ලෝක උරුම සිංහරාජයේ ලොකුම ජාන හොරකම | Page 4 | සිළුමිණ

ලෝක උරුම සිංහරාජයේ ලොකුම ජාන හොරකම

සේයාරූ - ජනක විතානගේ
  • සමනලයන් 1500ක් මරලා රට පටවන්න පෙට්ටිවල දාලා
  • ප්‍රථම වරට පණ තිබෙන සත්තුත් ජාන හොරකමට රට පටවයි?
  • මහ රෑ සිංහරාජයේ ඇවිදලා ‘ලයිට්’ ගහලා සත්තු අල්ලලා
  • ගෝනුස්සන්, කැරපොත්තන්, පළඟ‍ැටියන්, බත්කූරන්, දිවි මකුළුවන් කෘමීන් ඇතුළු තවත් සතුන් 500ක් මරා එතෙර යවන්න සූදානම් කරයි?
  • මහ මොළකරු අට වතාවක් ලංකාවට ඇවිත්... නැවතී සිටියේ සිංහරාජයේම ලොජ් එකක

පසුගිය පෙබරවාරි පළමු වැනිදා මහ රෑ සිංහරාජයේ වැද්දාගල කුඩව ප්‍රදේශයේ ලැගුම්හලක් අසලින් පිටවී විශාල බෑගයක් කර ගසාගෙන පා ගමනින් ගේට්ටුව දෙසට යන විදේශිකයෙකි. මහ රෑ මේ පුද්ගලයා පිටව යන්නේ ඇයි? මේ විදේශිකයා පිළිබඳව සැක සිතූ බීට්ටු වන නිලධාරීහු හා සංචාරක මාර්ගෝපදේශකයෝ හතර දෙනෙක් ඔහු පසුපස පැමිණියහ. පසුව ඔවුහු විදේශිකයා ගෙන ගිය විශාල බෑගය පරීක්ෂා කළහ. පුදුමයකි. ඒ බෑග් එකේ ඇඳුම් පැලඳුම් තිබුණේ ම නැත. තිබුණේ සිංහරාජයේ අපට ආවේණික ජෛව සම්පත් රැසකි. සමනලුන් ඇතුළු අපේ ජීවීන් රැසක් මරා විද්‍යානුකූලව ප්ලාස්ටික් පෙට්ටි රැසක අසුරා පිටරට ගෙන යාමට සුදුසු අයුරින් සකස් කර තිබූ අයුරු වැටලීමට එක්වූ අයටත් අලුත් අත්දැකීමක් විය.

ඒ බෑගයේ සිංහරාජයේ වෙසෙන ආවේණික හා ආවේණික නොවන සමනලයින් 1500 කට අධික ගණනක් සත්ව නිදර්ශක ලෙස සකස්කර තිබුණි. අන් සියලු සත්ව විශේෂ ගණන 500 කට අධිකය. මේ මහා බෑගය තුළ තනිකරම සිංහරාජයේ ආවේණික ජෛව විවිධත්වය අන්තර්ගතය සමනලුන්, දිවි මකුළුවන්, පත්තෑයින්, ගෝනුස්සන්, හැකරැල්ලන්, දිවි මකුළුවන් කැරපොත්තන් පමණක් නොව සත්ව බිත්තර සලබයන් සත්ව කෝෂ හා ශාක කොටස් ද එහි තිබුණි. මේ වනාහි අපේ තවත් ජාන මංකොල්ලයක ආරම්භයක් බව වැටහුණු වන සංරක්ෂණ නිලධාරීහු මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගත්හ.

මේ පුද්ගලයාගේ පැටිකිරිය අනුව ඒ විදේශිකයාගේ නම රිචර් මිවෙල්ය. ඔහු ස්ලෝවැකියානු ජනරජයේ පුරවැසියෙකි. එම රට පිහිටා ඇත්තේ ජර්මනියට යාබද රටක් ලෙස ය. මොහුගේ උපන් දිනය 1980 ජූලි 30 වැනිදා ය. ගමන් බලපත්‍ර අංකය BE6546307 ය. මීට පෙර අට වතාවක් මෙරටට පැමිණ ඇති මේ පුද්ගලයා ඉහත අයුරින් සිදුවූ මෙම සිංහරාජ ජෛව විවිධත්ව හා ජාන මංකොල්ලයේ මහ මොළකරු ලෙස වන සංරක්ෂණ නිලධාරීහු සැක කරති.

