රාත්‍රී ගමන් කරන ඡායාවක් සමඟ එන කුණු ගඳ කුමක්ද | Page 5 | සිළුමිණ

රාත්‍රී ගමන් කරන ඡායාවක් සමඟ එන කුණු ගඳ කුමක්ද

අතීතයේ සිංහලයා තරම් කළගුණ දන්නා ජාතියක් ලෝකයේ සිටි බවක් වාර්තා නොවන තරම්ය. ගොයම් කපන විට පළමු ගොයම් අහුර දෙවියන් සඳහා වෙන් කොට පිදුවේය. ඒ අතීත උරුමක්කාර ඥාතින් සඳහාය. පළමු බත් පිඩ වෙන් කළේය. සිංහල අවුරුද්දට වතුර බොන ළිඳට පවා කළගුණ දැක් වීය. එදා ඉර හඳට පවා වැන්දේය. දෙවියන්ගෙන්වත් සිදු නොවන නිරන්තර සේවයක් ඉරෙන් හ‍ඳෙන් සිදු වූ බව දැන සිටියේය.

අද බෝධීන් වහන්සේ ළඟට යන්නේ ද ගනුදෙනුවකට ය. ඉල්ලීම ඉටු වුණොත් සලකන බවට බාරහාර වෙන්නටය. කෙල්ල විභාගයෙන් සමත් කරවාගන්නටය. කෙලීට මංගල්ලයක් හරිගස්සා ගන්නටය. රෝහල් ඇ‍ඳේ සිටින ලෙඩා සුවපත් කරගන්නට ය.

ජීවී අජීවී සියල්ල නිර්මාණය කර‍ දෙන ඉරු දෙවියන් අද මතක නැත. පාහර තක්කඩි වංචාකාර දේශපාලඥයාට දෑත් එකතු කරන එකා හිරුට වඳින එකාට උපහාසයෙන් සිනා සෙයි. විපරිනාමයක හැටි. වාර්ෂිකව මවුපියන් වෙනුවෙන් පින්කමක් නොකරන ඒ මළගිය දේශපාලඥයාට පක්ෂ පාට අනුව මහා පින්කම් කරයි. දෙවියෝ කෝප වන්නේ ඒ වැඩවලටය.

මාරවිල විමලාවතී හැට පස් හැවිරිදිය. ඇගේ සැමියා පීටර් ය. විමලාවතී දැන් සුරුට්ටු බොන්නට පුරුදු වී ඇත. නිවසේ මාළු කුණු ගඳක් පැතිර යයි. පවුලේ අය හීනෙන් බියට පත් වී කෑ ගසාගෙන අවදිවෙයි. ඔවුන් පදිංචි ඉඩමේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ පවුලේ හත අටක්ම ජීවත් වෙයි. ඒ හැම පවුලකම අය නිතර රෝගාබාධවලින් පෙළෙති. දැනට අවුරුදු දෙකක සිට මේ පවුල්වල මාස තුනකට වරක් මළ ගමක් වරදින්නේ නැත. එක එක ගෙවල්වල කාලෙන් කාලෙට රාත්‍රි ඡායාවක් ගමන් කරයි. ඒ වේලාවට මාළු කුණු ගඳ ද පැතිරෙයි.නිතරම මේ ගෙවල්වල වත්පිළිවෙත් ශාන්තිකර්මද අඩුවක් නැත. එහෙත් යහපතක් යා දීමක් ද නැත.

විමලාවතී පීටර් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ග‍වේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආවාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී පිළිසරණක් පැතුවාය. විමලාවතී කෙරෙන් අමනුෂ්‍ය දෝෂයක ලකුණු පහළ වූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පුජා පවත්වා එන්නැය ගවේෂකවරයා නියම කළේය.

බෝධි පුජා අවසන් ‍කොට නැවත පැමිණි දිනයේ විමලාවතීගේ ශරීරයෙන් භූතාත්මයක් දිෂ්ටි ගැන්වී “මාළු මාළු ලාබයි ලාබයි” කියන්නට වූවාය. බිම ඇණ තියාගෙන අඩන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ අඩන්නේ ?” යි ඇසීය.

