
දිල්ශාන් මනෝජ් රාජපක්ෂ කථිකාචාර්ය බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
පුද්ගලයාගේ කායික හා මානසික ප්‍රසන්න පැවැත්ම උදෙසා බුදුසමය භාවිත කරන ප්‍රධාන සංකල්ප දෙකක් හඳුනාගත හැකිය.
1. විසුද්ධිය
2. විමුක්තිය
‘පවිත‍්‍ර වීම’, ‘පවිත‍්‍ර කිරීම’, purification යන අර්ථයන්හි යෙදෙන ‘විසුද්ධි’ යන පදයෙන් අපවිත‍්‍රකාරකයන්ගෙන් පිරිසුදු කිරීම යනුවෙන් සරල අර්ථයෙහි භාවිත වේ. නිදහස් වීම, නිදහස් කිරීම, freedom, emancipation, liberation යනාදි අරුත් විමුක්ති යන පදයෙන් ගම්‍ය වේ. බුදුසමය මේ පද දෙකම භාවිත කරමින් පුද්ගලයාගේ කායික හා මානසික යන අංශ දෙකම සාකච්ඡා කර තිබෙන්නේ ලෞකික හා ආධ්‍යාත්මික පදනමින් බව සඳහන් කළ යුතුය. බුදුරදුන් නොපැහැදුණවුන්ගේ ප‍්‍රසාදය පිණිසත්, පැහැදුණවුන්ගේ ප‍්‍රසාදය වැඩි දියුණු වීම පිණිසත් (අප්පසන්නානංවා පසාදාය, පසන්නානංවා භියෝහාවාය) භික්ෂුවගේ බාහිර පැවැත්ම සකසා ගැනීම උදෙසා ශික්ෂා රැසක් විනය පිටකයෙන් හමු වේ. කායික පවිත‍්‍රතාව මෙන්ම විසුද්ධිය හා විමුක්තිය යන පදවලින් බුදුරදුන් පුද්ගලයාගේ මානසික පවිත‍්‍රතාවද අවධාරණය කර තිබේ. සංයුක්තනිකායේ අසංඛත සූත‍්‍රයේදී බුදුරදුන් ‘සුද්ධි’ හා ‘විමුක්ති’ යන පද නිර්වාණය හැඳින්වීම සඳහා පර්යාය කොට තිබෙනු දැකිය හැකිය. බුදුරදුන් අවධාරණය කළ පවිත‍්‍රතාව පිළිබඳ සංකල්පයේ විශිෂ්ටත්වය මතු කිරීම සඳහා සමකාලීන භාරතීය සමාජයේ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ සම්ප‍්‍රදාය දෙකක් මේ සංකල්පයට දුන් ස්ථානය පිළිබඳ ඇගයීමක් කරනු වටී.
පවිත‍්‍රත්වය පිළිබඳ සංකල්පය භාරතීය සමාජයේ වඩාත් ප‍්‍රකට වී පැවති බව බ‍්‍රාහ්මණ සමාජ හා ආගමික ඉගැන්වීම්වල කි‍්‍රයාකාරිත්වයෙන් පෙනේ. උසස් හා පහත් ලෙස බෙදී පැවතුණු කුල භේදය කොතරම් දරුණු වීද යත්: මෙකල භාරතීය සමාජයේ පහත් කුලයක් දරන්නකුගේ ඇතැම් කි‍්‍රයා උසස් කුලයක අයකුට අශුද්ධිය පිණිස හේතුවක් විය. බමුණු ආගමික පිළිවෙත යටතේ ගැනෙන ශුද්ධිය නොහොත් පවිත‍්‍රත්වය සඳහා භෞතික මාධ්‍ය දෙකක් භාවිත කළ බව ඛුද්දක නිකායේ උදාන පාළියේ ජටිල සූත‍්‍රයේ සඳහන් වේ. එනම්:
1. ජලය
2. ගින්දර
බමුණු ආගමික පිළිවෙත යටතේ ගැනෙන උදක පාරිශුද්ධිය නම් ජලයෙන් පවිත‍්‍රත්වය පැතීමයි (උදක සුද්ධිකෝ උදකේන පරිසුද්ධිං). පවිත‍්‍රත්වය පිණිස ගිනි පිදීම ද (අග්ගිම්පි ජුහන්ති) මෙකල ජනපි‍්‍රයව පැවති බව ජටිල සූත‍්‍රයේ සඳහන් වේ. සංයුත්ත නිකායේ සංගාරව සූත‍්‍රයේ සංගාරව බමුණාට අනුව මෙකල දහවල් කරන ලද පව් සෝදා පා කිරීම සඳහා සවස් කාලයේද රාති‍්‍රයෙහි කරන ලද පව් සෝදා පා කිරීම සඳහා උදය කාලයේද ජලයේ කිමිදීම (යං දිවා පාපකම්මං කතං හෝති, තං සාය නහංනේන පාවහේමි, යං රත්තියා පාපකම්මං කතං හෝති, තං පාත නහානේන පවාහේමි) භක්තිමත්ව අදහමින්, ප‍්‍රාර්ථනාවෙන් (ඉමං බ්වාහං භෝ ගෝතම අත්ථවසං සම්පස්සමානේ උදකසුද්ධිකේ උදකේන පරිසුද්ධිං පච්චේමි) යුක්තව අඛණ්ඩව පවත්වා ඇත.
