රජෙක් ඉල්ලන එස් බී | සිළුමිණ

රජෙක් ඉල්ලන එස් බී

රජෙක් රටට වුවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පවසයි. සිංගප්පූරුව, මැලේසියාව, චීනය වැනි රටවල් දියුණු වූයේ ආඥාදායක පාලකයන් නිසා බවත් මහතීර් මොහොමඩ් මැලේසියාවේ කිසිම මාධ්‍යකට දේශපාලනය කතා කිරීම තහනම් කොට තිබෙන බවත් ඔහු කියයි. ප්‍රජාතන්ත්‍රවාදය සත පහකට වැඩක් නැති බව කියන ඔහු ශ්‍රීලංකාව දියුණු නොවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබෙන නිසා බවත් කියයි. වියපත් වන විට මතුවන තත්ත්වයක් කියා හිතා මේ අදහස් ගැන අනුකම්පාකොට ඉවත දමන්නට නොසිතෙන්නේ එස්.බී ඉස්සරත් ඔහොම කතා කියූ නිසා ය. එක අතකට ඔහු සාමාන්‍යයෙන් 'කට වරද්දාගත්' ඉතිහාසයක් සහ ඊට වන්දි ගෙවූ ඉතිහාසයක් ද නඩත්තු කරන්නෙකි. මේ ඒකාධිපතියෙක් උවමනා කතාව මීට පෙර ද කිහිප විටෙක, කිහිප දෙනෙක් කියා තිබේ.

“අවශ්‍ය වුණොත් ප්‍රජාතන්ත්‍රවාදය, පැත්තකින් තියා ඒකාධිපතිවාදය අතට ගන්නවා.” හැත්තෑ ගණන්වලදී ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක එහෙම කීවේය. මෙරට දේශපාලන ඉතිහාසයේ ඒකාධිපතිවාදය ගැන කතා කළ පළමු වැන්නා ෆිලික්ස් බණ්ඩාරනායක ය. මුලින් ම ඒකාධිපතියෙක් වෙන්නට හදන දේශපාලනඥයාගේ බෙල්ල හොයන විට ෆිලික්ස්ට මුලින් ම හසුවන්නේ තමන්ගේ ම බෙල්ල ය, කියා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කීවේය. ඒකාධිපතියන් වෙන්න සිහින දැක්ක ෆිලික්ස්ලාට ජනතාව පාඩම ඉගැන්නුවේ ජේ. ආර් ට හතෙන් පහක බලයක් දෙමින් ය'.

1962 මාර්තු මාසයේ හේන්පිටගෙදර ඤාණසීහ හිමි මෙහෙම කතාවක් කීවේය.

“මම දේශපාලනෙන් ඈත් වෙලා ඉන්නේ. ඒත් මේක කිව යුතුයි. මේ රට හදන්න; සිහලුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත යුතුයි. එහෙම කරන්න පුළුවන් ආඥාදායකයකුට මගේ සහය ලැබෙනවා.“

උන්වහන්සේ එහෙම කියා සතියක්, දෙකක්වත් ගත වූයේ නැත.

1962දී රජය පෙරළා දැමීමට හමුදා කුමන්ත්‍රණයක් දියත් විය. ක්‍රියාවට නැංවීමට ප්‍රථම අසාර්ථක වූ “1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය” ලෙස හඳුන්වන මේ හමුදා කුමන්ත්‍රණයට හිත යටින්වත්, හේන්පිටගෙදර හිමියන්ගේ සම්බන්ධයක් තිබුණා ද නැද්ද කියා කියන්නට දන්නේ නැත.

එහෙත් එහෙම වූ බව සත්‍යයකි.

වෙඩරුවේ උපාලි හාමුදුරුවන් කරළියට එන්නේ ඔය අතරේ ය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නි‍ෙවසේදී පැවති දානමය පුණ්‍ය කර්මයේදී උන්වහන්සේ අමුතුපහේ අනුශාසනාවක් කළහ.

“ඔබතුමා ගැන සඳහන් කරනකොට ඔබතුමාව හිට්ලර් හැටියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා ඔබතුමාට මිලිටරි පාලනයක් විදියට තමයි ඇවිල්ලා මේක ජයගන්න වෙන්නේ කියලා නැවත මතක් කරනවා”

ගෝඨා, හිට්ලර් යැයි හාමුදුරුවෝ දෙසූහ. හිට්ලර් කවුරුන්දැයි හාමුදුරුවෝ නොදැන ඉන්නට විදිහක් නැත. එක්කෝ උන් වහන්සේ හිට්ලර්ට වඩා හොඳින් ගෝඨා දන්නවා විය හැකිය. එහෙත් එක දෙයක් උන් වහන්සේ දන්නවාද කියා දන්නේ නැත. ඒ මෙන්න මේක ය.

