තොට්ටම හේන් යායේ හොල්මන් කරන්නේ නිත්තෑවෙක් ද? | සිළුමිණ

තොට්ටම හේන් යායේ හොල්මන් කරන්නේ නිත්තෑවෙක් ද?

අලුත් දැනුමක් ලෝකයට එකතු වූ බොහෝ අවස්ථාවල ඊට පදනම වී ඇත්තේ අහඹු සිදුවීම්ය. ඒ අලුත් දැනුම මෙතෙක් අප ප්‍රත්‍යක්ෂයන් යැයි සිතා සිටි දේ වෙනස් කරයි. ලෝක ධර්මතාව එයය.

අම්පාරේ කුරු මිනිසුන් පිළිබඳ කතා බහ යළිත් උණුසුම්ය. අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වරාලන්ද හේන් යායෙන් මුලින්ම දුටු කුරු මිනිසා මාන්තොට්ටම, වෙහෙරගල, පන්නල්ගම, බක්මිටියාව, වැනි ගම්මාන රැසක මිනිසුන් අහේතුකව බියපත් කර සිටී. ප්‍රදේශවල ජන ජීවිතය යම් තිගැස්මකට ලක්ව ඇත. කුරු මිනිසාගේ කතාව එළිපිට කතා වීමත් සමඟ ඔවුහු තැතිගෙනය. මේ පුද්ගලයාගෙන් සිදු වන හානියක් ගැන වාර්තා වන්නේ නැතත් බොහෝ දෙනෙක් හේන් රකින්නට රැය පහන් කරන්නේ නැත. තොට්ටම වරාලන්ද හේන් යායට පැමිණෙන කුරු මිනිසා අමුතු සංවාදයක් නිර්මාණය කර තිබේ.

“ඔය බොරුවක්...“ අයෙක් කුරු මිනිසාගේ කතාව ප්‍රතික්ෂේප කරති. එහෙත් ඔහු දුටු බව කියන සියල්ලෝම තමා දුටු දේ සත්‍යයක් බව දිවුරා කියති. වරාලන්ද හේන් කරනා රත්නායක මේ කුරු මිනිසා ප්‍රථමයෙන් දැක තිබුණේ වසර තුනකට ඉහතදීය. රත්නායක එදා කී කතාව කිසිවෙක් විශ්වාස කළේ නැත.

එහෙත් පසු ගිය මාස එකහාමරක පමණ කාල‍ෙය් දිගින් දිගටම මේ කුරු මිනිසා වරාලන්ද ප්‍රදේශයේ සැරිසරා තිබිණි. ඇසින් දුටුවෝ ඒ බව සනාථ කළහ. තමා එදා කී කතාව බොරුවක් නොවන බව රත්නායක සහතික විය. අප මේ සිද්ධිය වාර්තා කරන්නට වරාලන්දට ගියේ පසුගිය 19 දා සෙනසුරාදා ය. වරාලන්ද වැසියන් සමඟ ඒ අත්දැකීම බෙදාගෙන පැමිණියෙමු. පසුගිය සඳුදා (28) වරාලන්දෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කුරු මිනිසා සොයා ගිය ගමනේදී අපට හමුවූ එම්.ඩී.කරුණාතිලක ය.

“එදා මහත්තයා ඇවිත් විස්තර අරන් ගිහින් දවසට දවස් දෙකකට පස්සෙ මේ මනුස්සයාව මම දැක්කා. මිනිහා හිටියෙ පුතාගේ හේනේ ගහක් උඩ. ඒ හේනෙ පැල හදලා තියෙන්නෙ උසට තියෙන ගහක. කොහොමත් පැලට නැග්ගම අපි පැය බාගෙකට විතර සැරයක් හේන වටේට ටෝච් එක ගහලා බලනවා. එතකොටයි මම මේ මනුස්සයව දැක්කෙ. පැලේ කෙළින්ම තියෙන නුග ගහේ දෙබලකට වෙලා කුරු මිනිසා ඉන්නවා. ටෝච් එකට ලස්සනට ඇස්දෙක දිලිසුණා. මම එහෙමම ටෝච් එක නිවලා උඩ පැලෙන් බැහැලා පල්ලෙහා පැලේ හිටිය නන්දේ අයියට කතා කළා. “නන්දේ අයියා... අර මිනිහා අන්න අදත් ඇවිල්ලා ගහක ඉන්නවා. බය වෙන්නේ නැත්නම් බලන්න“ කියලා මම කීවා.