බමුණන් පමණක් නොව ඇතැම් ජටිලයන්ද ශීත ඍතුවේ හිම වැටෙන රාතී‍්‍ර කාලයෙහි ගයා තීර්ථයෙහි දියේ ගිලී නැවත නැවත මතු වීමද දිය වත් කිරීමද (ජටිලා සීතා සු හේමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකෙ හිමපාතසමයෙ ගයායං උමමුජ්ජන්තිපි, නිමුජ්ජන්තිපි, උම්මුජ්ජනිමුජ්ජම්පි කරොන්ති, ඔසිඤ්චන්තිපි ඉමිනා සුද්ධීති) කළ නමුත් මේ අර්ථශූන්‍ය උදක පාරිශුද්ධිය නම් ආගමික සංස්කාරය බුදුරදුන් වත්ථුපම සූත‍්‍රයේදී විවේචනය කරන්නේ කරන ලද අකුසල් සෝදාහැරීමට ගංගා ජලය අසමත් වන බවයි. ‘දිනකට දෙවරක් දියේ බැසීමෙන් පව් සේදී පවිත‍්‍ර වේ නම් මැඬියන්, ඉදිබුවන්, දියබරියන්, මත්ස්‍යයන් වැනි ජලචර සත්ත්වයන් ඉතා ඉක්මනින් බ‍්‍රහ්මසහව්‍යතාවට පත් වේ’ (සග්ගංනුන ගමිස්සන්ති, සබ්බේ මණ්ඩක කච්චපා, නක්කාච සුංසුමාරා ච, යේ චඤ්ඤේ උදකේචරා) යනුවෙන් උපහාසාත්මකව ජලයෙන් පවිත‍්‍ර වීම ඇදහීමේ අර්ථශූන්‍ය කි‍්‍රයාදාමයට නව අරුතක් ලබා දෙයි. එනම්, වේදයෙහි පරප‍්‍රාප්ත බමුණන් ගං දියට පිවිස සිරුරු පවිත‍්‍ර කරන්නාක් මෙන් ධර්මාන්විතව සිල් නැමැති ගං තොටින් පහන් වෙමින් (ධම්මෝ රහදෝ බ‍්‍රාහ්මණ සීලතිත්ථෝ අනාවිලෝ සබිහි සතං පසත්ථෝ යත්ථ භවේ වේදගුනෝ සිනාතා අනල්ලගත්තාච තරන්ති පාරන්ති) සියලු සතුන් කෙරෙහි මෛති‍්‍ර කිරීමයි (ඉධේව සිනාහි බ‍්‍රාහ්මණ සබ්බභූතේසු කරෝහි ඛේමතං). මේ යටතේ බොරු නොකියන්නේ නම්, සතුන්ට හිංසා නොකරන්නේ නම්, නොදුන් දෙය නොගන්නේ නම්, මසුරු නොවේ නම් ගයාවට ගොස් උදක පාරිශුද්ධිය කිරීමේ ප‍්‍රයෝජනයක් නැතැයි (සවේ මුසාන භණසි, සංව පාණං න හිංසසි, සවේ අදින්නං නාදියසි, සද්දභානෝ අමච්ඡුරි කිං කාහසි ගයං ගන්ත්වා උදපා නෝපි. තේ ගයාති) බුදුරදුහු පෙන්වා දෙති.