මේ සමඟම සිංහරාජයේ මායිමේ ඇති මාටින්ස් ලොජ් හි නැවතී සිට තවත් ස්ලෝවැකියානු හතර දෙනෙකු රැගත් වෑන් රථයක් මඟින් රාත්‍රියේම පිටත්ව යාමට සූදාන‍ම්ව තිබිණි. එම වෑන් රථය පරික්ෂා කිරීමේදී එහි තිබී සිංහරාජයෙන් එකතු කළ සජීවී සහ අජීවී සත්ව නිදර්ශක රැසක් හා කල් තබාගන්නා බෙහෙත් ගැල්ලූ සමනලයන් සහිත පෙට්ටි ද සත්ව නිදර්ශක කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් අටක් ද සොයා ගන්නට ලැබුණි. ඊට අමතරව එම වාහනය ඇතුළත ඩ්‍රෝන කැමරා නයිට් විෂන් කැමරා ද තිබිණි. පසුව මේ සියල්ල බීට්ටු වන නිලධාරීන් හා සංචාරක මග පෙන්වන්නන් විසින් අත්අඩංගුවට ගෙන කලවාන අඩවි වන නිලධාරි ලක්ෂ්මන් මනෝරංජන් රත්නවීර මහතා වෙත බාරදී ඇත. බීට්ටු වන නිලධාරීන් වන මංජුල අනුර හා මාර්ගෝපදේශකවරුන් වන සුනිල් හා සුසන්ත ද මෙම වැටලීම් සිදුකළහ.

වන සංරක්ෂණ නිලධාරීන් කළ ‍ෙම් වැටලීමට අනුව සමනල විශේෂ 1500 ක් ඇතුළු විවිධ සත්ව හා ශාක නිදර්ශක 2000 කට වැඩි ගණනක් මේ ස්ලෝවැකියානු ජාතිකයන් හොර රහසේ රට පැටවීමට ස‍ූදානම් කර තිබිණි. ඊට අමතරව ජීවී නිදර්ශක ද 100 ක් පමණ මේ සමඟ තිබීම විශේෂත්වයකි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවසන පරිදිත් වන විද්‍යාඥයන් පවසන අයුරුත් පරිසර නීතිඥවරුන් හා පරිසර සංවිධාන පවසන අයුරුත් මේ වනාහි මෙරටදී අල්ලාගත් ලොකුම ජෛව විවිධත්ව හා ජාන හොරකමයි. මේ පිළිබඳව රාත්‍රි නිදිවරමින් ඒ වැටලීම් කළ නිලධාරීන්ට පරිසරලෝලී අපි ණය ගැති වෙමු.

මේ වැටලීමට හා ජාන හොරකමට අදාළ සිදුවීම් මාලාව පිළිබඳව අපි මදක් සොයා බලමු.

පසුගිය 30 වැනිදා කලවාන වැද්දාගල කුඩව ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවීමට පැමිණි මේ ජාතිකයන් පස්දෙනා මග පෙන්වන්නකු නැතිව සිංහරාජයට ඇතුළුවීමට උත්සාහ දරා ඇත. ඔවුන්ගේ නවාතැන වූයේ සිංහරාජය ඇතුළත ඇති ‘මාටින්ස් ලොජ්’ ය. ඔවුන්ට මග පෙන්වන්නකු නැතිව එහි යාමට අවශ්‍ය බවට තර්ක කර ඇත. නමුත් පසුව බලෙන්ම සංචාරක මගපෙන්වන්නකු ඔවුන් සමඟ ගොස් සිංහරාජයේ තරමක දුර සංචාරය කර පසුව ලැගුම් හලට එම සංචාරකයන් අරලවා ඇත. අලුත් තොරතුරු අනුව මේ පිරිස 29 වැනිදා කුඩව ප්‍රදේශයට පැමිණ පසුව 30 රාත්‍රි ලැගුම් හලට ගොස් දිවා කාලයේ සංචාරය නොකර එතුළ ම ‍රැඳී ඇත.

