
අන් හැම තැනකටම වඩා ගෙදර ආලින්දය, විසිත්ත කාමරය පිළිවෙළකට පියකරුව තබාගැනීම අපේ පුරුද්දයි. නිවසට පැමිණෙන ආගන්තුකයෙකුට ගෙදර ගැන සේම ගෙදර නිවැසියන් ගැනත් යම් කිසි චිත්‍රයක් මැවෙන්නේ එයින් වීම ඊට හේතුවයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද තවත් එවැනිම ආලින්දයකි; විසිත්ත කාමරයකි. මොහොතකට ලාංකිකයන් අමතක කළ ද විදේශිකයන් ලංකාවට පැමිණෙන ප්‍රධානම දොරටුව වන්නේ කටුනායක ගුවන් තොටුපොළ යි. ‘ද ලෝන්ලි ප්ලැනට්’ සඟරාව මගින් 2019 වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස නම් කළ රටට පිවිසෙන දොරටුව, ආලින්දය අපි හොඳින් නඩත්තු කරනවාද යන්න විවාද පන්නය.
ආසියාවේ ආශ්චර්යය
ලොව ගුවන් ගමන් සම්බන්ධයෙන් මෙන්ම ගුවන් තොටුපොළ පිළිබඳ ඇගැයීම් සිදු කරන ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක් වනSleepingatairports.com, 2016 වසරේදී කටුනායක ගුවන්තොටුපොළ ආසියාවේ ඇති අසාර්ථක ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 10 අතරට එක් කළේය. ආසියාවේ මුළු රටවල් ගණන 48කි. ඒවායේ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංඛ්‍යාව 327කට අධික ය. ඒ අතුරින් කටුනායක අසාර්ථකම ගුවන් තොටුපොළ 10 අතරට පිවිසෙනවා යනු අනෙකක් නොව රිවර්ස් ගියරයේ කිලෝ මීටර ගණනක් පසුපසට ඇදී යෑමකි.
අනෙක් අතට කටුනායක ගුවන් තොටුපොළ ආසියාවේ අසාර්ථකම ගුවන් තොටුපොළ අතරට පිවිසීම වැළැක්විය නොහැක්කකි. එක් පර්යන්තයකින් පමණක් සමන්විත කටුනායක නිර්මාණය කරන ලද්දේ වර්ෂයකට උපරිම වශයෙන් ගුවන් මගීන් ලක්ෂ හැටක් හැසිරවීම සඳහා ය. එහෙත් ඉකුත් වසරේදී කටුනායකින් එහා මෙහා ගිය මඟී සංඛ්‍යාව කෝටිය ඉක්මවීය. මේ තත්ත්වය ගුවන් තොටුපොළ සේවා සැපයුම් පද්ධතියේ විශාල බිඳවැටුමකට හේතු වී ඇති බව පැහැදිලිය.
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කටයුතු සඳහා භාවිත කරන සියලු ගුවන් තොටුපොළවල භාරකරුවා වන ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප හා ප්‍රකාශ කළ පරිදි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ක්‍රියාකලාපය නිසා මතු වී ඇති අකාර්යක්ෂමතාව ගුවන් තොටුපොළේ සමස්ත පිරිහීමට විශාල සාධකයක් වී තිබේ.
“ගුවන් තොටුපොළ තුළ ගොඩක් අලුත් දේවල් ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ කළා. විශේෂයෙන්ම ආගමන විගමන කවුන්ටර ආශ්‍රිතව අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න හැදුවත් ආගමන නිලධාරීන්ගේත් සංචාරක අධිකාරියේ නිලධාරීන්ගෙනුත් දකින්න තිබුණේ අඩු උනන්දුවක්” නම සඳහන් කිරීමට අකමැති වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
මේ අතර මෑතකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපතිවරයා ලෙස පත් වූ කිෂූ ගෝමස් මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සම්බන්ධයෙන් මතු වූ එම අදහස් තරයේ ප්‍රතික්ෂේප කළේය.
“ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් පැමිණිලි තිබෙනවා නම් ඒ පැමිණිලි තියෙන්නේ ආගමන විගමන කවුන්ටර ආශ්‍රිතව තිබෙන දිගු පෝලිම් සම්බන්ධයෙනුයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරි අපට භාරගන්න බැහැ” ඔහු කීය.