“පොරන්සිනා” යැයි භූතාත්මය කීවාය.

“කවුද මේ පොරොන්සිනා කියන්නේ?”

“මේ පීටර් සිංඤෝගේ ආච්චි”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“මුන් කළගුණ නොදන්න පාහර හැත්ත. මුන්ගෙන් පළිගන්න”

“මොන වරදක් කළාට ද පළිගත්තේ?”

“මම බුද්ධාගමේ වුණාට පන්සලකට යන්න බැරි වුණා. පෝය දාටත් මාළු වට්ටිය ඔළුව උඩ තියාගෙන වෙළඳාමෙ ගියා. පවුලේ දහ දෙනෙකුගේ කුස පුරවන්න. මුන්ට දැන් මාව අමතකය. මම මුන්ට සාප කරනවා. මුන්ගේ කටබඩ පුරවන්න ගිය නිසා පන්සලකට යන්න බැරි වුණා.”

“ඒ දහ දෙනාම තමුන්ගේ දූ දරුවෝ නේද? තමුන් වදපු අය නේද?”

“ඔව් ඔව් මම මළ දා ඉඳලම වත්තෙන් පිට ගියේ නැහැ. පාවි පාවි හිටියා. මුන් කිසිම පින්කමක් කළේ නෑ මුන් නිසා පිනක් දහමක් කර ගන්න බැරි වුණ මට පිනක් අනුමෝදන් කළේ නෑ. මම පළිගන්නවා. “පරන්පරාවක් ම මැරුවා මුන්වත් මරණවා.”

එහෙම කරන්න එපා. ආච්චිට පන්සලකටවත් යන්න බැරි වුණේ දරු පවුල පෝෂණය කරන්න හැම දාම මාළු වෙළදාමේ යන්න සිද්ධ වුණ නිසා. මේ අයත් එහෙමයි පවුලේ දූ දරුවන් පෝෂණය කරන්න දුක් විඳිනවා. ආච්චිට විතරක් නොවෙයි වදපු හදපු අම්මා තාත්තා ගැනත් එහෙම තමයි. ආච්චි දඬුවම් කරන්න ඕනෑ නැහැ. කවදා හරි මේ ගොල්ලන්ට වෙන්නෙත් ඔය ටිකම තමයි. ඕක තමයි අද ලෝකේ හැටි ආච්චි එදත් දුක් වින්දා පළි ගන්න චේතනාවෙන් අදත් දුක් විඳ විඳ පව් කරනවා. මළවුන්ට පින් දෙන්න ඕනෑ තමයි. ඒක අතීතයේ ඉඳලා ආපු චාරිත්‍රයක්. මළ ගිය නෑයින් ගැන හිතන්නවත් වේලාවක් නැහැ. දවල් දවසෙ පනම් හතරක් සොයා ගන්න දුක් විඳිනවා. රෑට ඒ දුක අමතක කරන්න ටෙලි නාට්‍ය බලලා නිදාගන්නවා ඕක තමයි විපරිනාමය. යැයි කී ගවේෂකවරයා විමලාවතී ප්‍රකෘති සිහියට පත් කොට මේ ආච්චිගේ කතාව ඇත්තද ය ඇසීය.

තමන් පීටර් සමඟ විවාහ වී පැමිණෙන විට ජීවතුන් අතර නොසිටි බව ඇය කීවාය. ආච්චි කී කතාව ඇත්ත බවත් තමන්ගේ මවූපියන් එවැනි පින්කම් සිදු කර ආච්චිට පින් නොදුන් බවත්, හත් දවසේ, තුන් මාසයේ පින්කම් පමණක් චාරිත්‍රයට කළ බවත්, මවුපියෝ මළ පසු තමන්ගේ සහෝදර සහෝදරියන් කළෙත් ඒ ටිකම බවත් පීටර් කීවේය.

