රට ගොඩ දාන හැටි මෙන්න | සිළුමිණ

රට ගොඩ දාන හැටි මෙන්න

නිදහසින් පසු වසර 71ක් තිස්සේ අපට හැකි වී තිබෙන්නේ ඩොලර් 4000ක ඒක පුද්ගල ආදායමක් උපයාගැනීමටයි. එය ඩොලර් 12,640ක් දක්වා ගෙන එන්නේ කොහොමද යන කාරණය හැම දෙනාම බලාපොරොත්තු වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක අපේක්ෂාව වන්නේ එවැනි තත්ත්වයක් ඇති කරගන්නේ කෙසේද යන්නයි.

අප ඒ සඳහා ප්‍රතිපත්ති හදනවා නම් පළමුවම විමසා බැලිය යුත්තේ දළ දේශීය නිෂ්පාදනය කවර තත්ත්වයකට ගෙන ආ යුතුද යන්නයි; නැති නම් 8%ද? 10%ද? යනුවෙනි. එසේ 8%ට හෝ 10%ට හෝ ගෙනයන්න අප ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද? මේ සියල්ල කරන්නට අපට තිබෙන්නේ අවුරුදු පහයි. පැයවලින් ගත්තොත්: පැය 10,400යි. මේ පැය ගණනින් මේ වැඩේ කරන්න පුළුවන්ද? මගේ සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ යමක් කරන්න කලින් අනෙක් අය ඒ වැඩේ කර තිබෙන්නේ කොහොමද කියා සොයා බැලීමයි. සාමාන්‍යයයෙන් මේ වගේ වැඩක් කරනවා නම්, අඩුම තරමින් රටවල් තුනක් වත් මේ ගැන කර තිබෙන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුයි.

තායිලන්තයේ ඇත්තේ අමාත්‍යංශ 20ක් පමණයි. 2002දී ඒ අය සකස් කළ ව්‍යවස්ථාවේ එය වෙනස් කළ නොහැකි බව සඳහන් වෙනවා. ඒ අමාත්‍යාංශ 20 සකස් වී ඇති ආකාරය සොයා බැලුවොත් අපේ අමාත්‍යාංශ 30 මොන වගේ විය යුතුද යන්න සැලසුම් කරගන්න පුළුවන්. මැලේසියාව ගත්තත් ඒ ලෙසයි. මැලේසියාවේ ඇත්තේ අමාත්‍යාංශ 26ක් පමණයි. ඒ 26 ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි විමසා බැලුවොත්. ඒවා එකක්වත් කවදාවත් වෙනස් වන අමාත්‍යාංශ නොවෙයි. කැනඩාව ගත්තත් ඒ වගේයි. කැනඩාවේ අමාත්‍යාංශ 36ක් තිබෙනවා. කවර ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන්නත් පෙර මේ සියල්ල දෙස බලා අපේ අමාත්‍යාංශ 30 සැලසුම් කරගන්න ඕනෑ.

ඊළඟට ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය ගැන කතා කළොත්: ප්‍රාග්ධන වියදම්වලින් මොන දේ කළත් හැමෝම පුරුදු වී තිබෙනවා 'හොරකම් කළා හොරකම් කළා' කියන්න. එහෙම නම් සංවර්ධන වාර්තාවලට ප්‍රතිපත්තියක් හදන්න වෙනවා. කුමන හෝ ටෙන්ඩරයක් දෙනවා නම් ඒ දෙන සමාගමට හෝ ඒජන්සියට හෝ ඒ දෙන ව්‍යාපෘතිය පෙන්නන්න කියන්න පුළුවන්. ඒ බව ප්‍රසම්පාදන ප්‍රතිපත්තියේම සඳහන් කරන්න පුළුවන්. දේශීය කොන්ත්‍රාත්කරුවකුට මේක කරන්න අමාරුයි. ඒත් විදේශීය සමාගමක් එනවා නම් ඒ ඒජන්සිය ඒ දෙන ව්‍යාපෘතිය පෙන්නන්න ඕනෑ. එහි ප්‍රධාන කොටස්කරුවන් පෙන්වන්න ඕනෑ.

