බෞද්ධ මනෝ උපදේශනයේ යථාර්ථය | Page 4 | සිළුමිණ

බෞද්ධ මනෝ උපදේශනයේ යථාර්ථය

එෂාමා කාරියකරවන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා

අපි ජීවිතය විඳිමින් විඳවමින් පැමිණි ගමනක අන්තයකට ළඟා වෙමින් සිටිමුෙ. අප ගමන ආරම්භ කළේ වසර 60-70කට උඩදී යැයි අප සිතා සිටියද අප එය ආරම්භ කළේ අප නොදන්නා තරම් ඈත දිනයකය.

අපි සංසාරයේ බොහෝ අත්දැකීම් ඇතිව භවයෙන් භවයට පිවිසෙමින් නොනැවතී ගමනක යෙදෙන්නෝ වෙමු. මෙයට පෙරත් අපි ඒ චාරිකාවේ මඟියෝ වී සිටියෙමු. මෙයට පසුත් ඒ චාරිකාවේ මඟියෝ වන්නෙමු. මේ ගමන අවසන් කිරීමේ වුවමනාව අප සැමට තිබේ. එහෙත් එය අපගේ චිත්තාභ්‍යන්තරයට දැනෙන අවශ්‍යතාවක් බවට පත් කරගැනීමේ අපොහොසත්කම නිසා අපි සසර සරමින් සිටිමු. මේ භවයට එන විට අපි නොදැන පව් සහ පින් දෙකම රැගෙන ආවෙමු. ඒ ඒ පවේ-පිනේ ආකාරයට ජීවිතය ගලා ගිය බව අපි අත්දැක්කෙමු.

ජීවිතය දුකකි. මේ අප නිතර සිතන ආකාරයයි. බුදු රජාණන් වහන්සේ ජීවිතයේ දුක් සහිත බව අනියත බව දේශනා කළහ. ඒ නිසා දුකින් මිදීම නම් වූ නිවන කරා යෑමට අපි දිනපතා පින්කම් කරමින් නිවන් ප්‍රාර්ථනා කරමින් සිටිමු.

සත්‍ය වශයෙන්ම බුදුහිමි මෙලොව පහළ වූයේ ජීවිතය දුකක් බව දෙසන්න නොවේ. උන් වහන්සේ මෙලොව පහළ වූයේ ප්‍රීතියෙන් ජීවත් වන හැටි කියා දීමටය; ලෝකයේ මනුෂ්‍යාට වසන් වී තිබූ උත්තරීතර සුඛය විවෘත කර පෙන්වා එය ළඟා කරදීමටය; ඒ සඳහා යා යුතු මාර්ගය පෙන්වා දීමටය. එහෙත් අපි සැමදාම මෙන් මෙවරද වැරදි කොනකින් අල්ලා ගනිමින් “ජීවිතය දුකකි. ඒ බැව් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක“ කියමින් විස්සෝපව සිටිමු.

මේ කෙටි ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ ජීවිතය සැපතක් බවට පත් කරගැනීම සඳහා බුදුහිමි දෙසූ ප්‍රධාන කාරණයක් පිළිබඳය. එනම්: අත්හැරීම පිළිබඳවය. අත්හැරීම නිවනට සහමුලින්ම හේතුපාදක වෙයි. නිසි අවබෝධයෙන් අප අත්හැරීම සිදු කළ හොත් මරණින් මතු සුගතිගාමි වීම නොවැළැක්විය හැකි වෙයි.

අතහැරීම නම් ආශාව, බැඳීම්, පොදිගැසීම්, පවුල, දරුවන්, ඥාතීන්, නුදුටු පරපුර වෙනුවෙන් ඉතිරි කිරීම්, සිතේ පැසවමින් එන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ලෝභය අත්හැරීමය. කිසිවක් ස්ථිර හෝ අමරණීය හෝ නැත. රැස් කළ භෞතික වස්තු කිසිවක් රැගෙන යා නොහැකිය. එහෙත් ඒ නිසා උපදවාගන්නා තෘෂ්ණාව ක්ලේශයක් වී අප පසුපස එනු ඇත. ඒ නිසා ඉපැයූ දෙයට ලොබ බඳිමින් ජීවිතයෙන් වැඩි කලක් රැස් කිරීම උදෙසා කරන වෙහෙස අතහැරිය යුතු වෙයි.