පසුව රාත්‍රියේදී පයින් ගොස් වෙනත් ලැගුම් හලක සාදයක් පවත්වා බීමත් බවක් පෙන්වමින් වනෝද්‍යානය තුළ එහා මෙහා ගොස් තිබේ. වන සංරක්ෂක නීති රීති අනුව සවස 6 හා උදේ 6 අතර සිංහරාජයේ ඇවිදීම තහනම් ය. ඒ අනුව මේ පිරිස කීප වරක්ම ඒ නීතිය ‍උල්ලංඝනය කර ඇත. අප පැවසූ අයුරු විශාල ගමන් බෑගයක් රැගෙන සිංහරාජයෙන් එළියට යාමට තැත් කළේ මෙයින් එක් අයෙකි. ඒ අනුව ඒ පුද්ගලයන් පස් දෙනා මිවාල් නවාර් (66), එඩ්වර්ඩ් සෙකානස්කි (58), මිචාල් රෙච්ටර් (39) ඉවාන් රෙච්ටර් (54) රැඩොස්ලාව් කොපෙකි (44) යන පස් දෙන ලෙස හඳුනා ගෙන තිබේ. මෙම සැකකරුවන් පස්දෙනා පෞද්ගලික වෑන් රථයක් කුලියට ගෙන කුඩවට පැමිණි අතර ඒ වාහනය පදවාගෙන ඇත්තේ ද ඉන් එක් අයෙකි. අත්අඩංගුවට ගත් මේ අය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර 13 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පමුණුවා ඇත. මේ සැකකරුවන් වරද පිළිගත් බවත් ඔවුන්ට විරුද්ධව වන ජීවී වෘක්ෂලතා පනත අනුව හා වන සංරක්ෂණ පනත අනුව නඩු පවරන බවත් කලවාන අඩවි වන නිලධාරි ලක්ෂ්මන් රත්නවීර මහතා පැවසීය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ මේ විදේශිකයන්ට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා පනතේ 31 (ආ) වගන්තිය යටතේ නඩු පැවරීමට හැකි බවයි. ‘මේ සත්ත්ව හා ශාක කොටස් පැහැදිලිවම එකතු කර ඇත්තේ රට පැටවීමටයි. ඒ අනුව පැහැදිලිවම නඩු පවරන්න පුළුවන්. ඊට අමතරව වන සත්ත්ව හා වෘක්ෂලතා පනතේ 40 වැනි වගන්තිය යටතේත් මොවුන් කර ඇත්තේ වරදක් ය. මේ සතුන් මරා හා ජීවත්ව සිටින අයුරින් මේ ජෛව කොටස් රට පටවන්නට ඇත්තේ අපේ ජාන මංකොල්ල කෑම සඳහා බව පැහැදිලියි.

ඒ අතර අපේ රටට ආවේණික සත්ත්ව හා ශාක කොටස් ද තිබුණි. දැනට වසර ගණනාවක් තිස්සේ මෙලෙස අපේ රටේ ජාන හා ජෛව නිදර්ශක සොරකම් කර දියුණු රටවල් මගින් විවිධ නිපැයුම් හදලා ඊට පේට‍න්ට් බලපත්‍ර ලබාගත් අවස්ථා තිබෙනවා. ඒ අනුව එවැනි උත්සාහයක මූලාරම්භයක් විය හැකියි. කෙසේ ‍වුවත් මේ වැටලීම සුවිශේෂී වැටලීමක්. මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලම ජාන හොරකමක් අසුව‍ූ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්” පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා කීය.

මේ පිළිබඳ කරුණු දක්වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ද පැවසුවේ මෙය සිංහරාජයෙන් වාර්තාවූ විශාලතම ජෛව සම්පත් මංකොල්ලය බවයි. සිද්ධියට අදාළ ස්ලෝවැකියානු ජාතිකයන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බවත් පවසන හේමන්ත විතානගේ මහතා අපේ රටේ තිබෙන ජාන හොරකම් හා සම්බන්ධ නීති රීති හා දඬුවම් තවදුරටත් බලසම්පන්න කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවටත් පෙන්වා දෙයි. මෙවැනි ‍ෙජෙව මංකොල්ල නිල්ගල, රිටිගල, හග්ගල වැනි දැඩි ආරක්ෂිත කලාපවල ද සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ ගැනත් වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතුයි. මෙහිදී අල්ලාගත් එක් ස්ලෝවැකියානු පුද්ගලයකු අට වරක් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු ගොස් ඇති නිසා ඔවුන් සමහර විට විශාල ජාන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් විය හැකි යැයි විතානගේ මහතා කීය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුම්වත් කිරීමේ නිලධාරි ජනක විතානගේ මහතා මේ වැටලීම් සම්බන්ධ ප‍ූර්ණ ගවේෂණයක යෙදී ඇත. ඔහු පවසන පරිදි මෙම ජෛව සම්පත් මංකොල්ලය ඉතා සැලසුම් සහගත පාරිසරික අපරාධයකි. විමර්ශනවල යෙදෙන වන සංරක්ෂණ නිලධාරීන් පවසන පරිදි මේ පිළිබඳව හේතු සාධක ගවේෂණාත්මකව සෙවිය යුතුව ඇත.