“සබ්බං රට්ඨං සුඛං සේති - රජාචේ හෝති ධම්මිකෝ,“

මේ ප්‍රකාශය හිට්ලර්ගේ හෝ, ගෝඨාගේ නොවේ; වෙඬරුවේ හාමුදුරුවන්ගේ ශාස්තෲවරයාණන්ගේ ය. රටක පළමු පුරවැසියා වන පාලකයා ප්‍රථමයෙන් ධර්මානුකූල විය යුතු බව බුදුහිමි පෙන්වා දෙයි. ඒකාධිපතියකු ඉල්ලන අලුත් ම කෙනා එස් බී ය. ආඥාදායකයන් නිසා සිංගප්පූරුව, මැලේසියාව, චීනය දියුණු වූ බව කියන එස්.බී ආඥාදායකයන් නිසා විනාශ වූ රටවල් ගැන කීම මඟ හරී. හිට්ලර්, යක්ෂයෙකි. ඔහු ජාතිවාදී ත්‍රස්ත පන්නයේ පාලකයෙකි. බුදුන් කාලයේවත් එහෙම ත්‍රාඩ පුද්ගලයෙක්ට බණ කියන්නට බුදුන්ට සිදු වී නැත. ඒ සියලු දාමරිකයන්ට වඩා හිට්ලර් බිහිසුණු නරුමයෙක් ය. බලයට එන්නට පෙර හිට්ලර්ට තිබ්බේ සාමාන්‍ය සාහසිකකම් ය. එහෙත් බලය ලද පසු ඔහු යක්ෂයෙක් ම විය. ගෝත්‍රිකයන් රොත්තක්වත් අපේ නායකයා ඒකාධිපතියෙක් වෙන්න ඕන කියා කියන්නේ නැත. එහෙත් එස්. බී හිට්ලර් කෙනෙක් ප්‍රාර්ථනා කරයි. පුදුමයක් නැත,මීට පෙර හිමිනමක ද ඒකාදිපතියකු ඉල්ලීය. ඇඩොල්ෆ් හිට්ලර් හා ඔහුගේ නාසි පාලනයේ දී යුද ඇස්තමේන්තුගත මිලියන 19.3 සිවිල් වැසියන් හා සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු විය.

මීට අමතරව සොල්දාදුවන් හා සිවිල් වැසියන් මිලියන 29 ක් දෙවන ලෝක මහා යුද්ධයේ දී යුරෝපය රඟදැක්වූ හමුදා ක්‍රියා මාර්ගයක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය අතර, දෙවන ලෝක යුද්ධ සමයේ මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව මානව ඉතිහාසයේ දරුණුතම ඝාතනය ලෙස හැඳින්වේ. එස් බීගේ ප්‍රාර්ථනය ඒකාධිපතියෙක් ය. රෝමයේ තුන්වැනි අධිරාජයා ගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස් ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූයේ ‘‘කලිගියුලා’’ යන නමින් ය. කලිගියුලා කැමැති වූයේ 'මං පොර' න්‍යායෙන් වැඩ කරන්නට ය. මුළු භාණ්ඩාගාරයම තිබ්බේ ඔහු යටතේ ය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2, 700, 000, 000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.

ජීවත්වීමට තරම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජනතාවට බදු ගෙවාගැනීමට නොහැකි වූ කල කුරිරු ලෙස ඝාතනය කර දැමිණ. රූමත් කාන්තාවන් සහ පිරිමින් හුවමාරු කරගැනීමේ පදනම මත වංශවතුන්ට සූදු ක්‍රීඩා හඳුන්වා දුනි. ඉන් නොනැවතී දුගී ජනතාවගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පවරා දෙනු ලැබූ අතර වීර්‍යයෙන් නැගිටින ව්‍යාපාරිකයෙක් වෙත් නම් ඔහුගේ ව්‍යාපාරය උපායශීලීව තමා වෙත හෝ තම හිතවතුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.

කලිගියුලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අදහස රටේ නීතිය බවට පත් කෙරූ අතර අධිකරණය තමන්ගේ හිතු මනාපෙට පාලනයට ගත්තේ ය.

ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය. ජනතාවගෙන් අය කළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලඳවිය. රනින් නිම කළ ලාඩම් පැලඳවිය. අශ්වයාගේ සම පැහැපත් කරගන්නට ඌට ලබාදෙන ධාන්‍යවල රන් ආලේපකර ලබාදුන්නේය.

අවසානයේ ‘‘ඉන්සිටේටස්’’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.

මේ කතාව මීට වසර තුනකට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනුවට 'ලංකාව ය'. 'කලිගියුලා' වෙනුවට මහින්ද ය'. කලිගියුලා කළ දේ එකින් එක ගෙන බැලුවත් ඊට සමාන දේ 'මහින්දලා' ඊටත් වඩා උමතු ලෙස සිදුකොට තිබිණි.