අපි දෙන්නම ආයේ පැලට නැඟලා බැලූවා. ටෝච් එක ගහලා බලද්දි මෙන්න ඒ මිනිහා තාමත් ඒ ගහේ ඉන්නවා. නන්දේ අයියා ඇහුවා “උඹ ආයේ ආවේ මොකටද“ කියලා.

ඒ කියපු සැණින් එක පාරටම ඒ මිනිහා ගහෙන් බැස්සා. පුදුම වේගයක්. කෙළින්ම ඉරිඟු ගාලට වැදුණා. ඉරිඟු ගාල නිසා අපිට ඊට පස්සේ කිසි දෙයක් පෙනුණේ නැහැ. කොහෙද ගියේ කියලා හොයා ගන්න බැරි වුණා. “කරුණාතිලක කියාගෙන ගියේය.

තමන් දුටු කුරු මිනිසා ඔහු වෙනත් පුද්ගලයෙකුට ද පෙන්වා තිබේ. ඇසින් දුටු සාක්ෂි සජීව ය. එහෙත් මෙය මිථ්‍යාවක් කර බැහැර කරනු විනා තොට්ටම මිනිසුන් කියන වේගයෙන් දිව යන, ක්ෂණයකින් ගස් නඟින, වන දහන තුළ සැඟව නොපෙනී යන මේ කුරු මිනිසා කවරෙක්ද යන්න පිළිබඳ විධිමත් හැදෑරීමක් කිරීමට කිසිවෙක් උනන්දු වනු නොපෙනේ.

අවබෝධයකින් යුතුව විමසීමේදී මේ කුරු මිනිසා විකලාංග ස්වරූපය නිසා වනගත වූ පුද්ගලයෙකු නොවේ නම් මීට සියවස් එකහමාරකට පෙර ලංකාවෙන් මුළුමනින්ම වඳ වී ගියා යැයි විශ්වාස කරන සත්ව විශේෂයක් සේ සැලකෙන නිත්තෑවෙක් වීමේ ඉඩකඩක් තිබේ. විකලාංග පුද්ගලයෙකුගේ දිවීම, ගස් නැඟීම ඇතුළු හසුරු කුසලතා තියුණු නැත. නිත්තෑවන් පිළිබඳ කතාව යළිත් සංවාදයට ලක් වන්නේ ඒ පසුබිම තුළය.

නිත්තෑවන් ලෙස හඳුන්වා තිබුණේ මේ රටේ සිටි පුරාවෘත්තමය ජන වර්ගයකි. මොවුන්ගේ අනන්‍යතාව පිළිබඳ බොහෝ මතභේද පැවතිණි. සමහර විද්වත් පර්ෂදවලට අනුව නිත්තෑවන් නෙග්රිටෝ නැමැති ජනවර්ගයට අයත් අවශේෂව ගිය ගෝත‍්‍රයකි. තවත් විද්වත් පිරිසක් කියන්නේ ඔවුන් වානර මානව විශේෂයක් බවය. ආර්. එල්. ස්පිට්ල් අනුව නිත්තෑවා යනු රතු දුඹුරු ලෝම සහිත 'රාහු වලසා' ට සමාන සත්ත්ව විශේෂයකි. මේ සත්ත්ව විශේෂය සදහටම වඳ වූ බව කියැවිණි. වෙනත් විද්වත් පිරිසක් කියන්නේ නිත්තෑවන් යනු යාල නැඟෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බවය.

දැනට ඇති විශ්වාසය අනුව මේ සත්ත්ව විශේෂය සමූල ඝාතනය කරන්නේ වැද්දන්ය. ඒ මීට අවුරුදු 250කට එපිටදීය. හියු නෙවිල් ලංකාවේ නිත්තෑවන් පිළිබඳ වූ මුල්ම ශාස්ත්‍රීය සටහන වර්ෂ 1886 දී තබා තිබිණි. වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන සකස් කර තිබූ මෙම විශිෂ්ට වාර්තාව The Nittaewo of Ceylon – The Taprobanian,1886 නමින් ඉදිරිපත් විය.

හියු නෙවිල් වැද්දන්ගෙන් අසාගෙන දක්වා ඇති ආකාරයට නිත්තෑවෝ ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොළ අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කතා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුණේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනාකරුවන්ගෙන් ඇතැමුන් භාවිත කළ තෙලිඟු බසට බව කියැවිණි.