ඊළඟට හැඳුනුම්පත්, විදේශ ගමන්බලපත්‍ර, රියැදුරු බලපත්‍ර ලබාගන්න පහසුකම් ප්‍රාදේශීයව ඇති කරන්න ඕනෑ. මෝටර් රථ දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යංශය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රජයේ තානාපති දෙපාර්තමේන්තු ප්‍රාදේශීයවත් පිහිටුවන්න ඕනෑ. මින් සමහර ආයතන ශාඛා ඒ ආකාරයට ප්‍රාදේශීයව ස්ථානගත වෙලා තිබුණත් ඒමා බලය ලත් ඒවා නොවෙයි. මේ නිසා ඒ මිනිස්සු වැඩ කරගන්න කොළඹටම එන්න ඕනෑ. මේ ප්‍රශ්නය විසඳන්න ඒවායේ බලය ලත් ශාඛා කාර්යාල ප්‍රාදේශීයව ස්ථාපිත කරන්න අවශ්‍යයි.

දේශපාලනය කරන අයට ඕනෑ මොනවාද?

ඒගොල්ලන්ට ඕනෑ රජයේ පාසල් ටිකයි, රෝහල් ටිකයි, පාරවල් ටිකයි, ග්‍රාමසේවක වසම් ටිකයි ඒ අය ඉල්ලන්නේ. ඒ යටතේ ටෙන්ඩර් ටික දාන්න ඒගොල්ලන්ට ඕනෑ කියල තමයි කියන්නේ! ඔය ඔක්කොම ඕනෑ නම් දෙන්නත් පුළුවන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් හැදුණොත් හොඳයි.

ලෝකයේ දියුණු වුණු හැම රටක්ම අධ්‍යාපනයෙන් රට දියුණු කළා මිසක්, වෙනත් කිසිදු දෙයකින් රටක් දියුණු කළේ නැහැ. හයවන සියවසේදී තමයි අභයගිරිය විශ්වවිද්‍යාලයක් විදියට ආරම්භ වෙන්නේ. ඒ වන විට බ්‍රිතාන්‍යයේ තිබෙන්නේ පාසල් අධ්‍යාපනය පමණයි. දාහත්වන සියවසේදී පමණ තමයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමානුකූලව වර්ධනය වෙලා ආවේ නැහැ. ලංකාවේ පාසල් අධ්‍යාපනය ආරම්භ වන්නේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඒ 1814දී පිරිමි පාසලක් විදියට. ඊට පස්සේ 1942දී සිලොන් යුනිවර්සිටිය ආරම්භ වනවා. ඒත් අපට පස්සේ පාසල් අධ්‍යාපනය ඇරඹූ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 42000යි. අපේ වගේ දහගුණයක් වැඩියි. අපේ ආදායම 4000යි. මොකක්ද හේතුව? එකම හේතුව ඉගෙන නොගත්ත එක. අපි හිතමු අපි ළඟ ඇති වෙන්න විදේශ විනිමය තිබුණ කියල. ඩොලර්ස් පිරෙන්න තියෙනවා. හැබැයි ඒත් අවප්‍රමාණ කරන්න වෙනවා. ඇයි? අපේ සුළු කම්කරුවන ප්‍රමාණයක් ඉන්නේ. කුඩා වෙළෙඳපොළකුයි තියෙන්නේ. ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව තත්ත්වයත් ඒ වගෙයි. එකෙන් වෙන්නේ අපේ මූල්‍ය වටිනාකම අවප්‍රමාණ වීමයි. ඔවුන්ගෙත් මූල්‍ය වටිනාකම අවප්‍රමාණ වෙනවා. ඒ ඇයි? ඉන්දියාව වගේ රටවල් සල්ලි තියාගෙන අවප්‍රමාණ කරනවා. මොකද? නැත් තම් අන්තර්ජාතික වෙළෙඳපොළේදී ඔවුන්ට සම්පූර්ණ කරන්න බැහැ. ඒ ඇයි? ඉන්දියාවේ හැමෝම ඉගෙනගෙන නැහැ. අධ්‍යාපනය පිටිපස්සේ ගොඩක් න්‍යාය තිබෙනවා.

