හික්කඩුවේ ව්‍යාපාරිකයා රුහුණු කුමාරි දුම්රියෙනුත් කුඩු ගෙනිහින් | සිළුමිණ

හික්කඩුවේ ව්‍යාපාරිකයා රුහුණු කුමාරි දුම්රියෙනුත් කුඩු ගෙනිහින්

ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදෙන්නට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ විදේශීය මත් ජාවාරම්කරුවන්ගේ සහායද වැඩියෙන් පැතූහ. ඒ අනුව ක්‍රමයෙන් විදේශීය ජාතිකයෝද ඒ සඳහා පෙළ ගැසුණාහ.

පොලිසියේ අවධානය පවා වැඩි වශයෙන් ඒ වෙනුවෙන් යොමු කරන්නට නොහැකි වූයේ උතුරු හා නැඟෙනහිර පැවැති යුද්ධය නිසාය.එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහත් පිටිවහලක් වූ අතර තරුණ පරපුර මේ අයගේ ප්‍රධාන ඉලක්කය විය.

කුඩා පැකට් ලෙස ඉඳහිට අත්අඩංගුවට ගැනුණු මත් කුඩු පසුව ක්‍රමයෙන් වර්ධනය වන තත්ත්වයක් තිබුණු අතර එහි උච්චතම අවස්ථාවක් පසුගිය 22 වැනි දා කොල්ලුපිටියෙන් අපට දැන ගන්නට ලැබිණි. කොල්ලුපි‍ටිය ප්‍රදේශයේ විදේශිකයන් විසින් දේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත මත් කුඩු බෙදාහරිනු ලබන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුට තොරතුරක් ලැබී තිබිණි. ඒ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට දන්වන ලදී. ඒ සමඟම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එම මෙහෙයුම ක්‍රියාත්මක විය.

ඒ අනුව පසුගිය 22 වැනි දා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණය අවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු ආවේක්ෂණ රාජකාරීන්හි නිරතව සිටියහ. විශේෂයෙන්ම විදේශිකයන් හා මෙරට පුද්ගලයන් අතර කතාබහ හෝ සබඳතා තිබෙන අවස්ථා ගැන ඔවුහු විමසිලිමත් වූහ.

ටී ෂර්ට් එකක් හැඳගත් විදේශිකයකු මෝටර් රථයකින් පැමිණි දෙදෙනකු හා කතාබහ කරනු මේ නිලධාරීන්ගේ ඇස ගැටිණි. ඒ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පිවිසුම් දොරටුව අසලදීය.

සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සාමාන්‍ය කාර්යයන්හි නිරත අයුරින් ඔවුන්ගේ වාහනයට ආසන්නයෙන් ගමන් කෙළේ ඒ කතාබහට ඔවුන්ට නොදැනෙන සේ සවන් දෙමිනි.

යම් ආකාරයක ගනුදෙනුවක් වන බව නිලධාරීන්ට දැනිණි. ඔවුන්ගේ සැකය නිවැරැදි විය. විදේශිකයා තමන් අත තිබූ පාර්සලයක් මේ දෙදෙනාට ලබා දුන්නේය. ක්ෂණිකවම එම ස්ථානයට පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිරිසගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ. අවසානයේ විදේශිකයා විසින් ලබා දුන්නේ හෙරොයින් බව ඔවුන්ට පිළිගැනීමට සිදු විය. දේශීය ගනුදෙනුකරුවන් පැමිණි රථය මෙන්ම පුද්ගලයන් තිදෙනාම පරීක්ෂාවට ලක් කෙරිණි.

විදේශිකයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ තිබී හමුවූ යතුර ගැන විමසීමේදී එය කොල්ලුපිටිය පොලිසිය අසල සුපිරි නිවාස සංකීර්ණයේ තමන් පදිංචිව සිටින නිවෙසේ යතුර බවත් තමන් තවත් දෙදෙනකු සමඟ එම නිවෙසේ පදිංචිව සිටින බවත් ඔහු පැවසීය. පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් ඔහු සමඟ සුපිරි නිවාස සංකීර්ණයට ගියහ. නිලධාරීන් එහි ගියේ කිසිවකුට සැක පහළ නොවන අයුරිනි. සුපිරි නිවාස සංකීර්ණයේ පළමු මහලේ සැකකරුගේ නිවෙස වෙත ගිය නිලධාරීන් නිවෙසේ දොර විවෘත කරන ලෙස විදේශිකයාට දන්වන ලදී.

එම නිවෙසේ තවත් විදේශීය ජාතිකයෝ දෙදෙනෙක් ද වූහ.