බුදු දහම සර්ව සාධාරණ බවත් දන් පැන් දෙන්නට ආර්ථික ශක්තියක් නැති අයට ද මොහොතක් පරම මෛත්‍රීයේ යෙදුණොත් බුදුවරු 100කට දන් දුන්නට වඩා ආනිසංස බව වේළාම සුත්‍රයේ දේශනා කොට ඇති බවත් ග‍වේෂකවරයා ඔවුන්ට පැහැදිලි කළේය. තවත් සතියක් බෝධි පුජා පවත්වා අවසානයේ පරම මෛත්‍රීයේ යෙදි ආච්චිට පින් අනුමෝදන් කොට නැවත පැමිණෙන ලෙසත් එදිනට අනෙක් පවුල්වල අය ද කැඳවාගෙන එන ලෙසත් ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

බෝධි පුජා අවසන් කොට අනෙක් පවුල්වල අයද සමඟ ඔවුහු නැවත පැමිණියහ. එදින ද විමලාවතීට ආච්චිගේ භූතාත්මය දිෂ්ටි ගැන් වූ ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කොහොමද බෝධි පුජාවලට මේ අය යන කොට ඔබත් ගියා ද?”

“ඔව් ; ගියා මහත්තයා. ඒත් මේ අනිත් පවුල්වල පර හැත්ත ආවේ නෑ. මුන්ගෙන් නම් පළි ගන්නම ඕනෑ ය” ප්‍රේතිය රෞද්‍රව දත් සපමින් කීවාය.

තමන් භූක්ති විඳින්නේ මළ ගිය පැරැන්නන්ගේ දේපළ බවත්, ඒ නැතත් ලේ කිරි කර කවා පොවා හදා වඩා ගත්තවත් මතක තිබිය යුතු බවත්, තමන් ද මළ පසු තමන්ගේ දූ දරුවෝ ද ඒ යුතුකම නොකළොත් ආච්චි වගේම ප්‍රේතයන් වී ඉපද දුක් විඳින්නට සිදු වන බවත් ගවේෂකවරයා පැහැදිලි කර දුන්නේය.

ආර්ථික අපහසුකම් කොයි තරම් තිබුණත් මලක් පහනක් පුදන්නට පුරුදු විය යුතු බවත්, මත්පැනට දුම්පානයට වැය කරන මුදලින් ඒ කටයුතු කළ හැකි බවත් ඒකත් බැරිනම් තුන් මාසෙකට එකා ගාණේ මැරෙන්නට සූදානම් විය යුතු බවත් ගවේෂකවරයා වැඩි දුරටත් කීවේය.

ගමේ පන්සලට හාමුදුරුවරු 10 නමකට ආරාධනා කොට දානයක් පිරිනමන ලෙසත් එක ගෙදරකින් එක ව්‍යංජනයක් හා එක පිරිකරක් පුජා කොට පොරන්සිනා නම කියා පැන් වඩා පින් අනුමෝදන් කර නැවත පැමිණෙන ලෙසත් උපදෙස් දුන්නේය.

දානය පිරි නමා ඔවුහු නැවත පැමිණියහ. එදින ද භූතාත්මය දිෂ්ටි ගැන් වී කතා කළාය.

“දැන් මොකද කියන්නේ?” යි ගවේෂකවරයා ප්‍රේතියගෙන් අසුවාය.

“මහත්තයාට පින් සිද්ධ වෙන්න, මුන් මරණ බය නිසා ඒ දානය නම් දුන්නා. ඒත් මේ වගේ කළගුණ නොදත් මුන් ළඟ ඉන්නවාට වඩා හොඳයි පින් දහම් කරන තැනකට මා යවන්නැයි” ප්‍රේතිය ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියාය.

ඔවුන් ලවා පලතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම කැලණියට යැවීය.

මිනිසුන්ට පින් දහම් බෝධි පුජා මතක් වෙන්නේ වැඩ වැරදුණදාටය. මළගිය ඥාතීන් මතක් වෙන්නෙත් එදාටය. මළගිය වුන්ගෙන් සියයට අනු නම දෙනෙක්ම තමන්ගේ ගේ දොර දේපළ ඇසුරෙහි සැරිසරන බව මතක තබා ගත යුතුය. ඔවුන්ට පින් දෙන විට ඔවුහු ආශිර්වාද කරති. පින් නොදෙන විට සාප කරති. පින් දෙන්නට තමන් ළඟ පින් කුසල් තිබිය යුතුය.

 

Comments