ඒ අනුව ජනවාරි 30 හා පෙබරවාරි 01 දිනවල රාත්‍රි කාලය තුළ සිංහරාජයේ වන සතුන් හා ශාක කොටස් එකතු කිරීමට අදාළ විදේශිකයන්ට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතා පවසයි. ඒ අනුව මේ විදේශිකයන් පිරිස සංවිධානාත්මකව මෙම ජෛව මංකොල්ලය සිදුකර ඇති බව ද පෙන්නුම් කෙරේ.

අදාළ ස්ලෝවැකියානු ජාතිකයන් හතර දෙනා ඉහත දිනවල නවාතැන් ගත්තේ සිංහරාජ රක්ෂිතයේ ප්‍රවේශපත්‍ර කවුලුවලට ද ඇතුළතින් පිහිටා ඇති නවාතැනේ ය. රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම විදේශිකයන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කළ විට සිද්ධියට අදාළ වැදගත් සාක්ෂි රැසක් සොයාගෙන තිබේ.

මේ අතර රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් මහතා ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමක් අදාළ නවාතැන වෙත පසුගිය ඉරිදා ගිය අවස්ථාවේදී විදේශිකයන් නවාතැන් ගෙන සිටි කාමර පිරිසුදු කර තිබුණු අන්දම දැකගැනීමට ලැබී ඇත. එය මෙහිදී බලවත් සැකයට භාජනය වී තිබේ. ඒ සමඟම කලින් දා රාත්‍රියේ එහි තිබුණු ඇතැම් ද්‍රව්‍ය පුලුස්සා තිබූ බව ද ඔවුන්ට දැකගැනීමට හැකි විය. මෙහිදී ලැබුණු වැදගත්ම සාක්ෂිය වන්නේ එම ස්ථානයේ තිබී වන සංරක්ෂණ නිලධාරීන්ට හමුවූ නීති විරෝධී ලෙස අල්ලන ලද සමනල්ලු බහාලූ කවරයකි. මේ කවරය විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබූ සත්ව නිදර්ශක දමා තිබූ කවරවලට සමාන බව ද හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳව මාටින්ස් ලොජ් හිමිකරු මාටින්ස් විජේසිංහ මහතාගෙන් පැය 3 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද ඉහත විමර්ශන නිලධාරීහු ද කටයුතු කළහ.

මෙම විදේශිකයන් රාත්‍රියේදී කෘමීන් හා සමනලයන් අල්ලාගැනීමේදී සැර විදුලි ආලෝකයක් ගැසූ බවට ද වාර්තා වී ඇත. එම විදුලිය ලබාගැනීම සඳහා පාවිච්චි කළ මීටර් 150 ක් පමණ දිග වයර් තොගයක් ද හමුවී තිබේ. ප්‍රදේශයේ විදුලිය ඇති එකම ස්ථානය වන ඉහත ලැගුම්හලේ සිට විදුලිය ගෙන තිබේ දැයි යන්න පිළිබඳව ද සොයා බලනු ලැබේ.

විදේශිකයන් ළඟ තිබූ සොයාගත් සමනලයන් ගණන 1500 කට ආසන්න වන අතර කෘමී හා අනෙකුත් සියලු සත්ව විශේෂ ගණන 500 කට අධිකය. මීට අමතරව රණවරා, ඇහැළ, ඕකිඩ් වර්ග, කදුරු, හොර හා කජු ආදී ශාකවල විවිධ කොටස් ද විවිධ ශාකවල බීජ වර්ග ද ‍ෙමම වැටලීමේදී අත්අඩංගුවට ගැනිණි.

