
යුද්ධය පුරා දශක තුනකට අධික කාලයක් මේ රටේ සියලු ප්‍රාර්ථනා විනාශ කළේය. මරණයේ රුදුරු භීතිය සෑම බිම් අඟලක් පුරාවම පැතිරෙමින් තිබිණි. ඒ අමානුෂික සැහැසිකම්හි නිශ්චිත ගොදුරු බවට පත්වූවෝ එළිපත්තේ පැවති යුද්ධයට ගොදුරුවූ උතුරේ මිනිස්සුය.
උතුරු ප්‍රදේශය යුද්ධයෙන් සහමුලින්ම වැනසිණි. ඒ සාහසික ව්‍යසනය උතුරේ ජනජීවිතය මුලින් උපුටා දැම්මේය. පරම්පරා ගණනාවක් තිස්සේ උපයාගත් දේපළ මතු නොව අසරණ මිනිස් ජීවිත දහස් ගණනක් වනසා දැමුවේය. යුද්ධය පහසුය. අතිශයින්ම අසීරු දේ යුද්ධයෙන් අනතුරුව යුද සංස්කෘතිය විසින් විකල් කර වනසා දමා තිබූ ජන සමාජය පුනරුත්ථාපනය කිරීමය. යළි ගොඩනැංවීමය. ඒ අසීරු අභියෝගය යුද්ධයෙන් අනතුරුව රට කළ ආණ්ඩු මත පැවරී තිබිණි.
එහෙත් යුද්ධය අවසන්ව ගෙවුණු වසර ගණන තුළ උතුර යළි ගොඩනැංවීමේ කටයුතු සාධනීය මට්ටමකට ඉටු කරන්නට කිසිදු පාර්ශ්වයකට හැකි වූයේ නැත. යුද්ධයෙන් අනතුරව ආණ්ඩුවේ පොරොන්දුව වූ විනාශ වූ ජීවිත හැරෙන්නට සියලු දේ ලබාදීම හුදු සිහිනයකට නොදෙවනි ප්‍රකාශයක් විය. දකුණේ මෙන්ම උතුරේ දේශපාලකයන් ද උතුරේ පැවති ව්‍යාකූල සමාජ වාතාවරණය සිය දේශපාලනික අභිමතාර්ථ උදෙසා අවභාවිතා කළා මිස අවංක ආධ්‍යාශයකින් මේ මිනිසුන්ගේ ජීවිත පුනරුත්ථාපනයට කටයුතු කළේ නැත. ඔවුන්ගේ දේශපාලනයේ පදනම වී තිබුණේ ජාති වාදය, ආගම්වාදයය.
මිය ගිය කොටි ත්‍රස්තවාදීන් වළෙන් නැගිටුවා පණ පිහිටුවීමට සමහර දකුණේ දේශපාලකයෝ කටයුතු කළහ. ප්‍රමුඛව මතුවන ජීවත්වීමේ ගැටලුවට පිළිතුරු සොයනවා වෙනුවට දකුණේ මිනිසුන් පිළිබඳ වෛරය පතුරුවන පටු ජාතිවාදී ගෝත්‍රික දේශපාලනයක උතුරේ සමහර දේශපාලකයෝ එළිපිටම නිතරවූහ. දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය නිසා එකිනෙකා අතර පලුදු වූ විශ්වාසය යළි ගොඩනැඟීම මේ රට ඉල්ලා සිටින ප්‍රමුඛතම ආයාචනය වුවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් නොවිණි.
උතුරේ ජීවත්වන්නේත් මේ රටේ පුරවැසියෝය. ඔවුන් වෙනුවෙන් දේශපාලන විැඳුමක් අවශ්‍ය වීම මහපොළොවේ යථාර්ථ ය. ඒ වෙනුවෙන් කැප වුණු දේශපාලන සංවාදයක් සහිත ඉතිහාසයක් තිබිණි. බලයට පත් සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ උතුර වෙනුවෙන් දේශපාලන විසැඳුමක් සඳහා කටයුතු කළේය.
ඒ වෙනුවෙන් පැවති සාකච්ඡාවට ගණනාවක් විය. සර්ව පාක්‍ෂික සමුළු බොහෝ ගණන් පැවැත්විණි. ඩඩ්ලි චෙල්වනායගම්, සිරිමා ශාස්ත්‍රි වැනි ගිවිසුම් ඇති විණි. එහෙත් ඒ සෑම සාකච්ඡා මණ්ඩපයක් තුළම අවසානයේ මතු වූයේ අතිශය පටු දේශපාලන අරමුණුය.