මේ අතර ගුවන් තොටුපොළ පිටවීමේ දොරටුව අසල සිටින තැරැව්කරුවන් සහ ටැක්සිකරුවන් ද ගුවන් තොටුපොළට එක් කරන්නේ අවලස්සනක් මෙන්ම සංචාරකයන්ට මහත් හිරිහැරයකි. එකිනෙකා පරයන උස් හඬින් කෑගසමින් ඔවුහු සංචාරකයන් කැඳවාගෙන යෑමට උත්සාහ ගනිති. සහායට පැමිණෙන බව හඟවමින් සංචාරකයෙකුට කිට්ටු වෙන තවත් අයෙකු සංචාරකයාගේ ගමන් මල්ල යාර කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් රුපියල් දාහක ගාස්තුවක් ඉල්ලීමට වලි කයි.
ගුවන් තොටුපොළ සමාගමේ තවත් නිලධාරියෙකු අප හා පැවසූ පරිදි දැන් මතුව ඇති තවත් ගැටලුවක් වන්නේ, ගුවන් තොටුපොළේ ලියාපදිංචි නොවූ කුලී රථ රියැදුරන් පැමිණීමේ පර්යන්තයට යෑමට රුපියල් 300ක ටිකට්පතක් මිලට ගෙන යම් නමක් ලියූ බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන ගොස් පිටරට සිට පැමිණෙන අයෙකු භාරගැනීමට මෙන් හිඳ කුලී රථ සේවා ගැන කැන්වසින් කරන්නට පටන් ගැනීමයි. ඔවුන් ටිකට් පතක් මිලට ගෙන පැමිණීමේ පර්යන්තයට පිවිසෙන නිසා ඒ පිළිබඳ කිසිවක් කිරීමට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශවලට ද නොහැකි වී තිබේ.
“ඇත්තටම ආගමන විගමන කවුන්ටර ආශ්‍රිතව තියෙන්නේ වෙන ම ප්‍රශ්නයක්. ඒවායේ ඉන්න නිලධාරීන් හිතන්නේ තමන්ට නීතියක් අදාළ නැහැ කියලයි. ආගමන විගමන කවුන්ටර වැඩි කරන්න එයාලගෙන් කිසිම සහායක් ගුවන් තොටුපොළ සමාගමට ලැබෙන්නෙ නැහැ. දැනට කටුනායක තියෙන්නේ ආගමන විගමන කවුන්ටර 34යි. හරි නම් 50කට වඩා තියෙන්න ඕනෙ” ගුවන් තොටුපොළ සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
ඔහු පවසන ආකාරයට වරක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් පෝලිමක් (සිග් සැග් මාදිලියේ) හඳුන්වාදෙමින් තදබදය අඩුකිරීමට සැරසුණ ද ඊට කටුනායක සිටින ආගමන විගමන නිලධාරීන් විරුද්ධ වී තිබේ. “මේ ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් එයාර්පෝට්වල භාවිතා කරන්නෙ. මෙයාලා ඒ යෝජනාවට අකමැති වෙන්න හේතුව තමයි, සිග් සැග් ක්‍රමය යටතේ එයාලට ගුවන් මගීන්, පෝලිම දිගේ එනවා දකින්න නොහැකි වීම. ලෝකෙ වෙන කොහේවත් ඉන්න ආගමන නිලධාරීන්ට වුවමනා නැති විදිහේ අවශ්‍යතාවයක් මේ අයට තියෙන එක ගැන ඇත්තටම මට පුදුමයි” ඔහු කීය.
කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා සහ දේශසීමා පාලන අංශයේ පාලක චාමින්ද හෙට්ටිආරච්චි මහතා මෙම චෝදනා බැහැර කළේය.