තමන් සංචාරය පිණිස පැමිණි බව ඔවුහු පැවසුහ. එහෙත් එම නිවෙස සම්පූර්ණයෙන්ම පරීක්ෂා කළ නිලධාරීන්ට එහි කාමරයක රහසිගත ලෙස සඟවා තිබූ හෙරොයින් තොගයක් සොයාගැනීමට හැකි විය.

එහි සිටි විදේශිකයෝ දෙදෙනාද පළමුව අත්අඩංගුවට ගත් විදේශිකයාද ඔහුගෙන් මත්ද්‍රව්‍ය පාර්සලය ලබාගත් දේශීය ජාවාරම්කරුවෝ දෙදෙනාද අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු පිරිස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට රැගෙන යන ලදී. ඒ ඔවුන් සතුව තිබූ සියලු මත් කුඩු හා ඒවා බහා තිබූ සංචාරක ගමන් බෑග ද සමඟය.

ඒ මත්කුඩු, පැකට් 92ක් ලෙසින් සංචාරක ගමන් මලු 4ක බහා තිබූ අතර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,100ක් හෙවත් කෝටි 110කට අධිකය.

එසේම මේ සැකකරුවන් පස් දෙනා සමඟ ජංගම දුරකතන 9ක් ලැප්ටොප් පරිගණක 3ක් අයිපැඩ් පරිගණකයක් හා දේශීය ගනුදෙනුකරුවන් පැමිණි වාහනයද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඇමෙරිකා ජාතිකයකු එසේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ 1994 වසරෙන් පසුව බවයි. ඇෆ්ගනිස්තාන ජාතිකයකු එසේ මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 වසරෙන් පසුව බවද ඔහු කීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග මත ලබන 29 වැනිදා දක්වා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී ඇත.

ඒ පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතා පැවසුවේ බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් මත මේ වැටලීම සිදු කිරීම කළ බවත් එහිදී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් අතර පළමුවෙන් ලිබර්ටි ප්ලාසා අසලදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ඇමෙරිකා ජාතිකයෙකු බවත් සුපිරි නිවාස සංකීර්ණයේදී තවත් ඇමෙරිකා ජාතිකයෙකු හා ඇෆ්ගනිස්තාන ජාතිකයකු සිටි බවත්ය.

ඔවුන් සංචාරකයන් ලෙස පෙනී සිටිමින් මේ අයුරින් මත්කුඩු වෙළෙඳාම සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බව ඒ මහතා කීවේය.

ඔවුන් එසේ සංචාරකයන් ලෙස පෙන්වා කටයුතු කළ ද මහල් නිවාසයේ නිතර හමු වන පිරිස් ඔවුන් ගැන විමසීමේදී පවසා ඇත්තේ කිසියම් ව්‍යාපෘතියකට මෙහි පැමිණ කොළඹ පදිංචිව සිටින බවකි.

‘පළමුව අත්අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකා ජාතික විදේශිකයා කිලෝ ග්‍රෑම් 1ක් හා ග්‍රෑම් 62ක් දේශීය ගනුදෙනුකරුට ලබා දී තිබෙනවා. ප්‍රශ්න කිරීමෙන් පසුවයි අපට සුපිරි නිවාස සංකීර්ණයේ තිබී තවත් හෙරොයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 94ක් හා ග්‍රෑම් 26ක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. අත්අඩංගුවට ගත් ඇමෙරිකා ජාතිකයන් දෙදෙනා ෆර්හාඩ් සකීර් සහ චමිස් ඉෂාන් කවුඩා වන අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයා ඇන්තනී මාර්ෂල් නමින් හඳුනාගෙන තිබෙනවා.

ඒ වගේම ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණය අසලදී අත්අඩංගුවට පත් දේශීය ගැනුම්කරුවන් දෙදෙනා දොන් ඉන්ද්‍රජිත් පද්මකුමාර හා චමික දිමුතු අමරසිංහ ලෙසින් හඳුනා ගත්තා. ඉන්ද්‍රජිත් පද්මකුමාර ව්‍යාපාරිකයකු වන අතර ඔහු හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියෙක්. ඔහු මේ මත්කුඩු ගෙන ගොස් විදේශිකයන්ට මෙන්ම දේශීය ගැනුම්කරුවන්ටත් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙනවා. ‘

හික්කඩුවේ ව්‍යාපාරිකයා දිගින් දිගටම මේ ව්‍යාපාරයේ නියැළී සිටි අයකු බවට මේ වන විට වාර්තා වී ඇත. ඔහු පවසා ඇත්තේ හොංකොං සිටි අයෙක් අදාළ ඇමෙරිකා ජාතිකයාගෙන් පාර්සලය ලබාගැනීමට උපදෙස් දුන් බවයි. එහෙත් ඔහු විසින් ඇමරිකන් ජාතිකයාට ඇමතුම් ලබා දුන් බවට මේ වන විට වාර්තා වී ඇත.

