
ඩුබායි දේශයේ මාකඳුරේ මධුෂ් මෙවර කොටුවීමත් සමඟ පරීක්ෂණ අංශවල යළි අවධානයට ලක්වු තවත් දැවැන්ත සිදුවීමක් විය. ඒ රුපියල් කෝටි 700ක පමණ වටිනාකමක් ඇතැයි සැලකෙන අගනා දියමන්තියක් පොලිස් වෙසින් පැමිණ කොල්ල කෑමේ සිද්වීමයි. මෙම සිදුවීම වූයේ මීට කලකට පෙරය. මෙම මහා කොල්ලය සම්බන්ධ පරීක්ෂණ සිදු කරන පොලිසිය කරළියට එන්නේ රටේම කතා බහට ලක්වූ පොලිස් වෙසින් ගොස් කළ රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්ති කොල්ලය ගැන ය. අබුඩාබි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පසුව මාකඳුරේ මධුෂ් සමඟ අසුවූ ගායක අමල් පෙරේරා හා රංගන ශිල්පී රයන් රෝවන් ගැන ඒ වනවිටත් ශ්‍රී ලංකා පොලිසිය විමර්ශනයක් සිදු කරමින් තිබිණි.මේ නිසාම මේ වනවිට පොලිසිය මේ තිදෙනා අතර ඇති සබඳතාව යළිත් මුල මැද අග සසඳන්නට තම විමසුම් ඇස ඒ කෙරෙහි යොමු කර ඇත.
දියමන්ති කොල්ලයට මේ කුප්‍රකට නළුවා සහ ගායකයා සම්බන්ධවූ බවට වූ ලැබුණු තොරතුරක් ඔස්සේ එම විමර්ශනය කෙරෙන්නේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමයි.
මාකඳුරේ මධුෂ් ඩුබායි සිට පොලිස් නිලධාරීන්ට එල්ල කළ තර්ජන අතරේ පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ නමද සඳහන් වන්නේ ඒ අතරය.
පන්නිපිටිය, ඇරැව්වල නිෙවසකට පොලිස් කණ්ඩායමක් ලෙසින් ගිය කණ්ඩායමක් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ල කාගෙන යන්නේ පසුගිය වසරේ නොවැම්බර් 05 දා ය.
මෙම සිදුවීමේ පැමිණිලිකරු සවුදි අරාබියේ කේටරින් ආයතනයක සේවය කළ අයෙකි. එහි සේවයේ නිරතව සිටි ඔහුට මේ තරම් වටිනා දියමන්තියක් හමුවන්නේ තමන් සේවය කළ සේවා ස්ථානයට ගෙනැවිත් දැමූ පස්ගොඩක තිබියදී බව කියවෙයි. රේගුවටද නොදන්වා මෙරටට බඩු භාණ්ඩ අතරේ සඟවා මේ කියන දියමන්තිය ඔහු විසින් මෙරටට රැගෙන විත් තිබුණි. ඔහු සෞදියේදී තම මිතුරන් හමුවේවත් තමන්ට එවන් දියමන්තියක් ලද බවට වචනයක් හෝ පිට නොකරන්නට පරිස්සම් විය.
රහසේ ම තම නිෙවසට දියමන්තිය යැවූ මොහු ඉන්පසුව ලංකාවට පැමිණෙන්නේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස ගමනක් අරඹන්නට ය. ඔහු මැණික් මිල දී ගෙන විකුණන්නට පටන් ගත්තේ කෙදිනක හෝ දියමන්තිය නිසා තමන් පොහොසතකු වන බව දැනගෙන විය යුතුය.