මෙහි එක් තැනක කියවෙනවා හැම පන්තියකටම 5%ක් වැඩි වෙනවා කියලා. පළමුවැනි පන්තියට ඉගෙනගත් කෙනාට වඩා දෙවැනි පන්තියට ළමයෙක් ඉගෙනගත්තොත් 5%න් වැටුප් වැඩියෙන් ගන්න පුළුවන්. තුන්වැනි පන්තියට ඉගෙනගත්තොත් ඊට වඩා 5%ක් ගන්න පුළුවන්. මේවා තමයි මූලධර්ම. මේ මූලධර්ම කවුරුන් වත් අසා තිබෙනවයි කියා මං හිතන්නේ නැහැ. ඊට අමතරව කවුරුන් හෝ උපාධියක් ගත්තොත් සාමාන්‍ය කෙනෙකුගේ තත්ත්වය නොවේ ඔහුට තිබෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අයගෙන් 10%කට රස්සා නැති වන විට, උපාධියක් ඇති අයට රැකියා නැති වන්නේ 2.5%යි.

දියුණු රටක නම් 50%ක් ළමයින් විශ්වවිද්‍යාලයට යනවා. අපේ රටේ වසරකට ළමයි 3,60,000 උපදිනවා. අපි මේ ළමයින්ගෙන් 50%ක් විශ්වවිද්‍යාලයට යවන්නේ කොහොමද? එහෙම නම් අපේ ප්‍රතිපත්තිවල ලියවෙන්න ඕන ළමයි 50%ක් සරසවිවලට යවනවා කියලා.

නිදහස් අධ්‍යාපනය කියා හඳුන්වන්නේ දුප්පත්කම ඉගැනීමට බධාවක් වන්න හොඳ නැහැ කියන එකයි. අපට ඉගෙනගන්නේ කොහොමද කියන එකේ වත් ඉගෙනගන්නේ කොතනද කියන එකේ නෙමෙයි ප්‍රශ්නය තිබෙන්නේ. දුප්පත්කම ඉගෙගැනීමට බාධාවක් නොවෙන්නයි ඕනෑ. එහෙම නම් ලක්ෂ 180ක් අපි විශ්වවිද්‍යාලයට යවන්නේ කොහොමද? කියා තමයි දැන් කතා කරන්න වෙන්නේ. නිදහස් අධ්‍යාපනය කියල මේ විදියට දුක් විඳින්න අපිට බැහැ. මොකද: රටේ දුප්පත් මිනිසුන් ඉන්නා විට සල්ලි තියෙන මිනිහාත් දුක් විඳිනවා. එහෙම නම් දුප්පත් මිනිසුන් විතරක් නොවේ දුක් විඳින්නේ.

එහෙම නෙවෙයි නම් මං මෙතෙන්ට ඇවිත් කතා කරන්න ඕනෑ නැහැ. දුප්පත් මිනිස්සු නැති වුණා නම් මං මෙහෙම එන්නේ නැහැ. දුප්පත් මිනිස්සු එක්ක ඒ වේදනව හැමෝටම තිබෙනවා. ඉතිං මං කොහොමද නිදහසේ ඉන්නේ? එහෙම නම් මේක ගොඩ ගන්නේ කොහොමද කියා හිතන්න හැමෝගෙම යුතුකමක් තියෙනවා. පුනරාවර්තන වියදම් මිලියන 180කුත් ප්‍රාග්ධන වියදම් මිලියන 40කුත් බිලියන 220ක් අපි අධ්‍යාපනයට යොදවනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මිලියන 50ක් යොදවනවා. ඔක්කොම 270ක්. එසේ යොදා ළමයින් 360,000ක් මේ පැත්තෙන් ඇතුළු කරනවා. අනේ එළියට එන්නේ 8%යි! ෆැක්ට්‍රියක් නම් ඇරපු දවසෙම බංකොලොත්!

චීනය වගේ රටවල් ඉලක්කගත බලශක්ති නිෂ්පාදනය කියා වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. සමෘද්ධිය ඇතුළේ පවුල් 14,00,000ක් ඉන්නවා. ඒ දාහතර ලක්ෂෙන් පවුලේ සාමාජිකයන් ලෙස ළමයි හතරක් හෝ ඊට වැඩියෙන් ඉන්නේ පවුල් 5,46,000ක පමණයි. ගොඩක්ම හැකියාව ඇති ළමයි ඉන්නේ ඔතන තමයි. ළමයි තුන්දෙනා ඉන්න තැනුත් තියෙනවා. ඒ පවුල් ඉන්නේ 2,43,000යි. කොහෙම බැලුවත් ළමයි ඉන්නේ පවුල් ලක්ෂ 6ක 7ක විතරයි. අන්න ඒ ළමයි ටික අරගෙන කරන්න ඕන මූලිකම දේ වෙන්නේ ඉලක්කගත බලශක්ති නිෂ්පාදනෙ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි.