ඒ දේශාපලන විසංවාදයම උතුරේ සහ දකුණේ ජනතාව බෙදා වෙන් කළේය. සංහිඳියාවේ පදනමම ව්‍යසනයට ලක් කළේය. උතුරේ සංවර්ධනය දිනෙන් දින ප්‍රමාද කරනු ලැබුවේ දකුණේ මෙන්ම උතුරේද ජනමතය හැසිරවූ මෙම දේශපාලකයන් විසින්ය.
නමුත් 2015න් පසු නව රජය රට බාරගැනීමත් සමඟ ඒ තත්ත්වය මුළුමනින්ම වෙනස් වන්නට විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරත් දකුණත් යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත්තේය.
මේ වන විට උතුරේත් දකුණේත් ජනතාවට මෙහි ප්‍රතිලාභ දැනෙන්නට පටන් ගෙන තිබේ.
2015 වන විට ලංකාව ජාත්‍යන්තරයේ කොන් වී ගිය රාජ්‍යයකි. ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර තුළ යළි විශ්වාසවන්ත රටක් ලෙස ගොඩනැඟීම රනිල්ගේ ආණ්ඩුවේ මුල්ම ක්‍රියාන්විතය විය. ගත වූ වසර කිහිපය තුළ රජය එම ඉලක්කය අත්පත් කරගත්තේය. අනතුරුව උතුර දකුණ සිත් යා කරන සංහිඳියාවට මුල පිරීමට හැකි විය. උතුරත් දකුණත් ගොඩනඟා සියලු ජන කොටස්වලට ශ්‍රී ලාංකිකයන් සේ ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අත්තිවාරම රනිල්ගේ ආණ්ඩුව දැන් දමා තිබේ.
අගමැතිවරයා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවුණේය. යළි ගොඩනැඟෙන උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමත්, තවත් සංවර්ධන ව්‍යාපෘති රැසකට මුල පිරීමත් අගමැතිවරයාගේ එම සංචාරයේ අරමුණ විය.
සංචාරය යෙදී තිබුණේ පසුගිය 14, 15, 16 තෙදින තුළය. අගමැතිවරයා එම සංචාරයට තම ඇමති මණ්ඩලයේ සාමාජිකයන් සේම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් ද එක් කරගෙන තිබිණි. උතුරේ සිදු වන සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කරමින් මතු වී තිබෙන ගැටලු හා අඩුපාඩු පිළිබඳ ත් ඒවා නිවැරදි කරගනිමින් කඩිනමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳත් සංවාදයක් ඉපදවූ අගමැතිවරයා යහපත් දිශානතියකට සංවර්ධන කටයුතු යොමු කළ හැකි ආකාරය සම්බන්ධව මඟපෙන්වීමක් කළේය.
එම සංචාරයේදී ජනතාව හමුවට ගොස් ඔවුන් තුළ තිබෙන සැබෑ ප්‍රශ්න ඔවුන්ගෙන්ම දැනගෙන ඒ මොහොතේදීම ඇතැම් ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඔහු ක්‍රියා කරන අයුරු දක්නට ලැබිණි.
උතුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා වෙත දශක ගණනාවක් තිස්සේ පැවති සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා උතුරේ මිනිස්සු රොද බැඳගෙන උන්හ. වර්ෂ 2015 සිට ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති රැසක ප්‍රතිලාභ භුක්තිවිඳීමට මේ සංචාරයේදී මගපෑදිණි.
ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා සාධනීය ලෙස උතුර යළි ගොඩනැඟෙමින් තිබේ. රටේ සංහිඳියාවක් ඇති වනු ඇතැයි උතුරේ මිනිස්සු බලාපොරොත්තු සහගතවය. ඔවුන්ගේ දෑස් ඒ අපේක්ෂාව ප්‍රකාශ කරමින් සිටි අයුරු දුටුවෙමු.
පසුගිය 14 වනදා අගමැතිවරයා ගත කළේ යාපනය ප්‍රදේශයේය. ඔහු යාපනයේ රැඳී සිටිමින් යාපනය, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් වැනි දිස්ත්‍රික්කවල සංචාරය කළේය. රජය විසින් සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම හා දැනට සිදු වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම අගමැතිවරයා සිදු කළේය. එවන් එක් ව්‍යාපෘතියක් වූ කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගිය 14 වෙනිදා අගමැතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.
එහි පැවති උත්සව සභාව අමතූ අගමැතිවරයා කීවේ යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානයක් යොමු කරන බවත්, ඒ සියලු සංවර්ධන කටයුතු සිදු කරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ අදහස්, එකඟතාව සහ සම්බන්ධතාව ඇතිව බවත්ය.