“මෙතැන තියෙන ප්‍රධාන ම ප්‍රශ්නෙ තමයි ගුවන් පර්යන්තයේ තිබෙන ඉඩකඩ සීමාසහිත වීම. අනෙක් අතට ඔය කියන සිග් සැග් ක්‍රමවේදයට අපි සහාය දැක්වූවේ නැහැ කියන කතාව වැරදියි. අපි එක පාරක් එ් ක්‍රමය අත්හදා බැලුවා. හැබැයි ඒකෙදි ප්‍රායෝගික ගැටලු මතු වුණා. විශේෂයෙන්ම ඒ ක්‍රමය අත්හැර දාන්න මුල් වුණු සමහර හේතු ඉදිරිපත් වුණේ ගුවන් තොටුපොළ සමාගමෙන්මයි”, හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ගුවන් තොටුපොළ තදබදය අඩු කරගැනීමේ කාර්යයේදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ද කළ හැකි කාර්යයන් පවතින බව ඔහු කීය. “ප්‍රායෝගිකව දුෂ්කර ඇති. නමුත් එකවර ගුවන් යානා ගොඩක් ගොඩබස්වා නොගෙන ඒවා ගොඩබසින වේලාව කළමනාකරණය කරගැනීමට ඔවුන් කටයුතු කරනවා නම් යම් තරමකට හෝ මේ ප්‍රශ්නයට පිළියමක් යොදන්න පුළුවන්. ගුවන් තොටුපොළ කියන්නේ ආගමන විගමන අංශය විතරක් නෙමෙයි. ආගමන විගමන වගේම, රේගුව, නිරෝධායනය, ගුවන් සේවාව ඇතුළු අංශ බොහෝමයක් ඊට අන්තර්ගතයි.
ඒ වගේම තමයි, කටුනායක ගුවන් තොටුපොළ අසාර්ථක ගුවන් තොටුපොළක් කියන කතාව මට පිළිගන්න බැහැ. මම පෞද්ගලිකව ලෝකෙ රටවල් ගණනාවකට ගිහින් තියෙනවා, ඒ රටවල ගුවන් තොටුපොළවල් දැකලා තියෙනවා. අපේ හැටියට අපි ප්‍රශස්ත මට්ටමේ ගුවන් තොටුපොළක් පවත්වාගෙන යනවා කියලයි මගේ අදහස” හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මේ අතර කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව මතු වී ඇති ගැටලු පිළිබඳ මනා අවබෝධයක් ගුවන් තොටුපොළ සමාගමට ද පවතින බවත් එම ගැටලු අවම කරගැනීමට මේ වන විට කඩිනමින් පියවර ගනිමින් සිටින බවත් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා පැවසීය.
“ගුවන් තොටුපොළේ අධික තදබදයක් තිබෙන බව ඇත්ත. නමුත් මේ වෙද්දි ඇමැතිතුමා, රාජ්‍ය ඇමතිතුමා වගේම ගුවන් තොටුපොළ සමාගමත් කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධනයට ප්‍රමුඛතාව දීලා කටයුතු කරනවා. ඇත්තටම අපි මේ ආයතනයට පත්වෙලා තවම සති එකහමාරයි. කොහොම නමුත් ඉතාමත් ඉක්මනින් ගුවන් තොටුපොළේ තදබදය අවම කිරීමට අපි හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරනවා” යැයි කාරියප්පෙරුම මහතා විස්තර කළේය. කටුනායක ගුවන් තොටුපොළ විසින් පුරෝකථනය කරන ලද ගුවන් මඟී ප්‍රමාණය අනුව 2021 වසර වන විට ගුවන් මඟීන් මිලියන 15ක් පමණ කටුනායක ගුවන් තොටුපොළ භාවිතා කරනු ඇත. වර්තමානයේදී ගුවන් තොටුපොළේ පවතින ධාරිතාව අනුව එය ගුවන් මගීන්ට ඍණාත්මක බලපෑමක් ඇති කරමින් අභියෝග ගණනාවක්ම උදා කරනු ඇත.
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ වාර්ෂික වාර්තාව - 2017 ලොව සෑම දෙයක්ම පාහේ ඇසිල්ලකින් වෙනස් වන පසුබිමක ගුවන් තොටුපොළ යන්න ද සංකල්පීයමය වශයෙන් වෙනස් වී තිබේ. අද ගුවන් තොටුපොළක් යනු හුදෙක් ගුවන් යානා ගොඩබස්වන හෝ අහසට නංවන තැනක් පමණක් නොව විනෝදාස්වාද ක්‍රියාකාරකම් පිරුණු තැනකි. ඊට හොඳ උදාහරණ ඕනෑ තරම් ලෝකයේ අන් රටවලින් සොයාගත හැකිය. දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළේ ඇති කොරියානු සංස්කෘතික කෞතුකාගාරය, ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපොළේ බීර උද්‍යානය, එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපොළේ ඇති ජින් ස්කාගාරය, කැනඩාවේ වැන්කුවර් ගුවන් තොටුපොළේ ඇති ජල උද්‍යානය ආදිය ඉන් කිහිපයකි.