එසේෙම බුදුරදුන් ජලයෙන් පිරිසුදු වීම නොපතා සත්‍යගරුක හා ධර්මගරුක වේ නම් පවිත‍්‍ර වන බව ජටිල සූත‍්‍රයේදී දක්වයි.
‘‘න උදකේන සුචි හෝති බවේහත්ථ නහා යතී ජනෝ
යම්හි සච්චඤ්ච ධම්මෝච සො සුඛිසෝච බ‍්‍රාහ්මණෝති’’
මෙහිදී පවිත‍්‍ර වූ පුද්ගලයාට ‘බ‍්‍රාහ්මණ’ යන පර්යාය පදය භාවිත කොට ඇත.
සමස්ත සාංසාරික පරමාර්ථ සාධනය නොහොත් බ‍්‍රහ්මසහව්‍යතාව උදෙසා කායික පාරිශුද්ධිය ඇදහූ බමුණු සම්ප‍්‍රදායට එරෙහිව ගිය ඇතැම් ශ‍්‍රමණ කොටස් කායික අපවිත‍්‍රතාව (න නග්ග චරියා නජටා රජොච දළ්හං උග්ගටිපක්කජානං) මඟින් ආධ්‍යාත්මික පවිත‍්‍රත්වය සෙවීමේ අන්තයක නියැළිණි. බුදුරදුන් පෙන්වා දෙන්නේ කෙනකුට තවත් කෙනකඅ පවිත‍්‍ර හෝ අපවිත‍්‍ර හෝ කළ නොහැකි බවයි (සුද්ධි අසුද්ධි පච්චත්තං, නාඤ්ඤ මඤ්ඤො විසෝධයේ).
මෙලෙස බාහිර පවිත‍්‍රතාව පමණක් හෝ ශරීර අපවිත‍්‍රතාව පමණක් හෝ කිසි විටෙකත් අනුමත නොකළ බුදු සමය කායික - මානසික ප‍්‍රසන්නතාව ලෞකික සහ ආධ්‍යාත්මික පදනමකින් යුක්තව භාරතීය සාම්ප‍්‍රදායික සංකල්ප අතික‍්‍රමණය කරමින් සාතිශය මධ්‍යස්ථ සංකල්පයක් ඉදිරිපත් කර තිබෙන බව පෙනේ.
ඉහත කී සම්ප‍්‍රදා දෙක පිළිබඳ බෞද්ධ අදහස සාරාංශ කොට ඉදිරිපත් කරන බෞද්ධ සාහිත්‍යාගත අදහසටද මෙහිදී අපගේ අවධානය යොමු වේ:
‘‘රූපෙන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා
රූපේ සුද්ධේ විසුජ්ඣන්ති නා අක්ඛාකට මහේසිකා
චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා
චිත්තේ සුද්ධේ විසුජ්ඣන්ති ඉතිවුත්තං මහේසිකා’’
‘රූපය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ, රූපය ශුද්ධ වූ කල්හි සත්ත්වයෝ ශුද්ධ වන්නාහයි තථාගතයන් වහන්සේ විසින් ප‍්‍රකාශ නොකරන ලද්දේය. චිත්තය කිලිටි වීමෙන් සත්ත්වයෝ කිලිටි වන්නාහ. චිත්තය ශුද්ධ වූ කල්හි ශුද්ධ වන්නාහ’ යන්න මෙහි අර්ථයයි.
පවිත‍්‍රතාව පිළිබඳ සංකල්පය තවදුරටත් පුද්ගල මානසික අංශයෙන් ඉදිරියට ගෙන යන බුදුසමය අභ්‍යන්තර විශුද්ධිය නොහොත් විමුක්තිය සලසන විශුද්ධි මාර්ගයක් නොහොත් විමුක්ති මාර්ගයක් ලෙස කි‍්‍රයා කරයි.