විවිධ අය ගෙන් මැණික් මිලදී ගෙන විකුණමින් මැණික් ව්‍යාපාරයට අතගසන ඔහුගේ ඊළඟ පියවර වූයේ කෝටි ගණනක් වටිනා දියමන්තිය විකුණන්නට සැලසුම් යෙදීමය.පහසුම ක්‍රමය විදේශිකයකුට එය විකිණීමය. ඔහු ඒ සඳහා විදේශිකයන් කිහිප දෙනෙකුම ගෙන්වා ගත්තේ සංචාරක මඟ පෙන්වන්නන්ගේ මාර්ගයෙනි. ජාතික මැනික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා තක්සේරු වාර්තාවක් ද ගෙන තිබුණේ ය. සංචාරක මග පෙන්වන්නන් සමඟ විදේශිකයන්ට අමතරව ශ්‍රී ලාංකිකයෝ ද දියමන්තිය මිලදී ගැනීමට එහි ආවෝ ය.
මේ අතරේ මාකඳුරේ මධුෂ්ට තම ඔත්තුකරුවකු මගින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තිය ගැන තොරතුරක් යන්නේ ය.
මධුෂ් ඒ වනවිටත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් පසුපස හඹා යමින් මැණික් කොල්ලයන් හා කප්පම් ගැනීම් සඳහා තම කණ්ඩායම් යොදවා තිබුණි.
සීතාවක ගඟේ පාලම යට මැණික් හාරද්දී හොරෙන් පන්නා විකුණූ කෝටි ගණන් වටිනා මැණික් ගල් ඇත්තේ රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සන්තකයේ ය. ඒ සියල්ල ගැන හොඳින් දැන සිටියේ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියා ය. සීතාවක ගඟේ මැණික් පතලේ ආරක්ෂාවට එවකට සිටියේ අංගොඩ ලොක්කා හා ලඩියා නිසා ඔවුහු මැණික් ගල් විකුණන්නේ කාට දැයි හොඳින් දැන සිටියහ.
රත්නපුරේට බැල්ම හෙළන අතරේ මධුෂ්ට පන්නිපිටියේ දියමන්තිය ගැන දැන ගන්නට විය.
මධුෂ් දියමන්ති කොල්ලය සඳහා නම් කරන්නේ මාතර මල්ලි නමැති පාතාලයෙකුවය.
මාතර, රොටුඹ පදිංචි තුසිත මධුරංග (38) හෙවත් මාතර මල්ලි මාකඳුරේ මධුෂ් ගේ කල්ලියේ සිටි කොල්ලකෑම්වලට යොදාගත් අපරාධකරුවෙකි.
මාකඳුරේ මධුෂ් මාතර මල්ලිව දියමන්ති කොල්ලයට සම්බන්ධ කරගන්නේ රුපියල් ලක්ෂ පනහක පොරොන්දුව මත ය. පසුව මධුෂ් මාතර මල්ලිට අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හා ජංගම දුරකථනයක් දී ඇති බව විමර්ශණවලදී හෙළි වී ඇත.
කොල්ලයට යොදාගත් දිනය වූයේ නොවැම්බර් 05 දාටය. මධුෂ්ගේ කීම මත ඔහු නොවැම්බර් 04 දා පිළියන්දලට එයි.
එක් අතකින් මාතර මල්ලී අපරාදයට යොදා ගනිද්දී අනෙක් පැත්තෙන් ඔහු තම මෙහෙයුමේ අංගයක් ලෙස ඔස්ට්‍රියානු ජාතිකයෙකුද යොදා ගන්නේය. දියමන්තිය මිලදී ගන්නා මුවාවෙන් ඕස්ට්‍රියා ජාතිකයකු සමඟ රණසිංහ ආරච්චිගේ රවින්ද්‍ර නාලක නමැති ඔරුවල, අතුරුගිරියේ සිටින මංකොල්ලකෑම් හා පාතාලයට සම්බන්ධ තම සගයකු දියමන්තිය ගැන බැලීමට පන්නිපිටියට යවා තිබුණි.