කලිගියුලා මුලින්ම කළේ ඊනියා දේශානුරාගයකින් ජනතාව උන්මාදයට පත් කරන එක ය. තමන් රෝමය රකින දෙවියා බව ඔහු ඒත්තු ගැන්වීය. ඒ වෙනුවෙන් අති විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. තම සමීපතම නෑදෑ සනුහරයට වගකිවයුතු සියලු සම්පත් ලබා දුන්නේය. මුළු ලෝකය ම තමාව විනාශ කිරීමට සිහින දකින බවත්, ඒ කුමන්ත්‍රණවලින් තමාව ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීම බවත් කලිගියුලා කීවේය.

කිසිවකුටත් තම රට අල්ලන්නට ඉට නොදෙන බව ඔහු දෑතින් පපුවට ගසා ගනිමින් කීවේය. ලොකුම විහිළුව වූයේ ඔහු අල්ලනු තබා අල්ලන්නට හිතන්නවත් කෙනෙක් එවක නොසිටීම ය. ඒ තරමට එකල රෝමය දුප්පත් ය.

එහෙත් ස්වකීය බල ව්‍යාපෘතිය වෙනුවෙන් කලිගියුලා බේගල් පුරවමින් ජනතාවගේ අනුකම්පාව දිනා ගත්තේය.

1930 ඩොමිනික් රාජ්‍යයේ පාලකයා වූ 'රෆායල් ට්රුජිල්ලෝත්' ‘අමුතු’උමතුකාරයෙක් ය.' දෙවියන් ස්වර්ගයේ ට්රැජුල්ලා විශ්වයේ' ලෙස සෑම දේවස්ථානයක ම සටහන් කළ ඔහු රටේ සෑම අංක තහඩුවක ම ‘ට්රැජුල්ලෝට ජය’ යනුවෙන් සටහන් කළේය. තම පුතාට වසර තුන සපිරෙන විට කර්නල් පදවියක් පිරිනැමූ ඔහු පුතාට වයස දහය වන විට ජනරාල් පදවිය දුන් ඔහු රටේ සියලු ගොඩනැඟිලි, පාලම්, බෝක්කු, කඳු, හෙල් සියල්ලට තම පවු‍ලේ නම් යොදන්නට ප්‍රිය කළේය. අකුරක් නොදන්නා බිරියට හොඳම ‍ලේඛකයාට හා දාර්ශනිකයාට හිමි නොබෙල් ත්‍යාගය ලබා දීමට ඔහු වෙහෙසුණේය.

නැවත මීට තෙවසරකට පෙර ඉතිහාසය සිහිපත් කරනු යෙහෙකි.

විමසා බලන්න මීට සිවු වසරකට පෙර සිදුවූයේත් එයම නොවේද? ජනපති මෛත්‍රී වැනි 'ඒකාධිපති ආඥාදායකත්වයට' එරෙහි නායකයකු සිටින පක්ෂයක වැඩ කරන එස්.බී වැන්නෙක් ඒකාධිපතියකු ඉල්ලන්නේ කොහොමද? වරක් හිමි නමක ඒකාදිපතියකු ඉල්ලූ මොහොතේ ජනපති කෙලින් ම උත්තරයක් දුන්නේය. 'මම දැක්කා ස්වාමීන් වහන්සේලා කීප නමක් කියලා තිබුණා මාධ්‍යවල ඒකාධිපති පාලකයෙක් ඕනේ මේ රටට. අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න. මම බෞද්ධයෙක් විදියට ගෞරවනීය සංඝරත්නයට ගරු කරනවා. ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනාවක් කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා අපි වරද්ද ගන්න තැනක් ඒක. ඒකාධිපතියෙකුගේ ස්වරූපය ගැන මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයක දැනීමක් තියෙනවා.

ඒ 2015 ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් ඒක අමතක වෙලා තිබෙනවා. ඒකයි තද පාලකයෝ ඉල්ලන්නෙ. පාලන ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් කරමු යයි කියපු එක අමතක කරන්න එපා. මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. කිසිසේත්ම ඉඩදෙන්නෙ නැහැ. මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕනේ ආපු පාර වරද්ද ගන්න ලැස්ති වෙන්න එපා. පාර වරද්ද ගෙන මහ වළක වැටෙන්න ලැස්ති වෙන්න එපා.' එහෙවු නායකයකු සිටින පක්ෂයක එස්.බී ඒකාධිපති රජෙක් ඉල්ලන්නේ කොහොමද?

‘ඒකාධිපතිත්වය යනු කෙළවරක් නැති දිගු පටු කෙළින් පාරකි. එහි පිටවන මං නැත. ඔබගේ සියලූම නිදහස් උදුරා ගන්නාතුරු ඔබට මේ පාරේ සිටීමට සිදුවනු ඇත."කියා ජෝසෙ රෙයාස් පවසා තිබේ. රකුසන් හා යුද වදින්නන්, එ් කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය. අැති පමණ කල් අාගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අාගාධය ද පෙරළා ඔබ වෙත නෙත් යොමනු අැත කියා කතාවක් වෙයි. අපට කියන්නට ඇත්තේ ද ඒක ය.

Comments