ඊට පස්සේ අපි ආර්ථික සංවර්ධනය ගත්තොත්, ආර්ථික සංවර්ධනයයි සමාජ සංවර්ධනයයි දෙක එකටම කරන්න ඕනෑ දෙයක්. මොකද: ආර්ථිකය විතරක් සංවර්ධනය කරල වැඩක් නැහැ. සමාජය සංවර්ධනය වෙලා නැත්තම්.

මං ඉස්සෙල්ලාම ආර්ථික සංවර්ධනය ගැන කතා කරන්නම්. ඊට පස්සේ සමාජ සංවර්ධනය ගැන කතා කරන්නම්. මූලිකවම කළ යුත්තේ රජයේ සේවකයන් සතුටින් තියන එකයි. මොකද රජයේ සේවකයන් සතුටින් නැත් තම් මේ වැඩේ කරන් යන්න හරි අමාරුයි. ඒ අයගේ ප්‍රශ්න අරන් බැලුවොත් තාත්තා එක්තැනක, අම්මා එක්තැනක, දරුවෝ තව තැනක. පවුලම එහෙ-මෙහෙ වෙලා; එක තැනක නැහැ. ඉස්සෙල්ලාම මේක නැවත සකස් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඇත්තටම මේ වගේ දෙයක් කරනව කියන එක මහා සල්ලි යන දෙයක් නොවෙයි.

රැකියා හදන්නේ කොහොමද?

රැකියා හදන්නේ කොහොමද කියා කිව්වොත්, ඉස්සෙල්ලාම මං දැනට තියෙන රැකියා ටික මොනවාද කියා පෙන්නන්නම්. 2014 ඔක්කොම රස්සාවල් කරල තියෙනවා මිලියන 8.4ක්. 2018 වන විට ඒක සම්පූර්ණයෙන්ම මිලියන 7.9ට අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය අවුරුදු 4ට ලක්ෂ 4කින් අඩු වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් අඩු වී තියෙන්නේ කෘෂිකර්ම කෂේත්‍රයේ. අනෙක් එවා තමයි වනසංරක්ෂණ සහ ධීවර ක්ෂේත්‍රය. මේ අවුරුදු හතරට 4,40,000ක් රස්සා නැති වී තිබෙනවා.

අවුරුදු හතරකට ලංකාවේ ජනගහනය ලක්ෂ නමයකින් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේ විදියට ලක්ෂ නවයක් ඉපදෙන කොට ඒකෙන් 38%ක් රස්සා කරන අයයි. 2%ක් රස්සා නැතිව ඉන්නවා. 28%ක ජනගහනයක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තයෙන්. මේ වගේ ක්ෂේත්‍රයක් දියුණු කරන්න අපට හදන්න පුළුවන් තාක්ෂණික උපකරණ මෙනවාද කියා අපි හිතන්න ඕන. අද වෙන කොට ඉන්දියාවේ ආණ්ඩුව තාක්ෂණය යොදාගෙන තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ගවලට එළඹී තිබෙනවා. පාංශු සෞඛ්‍ය කාඩ්පත (soil health card) යොදාගෙන ඉන්දියාව 20%ක් පොහොරවලට යන වියදම අඩු කළා.

ලංකාවට පොහොර කන්ටේනර් 35,000ක් වසරකට ගේනවා. මේ සඳහා රජයට මිලියන 40ක් යනවා. මේ කන්ටේනර් 35,000න් 20%ක්; ඒ කියන්නේ මිලියන 40න් 20%ක් කියන්නේ මිලියන 8ක් ඉතිරි කරන්න පුළුවන්. හැබැයි ඒ මිලියන අට පාංශු සෞඛ්‍ය කාඩ්පත (soil health card) සඳහා වියදම් වේවි. ඊට අමතරව තොරතුරු තාක්ෂණය යොදාගෙන 'ඇප්-එකක්' භාවිත කළා. ගොවියාට මේ ඇප්-එක යොදාගෙන අවශ්‍ය තොරතුරු උපදෙස් ලබාගන්න පුළුවන්. ෆොටෝ එක ගහල යැව්වාම ලෙඩරෝග මොනවා‍ද කියා පෙන්නනවා. අනිත් අය වවන්නේ මොනවාද මාස දෙකකින් එන්නේ මොනවාද කියලත් ඒ මඟින් දැනගන්න පුළුවන්. එළවුළු මිලගණන් වුණත් ඒ මඟින් දැනගන්න පුළුවන්. සමාජ සංවර්ධනය විදියට මේ හැම පහසුකමක්ම ඔවුන් අද ගොවියට දී තිබෙනවා.

