සණස සමිති කණ්ඩායමක් එක්වෙලා ඔවුන්ගේ ප්‍රාග්ධනය දාලා හදපු කොන්ත්‍රාත් සමාගමක් ගම්පහ තියෙනවා. සණස කන්ස්ට්‍රක්ෂන්ස් කරන්නේ ඒ අය ඒ ගැන තොරතරු නිවැරදිව දැනගන්න කෙනෙකුට උවමනා නම් ඒ ආතනයෙන් ඒ තොරතුරු ගන්න පුළුවන්. ඒ අය ළඟ විගණනය කරපු තොරතුරු තියෙනවා. විගොඩ සහ ගම්පහ දිසා සංගමය යනු එකක් නෙමෙයි දෙකක්. විගොඩ සමිතිය පිළිබද තොරතුරු එම සමිතියේ කාරක සභාවෙන් හෝ එය නියාමනය කරන සමුපකාර දෙපාර්තමේන්තුවෙන් ඔබට ලබා ගන්න පුළුවන්.

අද මේ රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන බොහෝදෙනා අඩු ආදායම් තත්ත්වයේ ඉඳන් මධ්‍යම ආදායම් තත්ත්වය දක්වා වර්ධනය වීම ගැන කතා කරනවා. මෙවැනි ක්‍රමයක් මඟින් ඊට දායක වෙන්න පුළුවන් කොහොම ද?

දුප්පත් අඩු ආදායම් තත්ත්වයේ ඉඳන් මධ්‍යම ආදායම්ලාභීන් දක්වා යනවා කියන සංක්‍රන්ති මොහොතක නේ අපි මේ වැඩ කරන්නේ. මේ කාලේ මධ්‍යම ආදායම්ලාභීන් ළඟට යනවා කියන්නේ බොරු ජීවන විලාසිතාවක් හදලා මධ්‍යම පාන්තික ඔළුවක් තියාගෙන ජීවත්වෙන තැනකට ගෙනියනවා කියන එක නෙවෙයි. මධ්‍යම ආදායම්ලාභීන් හදන්න උදව් කරන එකයි. අපි කියන්නේ ඒ ගමන රටට යන්න සණසට විශාල කාර්යභාර්යයක් කරන්න පුළුවන්. ඒ සඳහා විභවය අපිට තියෙනවා. නමුත් ඒ දේ විධිමත්ව කරන්න නම් නියාමනය සහ සණස මීට වැඩිය ක්‍රමවත් විදියට එකතු වෙන්න වෙනවා.

එතකොට විගොඩ වගේ අතැනින් මෙතැනින් එන අහඹු බලපෑම්වලින් මේ සිස්ටම් එකක් ඉවර වෙන්නේ නොදී ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. වෙනත් විදියකින් කියනවා නම් මේ සූක්ෂ්ම මූල්‍යකරණ ක්‍රියාවලියම අර්බුදයට යන්න නොදී ඊට එරෙහිව එන බලපෑම්වලින් අපේ ගම් ආරක්ෂා කරන්න අපිට පුළුවන්. ඒ නිසා මේ ආයතනයේ ජාතික වටිනාකම තේරුම්ගෙන වගකිව යුතු ආයතන සහ මාධ්‍ය කටයුතු කිරීම හරිම වැදගත්.

මේ අර්බුදය අපි විසඳාගන්න නම් කරන්න ඕන මොනවද?

මේක විසඳාගන්න බැරි වී තියෙන එක කාරණයක් තමයි ආණ්ඩු මාරුවෙද්දි මේවට පත් වෙන නිලධාරීන් විටින් විට වෙනස් වීම. කලින් තිබුණ තත්ත්වය ඊළඟට එනකෙනා දන්නේ නැහැ. අද එක අමාත්‍යාංශයක ඉන්න කෙනා හෙට ඉන්නේ තව අමාත්‍යාංශයක. ඉතින් මේ ගැන ලොකු වගකීමකින් මේ අය කටයුතු කරන්නේ නැහැ. අපිට වුණත් කටයුතු කරන්න වෙන්නේ ඊට අනුකූලවයි. මොකද රජයක් තරහා කරගෙන මේ ගමන ඉදිරියට යන්න බැහැ.

ඒ නිසා මේ සඳහා ඇති එකම විසැඳුම තමයි මෙහි නියාමන කටයුතු සිදු කිරීමට අවශ්‍ය අවබෝධය තිබෙන ආණ්ඩු මාරුවෙද්දි මාරු නොවන ස්ථාවර ක්‍රියාශීලී රාජ්‍ය නිලධාරීන් මීට පත් කිරීම.

එ් වගේම නියාමනය කිරීමේ බලය සණස මහා සංගමය සමඟ බෙදා ගැනීම. එහෙම නැතිව මේ ගමන අපිට මේ විදියට යන්න බැහැ. සණස කියන ව්‍යාපාරය යටතේ ලියාපදිංචි වී සණස නම පාවිච්චි කරන සමුපකාර සමිති අටදාහක් තිබෙනවා. නමුත් ඒ අටදාහම ජාතික සණස මහාසංගමය වගේ තැනකින් නියාමනය කරන්න රජය අපට බලය ලබා දී නැහැ.

සමුපකාර දෙපාර්තමේන්තුවත් එක්ක විවිධ අවස්ථාවල ඒ පිළිබඳ සාකච්ඡා කළත් ඊට විසඳුමක් ලැබුණේ නැහැ. අපි මහා බැංකු අධිපතිවරුන් දෙන්නෙකුට කියලා තියෙනවා. එක්කෙනෙකුට ඒ ගැන ලිඛිතව දීලත් තියෙනවා. නමුත් අද වන තුරුත් එවැනි ක්‍රියාවලියකට කිසිම මැදිහත් වීමක් වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ගැටලුවක් පැන නැඟුණාම ඒ ගැන ක්‍රියා කරන්න නෛතික බලයක් අපට නැහැ. නමුත් සණස ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දුන්නම සණස ජාතික මහා වැඩසටහනට අත දික් කරනවා. ගැටලුවක් නැති අවස්ථාවලදි සණස සමිතිය අයිති අපිටයි කියලා කියන බොහෝ දෙනෙක් ඉන්නවා.

සණස කියන සන්නාමය මීට වැඩිය කන්ට්‍රෝල් එකක් සහිතව පාවිච්චි කිරීම සඳහා සමුපකාර දෙපාර්තමේන්තුවයි සණස මහා සංගමයයි එකාබද්ධ වුණ නියාමන ක්‍රියාවලියකට යන්න රජයේ උදව් ලබාගත හැකි නම් කැනඩාව, නෙදර්ලන්තය, කොරියාව වැනි රටවල ඇති පරිදි ඉතා ශක්තිමත් මුල්‍ය වැඩසටහනක් අපේ රටටත් හදාගත හැකියි.

රසික කොටුදුරගේ

Comments