
අබ්බා යනු උරා බීමයි. පානය කිරීමයි. මේ මුළු ලෝකයම මට අයිති කරගන්නට ඇත් නම් යැයි ආසාවක් පෘථග්ජනයාට ඇති වෙයි. ලෝකය තමන් වෙත උරාගැනීම, පානය කිරීම, සඳහා ඇති වූ ආශාව කැමැත්ත ලෝ+අබ්බ = ලෝබ නම් වේ. අකුසල මූල හේතුවෙන් වන ලෝබ ගතිය නිසා සත්ත්වයාගේ සිත යම් යම් තැන්වලට හා වෙයි. අලෙයි, බැඳෙයි, තන් තන් හි තැන්වලට හා වීම තණ්හාවයි.
යමක්, කෙනෙක් හෝ ඉඩමක් කඩමක් වැනි තැනක් කෙරෙහි හා වූ ඇලුණු සිතින් යමෙක් මරණයට පත් වුවහොත් ඔහු හෝ ඇය ඒ දෙය හෝ පුද්ගලයා හෝ ස්ථානය ඇසුරු කරමින් ඇලී ප්‍රේතයෙකු හෝ ප්‍රේතියක වී උපදී, උදාහරණ වශයෙන් පරම්පරාවෙන් ලැබුණු වටිනා කළුවර පෙට්ටගම මරණාසන්නයේ මතක් වුණොත් ඒ පෙට්ටගම බදාගෙන ප්‍රේතාත්ම භාවයක් ලබයි. දරුවෙක් කෙරෙහි ආදරයෙන් හෝ තරහකින් මළොත් ඒ පුතාගේ හෝ දුවගේ ශරීරයේ ප්‍රේතයෙකු වී උපදී. ඉඩමක්, කුඹුරක් වැනි ස්ථානයකට ඇලුණොත් ඒ හේතුවේ විපාකයද එසේම ය.
ගම්පහ වාසනා විසි පස් හැවිරිදි තරුණ කාන්තාවකි. ඇගේ සැමියා අනිල් මිනීමැරුම් චෝදනාවක වරද පිළිගැනීම නිසා වැලිකඩ බන්ධනාගාරයේ දුක් විඳී. වාසනාගේ පියා ගුණසිරිය. දැන් වාසනාගේ ශරීරයට භූතයෙකු ආවේශ වෙයි. ඇගේ බඩේ වේදනාවක් හට ගෙන ඇත. ආහාර අරුචිය නිසා කෙට්ටු වී ඇත. රාතී නින්දේ දී හීනෙන් බියට පත් නොනිදා පහන් කරයි. ඇගේ අසනීප තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. මනෝ වෛද්‍යවරුන් ආතතියට ප්‍රතිකාර කළත් තත්ත්වය වෙනස් වූයේ නැත. වත් පිළිවෙත්වලින්ද සුවයක් නොවීය.
අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත මවුපියෝ වාසනා කැඳවා ගෙන පැමිණියහ. ගවේෂකවරයාගේ පළමු රෝග පරීක්ෂාවේදීම වාසනාගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට වී වෙව්ලන්නට වූයේය. ඉන් එහා දෙයක් එදින මතු නොවුයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පුජා පවත්වා නැවත එන්නැයි උපදෙස් ලැබුණි.
බෝධි පුජා අවසන් කොට පැමිණි දිනයේ ද වාසනාට භූතාත්මය ආවිෂ්ට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නේ?” යි ඇසීය.
“මම රුවන්” යැයි කෑගසා කීවේය.
“කවුද රුවන් කියන්නේ?”
“මම ප්‍රසිද්ධ ඇදුරෙක්. ඇමතිවරුන් පවා මගෙන් වැඩ ගත්තා. ඒ අය මට හොඳට ගෙවීම් කළා. මම කෝටිපතියෙක්. මේ ගුණසිරිත් මට හොඳට ගෙව්වා” යි කයිවාරු ගසන්නට විය.
“මොනවා වෙලාද මැරුණේ?”
“මේ කෙල්ලගෙ මිනිහා මට වෙඩි තියලා මැරුවා. ඌ දැන් හිරේ.”
මේ රුවන්ගේ සම්බන්ධය කුමක්දැයි ගවේෂකවරයා ගුණසිරි ගෙන් ප්‍රශ්න කළේය.
“මහත්මයා අපි පදිංචි වෙලා ඉන්න ඉඩම පුරාණේ පන්සලක වත්තක කොටසක්. මේ ඉඩමේ නිධානයක් තියෙනවා. අපේ පවුලේ පැරැන්නන් කීප දෙනෙක් ම මේ නිධානය ගන්න ගිහින් අකාලේ මැරුණා. ඔය රුවන් ප්‍රසිද්ධ ඇදුරෙක් නිසා මම නිධානය ගන්න ගෙන්න ගත්තා. රුවන්ගේ උපදෙස්වලට අනුව නිධානය තියෙන තැන වට කර තාප්පයක් බැන්දා ගෙයක් හදන විදියට පෙනෙන්න. ඊට පස්සේ නිධානය ගන්න හාරන කොට මිනිස්සු පෙත්සම් ගහලා පොලීසියෙන් ආවා. පුරාවිද්‍යාවෙන් ඇවිත් මේ ස්ථානය පුරා විද්‍යා භූමියක් නොවෙයි කියා තීරණය කළ නිසා නඩු දැම්මේ නැහැ.