දැන් අපේ රටේ සියදිවි නසාගැනීම් 3200ක් වාර්තා වනවා. අණතුරුවලට ලක් වී මැරෙන්නේත් 3200යි. ඉංජිනේරු කාක්ෂණය යොදාගෙන මේ අනතුරු වළක්වාගන්නේ කොහොමද කියා අපි බලනවා. හැබැයි සියදිවි නසාගන්න අය ගැන කවුරුවත් කතා කරන්නේත් නැහැ; හොයා බලන්නෙත් නැහැ. තවත් නසාගන්න කියලා ඉන්නවා. මං හිතන්නේ ඒකටත් ප්‍රතිපත්තියක් ඇති කරන්න වේවි. එක රටක තිබෙනවා එවැනි අයට උදවු කරන සේවාවන්. ඒ අය ඇමතුවාම ඔවුන් එක්ක කතා කරන්නේ සියදිවි නසාගන්න ගිහිල්ලා බේරිච්ච අයයි. ඒ අය උපදේශකයන් හැටියට යොදාගෙන තියෙන්නේ ඔවුන්වයි.

ඊට පස්සේ ළමා ආරක්ෂණය

පොඩි කාලෙම අම්මා ළමයින් හම්බ වෙච්ච ගමන් ගිහින් මරනවා. ඇමරිකාවෙත් මේ දේ සිද්ධ වෙනවා. හැබැයි ඒ රට ඒ ගැන ගත් ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි මැලේසියාව වගේ රටවල් 'බේබි කැච්' යනුවෙන් තැන් හදා තිබෙනවා. ඒ තැන්වල බබාව තබා යන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඒ අය ළමයව බාරගන්නවා.

සෞඛ්‍යය ගැනත් කතා කළොත් අපේ රෝහල්වල ශල්‍යකර්මවලට දිග පෝලිමක් තියෙනවා. මේකට කරන්න තිබෙන්නේ එකම දෙයයි. පැය දෙකක් විතර අතිකාල වැඩ කරලා මේ සැත්කම් ටික අවසන් කිරීම පමණයි කරන්න තිබෙන්නේ.

දැන් හැමෝම ණයයි ණයයි කියලනෙ කතා කරන්නේ. මේකේ ඇත්තටම එහෙම කිසිම කලබල වෙන්න කාරණයක් නැහැ. පොලී ගෙවලා, වැටුප් ගෙවලා, කාල-බීලා ඔක්කොම කළාම ඒ දෙක එක ළඟින් යන්නේ. ඒ කියන්නේ ලැබෙන ආදායමයි වියදමයි 6%ක විතර වෙනසක් තමයි තිබෙන්නේ. සමහර අවුරුදුවල 12%කට වැඩිවෙලා තිබෙනවා. ඉතිං ඒක ගෙව්වාට පස්සේ මිලියන 11,500ක් විතර ණය තිබෙනවා. කොහොමත් දැන් තමන්ගේ ජීවිතය අරන් බලන්න. ණය එන්න එන්න වැඩි වෙනවා. මොකද: තමන්ගේ ආදායම වැඩි වන විට ණය වැඩි වනවා. ඒකට කෑගගහ ඉඳලා වැඩක් නැහැ. අපි වැය කරන ප්‍රාග්ධන වියදම අනෙක් පැත්තට කොහොමද ගන්නේ කියල බැලුවොත්: අධ්‍යාපනය වගේ දේකට කෙළින්ම සල්ලි ටික දැම්මොත්; දැන් අපි ගෙවන සල්ලි ටික අවුරුදු පහළොවකට පස්සේ ඒ මිනිස්සුන්ගේ අය ගෙවන බදුවලින් ලැබෙනවා. මොකද: ඔක්කොම උගත් මිනිස්සු ටික ලොකු රැකියා කරන්නේ. ඒ අය රස්සා කරන කොට නැවතත් ඒ මුදල් ටික මෙතනට ලැබෙනවා.

සකස් කළේ - රසික කොටුදුරගේ

Comments