මොවුහු සිය ජනාවාස ආශ්‍රිතව සීමා නිර්ණය කරගෙන සිටියහ. එම සීමා ආක්‍රමණය කරන වැද්දන්ට නිත්තෑවෝ පහර දුන්හ. නිත්තෑවන් හා වැද්දන් අතර ඇති වී තිබුණේ දඩබිම් පිළිබඳ ආරවුලකි. අවසානායේ වැද්දෝ නිත්තෑවුන්ගේ ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුළුවා වනසා දැමුහ යි හියු නෙවිල් පැවසුවේය.

වර්ෂ 1914 දී ෆ්‍රෙඩික් ලුවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමටය නිත්තෑවන් ගැන ලිපියක් සැපයුවේය. ඔහු ගවේෂණය කළේ නැඟෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ප්‍රදේශයේය.ෆෙඩ්‍රික් ලුවිස්ට අනුව නිත්තෑවන් අඩි තුනක් පමණ උස ජන කොටසකි. ඔවුන්ගේ ස්ත්‍රීහූ පිරිමින්ට වඩා උසින් අඩු වූහ. ඔවුහු සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගියහ. වලිග රහිත විය. සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවූහ. ඔවුන්ගේ බාහු කෙටි විය. ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබිණි. ඔවුහු ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශ්‍රිතව දිවි ගෙවූහ. ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි.

මේ පිරිස 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත විය. ලුවිස් කියන්නේ ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුණ බවය. ලැබෙන තොරතුරු අනුව මේ පිරිස ලංකාවෙන් වඳ වී යන්නට ඇත්තේ 19 සියවස අග භාගයේය.

මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යාය 1945 දී පළ කළේය. ඒ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටලුවක්’ ලෙසිනි. එම න්‍යාය මඟින් ඔහු සාකච්ජා කරන්නේ නිත්තෑවුන් යනු ආදි මානව විශේෂයක් බවය. ඔහු විශ්වාස කළේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනෙකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවය. ඔස්මන් හිල්ගේ විශ්වාසය නිත්තෑවන් යනු දකුණු අප්‍රිකාවේදී හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ආදි මානව විශේෂයට අයත් ජීවි කොටසක් බවය.

එසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක් විය. මේ විද්වතුන් කියන ආදි මානවයන් අදින් වසර ලක්ෂ පහකට පෙරාතුව වඳ වී ගියේ යැයි තහවුරු කරන විද්වත්හු වෙති. වර්ෂ 1964දී නන්දදේව විජේසේකර ‘සංක‍්‍රමණය වන වැද්දන්‘ පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටින්නේ නිත්තෑවන් යනු නෙග්රිතෝ නම් මිනිසුන් විය හැකි බවය. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොනදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැකිය. මෙම ජන වර්ගයේ අනෙකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි 'තොආලා' හි දැකිය හැකිය.

නෙග්රිතෝ ගණයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අාශ්‍රිත ව හඳුනාගත හැකිය. තද කළු සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකිය. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැනු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාව තුළ දකුණු ඉන්දීය නෙග්‍රිතෝ ගෝත්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ.

කුඩුම්බිගල වනපෙතින් මීට වසර ගණනවාකට පෙර නිත්තෑවන් සමුල ඝාතනය වු බව මේ ප්‍රදේශයේ ජනප්‍රවාදයේ ඇත. එහෙත් නිත්තෑවන් දුටු අයෙකු පිළිබඳ වෙනත් කිසිම තොරතුරක් හමු හමු වී තිබුණේ නැත. තමන් නිත්තෑවන් දුටු බව පැවසූ අය වූහ. ඔවුහු සමාජයේ හාස්‍යයට ලක් වූහ.

එහෙත් අපිට මිට වසර 10කට ඉහත දිනයක කංචිකුඩිච්චිආරු වනන්තරයේදි නිත්තෑවන් යුවළක් දුටු බව කියන පුද්ගලයෙකු පිළිබද ආරංචියක් ලැබිණි. ඒ අරංචිය ඔස්සේ අපි මහනාගපුර අටේ ඇලේ බේබි සිංඤෝ සොයා ගියෙමු. දශක ගණනාවක් තිස්සේ මහා වනයේ සැරි සරමින් මී කඩමින් දඩයම් කරමින් වන පෙතේ කරක් ගැසු ඔහුට වනපෙත ඇතඹූලක්සේය. ඔහු තමන්ගේ අත්දැකීම විස්තර කරන්නේ මෙසේය.