රුපියල් මිලියන 40 ක වියදමින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකොට ඇත. යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06ක් මේ වන විට විවෘත කර තිබේ. තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ඉදි කෙරෙමින් පවතී. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් විවෘත කිරීමට ද නියමිතව තිබේ.
යාපනය, කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඉදිකිරීම්වල අරමුණ ජනතාවට කීවේය. “ගොඩනැගිලි ලබාදීමෙන් සිදු කරන්නේ ජනතා සේවයට පහසුකම් සැපයීමයි. ඒ නිසා දැන් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ජනතාවට සිය සේවය ඉටු කිරීම ඉතා කාර්යක්ෂම ලෙසත් උසස් අන්දමිනුත් සිදු කළ යුතුයි.” අගමැතිවරයා ප්‍රකාශ කළේය.
කෝපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නිවාස, නැවත පදිංචි කිරීම් සහ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට අගමැතිවරයා සහභාගි විය.
යුද ගැටුම් හේතුවෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු වේගවත් කර එහි ජනතාවට උසස් ජීවන තත්වයක් හා යහපත් අනාගතයක් උරුම කරදීම තම අපේක්‍ෂාව බව අගමැතිවරයා ඒ මොහොතේදී පැවසුවේය. මේ අවස්ථාවේදී මෙතෙක් නිරාකරණය නොවී තිබූ ගැටලු ගණනාවක් සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු සහ ආණ්ඩුකාරවරයා කටයුතු කළහ.
පෙබරවාරි 14 වැනි දා ආදරවන්තයන්ගේ දිනයයි. කොළඹ සිට ආදරය සහ සෙනෙහසේ පණිවුඩය රැගෙන යාපනයට පැමිණීම පිළිබඳව උතුරු - නැගෙනහිර ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන්ට විශේෂ ස්තුතියක් පළ කළේය.
යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීමට සහභාගි විය.
එහිදී අගමැතිවරයා කියා සිටියේ උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම සමාන ඉඩප්‍රස්තාවන්, පහසුකම් හා සේවා සැපයීමට පසුගිය අවුරුදු හතර තුළ රජය ක්‍රියා කළ බවය. ඉදිරියේදී මේ වැඩකටයුතු තව තවත් පුළුල්ව සිදු කරන බව ඒ අවස්ථාවේදී අගමැතිවරයා සපථ කළේය.
අධික ණය බරින් පීඩිතව රට ණය උගුලක සිරව සිටියදීත් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩිම වියදමක් කළේ මෙම රජය බවද අගමැතිවරයා මෙහිදි අවධාරණය කළේය.
එහිදී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් පළ කරමින් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව යන්නෙහි නියම අර්ථය දැන් උදා වී ඇති බවය.
කලින් බොහෝ රෝගීන්ට මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ගැනීමේ අපහසුතා ගණනාවක් ඇති වී තිබුණත් දැන් හෘද රෝගී, අක්‍ෂි රෝග, පිළිකා, ආදි සියලු රෝග සම්බන්ධයෙන් රජය නොමිලේ රෝගීන්ට පහසුකම් සැපයීමට ඉදිරිපත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම උත්සවවලට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් විසින් මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ නිල සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට එක් විය. අනතුරුව පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවටත්, මයිලඩ් නැවත පදිංචි කිරීමේ ගම්මානයේ නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමටත් එක් විය.
කන්කසන්තුරේ වරායේ නිරීක්ෂණ චාරිකාව අනතුරුව සිදුවිණි.
ඊට අමතරව කිලිනොච්චිය මහ රෝහල සඳහා වෛද්‍ය උපකරණ ලබාදීම සහ එහි හදිසි අනතුරු ඒකකයට මුල්ගල තැබීමටත්, කිලිනොච්චි, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පැවති නිවාස, නැවත පදිංචි කිරීම් සහ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලටත්, පල්ලිමුනෙයි නැවත පදිංචි කිරීමේ ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීමටත් අගමැතිවරයා එක් විය.
අනතුරව ඔහු සිය ඇතුළු ඇමතිවරුන් සමග මන්නාරම බස් නැවතුම්පොළ අසල පැවති මහා ජනහමුවකට එක් විය.
එම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය කාර්ය මන්ඩල ප්‍රධානී හා වරාය හා නාවික කටයුතු සහ දක්ෂණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. සුමන්තිරන්, එස්. ශ්‍රී ධරම්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.