ලොව විනෝද උයන්වල ප්‍රමිතිය රකින්නේ මෙහෙමයි | සිළුමිණ

ලොව විනෝද උයන්වල ප්‍රමිතිය රකින්නේ මෙහෙමයි

විනෝදාස්වාදය ප්‍රිය කරන ජනයා විනෝද උයන් හෙවත් Amusement parks හෝ Theme parks කරා වඩාත් ආකර්ෂණය වීමක් අද වනවිට ඇතිවී තිබේ. ඇමෙරිකාවේ පමණක් මෙවැනි උද්‍යාන 400කට අධික සංඛ්‍යාවක්ද යුරෝපයේ 300කට අධික සංඛ්‍යාවක්ද වෙයි. එහෙත් වාර්ෂිකව මෙවැනි විනෝද උද්‍යාන කරා ඇදෙන බිලියනයක් පමණ වන ප්‍රේක්ෂක ජනතාව අතරින් මිලියන 450ක් ම ආසියානු විනෝද උයන් කරා ඇදෙන්නන්ය. ජාත්‍යන්තර විනෝද උයන් හා ආකර්ෂණ උද්‍යාන සඳහා වන සම්මේලන වාර්තා අනුව ලෝකයේ විනෝද උයන් වෙනුවෙන් ඇති වැඩිම වෙළෙඳ පොළ බිහිව ඇත්තේ ආසියාවේය. එසේම 2020 වසරේ මේ වෙනුවෙන් වන විශාලතම වෙළෙඳ පොළ චීනයේ බිහිවන බවට ද එම ආයතනය අනාවැකි පළ කරයි.

විනෝද උයන්වල ප්‍රමුඛතම සාධකය වන්නේ ආරක්ෂාවයි. ඉහතකී ජාත්‍යන්තර සම්මේලනයේ ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක විනෝද උයන් 5300කට වැඩි ප්‍රමාණයක් සාමාජිකත්වය දරයි. සිය සාමාජික විනෝද උයන්වල කාර්යක්ෂමතාව හා ආරක්ෂාව වෙනුවෙන් වෘත්තීමය වශයෙන් මග පෙන්වමින් නිපුණතාව දියුණු කරලීමට කටයුතු කිරීම මේ සම්මෙලනයේ ප්‍රමුඛතම කාර්යභාරය වෙයි. විනෝද උයන්වල ක්‍රියාත්මක කෙරෙන විවිධාකාර වූ උපාංගයන්හි ප්‍රමිතිය හා ආරක්ෂාව පිළිබඳ මෙන්ම සේවක පුහුණුව ගැනද එම සම්මේලනය ක්‍රියාත්මක වේ.

ඇමෙරිකානු හා යුරෝපා රටවල විනෝද උයන්හි වඩාත් ජනප්‍රිය විනෝදාස්වාද අංග වන්නේ රෝල කෝස්ටර් හා වෝටර් රයිඩ් හෙවත් ජලය මතට වේගයෙන් පතිතවන ක්‍රීඩා උපාංගයන්ය. විනෝද උයන්හි සිදුවන අනතුරු අතරින් මරණීය අනතුරු වැඩි වශයෙන් වාර්තා වන්නේ රෝල කෝස්ටර් මගිනි. වාර්ෂිකව දරුවෝ 4000කට අධික සංඛ්‍යාවක් රෝල කෝස්ටර් නිසා සිදුවන අනතුරුවලින් තුවාල ලබා එම විනෝද උයන්වල පිහිටා ඇති හදිසි ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබති.

ඩිස්නි විනෝද උයන් සමූහය ලෝකයේ වඩාත් ජනප්‍රිය හා වැඩි වශයෙන්ම පැතිර ඇති විනෝද උයන් සමූහය වෙයි. ඇමෙරිකාවේ පමණක් ප්‍රධාන නගර 5කට වැඩි සංඛ්‍යාවක ඩිස්නි විනෝද උයන් තිබේ. ඩිස්නි උද්‍යාන සමූහය මෙනිසා නිතරම ආරක්ෂාව පිළිබඳ දැඩි ක්‍රමවේද අනුගමනය කරයි. ඉන් ප්‍රමුඛ වන්නේ නිරන්තරයෙන් කෙරෙන කාර්ය මණ්ඩල පුහුණුවයි. ඔවුහු වාර්ෂිකව සේවක පුහුණු සැසි 30000ක් පමණ පැවැත්වීමට වගබලා ගනිති. නවීන තාක්ෂණය භාවිතය මෙන්ම විධිමත් ආරක්ෂක විධිවිධාන පිළිබඳ මේ සැසිවලදී ප්‍රායෝගික දැනුම්වත් කිරීම් සිදු කෙරේ.

ඇමෙරිකාව ලොව වැඩිම විනෝද උයන් සංඛ්‍යාවක් පිහිටා ඇති රටය. එරට විනෝද උයන් අධීක්ෂණය සිදු වන්නේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කම්කරු අංශය යටතේය. එහි නියමයන්ට අනුව සෑම ගමන් වාරයකටම පෙර විනෝද උයන් හි රෝල කෝස්ටර් හා වෝටර් රයිඩ් උපාංග ඇතුළු සියලුම යාන්ත්‍රික උපාංගයක්ම දැඩි තත්ත්ව පරික්ෂාවකට ලක් කළ යුතුවේ. මහජන සුබ සිද්ධිය සඳහා ක්‍රියාත්මක වන එම නීතිය අනුව එම සෑම උපාංගයක්ම අදාළ නිලධාරියකු මගින් පරිගණක ආශ්‍රිතව තත්ත්ව පරික්ෂාවට ලක් කර සිය නිරීක්ෂණ අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම අධීක්ෂණ වාර්තාවක් විනෝද උයනේ අදාළ ස්ථානයට ඇතුළුවීමේ දොරටුවේ සවි කෙරෙනුයේ එහි ඇතුළුවන්නන්ගේ අවධානයට ලක් කරවමිනි. එහි අධීක්ෂණ්‍ය සිදු කළ දිනය වෙලාව හා අදාළ නිලධාරියාගේ නම සඳහන් කිරීම අනිවාර්යය. මේ සියලුම විනෝද උයන්හි භාවිත කෙරෙන යාන්ත්‍රික උපාංගයන්හි ඉහළම ප්‍රමිතිය රැක ගැනීම සඳහා ද දැඩි නීති පනවා තිබේ.

 

සේමාලි කැල්ලපත

Comments