මොවුන් දෙදෙනා ඇරැව්වල
නිෙවසට ගොස් දියමන්තිය ගැන තොරතුරු බලාගෙන විත් මාකඳුරේ මධුෂ්ව දැනුවත් කරන්නේ ය. ඉන්පසුව සියලු දේ සැලසුම් කරන මධුෂ් මාතර මල්ලිව හා අනෙක් කණ්ඩායම් පිළියන්දලට ගෙන්වා වාහනයක් සහ තවත් ඔහු නාඳුනන මදුස්ගේ ගෝලයන් තිදෙනකුද සමඟ පන්නිපිටියේ නිවස වෙත යවන්නේ පොලිස් නිලදාරීන් ලෙස ඇඳුම් අන්දවා වෙස් මාරැ කිරීමෙන් පසුවය.
ඔවුන්ට 3.8 වර්ගයේ රිවෝල්වරයක් හා මාංචු කුට්ටමක් ද ලැබිණි.
ඒ වනවිටත් මධුෂ් කී පරිදි විදේශික ඕස්ට්‍රියානු ජාතිකයා හා නාලක දියමන්තිය මිලදී ගන්නට ආ අයුරින් ඇරැව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ගනුදෙනු කතා කරමින් සිටියහ.
ඉන් පැය බාගයකට පසු නිෙවසට කඩා වදින මාතර මල්ලි ඇතුළු පිරිස රඟපෑම පටන් ගත්හ. අපි පොලිසියෙන්, මෙතැන හොර ජාවාරමක් වෙනවා කියලා අපිට තොරතුරක් ආවා. මේ ඔස්ට්‍රියානුවා අපිට අවශ්‍ය සැකකරුවෙක් කියා රඟපාමින් විදේශිකයාගේ අත්වලට මාංචු දැම්මේ ය. නිවෙස හිමියා එසැණින් කාමරයකට දමා වසා එහිවූ දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් ද සමඟින් අතුරුදන් වූහ. නිවෙස් හිමියා එළියට එනවිට සියල්ල හමාරය. විදේශිකයා සමඟ හය දෙනාම අතුරුදන්ය. නිවෙසේ වූ දියමන්තිය හා මැණික් ද අතුරුදන් ය.
මෙම කොල්ලය සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ ආයුධ සන්නද්ධව පැමිණි කොල්ල කල්ලිය ගැන මහරගම පොලිසියට අමතරව මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය ද යොදවන්නේ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හා නුගේගොඩ පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ නියෝග මත ය.
මෙම විමර්ශනවලදී මුලින් ම කොටුවන්නේ පාදුක්කේ නිෙවසක සැඟවී සිටි නාලකය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කොල්ලය මාකඳුරේ මධුෂ් කරවූ එකක් බව හෙළිවිය. එය තවදුරටත් තහවුරු වන්නේ නාලක අත්අඩංගුවට ගන්නා මොහොතේදීත් නාලකට ඩුබායි සිටින මධුෂ්ගේ ඉමෝ ඇමතුමක් ලැබීමෙන් ය.
මේ ගැන විමර්ශන කරන අතරේ මාතර මල්ලිව රත්මලාන මැලිබන් හන්දියේදී කොටුවන්නේ ඉකුත් දෙසැම්බර් 01 දා ය. මාතර මල්ලිගේ ප්‍රශ්න කිරීමේදී මෙයට එක්වූ විදේශිකයා හා තවත් අයෙකු නොවැම්බර් 07 දාම රටින් පිටව ගොස් ඇතැයි සනාථ විය.
මින් පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ කොල්ලකන ලද දියමන්තිය ගුවන් මඟින් මධුෂ් විසින් ඩුබායිවලට ගෙන්වා ගත් බවය.
මෙම දියමන්තිය ඩුබායිවලට රැගෙන ගිය ආකාරය පිලිබඳව සිදු කෙරුණු විමර්ශනය අතරේ දෙහිවල පොලිසිය මත්කුඩු සමඟ පාතාලයට සම්බන්ධ තවත් අයෙකු කොටු කරගත්තේ ය. රංගන ශිල්පී රයන් රෝවන් හා ගායන ශිල්පී අමල් පෙරේරාගේ සහාය මාකඳුරේ මධුෂ්ට ලැබෙන බව හෙළි වන්නේ ඔහුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදීය. රංගන ශිල්පී රයන් එම දිනවල ඩුබායි බලා ගිය බවත් කියවිණි.
එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය එම තොරතුරුවලට අදාළව කටඋත්තර ගැනීම සඳහා රයන් රෝවන් ට පොලිස් පණිවිඩයක් යවන්නේ ය.
ඒ අනුව මීට සති තුනකට පෙර රයන් රෝවන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයට පැමිණ කටඋත්තර දී ඇත. එහිදී තමන් ඩුබායිවල සංචාර කළත් මාකඳුරේ මධුෂ් කෙනකු දැක නැති බවත්, මධුෂ් නොහඳුනන බවත් වැඩිදුර ප්‍රකාශයක් දී තිබුණේ ය.
කෙසේ වුව ද රයන්ගේ දුරකථන සම්බන්ධතා ජාල පරීක්ෂණයක් සඳහා අධිකරණ නියෝග ගන්නා පොලිසියට එම වාර්තාව ලැබෙන විට රයන්ට කටඋත්තර නැතිවී ඇත. ඒ මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන් දින සාදයට ගිය මොහොතේ රයන් ද කොටුවී සිටි නිසා ය.
රයන් මධුෂ් නාඳුනන බවට පොලිසිය ද නොමඟ හැර ගියත් රයන් එහි දී කොටුවන විට පොලිසිය දුරකථන ජාල පරීක්ෂාවෙන් රයන් හා මධුෂ්ගේ සම්බන්ධය හෙළිකර ගත්තේ ය.
එම විමර්ශනයට අදාළව ගායන ශිල්පී අමල් පෙරේරා ද පොලිසියට කැඳවා ඇතත් ඔහු විදේශ ගත වන නිසා යළි පැමිණි පසු පොලිසියට පැමිණෙන බව දැනුම් දී තිබුණි. දැන් අමල් ද ඉන්නේ ඩුබායි පොලිස් භාරයේය.
මධුෂ් ගේ නියෝග මත කොල්ල කෑ දියමන්තිය මධුෂ්ට ඉමෝ දුරකථන ඇමතුමකින් පෙන්වා එය පාර්සල් කර එහි ඡායාරූප ද මධුෂ්ට ලැබෙන්නට සලස්වන්නේ මාතර මල්ලි ය. ඒ කොල්ලය සිදුවූ නොවැම්බර් 05 දාමය. මෙම කොල්ලයට ගිය ඕස්ට්‍රියානු ජාතිකයා මෙය රැගෙන ගිය බවට කලින් සැක කළ ද ඔහු පිටව ගොස් තිබුණේ නොවැම්බර් 07 දා ය. නමුත් මධුෂ්ගේ උපදෙස් මත සුරක්ෂිතව තැබූ දියමන්තිය මාතර මල්ලි හා නාලක විසින් රැකගෙන සිට නාලක විසින් එය කොළඹට ගෙනවිත් දෙන්නේ නොවැම්බර් 08 දාය. ඒ මධුෂ් කී නාඳුනන අයෙකුට ය.
දැනට කරන ලද විමර්ශනවලට අනුව රයන් නොවැම්බර් 08 දා ඩුබායි බලා ගොස් ඇත. ඒ අනුව පොලිස් විමර්ශන කණ්ඩායම් සැකකරන්නේ රයන් හෝ ඔහු සමඟ ගිය අයකු අතේ මධුෂ් මෙම දියමන්තිය ඩුබායි වෙත ගෙන්වා ගත් බව ය. මාකඳුරේ මධූෂ්ට කෝටි හත්සියයේ දියමන්තිය ගෙනගිය ආකාරය හෙළිකර ගත හැක්කේ ඩුබායි අත්අඩංගුවෙන් මිදී රයන් මෙරටට පැමිණි විටදී ය.