කලෙක සිංගප්පූරුව අප ආදර්ශයට ගෙන හැදෙන්නට පිඹුරුපත් සැකසීය. එහෙත් දෛවයේ සරදමකට මෙන් අපි කලෙක පටන් සිංගප්පූරුව වන්දනා කරන්නෙමු. සිංගප්පූරුවේ චන්ගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අද ආසියාවේ නොව මුළු ලෝකයේම හොඳම ගුවන් තොටුපොළ වී හමාරය. ඒ ද එක් වතාවකට නොවේ. 2013 සිට මේ දක්වා අඛණ්ඩව ලොව හොඳම ගුවන් තොටුපොළ කිරුළ තමන් සතු කරගන්නට සිංගප්පූරුව සමත් වී සිටී.
ඔවුන් එසේ ජය කෙහෙළි නංවන්නට හේතුව අනෙකක් නොව රටේ ප්‍රමුඛතාව නිසි පරිදි හඳුනාගැනීමය. සිංගප්පූරුව යනු සේවා ආර්ථිකයකි. කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන ත්‍රිවිධ අංශයන් සසඳා බැලූ විට ලංකාව ද අද සේවා ආර්ථිකයකි. එහෙත් වේදිකා දෙදරවමින් කෑ මොර දෙන දේශපාලකයන්ට තවමත් ලංකාව යනු කෘෂිකාර්මික රටකි. යථාර්ථය වෙනුවට සම්ප්‍රදායටම ලොල් කරනා මේ විකෘති මානසිකත්වය දුරු කරගන්නා තුරු ලංකාවට සිංගප්පූරුවක් වීම යනු මේ කපේට හැබෑ කරගත නොහැකි සිහිනයකි.
“අපේ ගුවන් තොටුපොළේ තියෙන වැරැද්ද මොකක්ද කියලා හරියට කියන්න මට තේරෙන්නෙ නැහැ. හැබැයි යුරෝපෙ රටවල ගිහින් ඇවිත් මෙහෙට එන කොට ලොකු වෙනසක් තේරෙනවා. මට හිතෙන හැටියට ඒ වෙනස දැනෙන්නේ ආගමන විගමන කවුන්ටරේදියි. ඒ නිලධාරීන් ලංකාවේ අයට සලකන්නෙ හරි වෙනස් විදිහට. පිටරට අයට හොඳින් සැලකුවට ලංකාවේ මිනිස්සුන්ව එයාලා ගණන් ගන්නෙ නැහැ. හරිම අකාරුණික විදිහට තමයි ලංකාවේ අයට සලකන්නෙ” තම ව්‍යාපාර කටයුතු සඳහා නිරන්තරයෙන් ඉතාලිය හා පෘතුගාලය බලා යන ව්‍යාපාරිකයෙක් අපට පැවසීය.
මේ වන විට දිනකට කටුනායකින් හසුරුවන ගුවන් යානා සංඛ්‍යාව 200ක් පමණ වේ. එනම් සෑම මිනිත්තු හතකට වරක්ම ගුවන් යානයක් කටුනායකට ගොඩබැස්වීම හෝ කටුනායකින් අහසට එසවීම සිදු වේ.
“දෙවැනි පර්යන්තය ඉදිකිරීම මේ වෙද්දි අවුරුදු පහක් තිස්සේ කල් ගිහිල්ලා. විවිධ ආණ්ඩු පත්වෙද්දි අලුත් අලුත් සැලසුම් ඉදිරිපත් කළා. කොටින්ම පර්යන්තයේ වහලේ සැලසුම වෙනස් කරන්න ඕන නිසා ඉදිකිරීම් පමා වුණා” හිටපු ජ්‍යෙෂ්ඨ ගුවන් තොටුපොළ සමාගම් නිලධාරීයා පැවසීය.