“ මහත්තයෝ... ඒ කාලේ අක්කරපත්තුවේ හිටියා මුස්ලිම් කෙනෙක් වට්ටානේ කියලා. එයා මෙහෙ කුඹූරු කරන්න එනවා. එයා ගොඩක් වේලාවට කුඹුරු කරන නිසා වැඩිපුර ඉන්නේ මෙහේ. එයත් කැලේ යන්න හරිම ආසයි. අපි මී කඩන්න කියලා එදා යන්න පිටත් වුණා. ඒ ගමනට මුණසිංහ මුදාලාලියි වට්ටානේයි, මායි තව කෙනෙකුයි එක් වුණා. අපි මී කඩන්න ගියේ මහා පත්තුව කන්දේ ගලට. දඩයම් කරන්නම් අපි ඒ හරියට යන්නේ නැහැ. නමුත් අපි මී කඩන්න තමයි එච්චර දුර යන්නේ. ගමේ ඉඳන් කිලෝ මීටර් දහයක් පහළොවක් විතර දුරයි. ඒ කන්දේ ලොකු ගල් ගුහාවක් එහෙමත් තියෙනවා. සමහර දවස්වලට අපි එහේ නතර වෙන අවස්ථාත් තියෙනවා. එදා උදේ අටට විතර තමයි අපි ගියේ. අපි කැලේට ගිහින් මී වද තුන හතරක් කපා ගෙන ආයේ ගමට එන්න එනවා.

අපි මහා කැලේ දී එකම පොකුරට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මී හොයා හොයා යද්දි එක්කෙනාට එක්කෙනා පේන විදිහට ටිකක් දුරින් දුර තමයි වට පිට බල බලා යන්නේ. ඒ යද්දි එකපාරටම වට්ටානේ මහා හයියෙන් කෑ ගැසුවා. ‘‘අයියා කොදින වාංග උයියා කොදින වාංග” කියලා. මම ඒ කිට්ටුව හිටියේ. මම එතැනට දුවලා ගියා. ඒ යද්දි මම දැක්ක අඩි තුනක් තුනහාමාරක් විතර උස මිටි මිනිස්සු දෙන්නෙක් කැලේට දුවනවා. මහා හයියෙන් දිව්වා. කොණ්ඩය වැවිලා තිබ්බා. හරිම වේගයකින් තමයි දිව්වේ. ඇඟේ ලොම් තිබ්බා. මට එකපාරටම පරණ ගම්වල අය කියලා තිබුණ කැලේ ඉන්න කුරු මිනිස්සු ජාතිය තමයි මේ කියලා හිතුණා.

වට්ටානේ හොඳට දැකලා තිබ්බා. එයා කීවා අයියා එතැන ගෑනියි පිරිමියයි දෙන්නෙක් හිටියා. ඇදුම් ඇඳන් හිටියේ නෑ කියලා. නමුත් මට ඒ අයගේ ඉස්සරහා පෙනුණේ නැහැ. පොඩි මිනිස්සු දෙන්නෙක් දුවලා යනවා තමයි දැක්කෙ.

පස්සේ අපි කැලේ ඒ හරිය වට කරලා හෙව්වා. ගොඩක් වෙලා බැලුවා අායේ දැකගන්න ලැබෙයිද කියලා. ඒත් දැක්කෙ නෑ. මම අවුරුදු ගාණක් කැලේ ගියත් එක පාරයි මම දැක්කේ. ඒත් කැලේ ගිය සමහර ඇත්තන්ට මේ කුරු මිනිස්සු හම්බවෙලා තිබුණා. දැන් මේ තොට්ටම යායට එනවා කියන්නෙ නිත්තෑවෝද කියලා කවුද දන්නේ. හැබැයි එදා අපි දැකපු අය නම් ඇඳුම් ඇඳලා හිටියේ නැහැ.” බේබි සිංඤෝ මාමා කීවේය.

ඒ කුරු මිනිසාගෙන් කිසිවකුටත් කරදරයක් සිදු වී නැත. ඔහු මිනිසෙක් දුටු සැණින් දිව යයි. එහෙත් කටකතා පියාඹා ඇත. “ලේ බොනවලු. පියාඹන්නත් පුළුවන්ලු..”. තැනෙක කතා වෙනු ඇසුවෙමි. අප අසා ඇති නිත්තෑවන්ට වඩා මේ මිනිසා අහිංසකය. කුඩුම්බිලගල වැද්දන් අතින් නිත්තෑවන් සමූල ඝාතනය නොවිණි ද?. දැන් අප ඉදිරියේ ඇත්තේ එවැනි පැනයකි.

(නිත්තෑවන් පිළිබඳ තොරතුරු මූලාශ්‍රය http://anthrokt.blogspot.com/2011/08/)

Comments