මේ ඔබ බියට පත් කරවන ප්‍රකාශයකි. “මේ කුමක්ද? අඹු දරුවන්, ස්වාමියා, බිරිය, මවුපිය සහෝදරයන්, නෑහිත මිතුරන්, ගේදොර, වතුපිටි සහ උපයාගත් ධනය, ආභරණ සියල්ල අත්හරින්න? එය නම් කළ නොහැකියි.“ ඔබට එසේ සිතෙනු ඇත. එය සත්‍යයකි. ඉහත කී කිසිවක් අපට අත්හළ නොහැකිය. ඒ සියල්ල අපගේ මහත් ආදරයට ලක් වූ, අසීරුවෙන් උපයා රැකගත් දේය.

මඳකට සිතන්න: ඔබේ පරපුරෙන් ලද වස්තුවක් දේපළක් ඇති නම් එය ඉපැයූ අය අද කොහිද? ඔවුන් ජීවිතයෙන් නික්ම බොහෝ කල් නොවේද? ඔවුහු කොතැනක හෝ පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ සිටිනු ඇත්ද යන්නවත් දනිත්ද? එහෙත් අපි යමක් ස්ථිරවම දනිමු. එනම්: පුද්ගලයා තම ජීවිතය පවත්වාගත් පිළිවෙළ අනුව ඔහුගේ මතු භවය සුගතිගාමි හෝ දුගතිගාමි වේදැයි තීරණය කළ හැකි ආකාරය බුදු හිමි අපට මනාව පහදා දී ඇත.

මහත් වැරවෑයමෙන් බොහෝ වස්තුව ධනය රැස් කළ පුද්ගලයෝ භෞතික සියල්ල මෙහි තබා කළ හොඳ සහ කළ නරක පමණක් රැගෙන ගියෝය. අපද ඒ ගමන යන ආකාරය එයින් වෙනස් නොවේ; කළ හොඳ නරක පමණක් රැගෙන යන්නෙමු.

බෞද්ධ සාහිත්‍යය ප්‍රකාරව තමන් සන්තකව තිබූ සියල්ල අලුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත ලා සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගියේය. සුරූපී ගුණවත් බිරියක, කිරිකැටි පුතකු, ඥාතීන්, යස ඉසුරින් පිරි මාලිගා තුනක්, රාජශ්‍රීය, සියල්ල අතහැර ගොස් පිඬුසිඟීමෙන් ජීවත් වන තවුසකු බවට පත් විය.

එතුමාට කිසිදු පසුතැවිල්ලක් නොවීය. සිද්ධාර්ථ තාපසයා තමාම උපදවාගත් ඤාණයෙන් අවබෝධ කරගත් ධර්මය ඇසුරෙන් අපට කියා දුන්නේ ඒ අත්හැරීමේ සුවයයි. උන් වහන්සේ එදා ඒ අත්හැරීම නොකළා නම් අද අපට මේ අනැගි ධර්මය අසන්නට නොලැබේ.

ඔබට ගිහිගෙය හැර යන්නට උපදෙස් නොදෙමි. එය පහසු නැත. එහෙත් ගිහිව සිටිමින් ළඟා කරගත හැකි බොහෝ ආධ්‍යාත්මික සුව ඇත.

ඝටීකාර බමුණා ගිහිව මවුපියන් පෝෂණය කරමින් සිටි, අනාගාමි ආර්ය ශ්‍රාවකයෙකි. ඒ නිසා ගිහිව සිටිමින් උපරිම ඵල නෙළාගන්නා ආකාරය ඉගැනීම වටී.

Comments