අලුත්ම පර්යේෂණ අනුව මේ විදේශිකයා ලෝක උරුම සිංහරාජයේ වන පියසට උඩින් ඩ්‍රෝන කැමරා යවා ඡායාරූප ගෙන ඇති බව ද නයිට්විෂන් කැමරා පාවිච්චි කළ බවට ද තොරතුරු ලැබී ඇත. මේ අතර මාටින්ස් විජේසිංහ මහතා පවසා ඇත්තේ ඩ්‍රෝන කැමරා සිංහරාජය තුළ පාවිච්චි කිරීම තහනම් බව තමන් විදේශිකයන්ට පැවසූ බවයි.

මේ සිදුවීම සංවිධානාත්මක හා කුමන්ත්‍රණකාරී වනජීවී අපරාධයක් බවට අලුත්ම තොරතුරු අනුව හෙළිවෙමින් පවතී‍. විදේශිකයින් සිංහරාජයට පැමිණ තිබෙන්නේ එහි ප්‍රධාන වන සංරක්ෂණ පරිපාලන නිලධාරී තනතුරු දැරූ නිලධාරීන් ස්ථාන මාරු ලබා යාමට තිබූ දිනයට පෙර දිනයේ ය. එනම් ජනවාරි 30 දින රාත්‍රියේය. නිදහස් දිනයද ඇතුළු දින තුනක සති අන්ත නිවාඩුවක් ලැබුණු කාලය ඇතුළත අලුතෙන් පත් කළ නිලධාරීන් සේවයට පැමිණ නොසිටි අතර කලින් සිටි නිලධාරිහූ ද අලුත් සේවා ස්ථානවලට යාමට ගොස් සිටියහ. මේ අතර සිංහරාජයේ වැටලීම් භාර කළවාන වන අඩවි කාර්යාලයේ ප්‍රධානියා වන ලක්ෂ්මන් රත්නවීර මහතාට ද ස්ථාන මාරුවක් පැමිණ තිබිණි. කෙසේ වුවත් ඒ මහතා පෙබරවාරි 1, 2 දිනවල අලුත් ස්ථානයට නොගොස් කලවාන වන අඩවි කාර්යාලයේ තිබූ අත්‍යවශ්‍ය රාජකාරිවල යෙදුණු බැවින් මෙම වැටලීම ඒ මහතාට සිදු කිරීමට හැකිවී ඇත. මේ අනුව සිංහරාජයට සම්බන්ධ ඉහළ වනසංරක්ෂණ නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ තොරතුරු මේ ජාන මංකොල්ලයට ලක්වූ විදේශිකයන්ට කලින්ම ලැබුණේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ කණ්ඩායම් ගවේෂණය කරති.

මීට පෙරද සිංහරාජයේ අවස්ථා 4කදී ජාන හොරකම් සිදුව ඇත. මේ අලුත් ජාන හොරකම ද අපේ ආවේණික සත්ව සහ ශාක සම්පත් පිටරටකට අයිතිකර ගැනීමේ විශාල ජෛව විවිධත්ව මංකොල්ලයක ආරම්භයක් බවට පරිසරවේදීහු සැක පහළ කරති.

රේගුවේ මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ජෛව විවිධත්ව රේගු බලකාය ද අක්‍රීයවීම නිසා මෙවැනි ජෛව සම්පත් පිටරටට යැවීමට බාධාවක් නොමැති බව ද පරිසරවේදීහු පවසති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිසර හා වන විද්‍යා කළමනාකරණ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය පැවසුවේ අපට ආවේණික මේ ජෛව සම්පත් සොරකම් වැළැක්වීමට ඊට අදාළ නීති රීති හා දඬුවම් තවදුරටත් වැඩි කළ යුතු බවයි. රේගුව ද ‍මීට වඩා මෙවැනි දේ පිළිබඳව උනන්දුවිය යුතු බවට ඇය පැවසුවා ය.

‍ෙමහි සියලු කරුණු අනුව අපට පැවසිය හැක්කේ මෙවැනි ජාන සොරකම් අපේ රටේ අනෙකුත් වන උද්‍යාන හා ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ද සිදුවීමට ඉඩ ඇති බවයි. ඊට අමතරව අදාළ නීති රීති සවිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය හා රජය දැඩි අවධානය යොමු කළ යුතුව ඇති අතර එසේ නොවුණහොත් තවදුරටත් මෙවැනි ජාන මංකොල්ල සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

Comments