තොට්ටම කුරු මිනිසා තවමත් වරාලන්ද හේන් බිමේ | සිළුමිණ

තොට්ටම කුරු මිනිසා තවමත් වරාලන්ද හේන් බිමේ

අම්පාර තොට්ටම වරාලන්ද හේන් යායට පැමිණෙන කුරු මිනිසාගේ කතාව තවමත් ඉවර නැත. සිද්ධියට සම්බන්ධ තොරතුරු වේගයෙන් යාවත්කාලීන වෙමින් තිබේ. හේන් යාය අලින්ගෙන් බේරාගන්නට ජීවිතය දෙවෙනි කොට සටන් කරන මේ අසරණ මිනිසුන් ළඟ ඡායාරූප ලබාගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන නැත. ඔවුහු දකින දේ කියති.

වරාලන්ද හේන් යායට මේ මාස දෙක ඇතුළත 05 වතාවක් කුරු මිනිසුන් පැමිණ තිබේ. ඒ එක ප‍්‍රදේශයක පැල් කිහිපයකටය. අවසාන වතාවට මෙම කුරු මිනිසා පැමිණ ඇත්තෙ කරුණාතිලක නැමැති ගොවි මහතාගේ පුතාගේ හේනටය. එදා එම හේනේ සිටියේ ඩි. එම්. කරුණාතිලක ය.

“මම මහත්තයෝ එදා පුතාගේ පැලේ නිදාගෙන හිටියේ. මට එක පාරමට ඇසුණා ගිනි මැලයේ දර කොටයක් පෙරළිලා යන සද්දේ. මම ඒ පාර නැඟිටලා ටෝර්ච් එක ගහලා බැලුවා. මම දැක්කා මම නිදා හිටිය පැත්තෙ හිස ආසන්නයේ ගිනි මැලය ළඟ කලින් මම අවස්ථා කිහිපයක් දැක්ක කුරු මිනිසා ඇවිල්ලා ඉන්නවා. මම ටෝර්ච් ගහගෙන ඉද්දි ඒ කුරු මිනිහා දුවන්නේ නැතිව මම දිහා බලා ගෙන හිටියා. මට එක පාරටම බය හිතුණා. මම පැලේ අනෙක් පැත්තෙන් දුවන්න ගත්තා. එ පාර මම මොකකද හැප්පිලා වැටුණා. මම ආයේ නැඟිටලා ළඟ පැලේ හිටිය අය හිටිය පැත්තට දුවලා කෑගැසුවා. ඒ වෙද්දි මෙම කුරු මිනිසා ඉරිඟු යාය මැද්දෙන් තිබුණ අඩි පාරෙන් දුවලා ගියා. අපිට එක පාර මොනවත් කරගන්න බැරි වුණා. ඇයි මෙහම එන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ” ඔහු පවසා සිටියේය.

“එක පාරටම කරුණාතිලක මාමා කෑ ගහන ශබ්දයට අපි දුවගෙන ආවා. ඒ වෙලෙ කුරු මිනිසා පැනලා ගිහින් තිබ්බා. නමුත් අපි ගිනි මැලය ළඟ අළු ගොඩ හොඳින් පරික්ෂා කර බැලුවා. එතැන කණුවට හේත්තු වෙලා ගිනි තියපු ආකාරයට කකුල් දෙක එක ළඟට වෙන්න වගේ අඩි සලකුණු තිබ්බා. මේ ආකාරයට අඩි සටහන් කිහිපයක් තිබ්බා. ෆොටෝ ගහන්න පුළුවන් ෆෝන් එකක් හොයාගෙන ඇවිත් අපි ඒවා ෆොටෝ ගත්තා. ”

තොට්ටම පදිංචි රාජා බාලසුරියත් කතාවට එකතු වුණේය.

“ අපි බොහොම මහන්සි වෙලා මේ වගා කරන්නෙ. වැස්ස නැතිව සේනා දළඹුවාගෙන් හානි වෙලා අපි අමාරුවේ වැටිලා හිටියෙ. දැන් මේ කුරු මනුස්යෙක් ඇවිත් අපිට ගැටලුවක් වෙලා තියෙන්නේ. පැලක ඉන්න බයයි. අපි දකින දේ කියනවා. ඒ කියන දේ සමහරු පිළිගන්නේ නැහැ. ඒ අය කියනවා මේවා බොරු කියලා. අපිට බොරු කියන්න කිසිම හේතුවක් නැහැ. මේ පාර පහුගිය 02 දා ඔය මිනිහා අන්තිම වතාවට ආපු එකත් අපි මාධ්‍යට නොකියන්යි හිතන් හිටියේ. මාධ්‍ය ආව නිසා තමයි අපි මේක ගැන ඇහැ ගහගෙන හිටියේ. අපිට අවශ්‍ය වෙන්නේ පැල්වලට එන අමුතු මිනිහා කවුද කියලා දැනගන්නයි.” රාජා බාලසුරිය මහතා පවසා සිටියේය.

මේ සිදුවීම් මත බොහෝ දෙනෙක් භීතියට පත්වය. ගැටලුව තවමත් මේ කරු මිනිසාගේ ජායාරූපයක් ගැනීමට නොහැකි වීමය. ඇත්තටම මේ කවුද? ඡායාරූප සහතිව මේ සිදු වීම රට ඉදිරියේ තැබීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමු.

Comments