පෙර පැවති ආණ්ඩුව ඔවුන් ක්‍රියාත්මක කළ හම්බන්තොටට ප්‍රමුඛතාව දුන් සැලසුම අනුව මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මත්තල ඉදි කිරීමට තීරණය කෙරිණි. පසු කලෙකදී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් ලොව පාළුවට ගිය ගුවන් තොටුපොළ අතරින් අංක එකට තේරූ මත්තල ගුවන් තොට ඉදි කරන්නට වැය වූ මුදල ඩොලර් මිලියන 209කි. එම මුදල කටුනායක සංවර්ධනය කරන්නට යෙදවූවා නම් රටට අත්විය හැකිව තිබූ ලාභය අති මහත් බවට සැක නැත.
“අනෙක් අතට අලුතින් ගුවන් සේවා සමාගම් කටුනායකට පැමිණෙන්නට පටන් අරගෙන තිබෙනවා. මීට සති කිහිපයකට උඩදී තායිලන්තයේ ලයන් එයාර් ගුවන් සමාගමත් කටුනායකට එන්න පටන් ගත්තා. ඉතින් ඉදිරියේදී තදබදය තවත් වැඩිවේවි” කාරියප්පෙරුම මහතා කීය.
මේ අතර දෙවැනි පර්යන්තය ඉදි වීමේ පමාවත් සමඟින් පෙර සවි පර්යන්තයක් (Pre-Fabricated Terminal) ඉදි කරන්නට ගුවන් තොටුපොළ සමාගම තීරණය කළ ද ටෙන්ඩර් පටිපාටියේදී සිදු වුණා යැයි කියන අක්‍රමිකතාවක් නිසා එය දැන් අධිකරණය හමුවේ නඩු කියන තැනකට ගොස් තිබේ.
පැවති සහ පවතින ආණ්ඩුවල ප්‍රතිපත්ති සම්පාදනයේ දුර්වලතා සහ අකාර්යක්ෂමතා හේතුවෙන් සිදු වී ඇත්තේ අපට ඇති ප්‍රධානම ජාත්‍යන්තර දොරටුව දිනෙන් දින පිරිහීමට ලක් වීමය. ඉකුත් වසරේදී පමණක් රුපියල් බිලියන 9ක වාර්ෂික ලාභයක් අත් කරගත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම එම ලාභයෙන් කොතරම් පංගුවක් ගුවන් තොටුපොළේ වැඩිදියුණුව වෙනුවෙන් යෙදවූවා ද යන්න විශාල ගැටලුවකි. දෙන මිය යන තෙක් කිරි දොවන්නාක් මෙන් කටුනායක භාවිතා කරන්නේ නම් එය වළපල්ලට යෑම නැවැත්වීමට කිසිම ජගතෙකු සමත් නොවනු ඇත.
කටුනායක ගුවන් තොටුපොළ පිළිබඳ Skytrax වෙබ් අඩවියට එක් කර ඇති සංචාරකයන්ගේ සටහන්
"ආසන පහසුකම් ගැන සතුටු විය නොහැකියි" ජෝන් මෙයිනාඩ් ( එක්සත් රාජධානිය) – 2018 සැප්තැම්බර් 24
කොළඹ ගුවන් තොටුපොළේ හොඳ වගේම නරකත් තිබෙනවා. හොඳ දෙයක් තමයි පිටවීමේ පර්යන්තයට ඇතුළු නොවී සාප්පු සවාරියේ යෙදෙන්න පුළුවන්. ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය හරිම සුහදශීලීයි. නමුත් පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවල තිබෙන ඉලෙක්ට්‍රොනික පුවරු සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අසුන් ගෙන ඉන්න තැනට ඒ පුවරු පේන්නෙ නැහැ. ආසන වුණත් සුවපහසු නැහැ. ගුවන් තොටුපොළ තුළ ආහාරත් සතුටුදායක මට්ටමක නැහැ. දුරකතනයක් ආරෝපණය කරගන්න තැනකුත් දකින්න නැහැ.
"පිස්සන් කොටුවක් වගේ තැනක් " විලියම් සුදර්පෝ (ඉන්දුනීසියාව) – 2018 ජුනි 24 මෙතෙක් මම ගමන් කරපු නරකම ගුවන් තොටුපොළ තමයි මේක. කටුනායක කියන්නේ පැරණි වගේම අසංවිධානාත්මක ගුවන් තොටුපොළක්.
පුළුවන් තරම් මේ ගුවන් තොටුපොළ මඟහරින්න කියලා තමයි මට කියන්න පුළුවන්.