මේ ව්‍යාපාරිකයා දකුණේ ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ සමීපතමයකු අයකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඝාතනය සිදු වීමට පෙර එම දේශපාලනඥයා එම කෝටිපති හෝටල් හිමියා සමඟ ඉතා සමීප සබඳතා පවත්වා ඇති අතර සමාජයට සුපිරි ව්‍යාපාරික ප්‍රතිරූපයක් පෙන්වමින් දිවි ගෙවා ඇත.

එමෙන්ම මේ ව්‍යාපාරිකයා කොළඹට පැමිණීමේදී රියැදුරා සමඟ සිය සුපිරි රථයෙන් පැමිණ හික්කඩුව කරා මත්ද්‍රව්‍ය ගෙන යෑමේදී ඇතැම් දිනවල කාර්යාල දුම්රිය යොදාගෙන ඇති බවත් කාර්යාල මඟීන් අතරේ මේ සැකකරු මත්කුඩු ගමන් මල්ල දුම්රිය රාක්කයේ තබා ගමන් කර ඇති බවටද මේ වන විට තොරතුරු වාර්තා වී ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් පැකට්වල 999 යනුවෙන් සඳහන් අංකයක් සහිත ස්ටිකර් අලවා තිබූ අතර 2018 යනුවෙන්ද එහි සටහන් කර ඇත.

999 යන අංකය අංකය මත්කුඩු ජාවාරම්කරුවන්ගේ රහස්‍ය අංකයක් වන්නට ඇති බවත් 2018 යනුවෙන් සඳහන් වීමෙන් මේ මත් කුඩු තොගය පසුගිය වසරේ මෙරටට ගෙන එන්නට ඇති බවද පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන පොලිස් කණ්ඩායම් විශ්වාසය පළ කරයි.

මීට මසකට පමණ කොළඹදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගවලද එම රහස්‍ය අංකය සටහන් කර තිබුණු බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් මේ වන විට හෙළි වී ඇත්තේ මේ හෙරොයින් තොගයේ හිමිකරු ඇෆ්ගනිස්තාන ජාතිකයා බවයි.

එසේම ඇෆ්ගන් ජාතිකයාගේ සහායට ඇමෙරිකා ජාතිකයන් දෙදෙනා කටයුතු කර ඇති අතර මේ සියලු කටයුතු මෙහෙයවා ඇත්තේ ටර්ක්මෙනිස්ථාන ජාතිකයන් (ඉරානය හා ඇෆ්ගනිස්ථානය අතර පිහිටි රටකි) දෙදෙනෙකි.

මේ ජාවාරම්කරුවන් නවාතැන් ගෙන සිටින මහල් නිවාසය රුපියල් දෙලක්‍ෂ පනස්දහසක මාසික කුලියට ලබාගෙන ඇති අතර එය ලබා ගෙන ඇත්තේ තුර්කි ජාතික යුවළක බවද මේ වන විට හෙළි වී ඇත.

එම යුවළ මේ වන විට මෙරටින් පැනගොස් ඇති බවට තොරතුරු වාර්තා වුවත් ඔවුන් සම්බන්ධවද මේ වන විට දීර්ඝ ලෙසින් විමර්ශන සිදු කෙරේ.

අත්අඩංගුවට ගත් ඇමෙරිකන් ජාතිකයන් දෙදෙනා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 2018 වසරේ දෙසැම්බර් මාසයේ මුල් සතියේ බවද විමර්ශනවලින් හෙළිවී ඇත. ඇෆ්ගනිස්තාන ජාතිකයාද දෙසැම්බර් මස 22දින මෙරටට පැමිණ ඇති බව හෙළිව තිබේ.

මේ වන විට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් දේශීය සහ විදේශිකයන් පිරිසක් ද සම්බන්ධ වන බවට ලද තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු අරඹා ඇත.

ඇෆ්ගනිථාන ජාතිකයාගෙන් ලද තොරතරු මත තවත් අතිවිශාල මත් කුඩු තොගයක් මෙරට නාගරික ප්‍රදේශයක සඟවා ඇති බවට විශ්වාසයක් පවතින බවද පොලිස් අධිකාරි ධනපාල මහතා කීය.

මෙය ඔවුන් විසින් කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ව්‍යාපාරයක් බව මේ වන විට හෙළි වී ඇති අතර ඒ සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත එහි අධ්‍යක්‍ෂ ඒ. ධනපාල මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ උ.පො.ප. කේ.ඒ. පේ‍්‍රමලාල් මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්න

Comments