ඊට පස්සේ රුවන් නිධානයෙ වටිනාකමෙන් සියයට පනහේ කොටසක් ඕනෑයි කියලා පොරොන්දුවට පුද පුජා තියලා වැඩේ පටන් ගත්තා. එතකොට වාසනා දුවට භූතාත්මයක් ආවිශ්ට වුණා. ඒ භූතාත්මය කියන විදිහට වැඩ කළා. ගෙදර ඉදල මහ රෑටත් නිධානය තියෙන තැනට යනවා. මේ වෙන කොට රුවන් මගෙන් රුපියල් ලක්ෂ විස්සක් විතර අරගෙන. නිතර පුද පූජා තියනවා. මහ රෑට නිධානය ළඟට යනවා. මේ අතරේ රුවන් වාසනා එක්ක සම්බන්ධයක් ඇති කැරගෙන. බෑනා අනිල් මේ රුවන් ගෙදරට ගෙන්න ගන්න එපා කියලා නිතර රණ්ඩු කළා. දවසක් රුවන් වාසනා ඉන්නවා අතටම අහුවෙලා අනිල් රුවන්ට වෙඩි තියලා මැරුවා. දැන් අනිල් හිරේ.” යි ගුණසිරි විස්තර කළේය.
තවත් සතියක් බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.
ඊළඟට පැමිණි දිනයේ ද වාසනාට රුවන්ගේ භූතාත්මය ආවිෂ්ට විය.
“මම යන්නෙ නෑ. මම යන්නෙ නෑ. වාසනාව දාල මම යන්නේ නෑ” යි භූතයා කියන්නට විය.
ඒ සමඟ ම වාසනාගේ අම්මා ද ආවේශ වී කෑ ගසන්නට විය. ගවේෂකවරයා ඇගෙන් ද ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට ආවිශ්ට වෙලා ඉන්නේ?” යි ඇසීය.
“මම නීලම්. මේ නිධානයට අරක් ගත්ත බහිරවයා. මම විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා මෙතැන ආරක්ෂා කරගෙන ඉන්නේ” යි ඒ භූතයා කීවේය.
“නිලම් මැරුණේ මොනවා වෙලාද?”
“න....න.....නෑ......නෑ.....” භූතයා ගොත ගසන්නට විය. ගවේෂකවරයා මේ භූතයා බොරු කියන බව වටහා ගත්තේය. ෂටෂ් - ෂටෂ්. වේවැල් පහර දෙකක් එල්ල විය.
“ඇත්ත කියාපිය. තෝ කවුද?” යි යළිත් වේවැල එසැවිය.
“ගහන්න එපා. “ගහන්න එපා” ඇත්ත කියන්නම්. මම නීලම් නොවෙයි. මම සරච්චන්ද්‍ර. මේ දුවගෙ මාමා. මමත් මේ නිධානය ගන්න තමයි දැඟලුවේ. මේ නිධානය ගන්න ගිහින් නයෙක් ගහලා මැරුණා. මීට අවුරුදු විස්සකට කළින්” යැයි බහිරවයා යැයි නීලම් යැයි බොරු කී භූතයා සත්‍ය හෙළි කළේය.
“ඇයි මෙහෙම කරන්නෙ?”
“මම මැරිලා මේ ගෙදරමයි ඉන්නේ. නිධානය ගැන තණ්හාව තවම තියෙනවා. මුන් ඔක්කෝම පන්නන්න ඕනෑ. අර කට්ටඩියාත් හොරා . ඌ වෙඩි කාලා මැරුණා. මම නම් යන්නේ නෑ. ඔක්කෝම මගේ, ගේත් මගේ, නිධානයත් මගේ මම නම් යන්නේ නෑ.”
ගවේෂකවරයා දුවත් මවත් පියවි සිහියට පත් කොට ගුණසිරි ඇමතුවේය.
“මේ ප්‍රේතයෝ දෙන්නම කියපු දේවල් අහගෙන හිටියනේ. මේවා සංසාරික ණය ගනු දෙනු. හේතු ඵල දහමට අනුව ගළපා බලන විට තණ්හාවේ විපාකය දුක ඒක තමයි පවුලේ හැම දෙනාට ම බලපා තියෙන්නේ. මේ නිධානයත් ගැන මිථ්‍යාවකට රැවටී පවුලේ කී දෙනෙක් මැරුණද? අන්තිම එක්කෙනාත් නයෙක් ගහලා මළා. තව හොරෙක් වෙඩි කාලා මැරුණා. තණ්හාවෙන් අන්ධ වූ මැති ඇමතියන් රවටා කෝටිපතියෙක් වුණා මදිවට තවත් හම්බ කරන්න ඇවිත් නිධානයෙන් 50% ක් ගන්න ඇවිත් වාසනාටත් තණ්හා වෙලා වෙඩි කාලා මැරුණා.
“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං”
කියන්නේ ඒකයි.” කී ගවේෂකවරයා ප්‍රේතයන් දෙදෙනා නැවත ආවිශ්ට කරවා මේ අයට කරදර නොකර ඉවත්ව යන්නැයි හොඳින් කීවේය.
“කවදා හරි මේ නිධානයෙන් අඩක් අරගෙන තමයි මම නම් යන්නේ” යි රුවන් ගේ ප්‍රාණකාරයා කීවේය.
“මේ අපට පරම්පරාවෙන් ලැබුණු දේවල්. වෙන කාටවත් දෙන්නේ නෑ. මගේ දේවල් අතහැර මම නම් යන්නේ නෑ” යි සරච්චන්ද්‍රගේ ප්රාණකාරයාත් කීවේය.
ප්‍රේතයන් දෙදෙනා ම ඉතාම දුර්වල වන තුරු ශක්ති කිරණ එල්ල කොට පුච්චා දුර්වල කොට ශරීරවලින් එළියට ඇද දැම්මේය.
සිත සියල්ලට ප්‍රධානය. තණ්හාවෙන් ඇලුණු සිත දුකට උපදවයි. ඒ ලෝක ධර්මතාවයයි.