හේතු-ප‍්‍රත්‍ය නිසා උපන් සංසාරික විඤ්ඤාණය නිරුද්ධ කරවන, වෙන් කොට දැක්වෙන ලකුණක් රහිත හෙවත් නිදර්ශනයක් ලෙස දැක්විය හැකි දෙයක් නැති අනන්ත, සර්ව ප‍්‍රභාස්වර විඥානයක් (විඤ්ඤාණං අනිදස්සනං අනන්ත සබ්බතෝ පහං) පිළිබඳ අදහස බුදුසමය අවධාරණය කරයි. උපතින් ම ප‍්‍රභාස්වර වුවත් එය ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් කෙලෙසෙයිෙ (පභස්සර ඉදං චිත්තං චං ච ආගන්තුකේහි උපක්කිලිසේහි උක්කිලිට්ඨං). සංස්කෘත ‘ක්ලිශ්’ ධාතුවෙන් නිපන් ‘ක්ලේශ’ පාලියෙන් ‘කිලේස’ වන අතර සංකිලේස, උපක්කිලේස යනාදි යෙදුම් එහි පර්යාය පද වේ. අපවිත‍්‍ර, කිලිටි යන අරුත්හි යෙදෙන එය පෙළ දහමෙහි වඩාත් අවධාරණය වන්නේ සිතෙහි කි‍්‍රයාකාරිත්වයට ඍණාත්මක බලපෑම් කරන ප‍්‍රබල සාධකයක් ලෙස ගෙනහැර දක්වමිනි. සංස්කෘත භාෂාවේ ‘ආස‍්‍රව’ යන යෙදුම ආශ‍්‍රව ලෙසද දැක්වෙන අතර, පාලියෙන් ආසව යනුවෙන්ද එය ක්ලේශ යන්න සඳහා සමානාර්ථව යෙදේ.
ශරීරය රෝගාතුර වුවද සිත රෝගාතුර වීම බරපතළ කරුණක් ලෙස දකින (ආතුරකායෝ අනාතුරෝ චිත්තෝ) බුදුසමය පෙන්වා දෙන්නේ කෙලෙස් නිසා දූෂ්‍ය වන සිත කරණ කොටගෙන මිනිසුන්ද අපිරිසුදු වන බවයි (චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා). කිලිටි වී ගිය අපවිත‍්‍ර වස්ත‍්‍රයක් වෙනත් පැහැයකට නැංවීම නිරර්ථකය. එපරිද්දෙන්ම සිතෙද කිලිටි වූ කල්හි එය යොමු වන්නේ දුගතියටය (චිත්තේ සංකිලිට්ඨේ දුග්ගති පටිකංඛා). බුදුරදුන් මජ්ඣිම නිකායේ වත්ථුපම සූත‍්‍රයේදී පෙන්වා දෙන්නේ පිරිසුදු වස්ත‍්‍රයක් කැමැති ලෙස පහසුවෙන් වර්ණ ගන්වන්නාක් මෙන් නොකිටිලිටි සිත යහපතටම යොමු වන බවයි (චිත්තේ සංඛිලිට්ඨේ සුගති පටිකංඛා). මෙලෙස මනස කිලිටි වීමට මූලික වශයෙන් හේතු වන්නේ පුද්ගලයා ප‍්‍රතිවේධාත්මක ඥානයෙන් දුර්වල වීමය. (චේතසෝ උපකකිලේසේ පඤ්ඤාය දුබ්බලිකාරණේ). මේ ප්‍රතිවේධ කාරණය දුබල කරන ආස‍්‍රව හෙවත් ක්ලේශ ධර්ම 16ක් වත්ථුපම සූත‍්‍රයේ සඳහන් වේ.
1. අභිජ්ඣා - දැඩි ලෝභය
2. ව්‍යාපාදෝ - ද්වේශය
3. කෝධෝ - කෝපය
4. උපනාහෝ - බද්ධ වෛරය
5. මක්ඛෝ - ගුණමකුකම
6. පලාසෝ - ගුණවතුන් හා තමා සමව සිතීම
7. ඉස්සා - ඊර්ෂ්‍යාව
8. මච්ඡරිය - මසුරුකම
9. මායා - චාටු බව
10. සාඨෙය්‍ය - කපටි බව
11. ථම්භෝ - තද ගතිය
12. සාරම්භෝ - අනුන් කළ දෙයට වඩා වැඩියෙන් කිරීමට පෙලඹෙන සිත
13. මානෝ - මානය
14. අතිමානෝ - අතිමානය
15. මදෝ - ජාති, කුලභේද ආදියෙන් මත් වීම
16. පමාදෝ - කාමයන් නිසා පසුබට වීම
මතු සම්බන්ධයි